විමල් වීරවංශ මහතා සහභාගීවූ ‘හිරු සලකුණ’ අතුරුදහන් !

විමල් වීරවංශ මහතා සහභාගීවූ ‘හිරු සලකුණ’ අතුරුදහන් !


විමල් වීරවංශ මහතා සහභාගීවූ ‘හිරු සලකුණ’ අතුරුදහන් !

(03.09.2024 – web.facebook.com/WimalWeerawansa.sl)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගීවූ ‘හිරු’ රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (02) රාත්‍රී 10:30 ට සජීවීව විකාශනය කරනු ලැබූ ‘සලකුණ’ සංවාදශීලී දේශපාලන වැඩසටහනේ සියළු පටිගත කල පිටපත් මේ වන විට අදාල මාධ්‍ය ආයතනය ඇතුළු සියළුම අන්තර්ජාල වෙබ් අඩවි වලින් ඉවත්කර තිබේ.

සජීව ව විකාශනය කල රූපවාහිනී වැඩසටහනක් පැය කිහිපයක් තුල එය සටහන්ව තිබූ සියළු තැන්වලින් මෙසේ එකවර ඉවත්කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලාංකික මාධ්‍ය ඉතිහාසයේ පළමු වතාවටය. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ප්‍රමුඛ, ප්‍රවීන මාධ්‍යවේදීන් තිදෙනෙකු (3) විසින් මෙහෙයවනු ලබන ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහන දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් දහස් ගණනක් විසින් නරඹන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකි.

ඊයේ (02) රාත්‍රියේ මෙම වැඩසටහනට සහභාගීවූ විමල් වීරවංශ මහතා විසින් ලාංකීය සහ ලෝක දේශපාලනය තුල සිදුකෙරෙන විදේශීය බලපෑම් පිළිබඳ ඉතා සාධනීය විග්‍රහයක් සිදුකරනු ලැබූ අතර චීනයේ BRI ව්‍යාපෘතියට දායකවූ රටවල් එකිනෙක අධිරාජ්‍යවාදී කඳවුරු විසින් ගොදුරු කරගනු ලැබූ ආකාරය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලැබූයේ අනාගතයේ සිදුවිය හැකි බොහෝ ආක්‍රමණ පිළිබඳවද උදාහරණ ද සහිතව අනතුරු අඟවමිනි. එසේම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බොහෝ දේශීය පාර්ශවයන් මෙම අධිරාජ්‍යවාදීන්‌ගේ අතකොළු බවට පත්ව ඇති ආකාරය විමල් වීරවංශ මහතා විසින් පවසනු ලැබූයේ, ‘අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ’ යනු ඇතැම් ඊනියා විචාරකයින් පවසන ආකාරයේ හිතලූන් නොවන බවට කරුණු තහවුරුකර පෙන්වමිනි.

වත්මන් ජනාධිපතිවරයා, විරුද්ධ පක්ෂ නායකයා හෝ අනුර කුමාර දිසානායක යන කවරෙකු ජනාධිපතිවරණයේ ඡන්ද අතර පෙරමුණට පැමිණියත් රටේ ඉරණම තීරණය කරනු ලබනු ඇත්තේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන මේ ප්‍රතිගාමී බලවේගයන් විසින් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ඉතා පැහැදිලිව තහවුරු කරනු ලැබීම ‘සලකුණක් වත් නොතබා’, මෙසේ ‘සලකුණ’ අතුරදහන් කිරීමට හේතුව විය හැකි බව බහුතරයක් විචාරකයින් සහ ප්‍රේක්ෂකයින්ගේ මතයයි. එසේම හෙට (04) දින ආරම්භවීමට නියමිත තැපැල් ඡන්දය නිසා මෙම හදිසි ඉවත්කිරීම පිටුපස කිසියම් දේශපාලන බලපෑමක් තිබිය හැකි බවටද තොරතුරු වාර්තාවේ.

කෙසේවෙතත් මෙම ‘සලකුණ’ වැඩසටහනේ පිටපතක් ලබාගත හැකිදැයි විමසමින් අඛණ්ඩව වර්ධනය වන ඉතා විශාල විමසීම් ප්‍රමාණයක් මේ වන විට අප වෙත ලැබෙමින් පවතින අතර අදාල වැඩසටහනේ දී ඉදිරිපත්වූ කරුණුවල වැදගත්කම සලකාබලා අවම වශයෙන් එම සංවාදයේ උපුටාගත් කොටස් හෝ අපගේ පාඨකයන් වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට අපි අදහස් කරමු.


බදු එකතු කළ කල්ලියේ කිහිපදෙනෙක් අත්අඩංගුවට

(03.09.2024 – 22:16 +0530 – sinhala.adaderana.lk)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බැවින් ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙස ඇය එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී තිබේ ෴

++++++++++

“ජනපතිවරණයදා ලේ සෙලවීමක්” බිය මතුකළ සැකය ගැන පොලිසිය කියන කතාව (03.09.2024)

+


කතරගම දේවාලයේ පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්

(03.09.2024 – 15:20 +0530 – sinhala.adaderana.lk)

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10 ක කාලයක් තුළ එහි ඉදිකිරීම් නිම කර ඇත.

මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දල වශයෙන් රුපියල් මිලියන 160 කි. එසේම තවත් රුපියල් මිලියන 50 ක මුදලක් එහි උපකරණ සඳහා වියදම් වී ඇත.

පිළිකා රෝගයෙන් පීඩා විඳින මෙරට ළමා රෝගීන් සඳහා ප්‍රතිලාභ ලැබිය හැකි ලෙස මහල් 4 කින් සමන්විත අංග සම්පූර්ණ මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසිකව රෝගී දරුවන් 70 කට ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබේ.

මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නියෝජනය කරමින් එහි උසස් නිලධාරීන් පිරිසක් එක්වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුනසේකර ඇතුළු පිරිසක් එක්විය.

+


විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්

(04.09.2024 – 18:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත සදහන් කළේ මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවයි.

මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45,000 කට අධික බවත් ඔහු සඳහන් කළා ෴


හෙළුවෙන් එන සොරෙක් නිසා ගම්මාන දෙකක් (2) භීතියෙන්

(04.09.2024 – 15:23 +0530 – hirunews.lk/sinhala)

දින කිහිපයක් තිස්සේ නිරුවතින් නිවෙස්වලට ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වනවා.

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ගම්මානවල ජනතාව මේ හේතුවෙන් භීතියටත් අපහසුතාවටත් පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරු පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර අළුයම නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වු පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි වාර්තා වනවා.

එහිදී ඇයගේ දරුවෙකු විසින් සොරාට පහර දෙන විට නිරුවතින් සිටි තැනැත්තා පලාගිය බවට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ නිරුවතින් පැමිණ තිබෙන පුද්ගලයෙක් නිවෙසක ආරක්ෂක කැමරාවේ පටිගත වී තිබෙන බවද පැවසෙනවා.

මෙම සිදුවීම සතියක පමණ සිට සිදුවන බවට කහවත්ත පොලිසියට පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි කහවත්ත පොලිසිය පවසන්නේ ෴


උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයට

(04.09.2024 – 17:28 +0530 – sinhala.adaderana.lk)

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය හඳුවාදී ඇත.

මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඒ අනුව, අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.

මේ අතර, කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබාගත හැකි වනපරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා වෙ‍ළෙඳ මණ්ඩල ඇතුළු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අධිකාරීන් සහ ආයතන සමග ඒකාබද්ධ කරමින් මාර්ගගත ලේඛන සත්‍යාපන සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගෙන ඇත.

උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල මාර්ගගත සත්‍යාපනය සඳහා පහත ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට
( https://mfa.gov.lk/online-consular-services/ ) පිවිස හරහා මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබෙනු ඇත.

සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතුය.

ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය (පාරිභෝගික පිටපත) අයදුම්කරු විසින් සපයන ලද විද්‍යුත් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ. අවශ්‍ය පරිදි පාරිභෝගික පිටපත අදාළ විදේශ දූත මණ්ඩල වෙත ඉදිරිපත් කළ යුතුය.

අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංක වන 011 233 8812 / 011 244 6302 ඇමතීම මගින් හෝ
authentication.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධවීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම් සිදු කළ හැකිය ෴


රනිල්ගේ ස්ටිකර් ඇලවූ කොළඹ ත්‍රිරෝද රථ හිමිකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

(04.09.2024 – 20:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහය පළකරමින් ප්‍රචාරණ ස්ටිකර් අලවා ඇති ත්‍රිරෝද රථවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝග කර තිබෙනවා.

ඒ අද (04) ගාලු මුවදුර පිටියේ දී ත්‍රිරෝද රථ රියදුරන් ගෙන්වා සංවිධානය කර තිබූ එම ප්‍රචාරණ වැඩසටහන සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකින් පසුවයි.

මැතිවරණ ආචාරධර්ම පිළිබඳ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඡන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර් වැනි ප්‍රචාරණ දැන්වීම් අදාළ අපේක්ෂකයා ගමන්ගන්නා වාහනයේ පමණක් ප්‍රදර්ශනය කිරීමටයි අවසර ලැබී ඇත්තේ.

ඒ අනුව අපේක්ෂකයන් ගමන්ගන්නා වාහන හැර අනෙකුත් කිසිදු වාහනයක මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම මැතිවරණ ආචාර ධර්ම කඩකිරීමක් ලෙස සඳහන්.

කෙසේවෙතත් එවන් පසුබිමක කොළඹ ගාලු මුවදුර පිටියේ දී පුළුවන් ශ්‍රී ලංකා නම් වූ දැන්වීම් ස්ටිකර් ත්‍රී රෝද රථ සඳහා ඇලවීම හා බෙදාහැරීමේ වැඩසටහනක් පවත්වා තිබුණා.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී සිටියා.

මෙම වැඩසටහන සඳහා දිවයිනේ ත්‍රි රෝද රථ රියදුරන් ගෙන්වා ගැනීමට වට්සැප් සමූහයක් හරහා පණීවුඩද හුවමාරු වී තිබුණා.

මේ අතර මෙවැනි ප්‍රචාරණ ස්ටිකර් සහිත වාහන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ දිනවල නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා.

තැපැල් ඡන්ද විමසීම ත්‍රියාත්මක පසුබිමක මෙවැනි ස්ට්කර් ප්‍රචාරන වැඩසටහන් ක්‍රියාත්මක වීම සදාචාරාත්මක නොමැති බවයි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසන්නේ.

කෙසේවෙතත් මේ සම්භන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයට ලඳ පැමිනිල්ලක් මත කොළඹ දිස්ත්‍රික්කය තුල එවැනි ප්‍රචාරන ස්ටිකර් අලවා ඇති වාහන හා එහි හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර NPP කතාව සහ JVP ක්‍රියාව නම් කෘතියක් එළිදැක්වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය විසින් එම වැඩසටහනද අත්හිටුවා තිබෙනවා.

ඒ අදාළ වැඩසටහන ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන්නැයි දැනුවත් කරමින් ෴

+++++++++

(04.09.2024 – 21:09 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත ‘NPP කතාව සහ JVP ක්‍රියාව’ නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයක් බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (04) පැවැත්වීමට නියමිතව තිබුණි.

එම ස්ථානයට ආරාධිත දේශකයින්ද පැමිණ සිටි පසුබිමක බොරැල්ල පොලීසියේ නිලධාරීන් එහි පැමිණියේ මැතිවරණ කොමිසමේ දැනුම්දීමකට අනුවය.

පසුව පොලිස් නිලධාරීන්ගේ ද අධීක්ෂණය යටතේ උත්සවය නොපවත්වා ග්‍රන්ථය එළිදැක්වීම පමණක් සිදුකෙරුණි ෴


යාල කැලේ බත්කූරන් එකතු කළ ඉතාලි තාත්තටයි පුතාටයි රුපියල් කෝටි 6 ක් දඩ

(04.09.2024 – gossiplankanews.com)

යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු දෙපලකට රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක (6,01,80,000) දඩ මුදලක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් ඊයේ (03) නියම කරනු ලැබීය. මෙලෙස දඩ නියම වූයේ වයස අවුරුදු පනස් අටක් (58) වන පෙරාරි ලුයිගි හා වයස අවුරුදු 28 ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය පුතු දෙපළකටය.

මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල ද බව තිස්සමහාරාම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. ඉතාලි ජාතිකයන් වෙනුවෙන් වෙනත් ප්‍රදේශ වලින් පැමිණි නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, ඔවුන් විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉතාලි ජාතිකයන් දෙපල සතුන්ට ආදරය කරන පුද්ගලයන් බවයි.

මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් විදේශ ජාතිකයන් නිසා මෙම නඩුකරය ඉක්මනින්ම විසඳීම සඳහා අධිකරණය ඉතා ඉක්මනින් කටයුතු කළ බවත් ඊට අදාළ විශේෂඥ වාර්තා කඩිනමින් කැඳවීමට හැකිවූ බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම මෙම විත්තිකරුවන් මූලික අවස්ථාවේදීම වරද පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් මෙම පරීක්ෂණය කඩිනම් වීමට ඉවහල් වූ බවද කීය.

වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙම ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කරනු ලැබූ වරදක් බැවින් ගොනු කරන ලද චෝදනා තුන්සිය හතරටම (304) වැරදිකරුවන් වන බව කියා සිටියේය. ඒ අනුව එක් එක් චෝදනාවට අදාළ දඩ මුදල අධිකරණයට කියා සිටි අතර එහි මුළු එකතුව ලෙස රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

දඩ මුදල අද දින ගෙවීමට කටයුතු කළ හැකිද යන්න විමසා සිටි අතර ඒ සඳහා පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ අද දින ගෙවීමට මුදල් නොමැති බවය. එසේ නම් කොටසක් හෝ ගෙවීමට හැකිදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අවස්ථාවේදී ද විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ කොටසක් ගෙවීමට හැකියාවක් නොමැති බවය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම 29 වැනිදා දඬ මුදල ගෙවන ලෙසට නියෝග කළේය. දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතික දෙපලට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.

අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *