පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක්

පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක්


පාසල් වැසීම පිළිබඳ විශේෂ නිවේදනයක්

(13.10.2024 – 18:04 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත කොළඹ කලාපයේ පාසල් හෙට (14) වසා තැබෙන අතර කැළණිය සහ ගම්පහ කලාපයේ සියලු පාසල් හෙට (14) සහ අනිද්දා (15) දින දෙකෙහිම (2) වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 76,218 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් දිස්ත්‍රික්ක 11 ක පදිංචි පවුල් 18,795 කට අයත් වූවන් බවයි පැවසෙන්නේ.

ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය මතුව තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707 කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.

මේ අතර ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

+


ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පියෙකුට නොසිතූ ඉරණමක් අත්වෙයි

(13.10.2024 – 17:53 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන් භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස් දෙනාගේ (5) කල්ලියේ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර රූපලාවන්‍ය ශිල්පියා මොරටුව ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වා ගෙන යන අතර මීට දින කීපයකට ඉහතදී අන්තර්ජාලයේ යෙදවුමක් හරහා පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයෙක් දැන හඳුනාගෙන ඇතැයි පොලිසිය සදහන් කරනවා.

ඔවුන් දෙදෙනා (2) වව්සැප් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරගෙන හිතවත් වී ඇති අතර විශ්ව කලාව ප්‍රදේශයේ පුද්ගලයා සාදයක් සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනාවක් අනුව ඉකුත් 10 වෙනි දින රාත්‍රී රූපලාවන්‍ය ශිල්පියා කුලී රථයක් උපයෝගී කරගෙන පැවැත්වෙන බව කියන විශ්ව කලාව ප්‍රදේශයේ සූසාන භූමිය ආසන්නයේ නිවසක් කරා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී වර්ෂාව ඇද හැලුනු බැවින් රූපලාවන්‍ය ශිල්පියා හැද සිටි ඇඳුම් ද තෙත බරිත වී තිබූ බැවින් ඔහුට ඇඳුම් මාරු කරගන්නා ලෙස ඔහු සමග හිතවත් වු පුද්ගලයා පැවසීමෙන් අනතුරුව ඔහු එම නිවස තුළ ඇඳුම් මාරු කරමින් සිටියදී එම නිවස වෙත කඩා වැදුණු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු (4) රූපලාවන්‍ය ශිල්පියා නිරුවතින් සිටින අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බවයි සඳහන් වන්නේ.

රූපලාවන්‍ය ශිල්පියා කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ අනතුරුව අතර සෙසු පුද්ගලයන් ඔහුගේ රන්මාලය සහ අත් පළඳලාවද කොල්ලකා මුදල් පසුම්බියේ තිබූ ඒ.ටී.එම්. කාඩ් පත හා රහස් අංකයද බලෙන් ලබාගෙන එක් පුද්ගලයකු පිළියන්දල නගරයට ගොස් එහි තිබූ රුපියල් 84,000 ක මුදලක් ලබාගෙන ඇති බවයි ෴


කොවිඩ් 19 ගැන නවතම අනාවරණයක්

(13.10.2024 – 15:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා.

කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්.

බී වර්ගයේ සහ ඒබී යන රුධිර කාණ්ඩවල පුද්ගලයින් මෙම තත්ත්වයන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව අදාළ අධ්‍යනයේ හෙළිදරව් වී තිබෙනවා ෴


ලංගම ගමන්වාර ප්‍රවේශ පත්‍ර ලබාගන්නා සිසුන්ට සහනයක්

(13.10.2024 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලය නිකුත් කරනු ලබන ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සති අන්තයේ සහ අනෙකුත් රජයේ නිවාඩු දිනවලදී පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට ගමන් කිරීමට අවසර ලබාදෙන්නැයි ප්‍රවාහන ආමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබා දී තිබෙනවා.

ගමනාගමන මණ්ඩල සභාපතිවරයාට අදාළ උපදෙස් ලැබී ඇති බව, අප කළ විමසීමකදී එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

සිසුන් සිදු කළ පැමිණිලි සලකා බලමින් වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් සිසුන්ට එම වලංගු කාලය තුළ ලංගම බස් රථවලින් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ෴


තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(13.10.2024 – 19:35 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරුවන් සතුව තිබුණු ඩෙස්ක්ටොප් පරිගණක 15 ක් සහ ජංගම දුරකථන 15 ක් පොලිස් භාරයට ගෙන ඇති බවය ෴


කපු කතට පහරදී දේවාලය කොල්ලකාලා

(13.10.2024 – 23:20 +0530 – hirunews.lk/sinhala)

දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය කපා තුවාල කර තිබෙනවා.

ඒ සමගම රු. 409,000 කට අධික වටිනා මුදල් හා දේපොළ පැහැරගෙන පලා ගොස් ඇති බවයි කටුගස්තොට පොලීසිය පවසන්නේ.

ශාන්ති කර්ම සිදුකරන බව කියන කාන්තාවගේ සැමියාටද මෙම කොල්ලකරුවන් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

මේ හේතුවෙන් අඹුසැමි යුවළ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව කියා පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අඹු සැමි යුවළ මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනාට පහරදී ශාන්ති කර්ම කරන කාන්තාවගේ ගෙල සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර දෙදෙනාම සාලයේ බිම දිගා කර තිබෙන බව පැවසෙනවා.

මෙහිදී කාන්තාව පැළඳ සිටි රන් කරාඹු ජෝඩුව ගලවාගෙන නිවසේ තිබූ ජංගම දුරකථන හතරක් සහ ටැබ් යන්ත්‍රයක් ඇතුළු දේපොළ කොල්ලකා පලා ගොස් තිබෙනවා.

මීට අමතරව රු. 73,000 ක මුදලක්ද සොරාගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය පවසනවා ෴


කටුකුරුන්ද දුම්රිය අනතුර දිවිනසා ගැනීමක්

(13.10.2024 – 21:51 +0530 – hirunews.lk/sinhala)

කළුතර – කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු (3) දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වනවා.

දුම්රියේ ගැටී මියගිය කුඩා දරුවාගේ පියා සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

අනෙක් පුද්ගලයා ඔවුන් බේරාගැනීමට උත්සහ දැරීමේදී දුම්රියේ ගැටී තිබෙන බවට අනාවරණය වූ බවද කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙම අනතුරෙන් මියගිය ‘තරුෂ හසිත’ නැමැත්තා විසින් සිය දරුවා වඩාගෙන දුම්රියට පැනීමට යන බව නිවැසියන්ට සැක සිතී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් ‘රොෂාන් ජානක’ නැමැත්තා ඔහු පසුපස ලුහුබැඳ විත් දුම්රිය වේදිකාවට ගොස් ඇති බවද වාර්තා වනවා.

එහිදී ඔවුන් බේරාගැනීම සදහා උත්සාහ කිරීමේදී තිදෙනාම දුම්රිය මාර්ගයට ඇදවැටී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධියේ මියගිය දරුවාගේ පියා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අනතුරට ලක්වූ කුඩා දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයේ තිබී මත්පැන් වර්ගයක් හමුවූ බවයි දුම්රිය නියාමකවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට ලක් වූ දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් දන් දීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම දරුවාගේ හදවත කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලට ලබා දෙන බවද මියගිය තරුෂගේ හදවතත් ඇස් දෙකත් දන් දෙන බවයි ඥාතීන් පවසන්නේ ෴


තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(14.10.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරක් මත මහනුවර පොලිසිය ඊයේ (13) පස්වරුවේ සිදු කළ වැටලීමකදීයි.

පල්ලෙකැළේ – නත්තරන්පොත ප්‍රදේශයේ දී ද පෙරේදා (12) සැකකටයුතු ලෙස ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් සහ ඊයේ (13) අත්අඩංගුවට ගත් පිරිස අතර යම් සබඳතාවක් පවතීද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා ෴


අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට (3) මාස හයක (6) සිර දඬුවම්

(14.10.2024 – 12:19 +0530 – hirunews.lk/sinhala)

රජයට අයවිය යුතු රුපියල් කෝටි 355 ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට (3) මාස හයක (6) සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා ෴

අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු (2) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ මාස 06 ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු (2) විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙනවා ෴


ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියයි

(14.10.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala)

2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එසේම පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන (3) සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණයක් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ෴


17 හැවිරිදි පාසල් සිසුවෙකු අතින් සිදු වූ අනතුරකින් අවුරුදු තුන හමාරක (3½) දරුවෙකු ජීවිතක්ෂයට

(14.10.2024 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ නගරයේ සිදු වූ රිය අනතුරකින් අවුරුදු තුන හමාරක (3½) පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අවුරුදු 17 ක පාසල් සිසුවෙකු ධාවනය කළ ජීප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ගම්පොළ බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබුණේ, ගම්පොළ දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන්.

අනතුරින් ත්‍රිරෝද රථය පෙරළී ඇති අතර, එහි සිටි රියැදුරු හා කුඩා දරුවෙකු ඉන් පිටතට විසි වී තිබුණා.

පොලිසිය පවසන්නේ, අනතුර සිදු කළ ජීප් රථය මාර්ගයේ වෙළදාම් කළ කරත්තයක හා තවත් ත්‍රිරෝද රථයක ද ගැටී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු සහ කුඩා දරුවා ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, පසුව දරුවා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට තම මිත්තණිය බැලීම සඳහා ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නමැති අවුරුදු තුන හමාරක (3½) දරුවෙක්.

ජීප් රථය පැදවූ පාසැල් සිසුවා ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර ඔහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) වසා තැබෙයි

(14.10.2024 – 16:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පවසනවා.

මේ අතර දිවයිනේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම එම නිවේදනයේ සඳහන් වෙන්නේ වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවයි.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 16 ක පවුල් 40,516 කට අයත් පුද්ගලයින් 158,391 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, ආපදාවට ලක්වූවන් ආරක්ෂිත ස්ථාන 79 ක රදවා සිටින බවයි.

එමෙන්ම, පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා අමතර භටපිරිස් ද යොදවා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *