පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14


පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

(24.09.2024 – 22:45 +0530 – sinhala.adaderana.lk)

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) රාත්‍රියේ නිකුත් කෙරුණි.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

+

+++++++++

පාර්ලිමේන්තු ඡන්දෙ ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

(24.09.2024 – 20:47 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52 ත් 66 ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අද (24) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළේය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52 ත් 66 ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද?, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද ? සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද ? කියලා.”

“මේ කරුණු තුන (3) ඇතුළත් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් වුණාට පසුව තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන නීත්‍යාණුකූලව කතා කරන්න පුළුවන් වෙන්නේ.”

“2024 දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එම විසුරුවාහැරීමේ නිවේදනයත් සමගම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් දෙන්න. 2025 සඳහා අයවැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11 ක් මැතිවරණයකට අවශ්‍ය බව කියා තිබෙනවා.”

+


ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(24.09.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වෛද්‍ය නජිත් ඉන්දික පත්කර තිබෙනවා.

වෛද්‍ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.

පසුගිය වසර පහ (5) තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු සහ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.


ජනපති හෙට (25) ජාතිය අමතයි

(24.09.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (25) රාත්‍රී 07:30 ට ජාතිය ඇමතීමට සූදානමින් සිටිනවා.

ඒ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි ෴

ජනාධිපතිවරයා විසින් හෙට (25) නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්කිරීමට නියමිතයි ෴


පියාගේ තුරුලේ නිදා සිටි 5 හැවිරිදි දැරියව පැහැරගෙන

(24.09.2024 – 21:41 +0530 – sinhala.adaderana.lk)

සිය පියාගේ තුරුලේ නිදා සිටි 5 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කිරීමට තැත්කළ 17 හැවිරිදි තරුණයෙකු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය කෑගැසීම හේතුවෙන් ඇය නිවස අසල වෙල්යායක අතහැර දමා යාමට සැකකරු කටයුතු කර තිබුණි.

ඉකුත් 22 වනදා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

රෝගී තත්ත්වයක් නිසා එදින දැරියගේ මව වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර දැරිය පියා සමග නිදාසිට ඇත්තේ නිවසේ සාලයේ තිබූ ඇඳක් මතය.

රාත්‍රි 11:45 පමණ මව නානකාමරයට යන අවස්ථාව වනවිටත් දැරිය පියාගේ තුරුලේ නිදාසිටින අයුරු ඇය නිරීක්ෂණය කර තිබේ.

කෙසේවෙතත් ඇය යළි කාමරයට ගිය පසුව ඇයට යම් ශබ්දයක් ඇසී ඇත.

දියණියගේ මව :

“ප්ලාස්ටික් පුටුවක් සෙලවෙනවා ශබ්දයක් ඇහුණා. අම්මා කෑ ගහුවා දරුවා නැහැ කියලා. ජනේලයේ රෙද්ද ඈත්වෙලා තිබුණා. මම හිතුවා කවුරුහරි දරුවා අරන් ගිහින් කියලා.”

දියණියගේ පියා :

“මමයි දුවයි නිදාගෙන හිටියේ. බබා නැහැ කියලා කෑ ගහද්දි මට ඇහුණේ. මම කුස්සියට ගිහින් බැලුවා; දුව නැහැ. අම්මයි නෝනයි කෑ ගැහුවා. මම එළියට බැස්සා… ඊට පස්සේ වෙල ළඟ හිටපු දුවව මම අරන් ආවා.”

නිවසේ අනාරක්ෂිත ඡනේලයකින් දැරියව පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධියෙන් පසු සොයාගත් සෙරෙප්පුවක් ඔස්සේ විමර්ශන ඇරඹූ පොලීසියට සැකකරු පිළිබඳ තොරතුරු හෙළි කරගැනීමට හැකිවී තිබුණි.

එම සෙරෙප්පුව ඔස්සේ සිදුකළ විමර්ශන අනුව දැරියගේ නිවසට මීටර් 400 ක් පමණ දුරින් වු නිවන්තිඩිය සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනුණි.

ඒ වෙල්යායේ වැටී තිබූ සෙරෙප්පුව සැකකරුගේ මවට පෙන්වීමෙන් අනතුරුව ඇය එය තම පුතාට අයත් බවට තහවුරු කිරීමෙන් පසුවය.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ මාස දෙකකට (2) පමණ ආසන්න කාලයක සිට දැරිය ගැන තමාට ඇතිවූ දැඩි කැමැත්ත මත ඇයව අපයෝජනය කිරීම සඳහා පැහැරගෙන ගිය බවටය.

සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී අනාවරණ වී ඇත්තේ දැරිය කිසිඳු අතවරයකට ලක්වී නොමැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


‘අද දෙරණ උකුස්සා’ රට හමුවේ හෙළි කළ මහා පස් ජාවාරම

(24.09.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk)

බලපත්‍ර අවභාවිත කරමින් නීතිවිරෝධි මෙන්ම අවිධිමත් ලෙස හා මහාපරිමාණයෙන් සිදුකළ පස් කැණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට ‘අද දෙරණ උකුස්සා’ සමත් විය.

‘උකුස්සාගේ අද (24) අනාවරණය ඒ පිළිබඳවය.

බුලත්සිංහල ඉංගිරිය ප්‍රදේශයේ අවිධිමත් අයුරින් සිදුකරන පස් කැණීමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරක් ලැබුණි.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ නිලධාරින් ද සමග ‘අද දෙරණ උකුස්සා’ එම ප්‍රදේශයට ගියේ ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමටය.

අප එම ප්‍රදේශයට ළඟාවන අතරතුරදීත් පස් පටවාගත් ලොරි රථ කිහිපයක්ම මාර්ගයේ ගමන් කරන අයුරු නිරීක්ෂණය වුණි.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරින් අදාළ ලොරි රථ නවත්වා ඒවායේ බලපත්‍ර පරීක්ෂා කරණු ලැබීය.

එම බලපත්‍ර ව්‍යාජ ඒවා බවට ඇතිවූ සැකය මත ප්‍රවාහනය කරන පස් ප්‍රමාණ සඳහන් ප්‍රවාහන විස්තර පත්‍රිකාව පරීක්ෂා කිරීමට පියවර ගැනුණි.

එහිදී සීමා උල්ලංඝනය කර සහ බලපත්‍ර අවභාවිත කරමින් ඔවුන් අසීමිත ලෙස පස් ප්‍රවාහනය කරන බව තහවුරු විය.

මෙම ජාවාරම සඳහා ඔවුන් විස්තර මැකී යන පෑනක් භාවිත කරමින් තොරතුරු ලියා තිබූ අයුරුත් හෙළිවුණි.

අනතුරුව එම ලොරි රථ රියදුරා ද සමග ‘අද දෙරණ උකුස්සා’ ළඟා වූයේ පස් කැණිම් සිදුකෙරෙන ස්ථානයටය.

අප එම ස්ථානයට ළඟාවන විටත් පිරිසක් එම ස්ථානයේ පස් කැණීමෙහි නිරතවෙමින් තිබුණි.

ඒ අනුව පස් කැණීම් බලපත්‍රය සම්බණ්ධයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් අප වෙත ඉදිරිපත් කළේ 2022 වසරේ නිකුත් කෙරුණු බලපත්‍රයකි.

කෙසේවෙතත් බලපත්‍රය සහ ඉඩමේ ඔප්පුව පරීක්ෂාවේදී අනාවරණ වූයේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් අවසර ලබාදුන් ලොට් අංකයෙන් බැහැරව වෙනත් භූමියක මේ ආකාරයෙන් වසර කිහිපයක සිටම මෙම ජාවාරම සිදුකරන බවය.

ඒ අනුව අදාළ ජාවාරමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරින් පියවර ගත්තේය.

තවත් මෙවැනි නීතිවිරෝධි ක්‍රියා රට හමුවේ අනාවරණය කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.

+


උත්සව නැතුව වැඩ අරඹමින් අගමැතිනිය හරිනි මුලින්ම සේවකයින්ට දුන් උපදෙස (24.09.2024)

+


බොරු බිල්ලෝ මවපු මාධ්‍යයට පාඩමක් – පැය 24 ක් යන්නත් කලින් සමන්ත වැඩ අල්ලයි (24.09.2024)

+


සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

(25.09.2024 – 08:13 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වූ අතර, ඒ සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් ෴


ආණ්ඩුකාරවරු දිවුරුම් දීම අද (25) හවසට

(25.09.2024 – 12:19 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමටද නියමිතව තිබේ.

අද (25) පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ජනාධිපතිවරයා අද (25) රාත්‍රී 07:30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය TV දෙරණ , අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව, එෆ්.එම්.දෙරණ සහ අද දෙරණ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රාත්‍රී 07:30 සිට විකාශය කිරීමට සියලුකටයුතු සූදානම් කර ඇත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *