නව රජයේ IMF ප්‍රතිපත්තියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගෙන් විවේචන

නව රජයේ IMF ප්‍රතිපත්තියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගෙන් විවේචන


නව රජයේ IMF ප්‍රතිපත්තියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගෙන් විවේචන

(05.10.2024 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධ මත පල කළ වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන වෙනස් නොකිරීමට එකඟ වී ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද (05) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ණය තිරසරකරණය වෙනස් කිරීමට වසර එකහමාරක් (1½) තුළ උත්සාහ කරන බව පැවසූ ජාතික ජන බලවේගය දින එක හමාරක්වත් (1½) සාකච්ඡා නොකර සියලු‍ දේට එකඟ වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ පළමු (1) වාරිකය ලෙස පසුගිය වසරේ මාර්තු මස 21 වැනිදා අමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලකුත්, දෙවන (2) වාරිකය ලෙස දෙසැම්බර් මස 14 වැනිදා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් ලබාදෙනු ලැබුවා.

එහි තුන්වන (3) වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336 ක මුදලක් මෙරටට ලබාදුන් අතර, සිවු වැනි (4) වාරිකයට අදාළ වන තෙවැනි (3) සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ඊයේ (04) අවසන් වුණා.

++++++++

+


රාජ්‍ය බුද්ධි සේවයෙන් අද (05) හදිසියේම පැන්ෂන් යැවූ කවුද මේ සුරේෂ් සලේ?

(05.10.2024 – 21:18 +0530 – hirunews.lk/sinhala)

‘රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ’ එම තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා’ ලෙස පත්කර ඇත්තේ ‘නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර’ යි.

මෙම තනතුරු වෙනස සිදුවන්නේ සුරේෂ් සලේට මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබූ පසුබිමකයි.

2019 වර්ෂයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන එම ධුරයෙන් ඉවත් කර මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, එම තනතුරට පත් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළා.

එතැන් සිට අවස්ථා කිහිපයකදී ඔහුට සේවා දිගු ලබා දී තිබුණේ ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබූ පසුබිමකයි.

සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටින අවධියේ චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ වීඩියෝවක් මගින් පෙන්වා දී තිබුණේ පාස්කු ප්‍රහාරයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සෘජුවම සම්බන්ධ බවයි.

මෙම වීඩියෝවේදී තොරතුරු ඉදිරිපත් කරන අසාත් මව්ලානා නැමැත්තා සුරේෂ් සලේට එල්ල කළ එක් චෝදනාවක් වන්නේ 2019 වර්ෂයේ දී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡා කිරීමයි.

එමෙන්ම එම සාකච්ඡාව සම්බන්ධීකරණය කළ අසාත් මව්ලානාට රාජපක්ෂවරුන්ට යළි බලය ලබාගැනීම සඳහා රට තුළ නොසන්සුන් වාතාවරණයක් ඇති කළ යුතු යැයි කීමද එම චෝදනාවලට ඇතුළත්.

අනෙක් චෝදනාව වන්නේ සුරේෂ් සලේ විසින් 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ දින පෙරවරුවේ අසාත් මව්ලානා ට අමතා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සිටි යම් පුද්ගලයකු රැගෙන එන ලෙස දැනුම් දීමයි.

එම පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය භාරයට ගන්නා ලෙසත්, එම පුද්ගලයා යෝජනා කරන තැනකින් ඔහුව බස්සවන ලෙසත් සුරේෂ් සලේ තමාට කී බවත්, එහෙත් තමා මඩකලපුවේ සිටින නිසා එය කළ නොහැකි යැයි දැනුම් දුන් බවත් පැවසූ බව අසාද් මව්ලානා ‘චැනල් 4’ නාලිකාවට පවසා තිබුණා.

සුරේෂ් සලේ එලෙස රැගෙන එන ලෙස උපදෙස් දුන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා ගොස් බෝම්බය පුපුරුවා නොගත් ‘ජමීල්’ නැමැති ප්‍රහාරකයා ද යන්න පිළිබඳ සැකයක් ඇති වූ බවත් අසාත් මව්ලානා ‘චැනල් 4’ නාලිකාවට පවසා තිබුණා.

තමා සම්බන්ධීකරණය කළ සාකච්ඡාවට එම ප්‍රහාරකයා සම්බන්ධ වූ බවට හඳුනාගත් බවයි ඔහු පවසා තිබුණේ

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ලිපියක්ද නිකුත් කර තිබුණා.

මෙවන් පසුබිමක නව රජය පත්වීමෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරේ සිටීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුණා.

ඒ අදාළ චෝදනා පවතින සුරේෂ් සලේ යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන යළි ආරම්භ කිරීම ගැටලුවක් වනු ඇති බව පෙන්වා දෙමින්.

ඒ අනුව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විශ්‍රාම ගැන්වීමටයි ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර යි.

++++++++

+


අල්ලස් ගත් R.M.V. නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා (3) රිමාන්ඩ්

(05.10.2024 – 19:33 +0530 – hirunews.lk/sinhala)

බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රු. 250,000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනා (3) ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල අද (05) නියෝග කළා.

නියෝජ්‍ය කොමසාරිස් වෙල්ගම, සාන්ත ප්‍රිය හා මර්වින් යන සැකකරුවනුයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ.

අල්ලස් කොමිසම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මගී බස් රථ විශාල ප්‍රමාණයක හිමිකරුවකු වන පැමිණිලිකරුට අලුතින් මිලට ගත් බස් රථයක ලියාපදිංචි පොත ලබා දීම සඳහා රු. 50,000 ක මුදලක් ප්‍රථමයෙන් ලබාගෙන ඇති බවයි.

අනතුරුව ඉතිරි රු. ලක්ෂ දෙකක (200,000) මුදල ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසා ඇත්තේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන (08) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් විමර්ශන ප්‍රගතිය ලබන 08 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි නියෝග කොට ඇත්තේ ෴


විෂ පොල්තෙල් කිලෝ මිලියන 80,000 ක් වෙළඳපොලට

(05.10.2024 – 16:03 +0530 – hirunews.lk/sinhala)

විෂ රසායන අඩංගු පොල් තෙල් තොගයක් සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.

නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව පිරිපහදු කරන ලද ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 80,000 ක තොගයක් දේශීය වෙළදපොලට යොමු කර ඇති බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පිලිකාකාරක සහිත මෙම විෂ පොල්තෙල් භාවිතයෙන් දරුවන් ඇතුලු පුද්ගලයින්ට පිලිකා ඇති වීමේ අවධානමක් පවතින බවද ඔහු සදහන් කළා.

+


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය වත්තේ විදුලි රැහැන් ඉවත් කෙරේ

(05.10.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් තංගල්ල වීරකැටිය වත්තේ ඇද තිබූ තාවකාලික විදුලි රැහැන් අද (05) විදුලිබල මණ්ඩලය විසින් ඉවත් කරනු ලැබුවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සිදුකළ විමසීමකදී විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් වෙත ලබා දී ඇති ‘අනවශ්‍ය විදුලි සම්බන්ධතා’ ඉවත් කරන ලෙස විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් ලබාදී ඇති බවයි.

ඒ අනුව එම විදුලි රැහැන් ඉවත් කිරීමට කටයුතු කල බවයි එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

+


අරලියගහ මන්දිරය පිටුපස මාර්ගයත් විවෘත කෙරේ

(05.10.2024 – 06:43 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය අරලිගහ මන්දිරය පිටුපස රොටුන්ඩා වටරවුම සහ මයිකල් වටරවුම අතර දිවෙන ආර්.ඒ. ද මැල් මාවත ජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

ආරක්ෂක හේතුන් මත 1995 වසරේ සිට දීර්ඝ කාලයක් මෙම මාර්ගය රථ වාහන ගමනාගමනය සදහා වසා දැමුණු අතර ඊයේ (04) සිට අදාළළ මාර්ගය විවෘත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

++++++++

+


නුවරඑළියේ හෝටලයකදී හිමිකරුට පහරදුන් පොලිස් නිළධාරියාට මාරුවක්

(04.10.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් එහි හිමිකරුට සහ සේවයෙකුට පහර දී පරුෂ වචනයෙන් බැන තර්ජනය කළේ යැයි කියන සිද්ධියකට අදාල පොලිස් නිලධාරියෙකු මහනුවර කොට්ඨාසය වෙත තාවකාලිකව මාරුකර විමර්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාල පොලිස් නිලධාරියා ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකුගේ පෞද්ගලික සහකාර නිලධාරීවරයෙකු බවටයි වාර්තා වුණේ.

ඒ අනුව, සිද්ධියට අදාල ආපනශාලා හිමිකරු අද (04) නුවරඑළිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැදවා ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

පොලිස් නිලධාරියෙකු විසින් ඊයේ (03) අලු‍යම තමාට සහ තම සේවකයෙකුට පහර දී තර්ජනය කළ බවට මෙම ආපනශාලා හිමිකරු චෝදනා කරනවා.

එම නිලධාරියා බලහත්කාරයෙන් ආපනශාලා හිමිකරුට ආහාර, කවන අයුරු ආපනශාලාවේ සී.සී.ටී.වි. කැමරාවේ ද සටහන්ව තිබුණා.

+++++++

+

+


‘රට විරු විදුලි වාහන බලපතෙන්’ රුපියල් කෝටි ගාණක ගැහිල්ලක්

(05.10.2024 – lankadeepa.lk)

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විදුලි වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාර දුන්නේය.

නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

රට විරුවන්ට විදුලි වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදු වී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙම වාර්තාවෙන් එකිනෙක විස්තර කර ඇත.

මේ සිද්ධිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විදුලි වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමේ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළේය.

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තොරතුරු අනාවරණය විය.

ඉන් වාහන 75 ක්ම ගෙන්වනු ලැබ ඇත්තේ එක් ආයතනයක් විසිනැයි එහිදී වැඩිදුරටත් හෙළි විය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *