වසර 2,200 කට පෙර තිබූ මූල්‍ය ආයතන ගැන හෙළිකළ ‘දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය’

වසර 2,200 කට පෙර තිබූ මූල්‍ය ආයතන ගැන හෙළිකළ ‘දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය’


වසර 2,200 කට පෙර තිබූ මූල්‍ය ආයතන ගැන හෙළිකළ ‘දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය’

(10.09.2024 – 20:41 +0530 – sinhala.adaderana.lk)

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ.

එම ශිලා ලේඛනය වසර 2,200 ක් පමණ පැරණි බවට අනුමාන කෙරේ.

එසේම මෙය මෙතෙක් මෙරටින් හමුවී තිබෙන ‘පූර්ව බ්‍රාහ්මීය අක්ෂර’ වලින් ලියන ලද විශාලතම ශිලා ලේඛනය යි.

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් එම සෙල් ලිපිය පසුගිය වසරේදී (2023) සොයා ගැනුණි.

විශේෂයෙන් පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් සමන්විත මෙම සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 137 සහ 119 යන කාල වකවානුවට අයත් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විද්වත් මණ්ඩලය හඳුනාගෙන තිබුණි.

‘ආදි බ්‍රාහ්මීය අක්ෂර’ 24 ක් ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතර ඉන් අක්ෂර 23 ක් මෙම ශිලා ලේඛනයෙහි සඳහන් ය.

ඒ සම්බන්ධයෙන් එම විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කරුණු පැහැදිලි කළේය :

“ඊට අමතරව අපිට සංකේත දෙකක් (2) හඳුනාගන්න හැකිවුණා. භාෂාව හැටියට සිංහල ප්‍රාකෘත භාෂාව පාවිච්චි කරලා තියෙනවා. ලිපියේ කාලය සහ කතෘත්වය ඉතා වැදගත් වෙනවා. ඒ ගැන විවිධ කතා බහ තිබුණා. අපි පැහැදිලිව හඳුනා ගත්තා මෙම ශිලා ලේඛනයේ තිබෙන නම් අනුව මෙහි තිබෙනවා ‘අයතිෂ’ කියන නාමය අපි හඳුනාගත්තා ඒ ‘කාවන්තිස්ස රජතුමා’ කියලා ඒ වගේම එහි ‘මහරජ තිෂ’ වශයෙන් තිබෙනවා. අපි ඒක නිවැරදිව හඳුනාගත්තා. ‘සද්ධාතිස්ස රජ තුමාට’ අයිතියි කියලා. ඒ අනුව අපි විශ්වාස කරනවා මෙම ශිලා ලේඛනය ‘සද්ධාතිස්ස රජ තුමාගේ’ කාලයෙදී – තවත් තේරෙන විදියකට කිව්වොතින් අදින් අවුරුදු 2200 කට පෙර ලියන ලද ශිලා ලේඛනයක්. මෙහි විශේෂත්වය තමයි මෙතෙක් මෙරටින් ලැබී තියෙන ‘පූර්ව බ්‍රාහ්මීය අක්ෂර’ වලින් ලියන ලද විශාලතම ශිලා ලේඛනය මෙයයි.

එසේම ශාසනය වෙනුවෙන් කරන ලද මහා පරිමාණ පරිත්‍යාග ගැන සඳහන් වන මෙතෙක් හමුවෙලා තිබෙන පැරණිම සෙල් ලිපිය හැටියටත් මෙය හැඳින්විය හැකියි. එසේම අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදියේ දිවයිනේ නැගෙනහිර පළාතේ විශේෂයෙන් දිඹුලාගල ගැන තොරතුරු විශාල ප්‍රමානයක් එහි දැක්වෙනවා.

මෙම ශිලා ලේඛනයේ පළමු පේළිය අවාසනාවකට ගෙවිලා ගිහිල්ලා. මෙම ශිලා ලේඛනයේ දැක්වෙනවා ලංකාව පාලන ඒකක හැටියට කොටස් කිහිපයකට බෙදලා රජවරු විසින් පාලනය කළ බව. මෙම ශිලා ලේඛනයේ වැදගත් රජ පරපුරක් පිළිබඳව අපට හමුවෙනවා. ‘දේව මූශික’ කියන කර්ණිකාව පාලනය කළ පියපුතු පරපුරක් ගැන දැක්වෙනවා. එහි ‘ගමනි අෂලි’ කියන රජෙක් ගැන, ඒ වගේම ඔහුගේ පුත්‍ර ‘ශිව’ කියන කෙනෙක් ගැන ඒ වගේම ‘සුර තිස්ස’ කියලා කුමාරයෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. එසේම ‘දීප රාජ’ කියලා කිසියම් රාජ්‍ය පාලකයෙක් පිළිබඳව මෙහි දැක්වෙනවා. ‘දීප රාජ’ කියන නම මිහින්තලේ ශිලා ලේඛනයකත් දැක්වෙනවා. මේ රජවරු දෙන්නම එක්කෙනෙක් ද කියන එක ගැන අපිට සැකයක් තියෙනවා.

කෘෂි ආර්ථිකය සහ වෙළෙඳ ආර්ථිකය ගැනත් එහි දැක්වෙනවා. කුඹුරු බදු, බිම් බදු පිළිබඳව ඉඩම් කොටස් ආරාම වලට පැවරීම පිළිබඳව ඒ වගේම එම බදු ආරාමයේ පරිහරණය සඳහා කෙසේ යොදා ගත යුතුද යන්න පිළිබඳවත් එහි දැක්වෙනවා. ඒ වගේම ලංකාවේ බැංකු වලට සමාන කළ හැකි කිසියම් වෙළෙඳ ආයතන හෝ මූල්‍ය ආයතන ගැන තොරතුරු මෙහි දැක්වෙනවා. ඒක ලංකාවේ පළවෙනි අවස්ථාව තමයි ශිලා ලේඛනයක බැංකුවලට සමාන සමාන ආයතන ගැන වාර්තා වෙන එක. මේකේ එබඳු මූල්‍ය ආයතන 3 ක් ගැන දැක්වෙනවා. ‘මුලතන, දේවතන, බදනතන සහ අරියතන’ වශයෙන් ඒවා හඳුන්වල තියෙනවා.

වසර 2200 කට පෙරත් මෙම දිඹුලාගල කලාපයේ බුදුදහම හොඳින් ව්‍යාප්තව තිබූ බව අනාවරණය වුණා. මෙම ආරාමයට විවිධ පරිත්‍යාග කළ අය ගැනත් සඳහන්. එම සමාජය වෘත්තිකයින් හැටියට අශ්වාරෝහකයින්, චිත්‍ර ශිල්පීන්, ආචාර්යවරුන්, කාර්මික ශිල්පීන් දාසයන් බ්‍රාහ්මණයන් මැණික් කර්මාන්තකරුවන් ගැන දැක්වෙනවා. ඔවුන් මෙම ආරාමයට දායකත්වය දීලා.

පොදුවේ ගත් කළ අනුරාධපුර රාජධානි සමයේ මුල් අවදීයේ දේශපාලන, ආර්ථික, ආගමික සහ සමාජයික තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වන මෙම ශිලා ලේඛනය ඉදිරියේදී ඉතිහාසඥයින් පුරාවිද්‍යාඥයින් ඒ වගේම භාෂා විශාරදයින් විසින් අධ්‍යයනය කළ යුතුයි. ඒ එක්කම මේ ශිලා ලේඛනය මහාර්ඝ වස්තුවක් ලෙස අප සලකනවා. අපේ උරුමයක් ලෙස ආරක්ෂා කළ යුතු වෙනවා. එහි ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජනතාවට මෙය දැකබලා ගැනීමට අවස්ථාව දිය යුතුයි. දිඹුලාගල ශිලා ලේඛනය තවදුරටත් කැලයේ වැස්සට තෙමෙන අව්වට වේලෙන ගල් ගෙඩියක් නොකොට මෙම ශිලා ලේඛනය කල්ප රුක්ෂයක් කරගත යුතුයි…”

+


හරිනි පැහැදිලිව නිරාගමික රාජ්‍යයක් කරන්න යෝජනා කරලා තියෙනවා – නලින්ද ජයතිස්ස දුරකථනයෙන් පිළිතුරු සපයයි (10.09.2024)

+++++++++++

කුණුහරුපෙන් මරණ තර්ජන කරන රාජාංගනයේ හිමි සංඝාධිකරණයට කැඳවයි.? (10.09.2024)

+


කඩුවක් පෙන්වා සම්බාහන කතුන් දෙදෙනෙකු (2) සමූහ දූෂණයට ලක් කල කල්ලියක්

(10.09.2024 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කඩුවක් සහිතව සම්බාහන ආයතනයකට ගිය පුද්ගලයන් 6 දෙනෙකු විසින් එහි කාන්තාවන් දෙදෙනෙකු (2) සමූහ දූෂණයට ලක්කොට තිබෙනවා.

ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකින් සිදුවීම වාර්තා වන බවයි යක්කල පොලිසිය පවසන්නේ.

මෙම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු (5) සේවය කර ඇති බවත් සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඇතැයිද පොලිසිය පවසනවා.

මේ අතර එම කාන්තාවන් සතු ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු (2) පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බවට පැමිණිල්ල ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර

(10.09.2024 – 13:10 +0530 – hirunews.lk/sinhala)

2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරයේ පසුවන බවයි.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යෙදී ලබන ඉරිදා උදෑසන 09:30 ත් දහවල් 12:15 අතර කාලයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලී ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ජනතාවගෙන් ඉල්ලීමක් කළා ෴


කොට්ටාවේ අමුතුම සෙල්ලමට අතුරුගිරියේ ලොකු අයියා මාට්ටු (10.09.2024)

+


උඹලා ඌව ඉවරයක් කළා | වසන්තට ෂොට් එක දෙද්දි පණ බයෙන් හැංඟුණු පුද්ගලයා | සීසීටීවලින් හෙළි වූ රහස මෙන්න (10.09.2024)

+


නිවසක මෙහෙකාරකමට ගිය පළමු දිනයේම රු. ලක්ෂ 85 ක දේපළ සොරාගත් කාන්තාව දැලේ

(10.09.2024 – gossiplankanews.com)

දෙහිවල ලියනගේ පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මෙහෙකාර සේවයට ගිය දිනයේම රුපියල් ලක්ෂ 85 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් සොරා ගත් කාන්තාව රත්මලාන දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තැනැත්තියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිමේදී වළලු දෙකක් (2), පෙන්ඩනයක්, මාලයක්, මුදු හා උණු කරන ලද ග්‍රෑම් හතළිහක (40) බරින් යුත් රත්තරන් පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ සොරකම පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ජයතුංග නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකාරිය රත්මලාන දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් රන් අභරණවලින් විශාල කොටසක් පිටකොටුව හෙට්ටි විදීය ප්‍රදේශයට විකුණා ඇති බවට අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

ඒ වනවිටත් එම රන්අභරණ උණු කර තිබූ අතර සැකකාරියගේ නිවසේ සඟවා තිබූ තවත් රන්අභරණ තොගයක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි. සැකකාරිය මේ ආකාරයෙන් පුවත්පත්වල පළ කර තිබූ දැන්වීම් අනුව ඉකුත් මසදී පමණක් නිවෙස් වල මෙහෙකාර සේවයට හා ගොස් හොරණ සහ මිරිහාන නිවෙස් දෙකක (2) මුදල් සහ රන් අභරණද සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි. සැකකාරිය පුරුද්දක් ලෙස මෙම සොරකමට යොමු විම හේතුවෙන් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.

මේ අතර එම තහනම ඉවත් කර දෙන බව පවසා ඇයගෙන් විදේශගතව සිටින කාන්තාවක් අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට තිබෙන බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ විසිපහක (25) මුදලක් ගිණුම්ගත කරගෙන තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇය මිට පෙරද පොලිසි ගණනාවක් මගින් මෙම වරදටම අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


අරුන් සිද්ධාර්ත් ගෙන් සැර පිළිතුරක්

(11.09.2024 – 07:10 +0530 – sinhala.adaderana.lk)

තමන් වරදක් සිදුකර නැතිනම් ජනතාව හමු වී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව ‘මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික’ සහ ‘යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක’ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පසුගිය 07 වනදා ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වූ විවාදයට නොපැමිණි අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඔහු පෙන්වා දෙන්නේ, විවාදයකට සහභාගීවිමට පවා නොහැකි පුද්ගලයින්ගෙන් ජනතාවට පවතින පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවය.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ත් මහතා :

“අපි දැක්කා අමෙරිකාවේ මේ විවාද, ලෝකේ වටේ මේ විවාද සිදුවෙනවා. ජර්මන්වල, ෆ්‍රාන්ස්වල, මෙක්සිකොවල, එංගලන්තයේ වගේ දියුණු වෙච්ච රටවල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සෘජුව විවාද කරන එක සංස්කෘතියක්. ඒ ‘සිස්ටම් චේන්ජ්’ එක අපිත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ විවාදයට මේ කිසිම කෙනෙක් සහභාගි වුණේ නෑ. මේ අය හැමකෙනාම පස්ස ගැහුවා. ඒකම තරුණයන්ට හොඳ සලකුණක්. දිලිත් ජයවීර මැතිතුමා ඇරෙන්න, අර අනිත් අපේක්ෂකයෝ පස්දෙනාම මේ චූටි ‘චෙන්ජ්’ එකවත් කර ගන්න බැරි වුණ අය. කොහොමද අනිත් ඒවා වෙනස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. තමන් ළඟ වරදක් නැත්තන් ඇයි මිනිස්සු හම්බ වෙන්න බය වෙන්නේ. මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බය වෙන්නේ.”

“සමාජ මාධ්‍යවල කියනවා දිලිත් ජයවීර මහත්තයා ‘ඇන්ටිජන්’ හොරකම් කළා කියලා, නැත්තන් ‘නයි පෙන්නුවා’ කියලා. ඔය ප්‍රශ්න ටික අහන්න තිබුණා නේ විවාදයට ඇවිලා. ඒ ෆයිල් ටික ගෙනැල්ලා අනුර කුමාර මත්තයාට කෙලින්ම ඇවිල්ලා දාන්න තිබුණා නේ. ෆයිල් එකතු කරන්න හොඳ දක්ෂ මිනිස්සුනේ. ඒ නිසා නැවත වතාවක් අපෙන්නම් අහන්න එපා මේ ‘ඇන්ටිජන් කතාවයි, නයි කතාවයි’. 07 වෙනිදායින් පස්සේ ඒක වලංගු නෑ.”

“අනුර කුමාර මහත්තයා යාපනේ ඇවිල්ලා කරපු ප්‍රකාශයක් තියෙනවා. දකුණේ ජනතාව අපිට තමයි ඡන්දේ දාන්නේ, අපි අනිවාර්යයෙන් ජය ගන්නවා. ඒ ජයග්‍රහණයේදී උතුරේ ජනතාවත් අපිට අනිවාර්යයෙන් ඡන්දේ දාන්න ඕනේ නැත්තන් දකුණේ අය හතුරෝ හැටියට සලකයි කියලා. බය කරලා, තර්ජනය කරලා, මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගන්නේ ඒ වගේ කතාවක් තමයි කියලා ගියේ. ඒ කතාව අපි පැහැදිලිව දෙතුන්පාරක් ඇහුවා. අර ලාල්කාන්තලා දෙන්නේ පුස් ටෝක්. මිනිස්සුන්ව බය කරලා ඡන්දෙ ගන්න. ඒ වගේ කතාවක් ඕක. චණ්ඩිකම් පෙන්නලා ඡන්දෙ ගන්න බෑ අනුර මහත්තයා.”

“අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි බලයට ආවොත් කරන දේ කියලා තියෙනවා. මේකට එකඟ නම් අපිට ඡන්දෙ දාන්න කියලා තමයි අපි කියන්නේ. එක තමයි හරි කතාව. ඒ චණ්ඩිකම් දකුණේ තියා ගන්න. උතුරට ඇවිල්ලා දාන්න එපා. දකුණෙත් තියාගන්න එපා. දකුණෙත් ඕවාට අහුවෙන්නේ නෑ.”


‘SF ලොක්කා’ ඝාතනය කළ හැටි ‘බැටා’ හෙළිකරයි

(10.09.2024 – 19:51 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

එම සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳ අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව පැවසීය.

2023 සැප්තැම්බර් 17 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් වන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 05 වනදා ය.

සිද්ධියට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් උපයාගෙන ඇත්දැයි සොයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමට සම්බන්ධ කසුන් මධුසංක නොහොත් ‘බැටා’ විසින් කළ ප්‍රකාශයක් අනුව ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

‘බැටා’ නැමැති පුද්ගලයා පවසා ඇත්තේ තමන් ‘SF ලොක්කා’ සමඟ ඇතිවූ ආරවුලක් උපයෝගී කරගනිමින් එවක අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම, උප පොලිස් පරීක්ෂක බාලසූරිය සහ පොලිස් සැරයන් ඩග්ලස් අප්පුහාමි යන අය සමඟ සම්බන්ධ වී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවයි.

එහිදී ‘SF ලොක්කා’ ඝාතනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් බවට පැවසෙන ‘රවීන්ද්‍ර’ නැමැත්තාට අයත් අනුරාධපුර උළුක්කුලම ඉඩමකට ගොස් T-56 අවියක් සහ උණ්ඩ 4 ක් ලබාදී වෙඩිතැබීමට අවශ්‍ය පුහුණුව ද අදාළ පොලිස් නිලධාරියා තමන්ට ලබාදුන් බව ඔහු පවසා ඇති බව සඳහන් ය.

අනතුරුව 2020 අගෝස්තු 05 වනදා සැකකරු පොලිස් සැරයන් ඩග්ලස් අප්පුහාමි සමඟ යතුරු පැදියකින් ‘SF ලොක්කා’ගේ මෝටර් රථය හඹාගොස් දහයියාගමදී වෙඩි තබා ඝාතනය කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

ඝාතනයෙන් පසු අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයින් පිරිසක් විසින් අදාළ පොලිස් නිලධාරීන්ට රුපියල් කෝටි 13 ක මුදලක් ලබාදී ඇති බවද ‘බැටා’ නැමැත්තා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබීමට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘ලක්ෂාන්’ නැමැත්තෙකුට T-56 අවියක් ලබාදී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් ය.

තවද හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම, ‘අවුරා ලංකා පුද්ගලික සමාගමේ සභාපති විරංජිත් තාඹුගල’ සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සහාය දී ඇති බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් පිළිබඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ය.

+


අධිවේගී මාර්ගයේ අතුරුගිරියේ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් කොට්ටාව අන්තර් හුවමාරුව ආසන්නයේ 0.3 වන කිලෝමීටර් කනුව අසලදී හදිසියේම ගිනිගැනීමට ලක්වීමෙන් 10.09.2024 දින උදෑසන සිදුවූ අනතුර (facebook.com/accident1stofficial/)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *