වැරදි වකුගඩු සැත්කමෙන් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග

වැරදි වකුගඩු සැත්කමෙන් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග


වැරදි වකුගඩු සැත්කමෙන් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග

(09.10.2024 – lankadeepa.lk)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි (3) දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂිකාරයෙකු ලෙස නොව සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (09) නියෝග කළේය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂි විභාගය මග හරිමින් විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් (2) වයස හම්දි දැරියගේ ‘වම් වකුගඩුව අක්‍රියවීම’ හේතුවෙන් එය ඉවත් කිරීමට 2022 දෙසැම්බර් 22 වන දින කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට (6) පමණ පසුව ‘දකුණු වකුගඩුව නොමැතිව දරුවා මිය යාමේ’ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ඊයේ (08) මෙම පැමිණිල්ල පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ වෛද්‍යවරයාට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවීය.

දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් මහතාගේ සාක්ෂි ‘ස්කයිප් තාක්ෂණය’ ඔස්සේ කැඳවීමට නියම කර තිබුණද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවට පෙනී යන බව ද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය ෴

(සිදුකල අපරාධය : සැත්කමෙන් ඉවත්කර තිබෙන්නේ අක්‍රිය වම් වකුගඩුව නොව නිරෝගී දකුණු වකුගඩුවයි !)


ඔන්ලයින් මූල්‍ය වංචා කළ විදේශිකයෝ 1000 ක් මෙම වසර (2024) තුළදී අත්අඩංගුවට

(10.10.2024 – dinamina.lk)

සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ හෝටල් හා සංචාරක නිවාඩු නිකේතනවල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මකව මූල්‍ය වංචාවල නිරත වූ විදේශිකයන් 1000 කට ආසන්න පිරිසක් මෙම වසර (2024) තුළදී පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. ගෙවී ගිය සතිය තුළදී ද 100 කට වැඩි විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර පෙරේදාත් (08) චීන ජාතිකයන් 39 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පානදුර උතුර පොලිසියේ නිලධාරීන් විසින් අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය.

සංචාරක වීසා මත මෙරටට පැමිණ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැකියාවක් සිදු කිරීම හා සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනා ගන්නා ලද පුද්ගලයන් හට විවිධ ආයෝජන ක්‍රම හඳුන්වාදී එම බැංකු ගිණුම් වෙත අනවසර ප්‍රවිෂ්ටය සිදු කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම චීන ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

චීන ජාතික කාන්තාවන් 04 දෙනකු හා චීන ජාතික පිරිමි පුද්ගලයන් 15 දෙනකු නාවල, කොස්වත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරුවන් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් 20 දෙනකු පාණදුර උතුර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 22 ත් – 49 ත් අතර වයස්වල පසුවන අයවලුන්වේ.

එම පුද්ගලයන් සතුව තිබී ලැප්ටොප් 5 ක්, ජංගම දුරකතන 437 ක්, තරාදියක්, USB කේබල් 332 ක්, ජංගම දුරකතන චාජර් 133 ක්, USB වයර් කෝඩ් 21 ක්, රවුටර් 17 ක්, අයි ෆෝන් 2 ක් සහ තවත් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ලැගුම්ගෙන සිටි හෝටලයෙන් ආහාර ලබාගෙන ඇති අතර මාසිකව රුපියල් ලක්ෂ විස්සක (20) කුලී පදනම මත එම හෝටලයේ ඔවුන් රැඳී සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

මොවුන් සියලුදෙනා ඊයේ (09) පාණදුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඔවුන් මූල්‍ය අපරාධය සිදුකර ඇත්ද යන්න සොයා බැලීම සඳහා විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය ඔක්තෝබර් 06 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හංවැල්ල පොලිස් වසමේදී අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිස පෙරේදා (08) අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතර සම්බන්ධතාවක් තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදුකරමින් පවතින බව පොලිසිය සඳහන් කළේය.

පාණදුර උතුර පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


තනිකඩයෙකු සමග දින දෙකක් (2) ගත කළ තරුණ මව සිඟිත්තා කාමරේ දමා තරුණයාගේ දුරකතනයත් ගෙන පලා ගිහින් !

(10.10.2024 – dinamina.lk)

විසිහතර හැවිරිදි තරුණයකු සමඟ හාද වී ඇති, අවුරුදු 3 ක් පමණ වයසැති දරුවකු ද සිටින තරුණ මවක ඒ තරුණයාගේ බොඩිමට දරුවා ද රැගෙන පැමිණ, ඔහු සමඟ දින දෙකක (2) කාලයක් එහි ගත කර, දරුවා ද එහි දමා, තරුණයාගේ ජංගම දුරකතනය ද සොරාගෙන පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

මේ සිද්ධියට මුහුණපෑ තරුණයා පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹට ගොස් සිටියදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මේ තරුණ කාන්තාව මුණගැසී ඇති අතර, එහිදී දෙදෙනා ඔවුන්ගේ ජංගම දුරකතන අංක හුවමාරු කරගෙන ඇති බවත්, දින කිහිපයක් ඇතුළත දෙදෙනා පෙම්වතුන් වී ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. ඉන් පසු මේ යුවතිය සිය අතදරුවා ද රැගෙන නිට්ටඹුව වතුපිටිවල පිහිටි තරුණයාගේ බෝඩිම් කාමරයට ඉකුත් 18 දා පැමිණ ඇති බව ද තරුණයා සමඟ දින දෙකක (2) කාලයක් කාමරයේ ගත කර ඇති ඇය සිය පුතු තරුණයා අසල තනි කර දමා තරුණයාගේ ජංගම දුරකතනය ද සොරාගෙන අලුයම් කාලයේ රහසිගතව පලාගොස් ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත.

කාන්තාව පලාගිය දින සිට ඇයගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බව තරුණයා මේ පිළිබඳ පොලිසියට කළ ප්‍රකාශයෙහි දැක්වේ. ඇය දරුවා රැගෙන යෑමට පැමිණෙනු ඇතැයි සිතා තරුණයා සිය රැකියාවට ද නොගොස් දරුවා ආරක්ෂා කරගෙන බෝඩිම් කාරමයේම රැඳී සිට ඇත. මේ අතර මවක හෝ කාන්තාවක නැති කාමරයක අතදරුවකු සහ තරුණයකු සිටින බවට තොරතුරු ලැබුණ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එහි ගොස් දරුවා පිළිබඳ තොරතුරු විමසා දරුවා පරීක්ෂා කර බලා පිටව ගොස් ඇති බවද පොලීසිය කියයි.

අතදරුවකු සමග තරුණයකු පමණක් කාමරයක සිටින බවට පොලිස් හදිසි ඇමතුම් 119 දුරකතනය ඔස්සේ පුද්ගලයකු විසින් කරන ලද දැනුම් දීමකට අනුව පෙරේදා (08) නිට්ටඹුව මූලස්ථාන පොලීසියේ පිරිසක් තරුණයාගේ කාමරය සොයාගොස් තරුණයා සමඟ අතදරුවා පොලිස් භාරයට ගෙන ඇත.

නිට්ටඹුව ඕර්චඩ්වත්ත ග්‍රාමයේ පදිංචිකරුවකු වන තරුණයා වතුපිටිවල නගරයේ බෝඩිමක රැඳී සිටිමින් අලව්ව නගරයේ පිහිටි කොසු ඉදල් නිපදවන වැඩපළක සේවය කරන්නකු බවද පොලිසිය කියයි. තරුණයා සහ අත දරුවා ඊයේ (09) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී බී.සී. ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා නිට්ටඹුව මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) සුමිත් චන්දන කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ නිට්ටඹුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි (පො.ප) වසුන්දරා ගුණරත්න, එහි (කා.පො.සැ) නිර්මලා කරුණාරත්න (5172), (කා.පො.කො) දීපිකා නිශාන්ති (6690), (පො.කො) එම්.ඒ. ධනංජය (76136) මහත්ම මහත්මීහු දරුවාගේ මව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වති.


ජා ඇලින් පටන් ගත්ත භයානක ඌරු රෝගයක් | දැන් කොළඹටයි කළුතරටයි පැතිරිලා (10.10.2024)

(සූකර කර්මාන්තයේ යෙදී සිටින, තම මරණයෙන් පසු සතර අපායේ දුක්විඳීමට නියමිත, සූකරයන්ගේ දැනගැනීම සඳහා යි)

+


රුපියල් ලක්ෂ 40 ක පෙරගෙවුම් කාඩ්පත් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

(10.10.2024 – 15:21 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ජාවත්ත පාර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ජංගම දුරකතන අලෙවි සැලක් බිද රුපියල් ලක්ෂ 40 ක පෙරගෙවුම් කාඩ්පත් සොරාගත් තරුණියක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඔවුන් මෙම පෙරගෙවුම් කාඩ්පත් කලුතර ප්‍රදේශයට රැගෙන ගොස් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් තරුණයා මීට පෙර අදාළ ජංගම දුරකතන අලෙවිසැලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ අයෙකු බව සදහන් ෴


බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

(10.10.2024 – dinamina.lk)

පසුගිය කාල සීමාවේදී මෙරට ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා සහ බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර වගකිව යුතු දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කාල සීමාවේදී බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වූ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ට මේ දක්වා සාධාරණයක් ඉටු නොවූ නිසා මේ සම්බන්ධව සොයා බලා කඩිනමින් පියවර ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කුමන අමාත්‍යවරයා බලයට පත් වුවත් සෞඛ්‍ය සේවය තුළ ඇතැම් නිලධාරීන් අඛණ්ඩවම තම ඒකාධිකාරිය පවත්වාගෙන යාමට උත්සාහ දරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පූර්ණ පරිවර්තනයක් සිදුවීම අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවේය ෴


ඉන්දීය චිත්‍රපටය උඩරට දුම්රිය ධාවනයට හරස් වෙයි

(10.10.2024 – dinamina.lk)

ඇල්ල ආරුක්කු 09 පාලම සහ ඒ ආශ්‍රිතව ඉන්දීය චිත්‍රපටය රූගත කිරීමක් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම පෙර සූදානමකින් තොරව කඩිමුඩියේ ගත් තීරණයක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය. චිත්‍රපට නිෂ්පාදනයක් සිදුකරන විට එය කල්තියා සැලසුම් කර සිදුකරන්නක් බැවින් ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව කල්තියා මගීන් දැනුවත් කිරීමට ඕනෑතරම් කාලයක් තිබුණ ද කලබලයෙන් මෙන් හෙට දුම්රිය ධාවනය කරන පෙර දින සවස නිවේදනය කිරීම ගැටලුසහගත බව දුම්රිය සේවකයෝ පවසති. මෙම නිවේදනය නිකුත් කරන විටත් චිත්‍රපටයේ නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ඇතුළු කාර්ය මණ්ඩලය ද නළු නිළියන්ද මෙරටට පැමිණ සිට ඇති බවත් ඒ අය වෙනුවෙන් ඇල්ලේ හෝටල් වෙන් කරගෙන සිට ඇත්තේ කල්තියා බව පෙනී යන බවත් ඒ අය පවසති.

චිත්‍රපට නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සීමා කරමින් ධාවනය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරු පවා දැනගන්නේ පෙරේදා (09) සවස බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා චෝදනා කරයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ‘දිනමිණට’ පවසා සිටියේ අදාළ චිත්‍රපට නිෂ්පාදන සමාගම මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 230 ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවත් රුපියල් මිලියන 48 ක ඇප තැන්පතුවක් ද කර ඇති බවත්ය.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ තෙලිඟු චිත්‍රපටයක් බවත් භාෂා 18 කට හඬකවා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව දැනුවත් කර ඇති බවත් ඔහු පැවසුවේය.

ඇල්ලේ ආරුක්කු පාලම ආශිතව මෙම චිත්‍රපටය 09 වැනිදා සිට 15 වැනිදා දක්වා රූගත කිරීම් කෙරන බවත් චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කිරීමට කාලය ඉල්ලා ඇත්තේ උදෑසන 09:00 ත් සවස 03:30 ත් අතර කාලයේ බවත් ඉඳිපොලගේ මහතා පවසයි.

මෙම චිත්‍රපට නිෂ්පාදන කටයුත්ත ආරුක්කු පාලම හා ඒ අවට රූගත කිරීම් සඳහා අවසර ඉල්ලා යෝජනවා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුනේ මෙයට මාසයකට පමණ පෙර බවත් ඒ සඳහා ඔවුන් මුදල් ගෙවීම් කරමින් රූගත කිරීම් සඳහා 09 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය අවශ්‍ය බව දැනුම්දෙනු ලැබුවේ පෙරේදා (08) බවත් ඉඳිපොලගේ මහතා පැවසීය. මෙම චිත්‍රපට නිෂ්පාදනය ඉන්දු – ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක්දැයි පැහැදිලිවම දැන සිටින්නේදැයි ඉඳිපොලගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා ඒ ගැන වැඩි තොරතුරක් නොදන්නා නමුත් මේ සඳහා අවසර ගැනීම් ඇතුළු කටයුතුවලට සම්බන්ධ වූයේ දේශීය ආයතනයක් බවය. එම ආයතනය චිත්‍රපට නිෂ්පාදන සමාගමක්දැයි තමා නොදන්නා බව ද ඔහු පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ කාලය තුළ සිදුවන්නේ කොළඹ සිට ඇල්ල දක්වා පමණක් බව ද ඔහු පැවසුවේය. ඇල්ල හා බදුල්ල අතර මගී ප්‍රවාහනයට බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් කලින් ආසන වෙන් කරගෙන ඇති ඔඩිසි දුම්රියේ මගීන් වෙනුවෙන් සහ සාමාන්‍ය දුම්රියේ පළමු පන්තියේ ආසන වෙන් කරගත් මගීන්ට සුඛෝපභෝගි බස් රථ යෙදවීමට පවා කටයුතු කර ඇති බව ද ඉඳිපොලගේ මහතා පැවසීය. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් වැය නොවන බව ද ඔහු සඳහන් කළේය.

“උඩරට මාර්ගයේ කොළඹ ඉඳන් යන මගීන්ගෙන් වැඩි දෙනකු ඇල්ලට එනකොට බැහැලා. දියතලාව, නානුඔය සහ ඇල්ල සංචාරක කලාපයි. ඒ නිසා ඇල්ලේ ඉඳන් බදුල්ලට ලොකු සෙනඟක් ගමන් කරන්නේ නැහැ” යැයි ද ඉඳිපොලගේ මහතා පැවසීය.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා නිෂ්පාදකයන් මෙරටට පැමිණියේ වෙනත් රටක රූගත කිරීම් රැසක් සිදුකිරීමෙන් අනතුරුව බව ද ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.

මෙම චිත්‍රපටය රූගත කරන්නේ ආරුක්කු පාලම ආශ්‍රිතවයි. මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය වනකොට ශ්‍රී ලංකාවේ ආරුක්කු පාලම කෙරෙහි විශාල සංචාරක ආකාර්ෂණයක් ද ඇති වේවි. යැයිද ඉඳිපොලගේ මහතා කීය.

කොළඹ කොටුවෙන් උදෑසන 05:55 ට ධාවනය වන පොඩි මැණිකේ දුම්රියත් උදෑසන 05:30 ට කොළඹ කොටුවෙන් ධාවනය වන ඔඩිසි දුම්රියත් සුපුරුදු ලෙස ධාවනය වන බවත් එම දුම්රිය ඇල්ලෙන් ගමන් අවසන් වන බවත් ඉඳිපොලගේ මහතා පවසයි.

බදුල්ලෙන් කොළඹ බලා පොඩි මැණිකේ දුම්රියත් ඔඩිසි දුම්රියත් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වන බව ද ඔහු පවසයි. මේ හැරුණු කොට බදුල්ලෙන් උදෑසන 11:00 ට මහනුවර බලා ධාවනය වන දුම්රිය ද ඇල්ලෙන් ගමන් ආරම්භ කරන බව ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.

මෙම වේලාවන් හැරුණු කොට රාත්‍රී තැපැල් දුම්රියන් සුපුරුදු ලෙස ධාවනය වන බව ද ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසුවේය ෴

++++++++

+


කෝ විමල්…සර්වජන බලයෙන් ගිහින්ද..? (10.10.2024)

+

10.10.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *