විමල් වීරවංශ මැතිවරණයට තරග නොකරයි.. අනුර ‘දෙවැනි ගෝටාභය’ කරන්න ඉඩ නොදෙන බවත් කියයි..

විමල් වීරවංශ මැතිවරණයට තරග නොකරයි.. අනුර ‘දෙවැනි ගෝටාභය’ කරන්න ඉඩ නොදෙන බවත් කියයි..


විමල් වීරවංශ මැතිවරණයට තරග නොකරයි.. අනුර ‘දෙවැනි ගෝටාභය’ කරන්න ඉඩ නොදෙන බවත් කියයි..

(10.10.2024 – 11:20 +0530 – lankacnews.com)

‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඔහුගේ නායකත්වයෙන් යුතු ‘ජාතික නිදහස් පෙරමුණ’ සන්ධානගතව හෝ පක්ෂයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරයි.

අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ පක්ෂයේ නියෝජිතයන් හත් දෙනකු (7) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ අතර පාර්ලිමේන්තු විසුරුවා හරින විට ඉන් හතර දෙනකු (4) එම පක්‍ෂයෙන් ඉවත්ව වෙනත් පාර්ශවයන් වෙත සහාය දෙමින් සිටියහ.

පක්‍ෂයේ තීන්දුව දීර්ඝ ලෙස පහදමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය :

= විශේෂ මාධ්‍ය නිවේදනය =

රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව

මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි විය. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ආශ‍්‍රිතව ඇති වන අවිනිශ්චිත තත්ත්වයන් දඩමීමා කර ගනිමින් ගැටුම් ඇවිලවීම සහ අවසානයේදී බංග්ලාදේශයේ නිර්මාණය කළ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා ගත හැකි විය. ඒ පිළිබඳව අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප‍්‍රකාශ කරමු.

අපගේ දේශපාලන කියවා ගැනීම අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉතිහාසය විසින් නිර්මාණය කළ අතිශය තීරණාත්මක ගෝලීය භූ දේශපාලන වාතාවරණයක් සහ දේශීයව ගැඹුරු ආර්ථික සහ සමාජ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් තුළය. යුකේ‍්‍රනය මුල්කරගෙන බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් රුසියාවට එරෙහිව දියත් කළ යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ නිර්මාණය කෙරෙමින් පවතින යුද්ධය අද වන විට අධිරාජ්‍යවාදීන්ට යුදමය වශයෙන් පාරා වළල්ලක් බවට පත්වී ඇත. ඒ අතර මැදපෙරදිග ඊශ‍්‍රායලය යොදා ගනිමින් දියත් කෙරෙන රාජ්‍ය ත‍්‍රස්තවාදය ද අවසානයේදී එහි නිර්මාතෘවරුන්ට ආපසු හැරවිය නොහැකි අර්බුදයක් බවට පරිවර්තනය කෙරෙමින් ඇත.

ඊට සමගාමීව ගෝලීය ඛනිජ තෙල් වෙළඳපළ ආශ‍්‍රිතව පවත්වාගෙන යනු ලැබූ ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය නිර්මාණය කිරීම සඳහා ප‍්‍රබල උපාංගයක් ලෙස යොදාගත් ගිවිසුම වසර 50 කට පසුව සෞදි අරාබියාව විසින් නැවත බලාත්මක නොකිරීම නිසා ඩොලර් ආධිපත්‍යය මගින් ලෝකය පාලනය කිරීමේ එක් උත්සාහයක් බිඳ වැටී ඇත. එසේම ලෝක ආර්ථිකයෙන් 40% ක් සහ ලෝක ජනගහනයෙන් 60% ක් නියෝජනය කරන BRICS රටවල් සමූහය විසින් සෙසු රටවල් සහභාගී කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් ආධිපත්‍යය බිඳදැමීම සඳහා නව ගෝලීය මූල්‍ය පද්ධතියක් ආරම්භ කිරීම සමග ඇමෙරිකාව ප‍්‍රමුඛ NATO යුද සන්ධානය බරපතළ උභතෝකෝටිකයකට මුහුණ දී ඇති බව ඉතා පැහැදිලිය.

පසුගිය දිනවල ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ ආකාරයට ඇමෙරිකාවේ CIA ඔත්තු සේවාවේ ප‍්‍රධානී විලියම් බර්න්ස් සහ බි‍්‍රතාන්‍යයේ MI6 ඔත්තු සේවාවේ ප‍්‍රධානී රිචඞ් මුවර් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රසිද්ධියේ එකට පෙනී සිටිමින් ප‍්‍රකාශ කරන්නේ 21 වැනි සියවසේ බලගතුම අභියෝගයකට මුහුණ දීමට තමාට සිදුවී ඇති බවය. ඔවුන් අභියෝගයට මුහුණ දෙන සෑමවිටම සමස්ත ලෝක ජනතාව අර්බුදයට තල්ලු කිරීම සඳහා යුද්ධය ප‍්‍රවර්ධනය කරන බව රහසක් නොවේ.

එසේම රුසියාව සහ චීනය සතු න්‍යෂ්ටික සහ සෙසු යුද බලය මෙන්ම රුසියාව විසින් තම න්‍යෂ්ටික බලය භාවිතා කිරීමට අදාළ ප‍්‍රතිපත්තිය නැවත ස්ථානගත කරන බව ප‍්‍රකාශ කිරීම තුළ අධිරාජ්‍යවාදී බලවේග බලවත් කැළඹීමකට ලක්වී ඇති බව ඉහත ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. ඊට අමතරව රුසියාවේ සහ චීනයේ ආර්ථිකය බිඳවැට්ටවීමට සහ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට දියත් වූ අධිරාජ්‍යවාදී මෙහෙයුම් අසාර්ථක වීම සහ ඊට ප‍්‍රතිවිරුද්ධව එම රටවල් ආර්ථික වශයෙන් බලවත් වීම තුළ ඊට මුහුණ දීම සඳහා ඉහත සඳහන් කළ ඔත්තු සේවා විසින් සැලසුම් සකස් කරන බව දැන් ලෝකයට රහසක් නොවේ.

එම සැලසුම් තුළ දකුණු චීන මුහුදේ සිට අප රට කේන්ද්‍රකර ගනිමින් අරාබි මුහුද සහ රතු මුහුද හරහා අත්ලාන්තික් සාගරය දක්වා ගමන් කරන ලෝකයේ ප‍්‍රධානතම නාවික මාර්ගයට ප‍්‍රබල භූ දේශපාලන වැදගත්කමක් හිමිවන බව ඉතා පැහැදිලිය. ඒ අනුව ඉන්දු පැසිෆික් කලාපය තුළ ගොඩනැගෙමින් පවතින භූ දේශපාලන සහ යුදමය ආතතිය තුළ ශ‍්‍රී ලංකා රාජ්‍යය සහ ජනතාව කටයුතු කරන ආකාරය මගින් ශ‍්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු වනු ඇත.

එම ගෝලීය තත්ත්වය පසුගිය ජනාධිපතිවරණය තුළ ද පිළිබිඹු වූ බව අප විසින් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම විදේශීය බලවේග විසින් හසුරුවනු ලබන දේශපාලන කණ්ඩායම්වලට බලපෑම් කිරීමේ හැකියාව වැඩි දිස්ත‍්‍රික්ක 7 ක සහ යම් ආසනවල ඡන්ද ප‍්‍රතිඵල අනුව ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය තුළ ඔවුන්ගේ අපේක්ෂා ඉටුවී නොමැති බව පැහැදිලිය. නමුත් එම අපේක්ෂාව වෙනත් ආකාරයකට ඉටු කර ගැනීම සඳහා පත් වූ ජනාධිපතිවරයාගේ අත ඇඹරීමට එම බලවේග ක‍්‍රියා කරන බව දේශපාලනයේ ‘අ’ යන්න දන්නා ඕනෑම අයකුට වටහා ගත හැක. ඊට කැමැත්තෙන් යටත්වනවා ද නැතහොත් ප‍්‍රතිවිරෝධය දක්වනවා ද යන්න තීරණය වන්නේ පුද්ගල සාධකවලට වඩා රටේ ජනතාවගේ දැනුම්වත්භාවය සහ මැදිහත්වීම මත බව අපගේ දේශපාලන කියවීම වේ.

නමුත් නව ජනාධිපතිවරයාට ඇමෙරිකානු තානාපතිවරියගේ සහ ඉන්දියානු තානාපතිගේ දෙපා මැදින් රිංගා එම බලපෑම්වලින් ගැලවිය හැකි යැයි යම් පිරිසක් කල්පනා කරන බව පෙනේ. එසේ වුවත් හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා ලෙස 2015 දී නිර්මාණය කළ සහ ඉන්පසුව සැලසුම් සහගතව පිටුපස දොරෙන් ජනාධිපති කාර්යාලයට කඩාවැදීමෙන් පසුව උත්සන්න කළ ආර්ථික අර්බුදයේ මූල හේතු එසේම පවතින තත්ත්වය තුළ සහ ඒවා වෙනස් කිරීම සඳහා ප‍්‍රමුඛතාවක් ලබා දෙන බවක් නොපෙනෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ ගමන පහසු නොවන බව ඉතා පැහැදිලිය.

විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ගෝලීය භූ දේශපාලන තත්ත්වයන් තුළ ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීම දක්වා වන උපායමාර්ගික අරමුණක් සහිත අර්ථික ඒකාබද්ධකරණ උපාංග ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ බලපෑම් එල්ල වනු ඇත. ඊට අදාළව හිටපු ජනාධිපතිවරයා විසින් 2023 ජූලි 21 වන දින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ඇතිකරගත් එකඟතාව අනුව ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 5ක් ක‍්‍රියාත්මක කිරීම සහ එට්කා ගිවිසුම අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට වත්මන් ජනාධිපතිවරයාට බැඳීමක් ඇතිවී තිබේ. (2023 ජූලි 21 ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය බලන්න)

ඉන්දියානු භූ දේශපාලන න්‍යාය පත‍්‍රය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් ඊළාම් රාජ්‍යය හෙවත් ඉන්දියාවේ 30 වැනි ප‍්‍රාන්තය නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලිය ද අන්තර්ගත වන බව එරට විදේශ අමාත්‍යවරයා විවිධ අවස්ථාවල සිදුකළ ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. ඉන්දියානු න්‍යාය පත‍්‍රයට සමගාමීව ක‍්‍රියාත්මක වන ඇමරිකානු න්‍යාය පත‍්‍රය අනුව 2019දී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ SOFA ගිවිසුම පිළිබඳ සාකච්ඡා අනුව ඊට අදාළ ඇමුණුම ‘බී’ ලේඛනය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ද වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු SOFA ගිවිසුම තුළ ලෝකයේ සෙසු රටවල් සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට වඩා බරපතළ වෙනස්කම් ඇත. එහි ඇමුණුම ‘බී’ ලේඛනය අනුව ශ‍්‍රී ලංකාවේ රජය එම ඇමුණුමට එකඟතාව පළ කළහොත් රට තුළට ඇතුළු වන ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට සහ ඔවුනට සේවා සපයන සමාගම්වලට රටේ ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට හැකියාව ඇත. එසේම එම නිලධාරීන්ට පූර්ව දැනුම්දීමකින් තොරව ශ‍්‍රී ලංකාවේ ඕනෑම තොටුපළකින් රට තුළට ඇතුළුවීමේ හැකියාව ඇති අතර ඔවුන්ට නිල ඇඳුම සහිතව හෝ එසේ නොමැතිව සහ ආයුද සන්නද්ධව හෝ එසේ නොමැතිව, ගුවනින්, මුහුදින් හෝ ගොඩබිමෙන් රට තුළ ගමන් කළ හැක. ඔවුන්ගේ ගමන් මළු හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර ඔවුන් රටේ නීතිය උල්ලංඝනය කළ අවස්ථාවක අධිකරණමය ක‍්‍රියාමාර්ග ගත නොහැකි අතර අදාළ චෝදනා ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා නිල වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නැමැති නව දේශපාලන ව්‍යාපාරයට, එහි මූලික බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණට පරිබාහිරව එකතු වූ සහ එකතු කළ බලවේගවල අපේක්ෂා සහ ජනතා විමුක්ති පෙරමුණ සතු අතීත උරුමය නියෝජනය කරන බලවේගවල අපේක්ෂා අතර ගැටුමට මුහුණ දීමට ද ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එම ගැටුම අධිරාජ්‍යවාදී බලවේග විසින්ම නිර්මාණය කළ හැකි සහ තීව‍්‍ර කළ හැකි බවට අපට නම් කිසිදු සැකයක් නැත.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්‍ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටියි. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ. එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ.

පළමුවැන්න සම්ප‍්‍රදායනුකූල විරුද්ධ විපක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමය. අපගේ කියවීම අනුව දෙවැන්න වන්නේ මහජන අපේක්ෂා නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවය. ජාතික බලවේගවලට මානසික බාධක පනවනු ලබන යම් පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහාය දීමක් ලෙස නිර්වචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත්විට පාර්ලිමේන්තුව තුළ ඉටු කර කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ.

එසේම පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප‍්‍රදායනුකූල විපක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක‍්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු. එම නිසා ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ නොකරන බව රටේ මහජනතාව වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

මෙම තීන්දුව අපගේ පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත‍්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව තවදුරටත් දන්වා සිටිමු. එසේම ඉදිරි දින කිහිපය තුළ ඉදිරි මැතිවරණය තුළ සහ ඉන්පසුව ඇති වන දේශපාලන ක‍්‍රියාන්විතය තුළ බෙදීම ඇතිවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපගේ යෝජනා හෙවත් ප‍්‍රතිපත්තිමය බෙදීමට අදාළ ප‍්‍රකාශය එළිදක්වන බව ද දන්වා සිටිමු.

අවසාන වශයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා ‘දෙවන ගෝඨාභය’ බවට පත්කිරීම සඳහා රටට සතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් අප පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පොදු මහජනතාවට සහතික වෙමු.

මේ වගට,
(විමල් වීරවංශ)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)
2024-10-10

පිටපත්:-

  1. මහා සංඝරත්නය
  2. සභාපති, මැතිවරණ කොමිෂන් සභාව
  3. සියලු දේශපාලන පක්ෂ

රුපියල් කෝටි 6 ක නීතිවිරෝධී මත්කරල් තොගයක් අල්ලයි

(10.10.2024 – 09:20 +0530 – sinhala.adaderana.lk)

පාසල් ළමුන් සහ තරුණයින් සඳහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීතිවිරෝධි මත් කරල් තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔහු සතුව මත් කරල් 599,000 ක් තිබූ බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

සැකකරු මත්කරල් ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් ද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබුණි.

මත් කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 6 කට ආසන්න බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි ‘සුජි’ නැමැති පුද්ගලයෙකු විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදී මෙම මත්කරල් තොගය ලබාදුන් බවය.

පසුව ඔහුගේ උපදෙස් මත එම මත්කරල් තොගය කොළඹ ප්‍රදේශවලට රැගෙන ආ බවත් සැකකරු පොලීසිය හමුවේ අනාවරණය කර ඇත ෴


කවුද මේ සලේ ? මෙයා මොනවද කලේ ? රාජපක්ෂලා වෙනුවෙන් සලේ මිනීමරපු හැටි (10.10.2024)

+

05.10.2024

+


නීතිවිරෝධීව එකලස් කළ BMW රථයක් ගැන එළියට ආ කතාව – ජොන්ස්ටන් ට විදෙස්ගමන් තහනමක්

(10.10.2024 – 17:01 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

ඒ නීතිවිරෝධිව එකලස් කරන ලද ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි සිදුකළ විමර්ශනයක් පිළිබඳ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදි විමර්ශන නිලධාරීන් කියා සිටියේ ‘WP C 24-0430’ දරණ ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් පරික්ෂා කළ බවයි.

අදාළ BMW රථය පිළිබඳ හෝටලයේ ආරක්ෂක කළමණාකරුගෙන් සිදුකළ විමසීමේදී හෝටලයේ දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එම මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් නවතා ඇති බව අනාවරණය වූයේ යැයි විමර්ශන නිලධාරින් කරුණු දැක්වීය.

ගාමිණී අබේරත්නගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවත්, පසුව රැගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර කාර් රථය රියදුරෙකු අත හෝටලයට එවූ බවයි.

පසුව එම හෝටලයේ ආපනශාලා කළමණාකරු ලෙස සේවය කළ ප්‍රසිලා සමන්ති නැමැත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරින් කටයුතු කර තිබුණි.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයක් BMW රථයේ තිබී හමුවුවත් මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිදු ලේඛනයක් එහි නොතිබූ බවයි.

අනතුරුව විමර්ශන නිලධාරින් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ ‘WP C 24-0430’ දරණ අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කිරීමේදී එහි හිමිකාරිත්වය සටහන්ව ඇත්තේ, නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකි.

පසුව එම සමාගමේ හිමිකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්ත ද, තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තෙකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බවයි.

පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේදී එම චැසි අංකයට අදාළ වාහනයක් නිත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර් රථය පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවයි.

එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයේ භාවිත කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කොළඹ පිහිටි හෝටලයක නමට ඇති KM 5421 දරණ කාර් රථයේ අංකය බව ද මෙම විමර්ශනයේදී අනාවරණ වී තිබුණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ, බදු වංචා කරමින් නීතිවිරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීතිවිරෝධිව භාවිත කිරීම යන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකර ඇති බවයි.

ඒ අනුව විදෙස් ගමන් තහනම් කරන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පවරනු ලැබීය.

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Weerawnasa the mad orator, fake “faster till death”. This guy has no real feel for nationalism, or saving the country. His only interest is saving himself. We have seen his diabolical performance as a minister in Rajapassa regime, as well as his family abusive performance with minister’s privileges. One of the prominent abusers of MP’s/ Minister’s privileges, he is very likely to be somewhere near the top of the list of those likely to be prosecuted when the new government is returned, and settled down. He knows it is better to escape from the country before that, instead of sitting at home after failing to be elected this time.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *