බොරු නඩුවක් පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ අද (12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරයි

බොරු නඩුවක් පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ අද (12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරයි


බොරු නඩුවක් පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ අද (12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරයි

(12.08.2024 – 14:10 +0530 – lankacnews.com)

අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (12) දිනයේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේදී විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා තිබුණි. වසර 8 ක කාලයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී නියෝග කෙරිණි.

එම නඩුවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නගත ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවට සිය කරුණු දැක්වීම් හා හරස් ප්‍රශ්න කිරීම්වලදී ඔප්පු කිරීමට සමත් විය. එම කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කෙරුණු අතර අක්‍රිය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අපරාධමය වරදක් නොවන බවත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය කූඨ ලෙස හෝ ව්‍යාජව හෝ සැකසූ එකක් නොවන බවට ඔප්පු වී ඇති බවත් එම නියෝගයේ සඳහන් වේ.

ඒ අනුව, එකී නඩුව ද්වේශ සහගතව පවරා, පවත්වා ගෙන යාමෙන් තමන්ට දැඩි මානසික හා ශාරීරික වේදනාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් තම කීර්ති නාමය සහ සමාජ ගෞරවය පහත හෙළා ඇති බවත් සඳහන් කරමින් අසත්‍ය හා ද්වේශ සහගත පැමිණිල්ල සිදු කළ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව අද (12) ගොනු කරනු ලැබුවේය.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවක හිටපු නිලධාරීන් විත්තිකරුවන් කරම්න් මෙම නඩුව ගොනු කර ඇති අතර සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර, අපරාධමය වරදක් නොවන බවට දනිමින්ම එම නිලධාරීන් විසින් ද්වේශ සහගතව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව ද වන්දි ඉල්ලා අද (12) ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය. නීතිඥ දිනේශ් ද සිල්වා, නීතිඥ සිනෙත් බණ්ඩාර , නීතිඥ තිළිණි පෙරේරා ඇතුළු නීතිඥවරුන් පිරිසක් විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ එම නිලධාරීන් එවක බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ දේශපාලඥනයින්ගේ අවශ්‍යතාවට හෝ උපදෙස් මත එලෙස ක්‍රියා කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. (hirunews.lk/sinhala)

+

+


සජබ සිංහල-බෞද්ධ විරෝධී ද..?

(12.08.2024 – 13:20 +0530 – lankacnews.com)

2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා (3) අතර ඉතාම තියුණු සටනක් ඇති බව පෙනී යයි. මේ ලිපියෙන් විග්‍රහ කිරීමට උත්සාහ දරන්නේ සජිත් ප්‍රේමදාස 2019 දී සිදුකළ වරද තවමත් නිවැරදි කර ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පෙන්වා දීමටයි.

2019 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 55 න් අඩකට ආසන්න ජන්ද ප්‍රමාණයක් සිංහල-බෞද්ධ නොවන ජන්දයි. එනම් ඔහුට සමස්ථ සිංහල-බෞද්ධ ජන්දවලින් ලැබී ඇත්තේ 25% කට ආසන්න ප්‍රමාණයකි. එදා සිදු වූ අඩුපාඩුව නිවැරදි කර ගැනීමට අද වන තෙක් සමගි ජන බලවේගය ප්‍රමාණවත් උත්සාහයක් දරා නැත. දිස්ත්‍රික් මට්ටමින් භික්‍ෂූන් වහන්සේලා රැස්කර රැස්වීම් කිහිපයක් පැවැත්වීම හැරුණු කල මෙම කේන්ද්‍රීය ප්‍රශ්නය ඔවුන් අමතක කර ඇති බව පෙනේ. උතුරු සහ නැගෙනහිරින් වෙනමම දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමත් සමඟ ඔහු ලක්ෂ 3-4 පමණ ඡන්ද ප්‍රමාණයක් ඩැහැ ගන්නවා ඇත. රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ද උතුරෙන් සහ නැගෙනහිරෙන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් මෙවර ලබා ගනු ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාසට මෙවර ලබාගත හැකි වනුයේ ගියවර ලැබුණු ‘සිංහල-බෞද්ධ නොවන’ ඡන්ද ලක්ෂ 25 න් ලක්ෂ 10-14 අතර ප්‍රමාණයක් පමණක් බව පැහැදිලිය.

ඒ අනුව මෙවර ද තීරණාත්මක වන්නේ සිංහල බෞද්ධ ඡන්ද බව පැහැදිලිය. කෙසේ නමුත් සජබ උපක්‍රම තීරණය කරන පිරිස මේ කරුණ නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය. ඔවුන් තමන්ට අහිමි වූ සිංහල බෞද්ධ ජන්ද දිනා ගැනීම වෙනුවට ඒවා තවදුරටත් නැති කර ගැනීම සඳහා උපක්‍රම තෝරා ඇත. අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති සහ ඉදිරි ක්‍රියා කලාපය ගැන ජනතාව මුලිකව තේරුම් ගන්නේ අනුමාන කරන්නේ ඔහු වෙනුවෙන් ඉදිරිපෙළ නායකයන් ලෙස පෙනී සිටින අය සහ අපේක්ෂකයාගේ වේදිකා කථිකයන් තුලින්ය. සජිත් ප්‍රේමදාස මහතාගේ ජන හමුවල සහ මාධ්‍ය සාකච්ඡාවල ප්‍රධාන කථිකයන් ලෙස පෙනී සිටින්නේ මුජුබර් රහුමාන් සහ මරික්කාර්ය. මේ අතුරින් මුජුබර් රහුමාන් දීර්ඝ කාලයක් සිංහල විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කල ජාතිවාදියෙක් බව ප්‍රකටය.

සිංහල-බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ක්‍රිස්තියානි පල්ලියක මෙහෙයවිම් කටයුතු සිදු කරන්නේ වික්‍රමරත්න පවුල බව ප්‍රසිද්ධ කරුණකි. දේවගැති කොල්ටන් වික්‍රමරත්න එහි පුරෝගාමියාය. සජිත්ගේ වේදිකාවේ ඉදිරි පෙළ කථිකයකු වන එරාන් වික්‍රමරත්න යනු කොල්ටන් වික්‍රමරත්න දේවගැතිවරයාගේ පුත්‍රයාය. ප්‍රකට දේවගැති ඩිෂාන් වික්‍රමරත්න එරාන්ගේ සහෝදරයාය. LTTE මහා විරු සැමරුම්වලද කථිකයකු වූ මනෝ ගනේෂන් ද සජිත්ගේ වේදිකාවේය. සජබ වේදිකාවේ අඩුව පිරවීමට ආනයනය කල කළ ඩලස් අලහප්පෙරුම ද දීර්ඝ කලක් සිංහල-බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළ ෆෙඩරල්වාදියකු ය. චන්ද්‍රිකා යුගයේ දියත් වූ ෆෙඩරල්වාදී සුදු නෙළුම සහ තවලම හරහා ඔහු ඒ බව තහවුරු කරගෙන ඇත.

13 පූර්ණ වශයෙන් බලාත්මක කරන බව සජිත් ප්‍රේමදාස යාපනයට ගොස් පැවසීම ද සිංහල-බෞද්ධ ජන්ද අහිමිකර ගැනීමේ මාරාන්තික වරදකි. සජබ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ තමන් ජාතිවාදී හෝ ආගම්වාදී නොවන බව මැතිරීමයි. රාජපක්ෂලා ජාතිවාදීන්, ආගම්වාදීන් බව පවසමින් ඔවුන්ට පහර දීම නිරතුරුව සිදුකරයි. පාස්කු ප්‍රහාරයට සිංහල බෞද්ධයන් පිට වරද පැටවීම, මව් බස වෙනුවට ඉංග්‍රීසියට තැන දෙන බව පැවසීම, වඳ කොත්තු, වඳ ඇදුම්, වඳ සැත්කම් ගැන සජබ වේදිකාවේ නිරන්තරයෙන් මැතිරීම සිදු කරයි. එමගින් කිසි දිනක රාජපක්ෂලාට ඡන්දය ලබා දුන් සිංහල-බෞද්ධයන්ගේ ඡන්ද ලබාගත නොහැකි බව සජබ තීන්දු ගන්නා අයට නොතේරෙන බවද පැහැදිලිය. වඳ සැත්කම් නඩුව තවමත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගය වන බව ඔවුන් අමතක කර ඇත. මේවා ගැන වැඩි වැඩියෙන් පැවසීමෙන් සිදුවන්නේ සිංහල-බෞද්ධ ජන්ද සජබයට එකතු වීම නොව තිබෙන ප්‍රමාණයත් අහිමිව යෑමයි. ජාතිවාදී, ආගම්වාදී මන්තරය නිරන්තරයෙන් ජප කිරීමෙන් මේ චෝදනාව එල්ල වන්නේ පොදුවේ තමන්ට බවත් සජිත් ප්‍රේමදාසගේ පාලනයක් තුල යහ පාලනයේදී සිදු වුවා මෙන් තමන් කොන්වන බවත් සිංහල-බෞද්ධ ජනතාව තේරුම් ගනිති. සමගි ජන බලවේගය තුල යම්තාක් දුරකට හෝ සිංහල-බෞද්ධ අනන්‍යතාවක් රැකගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර පමණි. ඔහු ද වේදිකාවේ දක්ෂ කථිකයකු නොවේ. කොටින්ම මද්දුම බණ්ඩාර නැතිනම් මුළු සජබ වේදිකාවම සිංහල-බෞද්ධ විරෝධීයැයි එම ජනතාව තේරුම් ගැනීමේ කිසිදු වරදක් නැත.

මේ අතර රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවෙන් තමන්ට එකතු වූ දිස්ත්‍රික් සහ ග්‍රාමීය නායකයන් හරහා සිංහල බෞද්ධ ඡන්ද එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙලක් අරඹා ඇත. අනුර කුමාර දිසානායක ද ඉතා සූක්ෂමව මධ්‍යම පාන්තික සිංහල-බෞද්ධ ජන්ද එකතු කර ගැනීමේ වැඩපිළිවෙලක් අරඹා ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ කලවැල්ලාගල චන්දාලෝක සහ වකමුල්ලේ උදිත හිමිවරු මූලිකත්වය දෙන ‘ජාතික භික්ෂු පෙරමුණ’යි. කැළණිවැලි මිටියාවතේ පමණක් සිංහල බෞද්ධ ජන්ද ලක්ෂ 30 ක් ඇත. මේ හා සමගාමීයව සජබය සිදු කරන්නේ සිංහල බෞද්ධයන්ට රිදවන පහර දෙන ප්‍රතිපත්තියකි. එම ජන්ද අහිමි කර ගැනීමේ වැඩපිළිවෙලකි. අඩුම ගණනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ බෞද්ධ හිතවාදී ක්‍රියාකාරකම් සිහිපත් කර සිංහල- බෞද්ධ ජන්ද ආමන්ත්‍රණය කිරීමේ වැඩපිළිවෙලක් සජබයට නැත. ජනාධිපතිවරණයේ අවසන් සති 5 තුල සිංහල-බෞද්ධ ඡන්දවල හැසීරීම මත ඉදිරි ජනාධිපතිවරයා තීරණය වනු ඇත.

ඒ.එම්.පී. අධිකාරි
මහනුවර


වේවැල්දෙණිය හංදියේ මාරක අනතුරක් – 3 ක් ජීවිතක්ෂයට

(12.08.2024 – 16:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේ දී අද (12) සවස සිදුවු මාරක අනතුරකින් තිදෙනෙක් (3) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අප කළ විමසිමකදී පොලිසිය සඳහන් කළේ මේ අතර කුඩා දරුවෙකු ද සිටින බවයි.

නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

++++++++

+


තණමල්විල පාසල් දැරිය අපයෝජනයට, සිසුන් 18 දෙනෙකු සහ මවක් අත්අඩංගුවට – ආධාර දුන් ගුරුවරුන් පිරිසක් ගැනත් සොයයි

(12.08.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුවියක් වසරක් තිස්සේ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසල් සිසුන් 18 දෙනෙකු සහ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුන්ගෙන් තුන් දෙනෙකු (3) සහ අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඉතිරි පිරිස පරිවාස භාරයට යොමු කිරීමටයි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.

එමෙන්ම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සිසුන් කිහිප දෙනෙකු සහ දැරිය ඉගෙනුම ලබන පාසලේ, ගුරුවරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සදහන් කළා.

තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි මෙම සිසුවිය 2023 වසරේ සිට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව තිබෙනවා. මෙම සිසුවිය තවත් පාසල් සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුවා ඇයව මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් ප්‍රථමයෙන් අපයෝජනයට ලක් කර ඇති බව සදහන්.

එම අවස්ථාවේ අදාළ සිසුවා ඇයගේ නිරුවත වීඩියෝ ගත කර ඇති අතර අනතුරුව එය සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලෙස පවසමින් තවත් සිසුන් කිහිපදෙනෙකු ඇයව අපයෝජනයට ලක් කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ, එක් අවස්ථාවකදී සිසුන් විසින් බලහත්කාරයෙන් මත්පැන් පෙවීමට සලස්වා සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බවයි.

පසුව එයද වීඩියෝ ගත කර ඇති අතර එම විඩියෝවද සමාජ මාධ්‍යට මුදාහරින බවට පවසමින් සිසුවිය බිය ගන්වා, තවත් අවස්ථා කිහිපයකදී ඇයව අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව අපයෝජනයට ලක් කළ සිසුන් 18 දෙනෙකු ඇතුලුව කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම කාන්තාව, සිසුවිය අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිසුවෙකුගේ මවක් බවයි, පොලිසිය සදහන් කළේ.

අපයෝජනයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමට පවා උත්සාහ කළ බවයි ඇගේ මව චෝදනා කරන්නේ ෴

++++++

+


ලෙඩා දැඩි සත්කාරයේ තනිකර දමා, බූරු පිටියට ගිය ‘ගොඩ-වෙද්දු’ |විමල්ගේ කතාවෙන් ඇතුගල්පුරය උණුසුම් වෙයි! (10.08.2024)

+


Ada Derana BIG FOCUS | බංග්ලාදේශ අරගලය හා ලෝක දේශපාලන ප්‍රවණතා | 2024.08.12

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *