විවිධ පුද්ගලයන් හා මිතුරු වී ඔවුනට මත්ද්‍රව්‍යක් මුසුකල ආහාර පාන දී සිහිනැති කර රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ යුවලක්

විවිධ පුද්ගලයන් හා මිතුරු වී ඔවුනට මත්ද්‍රව්‍යක් මුසුකල ආහාර පාන දී සිහිනැති කර රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ යුවලක්


විවිධ පුද්ගලයන් හා මිතුරු වී ඔවුනට මත්ද්‍රව්‍යක් මුසුකල ආහාර පාන දී සිහිනැති කර රන් භාණ්ඩ, මුදල් කොල්ලකෑ යුවලක්

(13.09.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala)

විවිධ පුද්ගලයන් හා මිතුරු වී ඔවුන්ට සිහි මුර්ජා වීමට සළස්වා රන් භාණ්ඩ, මුදල් ඇතුළු වටිනා දේපල කොල්ලකෑ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කර්යාල කාර්ය සහායකයකු ඔහුගේ අනියම් බිරිය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර යුවළ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ පුද්ගලයන් හා මිතුරු වන මොවුන් එක්ව ගන්නා ආහාර පානවලට රහසේ කිසියම් මත්ද්‍රව්‍යක් කලවම්කර සිහි මුර්ජා කොට ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සතුව තිබූ සිහි මුර්ජා කිරීමට භාවිතා කළ බවට සැක හදුනා නොගත් මත් පෙති 15 ක් ත්‍රීරෝද රථයක්, ජංගම දුරකථන 4 ක් සමග රුපියල් ලක්ෂ 27 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකාර කාන්තාව රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු හා මිතුරු වී තිබෙනවා.

පසුව ඔහු ඔබේසේකරපුර ප්‍රදේශයේ ලැගුම් හලකට කැඳවාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

එහිදී බීම බෝතල් 2 ක් ගෙන්වාගෙන ඉන් එක් බෝතලයකට මත් පෙති දමා ලබාදී ඔහුගේ සිහි මුර්ජා කොට තිබෙන අතර, පවුම් 08 ක් වටිනා රන්මාල 2 ක් හා ජංගම දුරකථන 2 ක් සොරාගෙන තිබෙනවා.

අනතුරුව කාන්තාව ලැගුම් හලෙන් පලාගොස් තිබෙන අතර පැය ගණනාවකට පසුව ලැගුම්හල් සේවකයින් කාමරය පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු සිහි මුර්ජා වී සිටිනු දැක පොල්සියට දන්වා තිබෙනවා.

ඉන් පසුව‍යි ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇත්තේ.

එම පුද්ගලයා පියවි සිහියට පැමිණ ඇත්තේ දින 3 කට පසුව බවයි පොලීසිය පැවසුවේ.

පසුව හෙළිකළ තොරතුරු මත විමර්ශනය කිරීමෙනු‍යි සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ෴


සොරකමේ ගිහින් දුම්රිය ආරක්ෂකයෙකුට පිහියෙන් ඇනලා

(13.09.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

‘රත්මලාන දුම්රිය අංගනයේදී’ එල්ලකළ පිහි ප්‍රහාරයකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

එම උප පරීක්ෂකවරයාගේ අතේ මැණික් කටුව අසලින් කැපී තුවාල ලබා තිබෙන බවයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ.

රත්මලාන දුම්රිය අංගනයට පැනගත් සොරෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙනවා.

සැකකාර පුද්ගලයා දුම්රිය අංඟනයට පැන රුපියල් 160,000 කට අධික වටිනා Screw Coupling සොරා ගෙනයාමට තැත් කළ බවයි පැවසෙන්නේ.

ඔහු තවත් අයෙකු සමග පැමිණ තිබෙන අතර එකී දෙදෙනාම දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිසියට බාරදීමට කටයුතුකළ බවයි පැවසුවේ.

සැකකරුවන් දුම්රිය අංගනයේ තාප්පයෙන් පැන කර්මාන්ත කලාපයට ඇතුළු වී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

සොරකම සිදුකර පලායෑමට උත්සාහ කිරීමේදී අයෙකු නවත්වා ගැනීමට උප පරික්ෂකවරයා සැකකරුගේ කකුලෙන් අල්ලාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී කකුල අල්ලාගෙන සිටීම වළකාලීමට සැකකරු විසින් තුවාලකරුගේ අතට පිහිපාර එල්ලකර තිබෙනවා ෴


‘පෝට් සිටි’යේ ‘Duty-Free ෂොපිං’ කරන්න පුළුවන් අය මෙන්න

(13.09.2024 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු පළමු Downtown Duty-Free සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත වුණා.

විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිල දී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරු බදු රහිත සාප්පුවලින් අදාළ මිල දී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම සාප්පු සංකීර්ණය හරහා ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.

ඒ අනුව Downtown Duty-Free සාප්පු සංකීර්ණයේ, සාප්පු සවාරියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන ප්‍රධාන පාර්ශව 4 ක් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා.

  1. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයින්
  2. විදේශික සංචාරකයින්
  3. ශ්‍රී ලංකාවෙන් පිටත් වන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින්
  4. රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

ඉහත කාණ්ඩවලට අයත් නොවන පුද්ගලයින් හට මෙම සාප්පු සංකීර්ණයට ප්‍රවේශ වීමේ අවස්ථාව නොලැබෙන බවද සඳහන්.

යම් අයෙකු ශ්‍රී ලංකාවේ සිට පිටරටකට යන්නේ නම් ඊට පෙර මෙම සාප්පු සංකීර්ණයට පැමිණ භාණ්ඩ මිල දී ගත හැකි අතර අදාළ භාණ්ඩ ගුවන් තොටුපළේදී ලබා ගත හැකියි.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන යම් අයෙක් වේ නම් ඔහු දිවයිනට පැමිණ දින 4 ක් තුළ තමා සුදුසුකම් ලබන තීරු බදු රහිත මිල දී ගැනීමේ වියදම් සීමාව තුළ, මෙම සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීම් සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ ෴


උසස් පෙළ විභාගයට දින නියම වෙයි

(13.09.2024 – 11:58 +0530 – hirunews.lk/sinhala)

මෙවර ‘උසස් පෙළ විභාගය’ නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම අනිද්දා (15) පැවැත්වෙන ‘පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය’ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන 2,849 කදී අපේක්ෂකයින් 3,23,879 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත බවයි.

පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ අසුන් ගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේ ෴

++++++++++

ශිෂ්‍යත්ව විභාගය බාධාවක් නැතිව පවත්වන්න ආපදා මධ්‍යස්ථානයෙන් සුදානමක්

(13.09.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය (15) තුළදී විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීමක් වෙනවා.

යම් ආපදාවක් නිසා කිසියම් දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 011 366 8020 / 011 366 8100 / 011 366 8013 / 011 366 8010 සහ 076 311 7117 යන අංක වෙත ඒ බව දැන්විය හැකිය.

එතුළින් හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර දිමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

මෙම විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක ක්‍රියාත්මක වන්නේ සෙනසුරාදා (14) හා ඉරිදා (15) දිනයන්හි පමණක් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

විභාග කාල සීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සදහා හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළින් භාගත කර ගත හැකිය.

https://www.dmc.gov.lk


හොරුන්ගෙන් කප්පම් ගන්න ‘නියම හොරු’ සහ අරුම පුදුම ‘මාධ්‍ය නිදහස’ | විමල් නිදසුන් සහිතවම පෙන්වයි ! (13.09.2024)

+


ආචාර්ය – මහාචාර්යලා කොච්චර කියව්වත් ටිල්වින්ලා තමයි අවසන් තීන්දුව ගන්නෙ | ආනන්ද සාගර හිමි (13.09.2024)

+


පහර කෑ පාසල් සිසුවිය මාසයකට වැඩි කලක් දැඩි සත්කාර ඒකකයේ

(13.09.2024 – 20:05 +0530 – sinhala.adaderana.lk)

පාසල් සිසුවියකට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු (2) අද (13) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ වෙන්නප්පුව නගරයට ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකි (2).

මේ අතර පහර කෑමට ලක්වූ සිසුවිය මාසයකට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.

දැරියගේ තත්ත්වය පිළිබදව මේ දක්වා රෝහලේ බලධාරීන් කිසිවක් ප්‍රකාශ නොකළ බව දෙමාපියන් පැවසීය.

මෙම සිසුවියට ප්‍රතිකාර කිරීම සදහා රුපියල් ලක්ෂ 3 ක සානුකම්පිත දීමනාවක් ගෙවීමටත් මහෙස්ත්‍රාත්වරයා සැකකාර ගුරුවරියන් ට නියෝග කළේය ෴


ආගමන හා විගමන පාලකට එරෙහිව චෝදනා ගොනුකරන්නැයි නියෝග

(13.09.2024 – 17:17 +0530 – sinhala.adaderana.lk)

මෑතකදී රජය විසින් හඳුන්වා දුන් විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

එම චෝදනා කෙටුම්පත් කොට ලබන 25 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර තිබේ.

අදාළ වීසා ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ එම්.ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (13) මෝසමක් මඟින් කැඳවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළහ ෴


ලාල්කාන්ත මේ පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද..? (13.09.2024)

+


88/89 මව්බිම ලෙයින් තෙත්කළ කළු ජූලිය…. (13.09.2024)

+


2025 වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන දිනය මෙන්න

(14.09.2024 – 11:11 +0530 – hirunews.lk/sinhala)

2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි වර්තා වන්නේ ෴


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්

(14.09.2024 – 10:21 +0530 – hirunews.lk/sinhala)

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (14) දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ.

එමෙන්ම මෙවර ජනපතිවරණයේ තැපැල් ඡන්ද භාවිතය 98% ක් බවයි ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


ලබන 20 වැනිදා බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර කවුළු වැසෙයි

(14.09.2024 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් මුදාහැරීමට සිදුවන බැවින් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුලු ලබන 20 වනදා වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව පවසනවා.

එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්.ඒ. කළුආරච්චි සඳහන් කළේ එදිනට ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි ෴


ඡන්දයට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට දඩ

(14.09.2024 – 07:01 +0530 – hirunews.lk/sinhala)

ඡන්දය සඳහා පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු ලබා දෙන ලෙස ‘පැෆ්රල් සංවිධානය’ සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

යම් ආයතනික ප්‍රධානියෙකු මෙම නීතිය නොසලකා කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකක (2) දඩයක් සහ මාසයක (1) සිරදඬුවමක් හිමිවන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි සිදුවීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම එවැනි සිද්ධීන් ඇති වුවහොත් ඒ පිළිබඳව තම සංවිධානය දැනුවත් කරන ලෙසයි පැෆ්රල් සංවිධානය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ෴


ප්‍රවාහන ඇමති හැමදාම යන්නෙ බස් එකෙනුයි කෝච්චියෙනුයි | එංගලන්තෙ මන්ත්‍රී වුණ පළමු ශ්‍රී ලාංකික කාන්තාව | 13.09.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *