මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ළදරු වාට්ටුවක වහලයක් කඩා වැටී සිදු වූ අනතුර

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ළදරු වාට්ටුවක වහලයක් කඩා වැටී සිදු වූ අනතුර


මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ළදරු වාට්ටුවක වහලයක් කඩා වැටී සිදු වූ අනතුර

(30.07.2024 – 16:25 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර එම ගොඩනැගිල්ලට යන්ත්‍රයක් (Concrete Pump Car) මගින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබදව පිහිටි ලදරු වාට්ටුවේ වහලය මතට කොන්ක්‍රීට් මිශ්‍රණයෙන් කොටසක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී එම වාට්ටුවේ සිටි ළදරුවන් සහ මව්වරුන් කිහිප දෙනකු මතට එම කොන්ක්‍රීට් වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (30) පෙරවරු කාලයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මව්වරුන් තිදෙනෙකු (3) සහ ළදරුවන් තිදෙනෙකු (3) පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලුම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා.

+


මගේ පවුලේ ඇදේ හොයන්න කලින් අනුර කුමාර තම පවුලේ ෆොටෝ එකක් මාධ්‍යයට දාන්න – විමල් වීරවංශ (30.07.2024)

+


දක්ෂිණ අධිවේගි මාර්ගයෙන් රුපියල් ලක්ෂ 27 ක් සොරකම්කරලා

(30.07.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි කළ නිලධාරින් පිරිසක් රුපියල් ලක්ෂ 27 කට අධික මුදලක් වංචාකොට තිබෙනවා.

ඉකුත් 2021 සිට 2023 අගෝස්තු දක්වා මාස 32 ක් තුල මෙම වංචාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා නිලධාරීන් 16 දෙනෙකු සම්බන්ධ වී තිබෙන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක මේ බව සදහන් වනවා.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දැනටත් භාවිතා කරනු ලබන්නේ 2011 වර්ෂයේ දි තාවකාලිකව ස්ථාපනය කරණු ලැබු අයකැමි පද්ධතියක් බවයි වාර්තා වන්නේ.

මේ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය මගින් 2023 වර්ෂය අවසන්වන විටත් නවින තාක්ෂණය අනුව ගෙවිම් සිදුකළ හැකි මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත නොකිරීම මෙයට හේතුවක් වූ බව විගණනය මගින් අනාවරණය කරනවා ෴


මුලතිව් නගරයේ ඇති වූ ගින්නකින් රුපියල් කෝටි 3 ක පාඩුවක්

(31.07.2024 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් නගරයේ පිහිටි පොදු වෙළදසැලේ කඩ කාමර දෙකක් (2) ඊයේ (30) හදිසියේ ඇති වූ ගින්නකින් පිලිස්සී විනාශ වී ගොස් තිබෙනවා.

මෙම වෙළදසැල් දෙකම (2) සිල්ලර බඩු අලෙවි කරමින් පවත්වා ගෙන ගිය වෙළදසැල් දෙකක්.

මෙම ගින්න නිසා වෙළදසැල් දෙකේම තිබූ රුපියල් කෝටි තුනහමාරක් (3,50,00,000) පමණ වටිනා සියලු භාණ්ඩ දැවී පිලිස්සී අගුරු බවට පත්ව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනවරණය වී නොමැති අතර, බොහෝ දුරට විදුලිය කාන්දු වීමක් හේතුව විය හැකි බව මුලතිව් පොලීසිය පවසනවා.

මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

මුලතිව් එක්සත් වෙළද සංගමය ප්‍රකාශ කළේ, මුළු ලංකාවේම ගිනි නිවන ඒකකයක් නොමැති එකම දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය නිසා හදිසි ගිනි ගැනීම්වලදී සියල්ලම දැවී අළු වී යන තුරු ගින්න නිවා ගැනීමට නොහැකි වි ඇති බවයි.

පසුගිය ජුලි මාසය තුළ පමණක් මුලතිව් දිස්ත්‍රික්කයේ හදිසි ගිනි ගැනීම් හතරක් (4) සිදු වූ බවත්, එලෙස ඇති වූ කිසිම ගින්නකින් භාණ්ඩ හා දේපල බේරා ගැනීමට නොහැකි වන අන්දමට සියල්ලම පිලිස්සී ගිය බවත්, එම සංගමය පවසනවා.

මෙම නිසා මුලතිව් දිස්ත්‍රික්කය තුළද හදිසි ගිනි නිවීමේ ඒකකයක් පිහිටුවන ලෙස එම සංගමයේ නිලධාරීන් වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා ෴


තරුණ හෙදියගේ ළැම ස්පර්ශ කළ හිටපු විදුහල්පති අත්අඩංගුවට

(31.07.2024 – 10:33 +0530 – hirunews.lk/sinhala)

බස් රථයක් තුලදී තරුණියකගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කළ පුද්ගලයෙක් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රාජකාරී කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.

ඔහු කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථය තුළ සිටි අවුරුදු 25 ක් වයසැති හෙදියකගේ ළැම ප්‍රදේශය මෙසේ ස්පර්ශකර තිබෙනවා.

ඒ පිළිබඳව ඇය කොන්දොස්තරවරයාට දැනුම්දී ඇති අතර බසය කළුතර දකුණ පොලිසිය ඉදිරිපිට නතර කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


කැනඩා රැකියා සිහිනය සැබෑ කරගත් තරුණයාගේ නිසල සිරුර වැවකින් හමුවෙයි – මරණය අභිරහසක්?

(31.07.2024 – 08:30 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු මස 03 වෙනිදා කැනඩාවේ රැකියාවකට යාම සදහා බැංකුවෙන් රුපියල් ලක්ෂ 20 ක් රැගෙන ආ තරුණයෙකුගේ මළ සිරුර මුලතිව් වවුනිකුලම් වැවේ තිබියදි පොලීසිය ඊයේ (30) සොයා ගෙන තිබෙනවා.

මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේදී 27 හැවිරිදි ‘ආනන්දරාසා සජීවන්’ නැමති මෙම තරුණයාගේ මරණය අබිරහසක් වී ඇති අතර, ඔහු මියයාමට පෙර මිතුරන් වෙත ගන්නට ඇතැයි සැකකෙරෙන දුරකතන පණිවුඩ ගණනාවක්ම පොලිස් පරීක්ෂණ වලදී සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය පවසනවා.

වවුනිකුලම් වැව අසලින් ගිය පිරිසක් වැව් කණ්ඩිය අසල යතුරු පැදියක්, සරමක් හා පාවහන් යුගලක් දැක ඇති අතර, වැව අසල කිසිවෙක් දැක ගන්නට නොමැති නිසා ඇති වූ සැකයක් මත ඒ බව පාණ්ඩියන්කුලම් පොලීසියට දැනුම් දී තිබෙනවා.

පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වැව නිරීක්ෂණය කිරීමේදීයි තරුණයාගේ මළ සිරුර හමු වී ඇත්තේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු බැංකුවෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 20 ක මුදලද අතුරුදහන් වී ඇති නිසා එම සැකය තවත් වැඩි බවයි පවුලේ ඥාතීන් මේ අවස්ථාවේදී පවසා ඇත්තේ.

පසුව මහේස්ත්‍රාත්වරයා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා.

පාණ්ඩියන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


ශ්‍රී ලන්කන් ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට හිරිහැරයක්

(31.07.2024 – 06:55 +0530 – hirunews.lk/sinhala)

කුවේට් සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳව වාර්තා වෙනවා.

අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 230 දරණ ගුවන් යානය ඊයේ (30) අලුයම 02:00 ට පමණ කුවේට් සිටි කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබෙනවා.

එම ගුවන් යානය තුළ හොරණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සදහා අසුන් ගෙන සිට ඇති බව සදහන්.

පසුව ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී , ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට ගුවන් සේවිකාවගේ වම් අත, මැණික් කටුව සහ වැලමිට අතර ප්‍රදේශයෙන් තදින් අල්ලා, පරුෂ වචනයෙන් ද බැණ ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා ෴


පාවෙමින් තිබූ මළ සිරුරක් කලාඔයෙන් හමුවෙයි

(30.07.2024 – 20:57 +0530 – hirunews.lk/sinhala)

කලාඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව ගලා බසින ඔයේ තිබියදී මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය දිනක මියගිය පුද්ගලයා තවත් දෙදෙනෙකු (2) සමග කලාඔයේ දියනෑමට ගොස් තිබෙනවා.

එහිදී වෙනත් පිරිසක් සමඟ බහින්බස් වීමක් ඇතිකරගෙන තිබෙන අතර සෙසු දෙදෙනා (2) දිවගිය බවයි වාර්තා වන්නේ.

පසුව ඇති වූ ගැටුමක් නිසා මෙම පුද්ගලයාට පහර ඇති බවද දෙපිරිසම බීමත්ව සිටි බවද පැවසෙනවා.

මියගිය අයගේ මිතුරන් දෙදෙනා (2) මොහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට තිබුණා.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අතක කොටසක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

මේ සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය විමර්ශන සිදුකරනවා ෴


දුම්රිය ආසන වෙන් කිරීම උදේ දහයට (10:00)

(30.07.2024 – 19:29 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනූව ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට ආසන වෙන්කිරීමේ කටයුතු පෙරවරු 10:00 ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආසන වෙන් කිරීමේ කටයුතු දැනට රාත්‍රී 07:00 ට ආරම්භ වනවා.

නව සංශෝධිත වේලාව අනුව පෙරවරු 10:00 ට දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


දිනකට ගබ්සාවන් 1000 ක් – සමීක්ෂණයක් ඇසුරෙන් දැනුවත් කිරීමක්

(31.07.2024 – 14:44 +0530 – hirunews.lk/sinhala)

ප්‍රජා සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය ගැන අවබෝධයක් නොමැති වීම නිසා දිනකට නීති විරෝධී ගබ්සාවන් දහසක (1000) පමණ ප්‍රමාණයක් මෙරටදී සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකළ සමීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් මෙසේ පවසනවා :

“අපේ රටේ දවසකට ගබ්සාවන් දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසාන වට කරපු සමාජ සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. සමහර විට මේ අගයන් ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුලුවන්. සමහර විට මේ ගබ්සාවලින් පස්සේ ඔවුන් නැවත ගර්භණී බවට පත් උනාට එම දරුවන් නැවත ගබ්සාවීමට ඉඩකඩ වැඩිවීම, ගර්භාෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් වගේම මේ ගබ්සාවට ලක්වන තරුණියන්, පාසල් ශිෂ්‍යාවන් මානසික විශාල වශයෙන් පීඩාවට පත්වීම ආදිය සුලභ කරුණක් බවට පත්වෙනවා.

ඒ වගේම තමයි නොදැනුවත්භාවය නිසා කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් ගබ්සා මධ්‍යස්ථානවලට රැගෙන ඒම වැඩිවී ඇති බව ගබ්සා මධ්‍යස්ථාන ආශ්‍රිතව විටින් විට කළ සමාජ සමීක්ෂණ වලින් තහවුරු වෙනවා.

රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට, සෞඛ්‍ය අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය, මාතෘ සහ ළමා සෞඛ්‍ය බලධාරීන්ගෙන් වගේම අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක විශේෂඥවරුන්ගෙන්, නීතිපතිතුමා ප්‍රමුඛ නීති අංශ වලින් ඉල්ලීමක් කරනවා මේ වගේ අහිංසක තරුණියන් ගබ්සා වීම සම්බන්ධව විද්‍යාත්මක විශ්ලේෂණයක් කරලා, ඒ තරුණියන්ගේ පාසල් ශිෂ්‍යාවන්ගේ අනාගතය සම්බන්ධව යම් වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ඒ නිසා, ගබ්සාව කියන කරුණ කිසිසේත්ම සුළුකොට තකන්න එපා කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

+


ජනතා විමුක්ති පෙරමුණට ‘ජන අරගල සන්ධානයෙන්’ චෝදනා රැසක් (31.07.2024)

+


අල්ලස් ගත් ‘ක්වාසි විනිසුරු’ අත්අඩංගුවට

(31.07.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් මුදලක් ලබාගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා කාන්තාවකගෙන් රුපියල් 10,000 ක් අල්ලස් ලෙස ලබා ගත් මොහොතේ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර කාන්තාව නඩත්තු සහ අපහාසය සඳහා රුපියල් 80,000 ක වන්දි මුදලක් ඉල්ලා මෙම ක්වාසි විනිසුරුවරයා වෙත නඩුවක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අවශ්‍ය ලේඛන ලබා දී ඇති අතර එම වන්දි මුදල ලබාදීමට වුවමණා කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

එම මුදලෙන් රුපියල් 10,000 ක මුදලක් මාතලේ, වරකාමුර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ පිහිටි කාර්යාලයේදී ලබා ගත් මොහොතේදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විනිසුරුවරයා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *