Hiru TV විකාශණ බලපත් නවත්තන්නැයි ලාල් කාන්ත TRCට දන්වයි

Hiru TV විකාශණ බලපත් නවත්තන්නැයි ලාල් කාන්ත TRCට දන්වයි


Hiru TV විකාශණ බලපත් නවත්තන්නැයි ලාල් කාන්ත TRCට දන්වයි

(22.04.2026 – lankacnews.com)

‘හිරැ රූපවාහිනී නාලිකාව’ට නිකුත් කර ඇති විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියමන කොමිෂන් සභාව වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති බලපත්‍රයට අමතරව, විදුලි සන්දේශ නියමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි ද අදාළ නාලිකාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින අමාත්‍ය ලාල් කාන්ත, පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව එම නාලිකාවට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස ද එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

අදාළ පෞද්ගලික නාලිකාව තමන් පිළිබඳව අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්ති ප්‍රචාරය කළ බව පවසමින් අමාත්‍යවරයා මීට පෙර ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

+++

කොමිෂන් සභාව වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ :

කේ.ඩී. ලාල්කාන්ත,
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය,
ගොවිජන මන්දිරය,
රාජමල්වත්ත පාර,
බත්තරමුල්ල.

2026.04.22

සභාපති,
ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව,
අංක 276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

මහත්මයාණෙනී,

ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ලයි.

  1. කේ.ඩී. ලාල්කාන්ත වන මම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද, වර්තමාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිනෙමි.
  2. මා සම්බන්ධයෙන්, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාව විසින් සිදු කරන ලද අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව මා විසින් 2026.04.21 වන දින ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
  3. එකී නාලිකාව වෙත ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති බලපත්‍රයට අමතරව, ඔබ කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි ද ඔවුන් විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඔබ වෙත යොමු කරමි.
  4. 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් වන මා විසින් 2024/25 වර්ෂයට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇත.
  5. එකී වත්කම් හා බැරකම් ප්‍රකාශය, පවුලේ අනෙකුත් පුද්ගලයන්ගේ නම් හෙළි නොවන පරිදි මහජනතාවට දැකගත හැකි ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමට එම කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
  6. මා විසින් ස්වේච්ඡාවෙන් හෙළි කරන ලද මාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය පදනම් කරගනිමින්, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ ඇති හිරු ටීවී රූපවාහිනී නාලිකාව විසින් 2026.04.16 වන දින (හෝ ආසන්න දිනක) කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පළ කරන ලදී.
  7. මෙම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර මාගෙන් කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට එකී රූපවාහිනී නාලිකාව කටයුතු නොකළ අතර, එම සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තිය මගින්, මා සතුව රුපියල් කෝටි 46කට අධික වත්කම් පවතින බවට ඔවුන්ගේ ගණනය කිරීමක් මත පදනම්ව කරුණු පළ කරන ලදී. එකී කරුණු සිරස්තල ලෙස දක්වමින් එම ඊනියා ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශයන්හි ප්‍රචාරය කිරීමට ද එම නාලිකාව කටයුතු කර ඇත.
  8. 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනත ප්‍රකාරව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කරන පුද්ගලයාගේ නමින් ඇති වත්කම් වලට අමතරව ඔහු සමඟ එකම ගෘහයේ ජීවත් වන බිරිඳගේ සහ අවිවාහක දරුවන්ගේ නමින් පවතින දේපළ ද ප්‍රකාශ කළ යුතු වේ. ඒ අනුව මා විසින් මාගේ බිරිඳගේ සහ දියණියගේ වත්කම් ද එම ප්‍රකාශය මගින් හෙළි කර ඇත.
  9. එහිදී මාගේ දියණිය විසින් සමාගම් කිහිපයක මිලදී ගෙන ඇති, මිල දී ගන්නා අවස්ථාවේ දී රුපියල් 90,000 කට ආසන්න වටිනාකමක් වූ, වර්තමාන වටිනාකම අනුව රුපියල් 143,000 කට ආසන්න වටිනාකමක් ඇති සමාගම් කිහිපයක කොටස් සම්බන්ධයෙන් මා වත්කම් බැරකම් ප්‍රකාශයේ හෙළි කර තිබූ කරුණු හිතාමතාම විකෘති කරමින්, මා රුපියල් කෝටි 38කට ආසන්න සුරකුම්පත් / සමාගම්වල කොටස් මිලදී ගෙන ඇති බවට වාර්තා කිරීමට මෙම මාධ්‍ය නාලිකාව කටයුතු කරන ලදී.
  10. මෙම අසත්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් මාගේ කීර්තිනාමයට විශාල හානියක් සිදු වූ අතර, මා සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ජනතාව අතර ඇති කිරීමට එකී ප්‍රවෘත්තිය උත්සාහ කරන ලදී. එම වත්කම් බැරකම් ප්‍රකාශයේ මාගේ බිරිඳගේ සහ දියණියගේ නමින් වන දේපළ ද පවතින බව එම ප්‍රවෘත්තියේ කිසිදු තැනක මහජනතාව වෙත අනාවරණය කිරීමට එම නාලිකාව කටයුතු කළේ නැත.
  11. ඉහත කී තත්ත්වය තුළ මා හට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ගෙවන ලෙස මාගේ නීතිඥවරයා මාර්ගයෙන් එම රූපවාහිනී නාලිකාව වෙත මා එන්තර වාසියක් යොමු කරන ලදී.
  12. ‘නිවැරදි කිරීමක්’ ලෙස දක්වමින් නැවත ප්‍රවෘත්තියක් පළ කිරීමට මෙම නාලිකාව කටයුතු කර තිබේ.
  13. මාගේ උපදෙස් මත මාගේ නීතිඥවරයා විසින් යවන ලද එන්තරවාසියේ අදාළ කොටස්වල හිමිකාරිත්වය මාගේ දියණිය සතු බවට ලිඛිතව දැනුම් දී තිබියදී පවා, ඔවුන් විසින් 2026.04.18 දින (හෝ ආසන්න දිනක) කරුණු නිවැරදි කිරීමක් ලෙස දක්වමින් පළ කළ ප්‍රවෘත්තියේ දී ද අදාළ කොටස් හිමිකම මා සතු බව හුවා දක්වමින්, ඔවුන්ට ගණනය කිරීමේ දෝෂයක් පමණක් සිදු වූ බවත් වටිනාකම වැරදියට ගණනය කිරීම සම්බන්ධයෙන් පමණක් කනගාටුව පළ කර බවත් ප්‍රචාරය කිරීමට මෙම නාලිකාව කටයුතු කරන ලදී.
  14. එලෙස මා විසින් ඔවුන් වෙත එන්තරවාසිය යොමු කරන ලද අවස්ථාවේදී, සිවිල් නීතිය යටතේ අපහාසය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ඔවුන්ගේ විකාශන බලපත්‍ර සම්බන්ධයෙන් අදාළ නිසි බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමට මා හට ඇති අයිතියට අගතියක් නොවන පරිදි බව විශේෂයෙන් සඳහන් කර සිටියෙමි.
  15. මෙහිදී මා ඔබගේ විශේෂ අවධානය යොමු කර සිටින්නේ, රූපවාහිනී නාලිකාවක් යනු මහජනතාව සතු පොදු දේපළක් වන සංඛ්‍යාත භාවිතා කරමින්, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මගින් ලබා දෙන ලද බලපත්‍ර මත පදනම්ව සිය කටයුතු කරගෙන යනු ලබන ආයතනයක් බවයි.
  16. ඒ අනුව, මහජන දේපළක් වන මෙම සංඛ්‍යාත භාවිතා කිරීමේදී, තමන්ට නිකුත් කර ඇති බලපත්‍රයේ අඩංගු කොන්දේසි වලට අනුකූලව සහ එම කොන්දේසි ප්‍රකාරව වගකීම් සහගතලෙස සිය මාධ්‍ය භාවිතය සිදු කිරීමට ඕනෑම රූපවාහිනී නාලිකාවක් නීතියෙන් බැඳී සිටින බව වැඩිදුරටත් අවධාරණය කරමි.
  17. ඒ අනුව, මා මෙම ලිපිය මගින් ඔබ වෙත පැමිණිලි කර සිටින්නේ, මෙම රූපවාහිනී නාලිකාව මා සම්බන්ධයෙන් ඉහත කී ආකාරයට කටයුතු කර ඇත්තේ අවම මාධ්‍ය සදාචාරයක් හෝ ගරු නොකරමින් සහ ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසි මෙන්ම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් බවයි.
  18. එබැවින්, ඔවුන්ට ලබා දී ඇති විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් එකී රූපවාහිනී නාලිකාව මෙලෙස නීති විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කරනු ලබන මෙම පැමිණිල්ල සලකා බලා, නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව එම නාලිකාව සම්බන්ධව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙරට පුරවැසියකු වශයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

+++

සියලු චෝදනා බැහැර කරනවා! ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නෑ! ලාල්ට හිරුගෙන් සැර ප්‍රතිචාරයක් – Hiru News (22.04.2026)

+


රු. ලක්ෂ 41 ක අල්ලසක් ඉල්ලුවැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනිය රිමාන්ඩ්

(22.04.2026 – hirunews.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබාගැනීමේ ගිවිසුම් සකස් කිරීමට අදාලව රුපියල් හතළිස් එක් ලක්ෂයකට (41,00,000) අධික මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් කොටසක් ලබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් (විශ්‍රාමික) ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් වන ‘අහමඩ් රියාසා අහමඩ්’ නැමැති අයෙක්.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බදු පදනම මත ලබාගෙන තිබූ ‘මෙඩි හවුස්’ නමැති ගොඩනැගිල්ලේ බදු කාලය දීර්ඝ කිරීමට අදාලව ගිවිසුම් තුනක් (3) සකස් කිරීම වෙනුවෙන් මෙම මුදල ඉල්ලා ඇති බවයි.

ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු ලෙස පවසමින් ඔහු රුපියල් 4,134,887 ක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් මීට පෙර ලබාගෙන තිබූ බවට පැමිණිල්ලෙන් කරුණු හෙළිවූ බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඉතිරි මුදල ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව, රුපියල් ලක්ෂ පහක (5,00,000) මුදලක් ‘මෙඩි හවුස් පුද්ගලික සමාගම’ නමින් මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් නිකුත් කළ චෙක්පතක් මගින් ලබාගනිමින් සිටියදී ඊයේ (21) පස්වරු 03:45 ට පමණ තම නිලධාරින් විසින් ඇය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා ෴


රැඳවුම් නියෝග මත සිටින සුරේෂ් සලේ යළි මැයි 20 වැනිදා අධිකරණය හමුවට

(22.04.2026 – hirunews.lk)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේව තවදුරටත් රඳවා තබාගනිමින්, ලබන මැයි 20 වනදා නැවතත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙම නියෝගය නිකුත් කළා.

අදාළ නඩුව අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ තුන්වන (3) සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍යව ඇති බවයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහේස්ත්‍රාත්වරයා, අධිකරණ ක්‍රියා පටිපාටියට අනුව සැකකරුවෙකු එවැනි ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටි විට, ඒ පිළිබඳව නැවත සිතා බැලීමට කාලයක් ලබා දීම සාමාන්‍ය සිරිත බව පෙන්වා දුන්නා.

ඒ අනුව, අදාළ ප්‍රකාශය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට සැකකරුට මසක කාලයක් ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීරණය ක‍රනු ලැබූ අතර, සැකකරුගේ අවසන් තීරණය ලබන මැයි මස 20 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කරනු ලැබුවා ෴

+++

+


එක වසර දරුවන්ට තිබ්බ එකත් නෑ | අසභ්‍ය වෙබ් අඩවි ඇතුලත් කළ අය කෝ | උලපනේ සුමංගල හිමි ආණ්ඩුවට සැරවෙයි (22.04.2026)

+


මහින්ද මහත්තයා එක්ක තක්සලාව අවුරුදු සමරයි ! (22.04.2026)

+


තවමත් මහමොළකරු හොයන අපේ කාදිනල් උන්නාන්සේ (22.04.2026)

+

එදාම උඹලත් හැඳි ගෑවිලා ගියා නං, මෙදා මේ විනාසය නෑ… කෙබරම කෙළින ජේවීපී තක්කඩි (22.04.2026)

+

ඒකෙම්ම හිතාගන්ඩ පුළුවන් රට වැටිලා තියෙන තැන (22.04.2026)

+


කොලඹ බෝම්බ නුවර බෝම්බ පාස්කු මහමොලකරු සහ මැවුම්කරු (22.04.2026)

+


මේ ආණ්ඩුවට එල්ලකර දැවැන්තම ප්‍රහාරය එල්ල කරේ පොහොට්ටුව ! (22.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *