‘රනිල්ගේ එකම දරුවා’ ගැන ගම්මන්පිල ගෙන් හෙලිදරව්වක් …

‘රනිල්ගේ එකම දරුවා’ ගැන ගම්මන්පිල ගෙන් හෙලිදරව්වක් …


‘රනිල්ගේ එකම දරුවා’ ගැන ගම්මන්පිල ගෙන් හෙලිදරව්වක් …

(21.08.2024 – 15:00 +0530 – lankacnews.com)

සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මහත්වරුන් හෙරු අල්ලන බව මන්තරයක් මෙන් මැතිරුවද මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ ‘සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා’ පමණක් බව ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.

ඒ මහතා මේ බව සඳහන්කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලදස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හොරු අල්ලනවා කිව්වත් හොරු නැති කරන විධිය කියන්නේ දිලිත් විතරයි

සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අනුර දිසානායක මැතිතුමාත් මන්තරයක් වගේ මතුරන දෙයක් තමයි මම ජනාධිපති වුණාම හොරු අල්ලනවා කියනවා ඒක. ඒ මහත්වරු නොදන්නවා වුණත් 1977 දී ජේ ආර් කිව්වෙත් හොරු අල්ලනවා කියලා. 1994 දී චන්ද්‍රිකා කිව්වෙත් හොරු අල්ලනවා කියලා. 2015 දී සිරිසේන කිව්වෙත් හොරු අල්ලනවා කියලා. නමුත් අල්ලපු හොරෙක් නෑ. කෙහෙල් හොරු වගේ නොවේ; සුදු කරපටි හොරු අහු වෙන්න හොරකම් කරන්නේ නෑ. ඒ නිසා හොරකම් කළාට පස්සේ හොරා පස්සෙන් දුවන එක වෙනුවට හොරකම් කිරීම නැවැත්වීමයි වැදගත් වෙන්නේ.

මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. දිලිත් මැතිතුමා හොරු නැති කරන්නේ සල්ලි නැති කරලා. කාසි සහ නෝට්ටු භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරලා ‘ක්‍යුආර් කේතයක්’ හරහා බැංකු ගිණුමෙන් බැංකු ගිණුමට මුදල් මාරු කරන ක්‍රමයක් එතුමා යෝජනා කරලා තිබෙනවා. එතකොට සෑම ගනුදෙනුවක්ම බැංකු වල සටහන් වෙනවා. ආණ්ඩුවට අධීක්ෂණය කරන්න පුළුවන්. එතකොට කාටවත් අල්ලසක් ඉල්ලන්න බෑ. ව්‍යාපාරිකයින්ට ආදායම අඩුවෙන් පෙන්වලා බදු ගෙවීම පැහැර හරින්න බෑ. ජනතාවට ඔප්පුවේ වටිනාකම අඩුවෙන් දාලා මුද්දර ගාස්තු පැහැර හරින්න බෑ. ලොකු පොඩි භේදයකින් තොරව රටේ කාටවත් හොරකම් කරන්න බෑ.

දැන් නම් අපේ වැඩ පිළිවෙල එකිනෙකා හොරකම් කරමින් ඉන්න බව නම් ඔවුන්ගේ ප්‍රකාශ දැක්කම පේනවා.

හැමෝම එපා කියූ චම්පිකව සජිත් භාර ගත්තේ සජබ දැන් බේරේ වැව වෙලා ද?

ජවිපෙ නලින්ද ජයතිස්ස මැතිතුමා කියනවා ‘චම්පික අපේ පස්සෙන් ආවා; අපි එයාව භාර ගත්තේ නෑ’ කියලා. ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් හිටියට අපි චම්පිකව ගත්තේ නෑ කියලා. එතකොට චම්පිකගේ තුන්වන තේරීම තමයි සජිත්. අනුර සහ රනිල් දෙන්නාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි චම්පික සජිත් ගාවට යන්නේ. අර රත්තරන් හොරෙන් ගෙනාව අලි සබ්‍රිවත් ගත්තු රනිල් චම්පිකව ගත්තේ නෑ කිව්වාම ගල්අඟුරු ගිල්ලාම කෙතරම් කළු වෙනවා ද කියන එක හිතා ගන්න පුළුවන්. කවුරුත් ගන්නේ නැති අයව සජබ ගන්නේ කාගෙත් කුණු එකතු වෙන ‘බේරේ වැව’ බවට සජබ පත් වෙලා ද කියලා අපි අහන්න කැමැතියි.

සජිත් රනිල් දෙන්නාම යන්නේ එකම පාරේ

ආයෝජන මණ්ඩලය අහෝසි කරලා එහි බලතල ජනාධිපති අතට ගන්න ආර්ථික පරිවර්තන පනත ගෙනාවාම සජබ කෑගැහුව්වේ ජනාධිපති ඒකාධිපතියෙක් වෙන්න හදනවා කියලා. දැන් සජිත් මොකද කියන්නේ? ආයෝජන අනුමත කරන one stop shop බවට ජනාධිපති ලේකම් කාර්යාලය පත් කරනවාලු. එතකොට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයක් මොකටද ? ආයෝජන මණ්ඩලයක් මොකටද? ආයෝජන ප්‍රවර්ධන ඇමතිගේ බලතල ජනාධිපති යටතට ගන්නයි සජිත් හදන්නේ. ඊට පස්සේ ජනාධිපති කාර්යාලයේ ශාඛා සෑම දිස්ත්‍රික්කයකම දානවාලු. මොකක්ද මේ සජිත් කරන්න යන්නේ? රනිල්ට ඒකාධිපතියා කියමින් රනිල්ටත් වඩා ජනාධිපති බලය පතුරන එකයි කරන්න යන්නේ. අමතක කරන්න එපා. සජබ කියන්නේ එජාපයේ කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා. සජිත්ගේ ‘ජීවවිද්‍යාත්මක තාත්තා’ ආර්. ප්‍රේමදාස මැතිතුමා වුණත් ‘දේශපාලන තාත්තා’ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ප්‍රේමදාස මැතිතුමා මොලේ පාවිච්චි කරලා සජිත්ව දේශපාලනයට ගෙන ඒම ප්‍රතික්ෂේප කළා. එහෙව් සජිත්ට 1994 දී නාමයෝජනා දුන්නේ රනිල්. ඒ නිසා රනිල් පරදන්න සජිත්ට ඡන්දේ දෙනවා කියන්නේ රාජ්‍ය බලය වම් අතින් දකුණු අතට මාරු කරනවා කියන එක විතරයි.

‘පිවිතුරු හෙළ උරුමය’ කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් මහතා ද මෙහිදී අදහස් දැක්වු අතර පිවිතුරු හෙළ උරුමය නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.

+

+

+

21.08.2024

+


සුපිරි වෙළඳසලේ සොරකමට වෛද්‍යවරියක කොටුවෙයි

(21.08.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

සුපිරි වෙළෙඳසලකින් ආහාර ද්‍රව්‍ය සොරකම් කළැයි කියන වෛද්‍යවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 5,000 ක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බව‍යි කිරිබත්ගොඩ පොලිසිය පැවසුවේ.

පොලිසිය පවසන ආකාරයට මෙම වෛද්‍යවරිය ඉකුත් (19) වැනිදා කිරිබත්ගොඩ, මාකොළ පාරේ පිහිටි සුපිරි වෙළෙඳසලක් වෙත ගොස් තිබෙනවා.

එහිදී ඇය මුදල් නොගෙවා රුපියල් 1,700 ක මිල සඳහන් තේ කුඩු පැකට්ටුවක් ගෙන පිටව යෑමට සූදානම් වෙද්දී ආරක්ෂක අංශය විසින් අල්ලාගෙන ආයතනයේ විධායක නිලධාරිණිය වෙත බාරදී තිබුණා.

පසුව එම නිලධාරිනිය කාන්තාවගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී බිල්පත් නොමැති චොකලට් තුනක්, උකුකළ කිරි ටින් එකක් හා සොසේජස් පැකට්ටුවක් සොයාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මේ හේතුවෙනුයි ඇය කිරිබත්ගොඩ පොලිසිය වෙත බාරකිරීමට පියවර ගෙන තිබුණේ.

පසුව හෙළිවුණේ මෙම වෛද්‍යවරිය එම ප්‍රදේශයේම රජයේ රෝහලක සේවය කරන 54 හැවිරිදි වෛද්‍යවරියක බවයි.

ඇය කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පදිංචිකාරියක බවද පොලිසිය පවසනවා.

මේ සැකකාරිය විසින් රෝහලේ කාර්ය මණ්ඩලය සතු දේපළ පවා සොරාගන්නා බවට වාර්තා වී ඇතැයිද පොලිසිය පැවසුවා.

ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර රු. 200,000 ක ශරීර ඇප මත මුදාහැරි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරියගේ මානසික වෛද්‍යවාර්තාවක් ලබා ගැනීමට නියමිත අතර සැප්තැම්බර් (03) වැනිදා නැවත නඩුව කැඳවීමට නියමිතයි ෴


පෙම් යුවළකගෙන් අල්ලස් ගන්න ගිහින් රස්සාවත් නැතිවෙලා

(21.08.2024 – 14:46 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුගේ (2) වැඩ තහනම් කොට තිබෙනවා.

මේ අයුරින් කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ (2) වැඩ තහනම් කළ බව‍යි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවේ.

මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා පසුගිය 14 වැනිදා සවස 6 සිට පසුදා උදේ 6 තෙක් යතුරු පැදි ජංගම සංචාර රාජකාරියේ යොදවා සිට තිබෙනවා.

එහිදී මොවුන් දෙදෙනා (2) කඩුවෙල පොලිස් වසමෙන් බැහැරව ගොස් මුල්ලේරියාව පොලිස් වසමේ පිහිටි චන්ද්‍රිකා කුමාරතුංග මාවත වෙත ගොස් ඇති බව පැවසෙනවා.

එම මාර්ගයේ පසෙක නවතා තිබූ මෝටර් රථයක් අසලට ගොස් පරික්ෂාවට ලක්කර ඇත්තේ අනතුරුවයි.

මෙම රථයේ රියදුරු අසුනේ සිටි තරුණයකු සහ යාබද අසුනේ සිටි තරුණියක දුටු නිලධාරීන් උපායක් සිතා ඇත්තේ ගතමනාවක් සොයා ගැනීමටයි.

මේ රථයේ යුවලක් අශෝබනව හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පණිවිඩයක් ලැබී තිබෙන බව මුසාවක් පවසා ඇත්තේ ඒ අනූවයි.

එසේ කියමින් යුවල බියගන්වා තිබෙන අතර නීතිය ක්‍රියාත්මක නොකිරීමටනම රුපියල් 10,000 ක මුදලක් ලබා දෙන්නැයි පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම යුවල පොලිසියට පැමිණිලි කොට තිබෙන අතර අල්ලස් වශයෙන් මුදල් ලබා ගැනීමට තැත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනූවයි සැකකාර පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ (2) වැඩ තහනම් කිරීමට පියවර ගෙන අත්තේ ෴


‘පන්ති කාමරය අතු නොගෑවයි’ විදුහල්පති සිදුකළ පහරදීමකින් සිසුවෙකුගේ ගෙලෙහි අස්ථි දෙකකට (2) හානි

(21.08.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

පන්ති කාමරය පිරිසිදු නොකළේයැයි පවසමින් මිද්දෙණිය දෙබොක්කාව මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් 12 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවාගේ ගෙලෙහි අස්ථි දෙකකට (2) බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසියේදී හා ඇඹිළිපිටිය මූලික රෝහලේදීත් දරුවාට දැඩි අසාධාරණයක් සිදු වූ බවත්, එබැවින් මේ සදහා නීති සහාය ලබාදෙන ලෙස ඉල්ලා දරුවාගේ මව විසින් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකළ බවත්, එහි සම්බන්ධීකාරක තරංග එල්. පටබැදි පවසනවා.

පන්ති කාමරය පිරිසිදු නොකල වරදකට විදුහල්පතිවරයා විසින් අත මිට මොලවා මෙලෙස කුඩා දරුවෙකුට පහරදීම කිසිසේත් අනුමත කල නොහැකි ක්‍රියාවක් බවත්, දරුවෙකු වරදක් සිදුකර ඇත්නම් ඒ සදහා දිය යුතු නිසි දඩුවම් තිබියදී මෙලෙස දරුවා ආබාධිත තත්ත්වයට පත්වන ආකාරයට හිතාමතා කෘර පහරදීමක් සිදුකිරීම බරපතළ වරදක් බවත්, ඔහු සඳහන් කරනවා.

දරුවා රෝහල් ගත කළ අවස්ථාවේ එහි අධිකරණ වෛද්‍යවරයා විසින් දරුවාට කිසිදු රෝගී ලක්ෂණයක් නැති බව පවසමින් ලබා දී ඇති වෛද්‍ය වාර්තාව හා දරුවා එහිදී දැඩි ලෙස මානසික පිඩනයට ලක් කිරිම පිළිබදවත්, පොලිසියද මේ සිදුවීමේදී පක්ෂක්ග්‍රාහිව කටයුතු කර තිබිම නිසා මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීති සහාය දරුවාට ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

මෙලෙස විදුහල්පතිවරයාගේ පහරකෑමට ලක්ව ඇත්තේ දෙබොක්කාව මහා විද්‍යාලයේ 07 වසරේ ඉගෙනුම ලබන ‘ජාසිංහ ආරච්චිගේ ඉමාල් අමීෂ්ක’ නැමති 12 හැවිරිදි දරුවයි.

සිද්ධීයට මුහුණ දුන් ඔහු මෙසේ පවසනවා :

“මම 07 පන්තියෙ ඉගෙන ගන්නෙ. අපේ පන්තියෙ නායකයා මමයි. මැයි 02 වැනිදා අපිට පළමු පීරියඩ් එකේ ආගම තිබුණෙ. ටීචර් ඇවිත් පන්තියේ ආගම විෂය උගන්වමින් සිටියදී ප්‍රින්සිපල් සර් පන්තියේ දොරකඩ ලගට ඇවිත් මේ පන්තිය අතුගාල නෑනේ. ‘කෝ පන්ති නායකයෝ?’ කියලා ඇහුවා. මමයි පන්ති නායිකාවයි අපි දෙන්න නැගිට්ට. ප්‍රින්සිපල් සර් මට කතා කරලා අරගෙන ‘තමුන් පන්ති නායකයනේ; තමුන් මේව පිරිසිඳු කරවන්න ඕන’ කියලා මගේ කනෙන් අල්ලාගෙන පන්ති කාමරයෙන් එළියට අරගෙන ඇවිත් අත මිට මොලවල මගේ බෙල්ලට හයියෙන් දෙකක් ගැහුව. මට ඒ වෙලාවෙ හරියට රිදූන. ඊට පස්සෙ ප්‍රින්සිපල් සර් මට කියලා ඒ වෙලාවෙ අපේ පන්තිය සම්පූර්ණයෙන්ම අතුගෑවෙව්ව. පන්ති නායිකාවට කිසිම දෙයක් කීවෙ නෑ. ඊට පස්සෙ මම වේදනාව ඉවසාගෙන පන්තියෙ අමාරුවෙන් ඉඳලා ඉස්කොලෙ ඇරුනම මාව ගෙනියන්න අම්ම ආවා. මම අම්මත් එක්ක ගෙදර යන ගමන් කීව ‘අම්මේ, මට ප්‍රින්සිපල් සර් ගැහුව; බෙල්ලට හරිම අමාරුයි; ඉන්න බෑ’ කියලා” ෴

මෙම සිදුවිම සම්බන්ධයෙන් දරුවාගේ මව වන අබේසිංහ ගමාච්චිගේ ලලනි චම්පිකා මෙසේ සඳහන් කරනවා :

“මගේ දරුවා තමයි දෙබොක්කාව පාසලේ 07 වසරේ ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කරන්නේ. ‘පන්තිය අතුගාල නෑ’ කියලා විදුහල්පති වරයා අත මිට මොලවලා මගේ දරුවගේ බෙල්ලට ගහලා. දරුව වේදනාව උහුලගන්න බැරිව මට කිව්වේ. මම ගෙදර එකක් ගිහින් බෙල්ලේ තෙල් ටිකක් ගෑවා.

කොහොම හරි රෑ වෙනකොට බෙල්ල හොදටම ඉදිමිලා. පහුවදාම මම පාසලට ගිහින් මේ ගැන විදුහල්පතිගෙන් ඇහුවා. එතකොට විදුහල්පති මට ඉතාමත් පහත් ලෙස බැනලා එළවා ගත්තා. දරුවගේ බෙල්ල හොද නැති නිසා මම දරුවව ගෝණදෙණිය රෝහලට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. නමුත් දරුවට කිසි අඩුවක් නෑ. දවසගානේ දරුව අමාරුව වැඩි වුණ නිසා යළිත් ගෝණදෙණිය රෝහලට දරුව අරන් ගියාම එහි වෛද්‍යවරු දරුවා රෝහලේ නවත්තලා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිළිපිටිය මූලික රෝහලට මාරුකරලා යැවුවා.

දරුවා ඇඹිළිපිටිය රෝහලට මාරුකර යැව්වම එහි වෛද්‍යවරයා දරුව බලලා ‘දරුවට අමාරුවක් නෑ; බොරුවට ඉස්පිරිතාලේ ඉන්න ඕනෙ නෑ’ කියලා දරුවගේ ටිකට් කැපුවා. ඒ වෙනකොටත් දරුවට අමාරුයි. බැරිම තැන මම දරුවව කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවව පරීක්ෂා කෙරෙවුවා. එහිදී කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා දරුව පරික්ෂා කරලා කිව්වා දරුවගේ ගෙලෙහි අස්ථි දෙකක් (2) ඇදිලා කියලා. මේක අවදානම් තත්ත්වයක් බවත් වෛද්‍යවරයා පැවසුවා. ඒ අනුව දරුවා කරාපිටිය රෝහලට ඇතුලත් කරලා ප්‍රථිකාර දුන්නා. දරුවගේ ඔළුව දෙපැත්තෙන් සිදුරු කරලා ඔළුවේ වැලි කොට්ටයක් එල්ලලා බෙල්ලට කොලරයක් දමා තිබුණා. දැන් මේ වෙනකොට දරුවා මාස 03 ක් තිස්සේ නිවසේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් ඉන්නවා.

මගේ දරුවට විදුහල්පතිවරයා සිදුකළ මේ අමානුෂික පහරදිම සම්බන්ධයෙන් මම මිද්දෙණිය පොලිසිය පැමිණලි කළා. දරුවා මේච්චර අසාධ්‍ය තත්ත්වයේ සිටිදිත් මිද්දෙණිය පොලිසිය ‘මේක සුළු සිදුවීමක්’ කියා පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමුකළා. දරුවා ඇඹිළිපිටි මුලික රෝහලට ඇතුළත් කළාම රෝහලේ කිහිප දෙනෙකු හා අධිකරණ වෛද්‍යවරයා ‘මේක ප්‍රින්සිපල් අමාරුවේ දමන්න කරන වැඩක්; මේ ළමයට කිසි ලෙඩක් නෑ’ කියලා ටිකට් කැපුවා.

පසුව මේ සම්බන්ධයෙන් මම ‘තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය’ට මෙන්ම කොළඹ ගිහින් ‘කොළඹ ළමාරක්ෂණ අධිකාරිය’ට සහ ‘ළමා හා කාන්තා කාර්යාංශය’ට, පොලිස්පති හා ‘මානව හිමිකම් කොමිෂම’ වෙත පැමිණිලි කළා. නමුත් මේ වෙනකම් මගේ දරුවට කිසිම සාධාරණයක් ඉටු වුනේ නෑ. මානව හිමිකම් කාර්යාලයෙන් මිට දින තුනකට (3) කලින් ඇවිත් ප්‍රකාශයක් ලියාගෙන ගියා විතරයි. අපි වගේ අසරණ අයට දෙයක් වුණාම කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධ සියළුම පරික්ෂණ අතරමග නැවතිලා තියෙනවා. මේ වෙනකොට මම ‘හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය’ට මේ අවනඩුව ලිඛිතව දැනුම් දුන්නා.

ඊට පස්සේ ඇඹිළිපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මට දුරකතනයෙන් කතා කරලා ‘කරාපිටිය රෝහලෙන් දුන් වෛද්‍ය වාර්තා ටික ගෙනත් දෙන්න’ කිව්වා එයාට බලන්න. මම කියන්නේ අසරණ මිනිස්සුන්ට මේ විදියට කරන්න එපා කියලයි. මගේ දරුවට වුණ දේ හෙට වෙනත් දරුවෙකුට නොවිය යුතුයි. දරුවා වරදක් කළා නම් දඩුවමක් දෙන විදියක් තියෙනවා. එහෙම් නැතිව දරුවට මෙහෙ ගහන එක අනුමත කරන්න බෑ” ෴


වර්ණ විප්ලවවලින් BRI රටවල් ගොදුරු කරගන්නා ජාත්‍යන්තර මෙහෙයුම | පුතාණෝ, කතානෝලාට විමල්ගෙන් පාඩමක් ! (21.08.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *