බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින්

බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින්


බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය තදින්

(07.10.2024 – 22:24 +0530 – sinhala.adaderana.lk)

මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරාගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්.එම්.එන්.එස්.බී. දිසානායක මහතා ඒ බව සඳහන් කළේය.

කෙසේ නමුත් බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“අද සිට අපේ නිලධාරීන් හිඟ බදු අය කරගැනීම සඳහා පරිශ්‍රයට පැමිණෙනවා. එම නිලධාරීන් කවුරුන්දැයි හරියට හඳුනාගන්න. ඒ අය අප දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පැළඳ සිටිය යුතුයි. කිසිම විටක චෙක්පත් හෝ මුදල් හෝ කිසිම දෙයක් භාරගන්නේ නැහැ. ඒ නිලධාරීන් හැමවිටම උපදෙස් දිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ගිණුමට අදාළ හිඟ බදු ගෙවා කටයුතු කරන ලෙස.

මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අයකළ යුතු හිඟ බදු පවතී නම් ඒ සියල්ලක්ම අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. නීතියට අනුව තදින් කටයුතු කරන කොට බැංකු ගිණුම් තහනම් කිරීම, දේපොළ පවරාගැනීමට පවා අපට බලය තියෙනවා” ෴

++++++++++

+


නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි

(07.10.2024 – 15:23 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුට නියමකර තිබූ වන්දි මුදල රුපියල් මිලියන 75 කි.

එම නඩුකරය අද (07) දහවල් කැදවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා මේ බව දැනුම් දුනි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ වගඋත්තරකරු විසින් අද (07) දින ඔහුට නියම කළ වන්දි මුදලේ ඉතිරිය වූ රුපියල් මිලියන 65 ක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.

මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම කළේය ෴


පුපුරන ද්‍රව්‍ය වෙළෙඳාමේදි රුපියල් කෝටි ගණන් වංචා සිදුවෙලා

(08.10.2024 – dinamina.lk)

  • රජය මඟින් පමණක් කළ ‘ඇමෝනියම් නයිට්‍රේට්’ ආනයනය ඩොලර් අර්බුදය හමුවේ පෞද්ගලික අංශයටත් දීලා
  • ජනපතිවරණයට දින කිහිපයකට පෙර හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ හිතවතුන්ට අලෙවි බලපත්‍ර නිකුත් කරලා

පුපුරන ද්‍රව්‍ය ආනයනයේ දී බෙදාහැරීමේ දී සහ සහ බලපත්‍ර නිකුත් කිරීමේ දී පසුගිය රජය සමයේ දී රුපියල් බිලියන ගණනක මහා පරිමාණ වංචා රැසක් සිදුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනපතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ‘සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය’ පවසයි.

ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පුපුරන ද්‍රව්‍ය අලෙවි බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර තිබෙන බවත් එම බලපත්‍රවලට අදාළව මහව සහ මහනුවර ප්‍රදේශවල මේ වනවිටත් ගබඩා ඉදි කෙරෙමින් පවතින බවත් එම සංසදය පෙන්වා දෙයි.

මහනුවර පේරාදෙණිය තානායමේදී පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවක දී ‘සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ’ නියෝජිතයන් මෙම අනාවරණය කළේය.

එහිදී අදහස් දැක් වූ එම සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා මෙම ක්ෂේත්‍රයේ පවතින වංචා, දූෂණ හා ගැටලු පිළිබඳව පුපුරන ද්‍රව්‍ය පාලක වශයෙන් කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කිරීමට කාලයක් තිස්සේ උත්සාහ කළත් ඔහු කිසිවකුට හෝ ඇහුම්කන් නොදුන්නේ යැයි පැවසුවේය.

මෙම ප්‍රශ්න සම්බන්ධව මාධ්‍ය හමුවේ හෝ ප්‍රකාශ කිරීමට නොහැකි වාතාවරණයක් රටේ පැවැතුණු බවත් එම අවස්ථාවේ ආරක්ෂක ලේකම්ට හෝ රජයේ ඇමැතිවරයකුට චෝදනා කළේ නම් තම බලපත්‍ර අහෝසි කිරීමට ඉඩ තිබූ බවත් කී ඒ මහතා වංචාව හා දූෂණය පිටුදැකීමට කටයුතු කරමින් සිටින වත්මන් ජනපතිවරයා යටතේ තම ගැටලුවලට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ බලපත්‍ර තහනම් කළ නමුත් පසුව එම බලපත්‍ර සක්‍රිය කළ බව ද හෙතෙම අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාර සිද්ධියෙන් අනතුරුව අලෙවිකරුවන් වෙත පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් තහනම් කිරීම නිසා රටේ කළුගල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ඇනහිටීමෙන් ගැටලු රැසක් මතු වූ බවත් පුපුරන ද්‍රව්‍ය ලබා ගැනීමට තම සංසදය මඟින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් හිටපු ඇමැතිවරයෙකුට ලබාදුන් බවත් සූර්ය කුමාර විජේරත්න මහතා කීවේය.

‘සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ’ තාවකාලික ලේකම් රාජපක්ෂ සිඩ්නි ගුණතිලක මහතා අදහස් දක්වමින්, පුපුරන ද්‍රව්‍ය අලෙවි නියෝජිතයන් 82 කු ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටින බවත් ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් ‘ඇමෝනියම් නයිට්‍රේට්’ හිඟවීම නිසා එතෙක් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් පමණක් කළ ආනයන කටයුතු පෞද්ගලික අංශයටත් ලබා දීමට තීරණය වූ බවත් පැවසුවේය.

ඒ අනුව දේශපාලනඥයන්ගේ හිතවතුන් මෙරටට ‘ඇමෝනියම් නයිට්ට්‍රේට්’ ආනයනය කර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මඟින් රුපියල් 910 ට ලබාදුන් කිලෝව රුපියල් 2117 ට අලෙවි කරමින් අධික ලාභයක් ලබාගත් බවත් මෙම මුදල් හිටපු රජයේ ප්‍රබලයන් අතර බෙදී ගිය බවට සැක කරන්නට ඕනෑ තරම් හේතු පවතින බවත් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

බිත්තරයක්, හාල් කිලෝවක් වැඩි මිලට අලෙවි කළොත් වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීම් සිදු කරන නමුත් පෞද්ගලික ව්‍යාපාරිකයන් පුපුරන ද්‍රව්‍යවලින් අධික ලාභ තබා ගනිත්දී ආරක්ෂක ලේකම් හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිදු පියවරක් නොගත් බව ද ඒ මහතා කීය.

ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ මෙරටට ‘ඇමෝනියම් නයිට්‍රේට්’ ආනයනය කරන ලද කේ.ඩී.එන්. කෘෂාන්ත මහතා පැවසුවේ තමන් සතුව විදේශ රටක ලියාපදිංචි ව්‍යාපාරයක් පවතින බවත් එමඟින් ශ්‍රී ලංකාවට අවශ්‍යය පුපුරන ද්‍රව්‍ය ආනයනය කළ බවත් ය.

‘රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව’ට සහ පෞද්ගලික අංශයට තමන් පුපුරන ද්‍රව්‍ය ලබා දුන්නේ එකම මිලකට බවත් ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික ව්‍යාපාරිකයින් අධික ලාභයක් තබා ගනිමින් ඒවා අලෙවි කරත් දී එය පාලනය කිරීමට රජය කටයුතු නොකළේ ඇයිද යන්න ගැටලුවක් බවත් ඒ මහතා කීය.

‘සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ’ සාමාජික ලක්ෂ්මන් ලංකාතිලක මහතා පැවසුවේය මහව ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අලෙවි නියෝජිත ලෙස තමන් කටයුතු කරද්දී හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ ආරක්ෂක නිලධාරියකුගේ පුතකුගේ නමට මහව ප්‍රදේශයට නව බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවත් එය නිකුත් කර ඇත්තේ කිසිදු සක්‍යතා අධ්‍යනයකින් තොරව බවත් ය.

ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට ඍජුව පුපුරන ද්‍රව්‍ය ලබා දීමේ හැකියාවක් අලෙවි නියෝජිතයින්ට නොමැති බවත් එය සිදු කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ බවත් පැවසූ ඒ මහතා එම විශාල තොග අලෙවි කිරීමේ අවස්ථා හිමිවන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ හිතවතුන්ට බව ද අවධාරණය කළේය ෴


වනඅලියෙක් පහරදී වෑන් එක යෝධ ඇළට – රියැදුරු මරුට

(08.10.2024 – dinamina.lk)

ඇළහැර බකමූණ ප්‍රධාන මාර්ගයේ බකමූණ සෝමියෙල් හන්දිය ප්‍රදේශයේදී අලුයම 04:45 ට පමණ වෑන් රථයකට අලියෙකු පහරදීමෙන් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර වෑන් රථය යෝධ ඇළට පෙරළී තිබේ.

වෑන් රථයට පහර දෙන අවස්ථාවේදී රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුද මිය ගොස් ඇති බව බකමූණ පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ සේවාගම පලුගස්දමන ගම්මානයේ පදිංචි දිනේෂ් සඳරුවන් නමැති 28 හැවිරිදි තරුණයකි.

දැඩි ලෙස වනඅලින්ගේ තර්ජනයට ලක්වී ඇති මෙම ප්‍රදේශයේ රාත්‍රී කාලයට නිරන්තරයෙන්ම වනඅලි ගම් වදින අතර ‘යාය 20’ ගම්මානයට වනඅලින් දෙදෙනෙකු (2) පැමිණ මාර්ගය හරහා ගමන් කළ අවස්ථාවේ බකමූණ සිට පොලොන්නරුව දෙසට වෑන් රථය ධාවනය වෙද්දී වනඅලි ප්‍රහාරයට ලක්වී තිබේ.

පොලොන්නරුව සේවාගම පලුගස්දමන ප්‍රදේශයේ වෑන් රථයක් වන අතර එහි රියැදුරු බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය උදෙසා බකමූණ රෝහලේ තැන්පත් කර ඇත. මෙම මාර්ගය හරහා නිරන්තරයෙන් වනඅලින් ගමන් කරන බව ගම්වැසියන් සඳහන් කර සිටින අතර වනඅලින් ගම් වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති විදුලි වැටද සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව ගම්වැසියන් සඳහන් කරයි. සවස 04:30 පසු මෙම මාර්ගය භාවිත කරන පිරිස දැඩි අවධානයෙන් ගමන් කළ යුතු බවත් බකමූණ පොලිසිය පවසයි ෴


හිරේ යන ලිස්ට් එකේ නාමල්ගෙයි යෝශිතගෙයි නම් උඩින්ම… වසන්ත සමරසිංහ මීට ටිකකට කලින් රටටම කිව් කතාව (07.10.2024)

+


රුපියල් කෝටි 03 ක වැට් බදු නොගෙවූ සමාගමක අඹුසැමි යුවලකට සිර දඬුවම්

(08.10.2024 – 08:42 +0530 – hirunews.lk/sinhala)

වසර දෙකකට (2) අදාළව රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට (3,25,00,000) අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු (2) වන අඹුසැමි යුවළකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මාස 6 බැගින් සිර දඬුවම් නියම කළා.

මෙලෙස දඩුවම් නියම කළේ, මුද්‍රණ ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු (2) වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකටයි.

2014 හා 2015 යන වසර දෙක (2) සඳහා රජයට ගෙවිය යුතු වැට් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව 2022 වසරේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ, එම වැට් බදු රජයට ගෙවන ලෙසයි.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් දෙපළ කොළඹ මහාධිකරණය හමුවේ හා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණද එම ඉල්ලීම් අදාළ අධිකරණ මගින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ (07) කොළඹ අතිරේක මහේත්‍රාත්වරයා හමුවේ එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ අදාළ බදු මුදල් රජයට ගෙවන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කෙසේ වෙතත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඉල්ලා සිටියේ එම බදු මුදල් එක්වර ගෙවීමට හැකියාවක් නොමැති බැවින් ඒ සඳහා විත්තිකරුවන්ට වසර පහක (5) සහන කාලයක් ලබා දෙන ලෙසයි.

එහෙත් එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වැට් බදු ඊයේ (07) දිනය ඇතුළතම ගෙවන ලෙසටද නියෝග කළා.

එහෙත්, එදින එම වැට් බදු ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බවට විත්තිකාර යුවළ සිය නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම විත්තිකරුවන් දෙදෙනාට (2) මාස 6 බැගින් එසේ සිර දඬුවම් ලබා දෙන ලෙසට ද නියෝග කරනු ලැබුවා.

මේ අතර මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකරගැනීමේ වැඩපිළිවෙළක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඊයේ (07) සිට ආරම්භ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *