රුවන්පුර බැකෝ මැණික් ජාවාරම ගැන ‘හිරු CIA’ අනාවරණය
(29.09.2024 – 22:56 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රත්නපුර – හංගමුව ගඟේ ඉවුරු වනසමින් නීති විරෝධී මැණික් ගැරීමක් සිදුකරද්දී තවත් ජාවාරම්කරුවන් පිරිසක් හිදැල්ලන – මලන්ගම ප්‍රදේශයේ බැකෝ පතලක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව තිබෙනවා.
ප්‍රදේශවාසීන්ට ද මරණ තර්ජන එල්ල කරමින් සිදුවන එම ජාවාරම් ගැන ‘හිරු CIA’ අද (29) අනාවරණය කරගත්තා.
මෙරටින් වටිනා මැණික් හමුවන රත්නපුර ප්‍රදේශයේ පැවති පාරම්පරික මැණික් කර්මාන්තයට බැකෝ පතල් හේතුවෙන් එල්ල වී ඇත්තේ සුළුපටු හානියක් නොවේ.
රත්නපුර – හිදැල්ලන, මලන්ගම ප්‍රදේශයේ අරඹා ඇති මෙම මැණික් පතල ද බැකෝ දෙකක් (2) හා සකර් මැෂින් යොදා පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ නිහඩ බව සුනු විසුනු කරමින්.
රටේ නීතිය තඹ සතයකට හෝ මායිම් නොකරන මෙහි හිමිකරුවන් දිවා කාලයේ මෙන්ම රාත්‍රීය පුරා ද මෙහි මැණික් සොයන්නේ ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතය ද උකසට ගනිමින්.
මෙම බැකෝ පතලේ බලපෑම හේතුවෙන් අවට නිවෙස් මුළු මනින්ම ඉරි තලා තිබෙනවා.
බැකෝ පතල් හරහා එලෙස ජන ජීවිතයට හානි සිදුකරද්දී රත්නපුර හරහා ගලා බසින සුන්දර හංගමුව ගංගාවේ ඉවුරු සුනු විසුනු කිරීමට සංවිධානාත්මක නීති විරෝධී මැණික් ජාවාරම්කරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
රත්නපුර – පොත්ගුල් විහාර මාවත , කරංගොඩ ප්‍රදේශයෙන් මුළු ගංගාවම හරස්වන ලෙසින් ලෑලි හා ලී යොදා මහා පරිමානයෙන් මෙම අනවසර මැණික් ගැරීම සිදුකරනවා.
මැණික් ජාවාරම්කරුවන් හංගමුව ගගේ යන්ත්‍ර සුත්‍ර ද සවි කොට අධි පීඩක ජල ප්‍රහාර ඉවුරට එල්ල කර මැණික් ඉල්ලම් සෙවීම නිසා මේ වනවිට හංගමුව ගංගාවේ ගමන් මාර්ගය ද වෙනස් වී දැඩි ඉවුරු ඛාදනයක් සිදුව තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ සිට විනාඩි 10 ක පමණ වේලාවකින් ළගාවිය හැකි රත්නපුර – ඇලපාත පොලිස් ස්ථානයට කොතරම් පැමිණිලි කල ද මීට නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවන බවයි.
එලෙස නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක් යටතේ මේ පරිසර විනාශයට එරෙහි වන පුද්ගලයන්ට මරණීය තර්ජන එල්ල කිරීමට ද මැණික් ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා.
‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.
+
‘අවුරා ලංකා’ සභාපති සියල්ල දිග හරියි
(29.09.2024 – lankadeepa.lk)
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී ‘අවුරා ලංකා සමාගෙම්’ සභාපති විරන්ජිත් තාඹුගල, තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.

සමහර දේශපාලඥයින් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේදී පැවසු විරන්ජිත් තාඹුගල, මේවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවත් පැවසීය.
පොලිසියය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් කළ ඉල්ලීමකට අනුව, මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ සමාගම මඟින් සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා සවි කර දීමට කැමති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් තමාගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස්ගේ ඉල්ලීමට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසියය මා සමඟ අමනාප වුයේ යැයිද විරන්ජිත් තාඹුගල කීය.
නීති විරෝධී ආකරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව ‘අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය’ ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඹුගල එසේ පැවසීය.
නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වැඩිදුරටත් ප්‍රකාශය සිදුකළ ‘අවුරා ලංකා සමාගමේ’ සභාපති විරන්ජිත් තාඹුගල මෙසේද පැවසීය :
“ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන දෙදෙනා (2) දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බව මට කිව්වා.
‘එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි’ කියලත් එයාලා මට කිව්වා. මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහල නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.
වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක (30) මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.
පසුව මා ඔවුන් සමඟ කතා කර රුපියල් කෝටි තිහේ (30) කප්පම් මුදල රුපියල් කෝටි දොලහ (12) දක්වා අඩු කර ගත්තා. තවදුරටත් කතා කර කෝටි දොලහේ (12) කප්පම් මුදල කෝටි පහ (5) දක්වා අඩු කර ගෙන එම රුපියල් කෝටි පහක (5) මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ (5) මුදලින් රුපියල් කෝටි දෙකක (2) මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව ‘රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති’ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහාමාරක (2½) මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්සි රැසක් මා ලඟ තියෙනවා.
විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා. එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ලඟ දැනට තියෙන මූල්‍යමය වත්කම් වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුලුවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යානූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරටදී උපයා ගත් මුදල් නෙමේ. ඒ සියල්ල විදේශ රට වලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රට වලින් මා නිත්‍යානුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.
මා සතුව ඇති මෙම නිත්‍යානූකූල වත්කම්වලට ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව’ මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිඳු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේශ සහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙන්ම හිරිහැර සිහියට නැගෙන විට සිය දිවි නසා ගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් ඇමතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කලා ලංකාවේ පොලිස්ථාන අලුත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වු මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලුවා. ඊට අමතරව සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවි කර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස්ට කිව්වා. ඒත් ඔහු ඒකට අකමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.
එතැන් සිටි ටිරාන් අලස් මා ගැන වෛරයෙන් කටයුතු කලා. ‘රහස් පොලිසියේ නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨසයේ’ නිලධාරීන් රුපියල් කෝටි 30 ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල් වලින් කොටසක් ඔවුන් ලබා ගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියළු සාක්සි මා සතුව තිබෙනවා.
‘රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය’ මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්සි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහනාම මහතාගේ සහය මා ලබාගත්තා. එලෙස සහය ලබා ගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහනාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පළි ගන්න උත්සහ කරනවා” ෴
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අති විශාල ජන ගඟක්
(30.09.2024 – dinamina.lk)
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා අති විශාල පිරිසක් පසුගිය දින තුළ පැමිණි බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි. පසුගිය 27 වැනිදා ඇරඹුණු මෙම ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශන ආයතන 400 ක ප්‍රදර්ශන කුටි එක් කර ඇති අතර මෙවර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරේදා (28) සහභාගි විය.
මෙම පොත් ප්‍රදර්ශනය මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 09:00 සිට පස්වරු 09:00 දක්වා පැවැත්වෙන අතර එහි දී පොත් මිල දී ගන්නා පාඨක ජනතාවට ආකර්ෂණීය වට්ටම්ද සමඟ එම පොත් අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතර විවිධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාහිත්‍ය මණ්ඩප, ලේඛක – පාඨක හමුවීම් ඇතුළු තවත් සුවිශේෂී වූ අංග රැසකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වී තිබෙන බව ද එම සංගමයේ ප්‍රකාශකයකු ඊයේ (29) දිනමිණට පැවැසීය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මෙවර මෙම පොත් ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ 25 වැනි වරටය ෴
ගුරුවරුන්ගේ හිංසනය හමුවේ අසරණව සිටින දෙහිගොල්ලේ ‘ආකාෂ්’
(30.09.2024 – dinamina.lk)
‘ආකාෂ්ගේ පියාගේ දේශපාලනය’ ප්‍රශ්නයට හේතුවක්
පාසල් ගුරුවරුන්ගේ හිංසනය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව මේ වනවිට කතා කිරීමේ අපහසුතාවට පත්ව ඇති අවුරුදු 7 ක් වයසැති එස්. ඒ. ආකාෂ් හෂේන් අමරසිංහගේ අහිංසක ඉල්ලීම වන්නේ ‘ගුරුවරුන් හිංසා කරන්නේ නැති ඉස්කෝලෙකට යන්න මම ආසයි’ යන්නයි. ආකාෂ් පසුගිය වර්ෂයේ (2023) දෙසැම්බර් මාසයේ සිට මේ වන තෙක් පාසල් ගොස් නැත. තම දරුවා පත්ව ඇති තත්ත්වය පැවසීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හමුවීමට බදුල්ලට ගිය ආකාෂ්ගේ පියාව කාර්යාලයෙන් නෙරපා දැමුයේ තමා ‘මාලිමාවට ඡන්දය දුන් බව’ පවසමින් යැයි ඔහු චෝදනා කරයි.
ආකාෂ් පදිංචිව සිටින්නේ මහියංගණය, දෙහිගොල්ල, පැරකුම් පෙදෙස, අංක 289 ලිපිනයේය. ආකාෂ්ගේ පියා වකුගඩුවක් දන් දීම හේතුවෙන් මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන අතර, පවුලේ අගහිඟකම් නිසා මව විදෙස්ගතව සිටියි.

ආකාෂ්ගේ පියා වන එස්. ඒ. අමරසිංහ මේ පිළිබඳ මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් ප්‍රකාශ කළේය :
“අපි මේ ඉඩමට 2017 අවුරුද්දේ අලුතින් පදිංචියට ආවේ. මගේ දුව දෙහිගොල්ල ඉස්කෝලෙට ඇතුළත් කරගන්න හදනකොට එහි හිටපු විදුහල්පතිවරයා රුපියල් 25,000 ක් ඉල්ලුවා, දුව ඉස්කෝලෙට ගන්න. අපට දෙන්න සල්ලි නෑ කිව්වා. මේ ප්‍රශ්නේ අපි ඌව පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරිය වන අඹන්වෙල මැඩම්ටත් දැනුම් දුන්නා. අපේ දරුවා පහුවදා ඉඳලාම ඉස්කෝලෙට ගන්න කියලා විදුහල්පතිවරයාට මැඩම් කතා කරලා දැනුම් දී තිබුණා. ඒ මැඩම් තමයි අපි මේ දැන් ඉන්න ගේ හදා ගන්න රුපියල් ලක්ෂ පහක් (5) දුන්නේ. දුව ඉස්කෝලෙට භාරගත්තත් නොයෙක් වෙනස්කම් සිද්ධ වුණා. ඒ අර සිද්ධිය මැඩම්ට කීවා කියලා. දුව 09 ශ්‍රේණියේ සිටියදී එයාගේ ඉස්කෝලෙ ගමන කඩාකප්පල් වුණා. ඒ අවුරුද්දේදීම මේ පුතාත් ඉස්කෝලෙට භාර දුන්නා. ඒ භාරදීලා දරුවා මාස 06 ක් විතර ඉස්කෝලෙ ගියා. ඒ යද්දී ඉස්කෝලෙන් දරුවට එක එක ප්‍රශ්න දානවා. එක එක දේවල්වලට සල්ලි එකතු කරනවා. එහෙම සල්ලි දෙන්න අපට හයියක් නෑ. ඒ ගැන කිව්වාම ළමයාට අරියාදු කරනවා. ටීචර්ලා වෙනස්කම් කළා. දවසක් දරුවාට තොල්පට පුපුරන්න ගහලා තිබුණා. මම ඉස්කෝලෙට ගිහින් ඒ ගැන ඇහුවාම ටීචර් මට බැන්නා ‘තමුසෙගෙ දරුවා ඕන තැනකට අරන් යනවා’ කියලා. ඒ ගැන මම විදුහල්පතිවරයාට කිව්වා. විදුහල්පතිවරයා මට කිව්වේ ඔයාට පුළුවන් දෙයක් ඔයා කරන්න කියලා. ඊට පස්සේ මම මහියංගණය කලාප කාර්යාලයට ගිහින් මේ ගැන කිව්වාම ලිඛිතව ලියුමකින් ඒ පිළිබඳ විස්තර ගෙනත් දෙන්න කිව්වා. මම උඩහා ගෙදර ඉන්න දුවකුට කියලා ලියුමක් ලියාගෙන ගිහින් දුන්නා. ඒ ගැන බලන්න දවස් පහ හයකට පස්සේ ගියාම ඔයා ළමයා වෙන ඉස්කෝලෙකට මාරු කරන්න කියලා කිව්වා. මම එහෙම හරියයි ද කියලා ඇහුවා. ඊට පස්සේ තමයි සේරාණ ප්‍රාථමික ඉස්කෝලෙට ළමයා දැම්මේ.
සේරාණ ඉස්කෝලෙට දාපු දවසෙම මගේ දරුවා අරගෙන ගිහින් ඉස්කෝලෙ පිටිපස්සට මෙයාගේ පන්ති භාර ටීචයි, එක-බී පන්තියේ ටීචයි, දෙකේ පන්තියේ ටීචර් කෙනකුයි පොල්ලක් අරන් ගිහිල්ලා කිව්වාලු තමුසේ දැන් ඇත්ත කියන්න ඕනෙ. අපේ ටීචලාට විරුද්ධව කලාපෙට ගිහින් තියෙනවා. ඒ ඉස්කෝලේ ටීචර් කෙනෙක් මට දැන් කතා කරලා විස්තරේ කිව්වා කියලා ගහලා. දරුවා හොඳටම බය වෙලා. මම දරුවා ගන්න ඉස්කෝලෙට ගියාම මට එයා විස්තරේ කිව්වා. මම ඒ ගැන ටීචර්ගෙන් ඇහුවාම ළමයා හදන්නේ අපට ඕන විදියට, ඔයාට ඕන විදියට නෙවෙයි කිව්වා. පහුගිය දෙසැම්බර් වෙනකම් ළමයා ඉස්කෝලේ ගියා. අනේ හැමදාම දරුවාට ගුරුවරුන් හිරිහැර කරනවා. දරුවා උදේ රැස්වීමේ ඔළුව හරවලා බැලුවත් ටොකු අනිනවාලු ටීචර්. දරුවා මට කියන්න ගත්තා තාත්තේ මට ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒ කාලේ ඉඳලා තමයි දරුවා ගොතගහන්න පටන් ගත්තේ.
විදුහල්පතිවරයාත් කිව්වා දරුවා වෛද්‍යවරයකුට පෙන්නන්න කියලා. මම මහියංගණය ඉස්පිරිතාලෙ වෛද්‍යවරුන්ට පෙන්නුවා. දැනටත් වෛද්‍යවරුන් පස් දෙනෙක් (5) බලනවා මේ දරුවා. දෙකේ (2) පන්තියේ ඉන්න ඕන දරුවා තාම එකේ (1) පන්තියේ ඉන්නේ. ඉස්පිරිතාලෙන් දරුවා මානසික රෝග ප්‍රතිකාර ඒකකයට දැම්මාට පස්සේ ඒ වෛද්‍යවරුන් කිව්වේ දරුවා පාසලේදී හිංසනයට ලක්වීමත් පීඩනයට ලක්වීමත් නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. දරුවා වෙනත් පාසලකට මාරු කර යහපත් මානසික තත්ත්වයක් උදා කරදීමෙන් මේ රෝගී තත්ත්වයෙන් දරුවා මුදා ගන්න පුළුවන් කියලත් කිව්වා.
ඒ ගැන වෛද්‍යවරුන් අපට ලියුමකුත් දීලා තියෙනවා, මහියංගණය කලාප කාර්යාලයට ගිහින් දෙන්න කියලා. ලියුම අරන් මහියංගණය කලාප කාර්යාලයට ගියාම ලියුම අතටවත් ගත්තේ නෑ. දරුවා එළියට දාන්න කිව්වා මට. මම කිව්වා ‘දරුවාගේ ප්‍රශ්නයකට තමයි සර් ආවේ; ඒ ගැන දරුවාගෙන්ම තමයි අහන්න ඕන’ කියලා. ‘තමුසෙට මමනේ කියන්නේ; අයිසේ තමුසේ ළමයා එළියට දානවා’ කිව්වා. මම කිව්වා ‘සර් ඒක හරි නෑනේ… සර් කතා කරන ක්‍රමයත් හරි නෑනේ’ කියලා. ලියුම අල්ලලා විසි කළා. තමුසෙට පුළුවන් දෙයක් තමුසේ කරනවා කිව්වා.
ඊට පස්සේ මම මහියංගණය පොලිසියේ ඕඅයිසී මහත්තයා හමුවෙලා මේ ගැන කිව්වා. වෛද්‍යවරුන් දීපු ලියුම බලලා එතුමා කිව්වා, මීට කලින් ඇවිත් පැමිණිල්ලක් දාන්නනේ තිබුණේ කියලා. අපි එහෙම නම් ඒකට පියවරක් ගන්නවානේ කියලා. මම දරුවාගේ නම පොලිස් පොතේ ලියන්න බෑනේ සර් ඒකයි ආවේ නැත්තේ කිව්වා. ඊට පස්සේ එතුමා කිව්වා වහාම ගිහින් බදුල්ලේ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හමුවෙලා මේ ගැන කියන්න කියලා.
පස්සේ මම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවීමට බදුල්ල කාර්යාලයට ගියා. එතුමාට මම ලියුම දීලා විස්තරේ කිව්වා. ලියුම බලලා ‘තමුසේ ඡන්දේ දැම්මේ කාටද’ කියලා ඇහුවා. මම කිව්වා ‘මාලිමාවට’ කියලා. ‘තමුසෙලාට පිස්සු ද අයිසේ’ කියලා කිව්වා. ලියුම බලලා මහියංගණයේ අධ්‍යක්ෂට කෝල් එකක් ගත්තා. එයා මොනවා හරි කිව්වා. පස්සේ ‘තමුසෙට පුළුවන් දෙයක් කරනවා’ කියලා ලියුම විසි කළා. ‘අයිසේ දානවා මේ මනුස්සයා එළියට’ කියලා කාට ද කතා කළා. ඒ වෙලාවේ තව කට්ටියක් හිටියා එතැන. ඒ අය මට දොර ඇරියා එළියට එන්න. දරුවා එක්ක මම එළියට එනකොට කියාගෙන ආවා ‘මගේ දරුවා වෙනුවෙන් සර් මම අමාත්‍යාංශයට හරි යනවා’ කියලා. ‘මට වෙන කරන්න දෙයක් නෑ’ කියලා කිව්වා. මේ දරුවා එකේ පන්තියට භාර දෙනකොට හොඳට ගිරවා වගේ කතා කරපු ළමයෙක් අද මෙහෙම වෙලා තියෙන්නේ.”
මහියංගණය සේරාණ ප්‍රාථමික පාසලේ විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු මෙලෙස පැවසීය :
“ඔය ළමයා පාසලට එන්නේ නෑ. කලින් පාසලේදීත් ඔය විදියටම ගුරුවරයකුට චෝදනා කරලා කලාපෙන් අපේ පාසලට ඔය ළමයා දැම්මේ. අපේ පාසලේ එහෙම දෙයක් වෙලා නෑ. ඔය තාත්තා දරුවා පාසල් එවන්නේ නෑ. ඒකට හේතු තමයි ඔය කියන්නේ. දරුවාට පාසලේ ඉගෙන ගන්න හොඳ වාතාවරණයක් තියෙනවා.”
මාපාකඩවැව සමූහ එච්. එම්. රංජිත් කරුණාවීර
කාමරයක් කුලියට ගෙන නවාතැන් ගත් යුවළක් නවාතැන් හිමිකාරිණිය මරා රන් බඩු සල්ලි කොල්ලකති
(30.09.2024 – divaina.lk)
වැලිවේරිය ප්‍රදේශයේ කුලියට නවාතැන්පළවල් ලබාදෙන ස්ථානයක හිමිකාරිනියකගේ හුස්ම සිරකර මරා දමා ඇගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ අටහමාරක (8½) මුදල් හා රුපියල් ලක්ෂ දහඅටක් (18) වටිනා රන් භාණ්ඩ පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පෙරේදා (28) සිදුව ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ වැලිවේරිය, ඇඹරලුව දකුණ පදිංචිව සිටි කන්දෙගෙදර මාගම්රාලලාගේ මංගලිකා නමැති 57 හැවිරිදි කාන්තාවකි.
කාමර කුලියට ලබාදෙන නිවස තුළදී මෙම අපරාධය සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

නිවසේ කාමරයක නවාතැන් ගෙන සිටි යුවළක් විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිසිය දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ කාන්තාව නිවසේ සිටියදී එයට ඇතුළු වී ඇති යුවළ පොරවන රෙද්දකින් එම කාන්තාවගේ නාසය, මුඛය වැසෙන සේ මුහුණ වසා හුස්ම ගැනීමට නොහැකි වන පරිදි හිරකර මෙම මරණය සිදුකර ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.
ඉන්පසුව මියගිය කාන්තාව කනේ පැලඳි කරාබු යුගල් තුනෙන් දෙකක්, ගෙල හා දෑතේ පැලඳි රන් භාණ්ඩ ද මුදල් ද රැගෙන පලායන්නට උත්සාහ දරා තිබේ.
මේ අවස්ථාවේ එම නිවසේ කාමරයක කුලියට නවාතැන්ගෙන සිටි තවත් යුවළකගෙන් පිරිමි පුද්ගලයා පලායමින් සිටි යුවළගෙන් පිරිමි පුද්ගලයා අල්ලාගෙන තිබේ. ඔහු සමග සිටි අනෙක් කාන්තාව රන් බඩු මුදල් සමග පලාගොස් තිබේ.
පසුව කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයා අල්ලාගත් ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවකු පොලිසියට භාරදුන්නේය.
මීට අමතරව අදාළ සැකකරුව භාරදුන් පුද්ගලයාව පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
පලාගිය සැකකාර කාන්තාව සොයා පොලිසිය විමර්ශන අරඹා තිබේ. ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්.ආර්.ඒ.එස්. රාජපක්ෂ මහතා විසින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය.
මේ පිළිබඳව වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් කමල් ශාන්තප්‍රිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
මේ අතර කුලියට නවාතැන්පළවල් පුද්ගලයන්ට ලබාදීමේදී එම පුද්ගලයන් ගැන හරිහැටි සොයාබලා ලබාදෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴