“පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන්න” – විමල් වීරවංශ ගෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුනට දීර්ඝ ලිපියක්!

“පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන්න” – විමල් වීරවංශ ගෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුනට දීර්ඝ ලිපියක්!


“පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන්න” – විමල් වීරවංශ ගෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුනට දීර්ඝ ලිපියක්!

(30.07.2024 – facebook.com/WimalWeerawansa.sl)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින්, වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් න්‍යාය පත්‍ර 05 ක් යටතේ සිදුකරමින් සිටින, ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලැස්ම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටියි.

අද (30) දින එම දීර්ඝ ලිපිය ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමි යන ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.

එම දීර්ඝ ලිපිය අසංක්ෂිප්තව මෙසේය :

“අතිපූජනීය ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා වෙත,

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස දෙපා නැමැද ගෞරව පූර්වකව ඉල්ලා සිටීම

ඔබ වහන්සේලා ඉතා හොඳින්ම දන්නා පරිදි වසර 2000 කට අධික කාලයක් තුළ අපගේ මාතෘභූමිය යටත් කර ඈඳා ගැනීම සඳහා ඉන්දියානු ආක‍්‍රමණිකයින් අවස්ථා 17 කදී සහ බටහිර ආක‍්‍රමණිකයන් අවස්ථා 03 කදී උත්සාහ කළ ද දීර්ඝකාලීනව සටන් වැදී එම උත්සාහයන් පරාජය කිරීමට ජාතියක් ලෙස අපි සමත් වූවෙමු. ජාතියට එම ශක්තිය ලැබෙන්නේ මහා සංඝරත්නය විසින් ඉටු කරනු ලබන ඓතිහාසික භූමිකාව නිසා බව ඉතා පැහැදිලි කරුණකි. එසේම ඓතිහාසික සාක්ෂි අනුව එදා බි‍්‍රතාන්‍ය ආක‍්‍රමණිකයා විසින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිහසුනෙන් පලවා හැර රාජ්‍යය යටත් කර ගැනීම සඳහා දියත් කළ කුමන්ත‍්‍රණයට බුද්ධිමය නායකත්වය ලබාදුන් ජෝන් ඩොයිලිගේ සැලසුම සහ යටත් විජිත ලේකම්ගේ මතය අතර උපායමාර්ගිකව වැදගත් පරස්පරයක් තිබී ඇත. ඩොයිලිගේ සැලසුමට අනුව පළමු වටයේදී සෘජුව බි‍්‍රතාන්‍ය පාලකයෙකු විසින් යටත් විජිතය පාලනය කිරීම වෙනුවට රූකඩ පාලකයෙකු ලෙස ඇහැලේපොළ නිලමේ රජු ලෙස පත් කර බි‍්‍රතාන්‍යයන් තිරය පිටුපස සිට ඔහු මෙහෙයවිය යුතුය. නමුත් යටත් විජිත ලේකම්ගේ මතය ජයග‍්‍රහණය කිරීම නිසා ආක‍්‍රමණිකයාට වසර 03 ක් ඇතුළත ප‍්‍රබල කැරැල්ලකට මුහුණ දීමට සිදුවූ අතර එතැන් සිට බි‍්‍රතාන්‍ය විරෝධය දළුලා වැඩීමට එය හේතුවක් වූ බව ඓතිහාසික සත්‍යයකි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාට වැඩ බලන ජනාධිපති ධුරය හිමි වන්නේ එදා යටත් විජිත ලේකම්වරයා විසින් සිදු කළ වරද නිවැරදි කිරීමට ද යන ප‍්‍රශ්නය මතුවේ. කෙසේ වෙතත් එදා ඇහැලේපොළ සිහසුන මත අසුන් ගැන්වූවා නම් ජෝන් ඩොයිලිට, පිටුපස සිට ඔහු මෙහෙයවීමට සිදුවන බවට සැකයක් නැත. එහෙත් මෙදා රනිල් වික‍්‍රමසිංහ මහතා ස්වේච්ඡාවෙන් සහ කැමැත්තෙන් යටත් විජිත ලේකම්ලාගේ නියෝග පිළිපදින බව මේ වන විට පැහැදිලිව දැක ගත හැක. යටත් විජිත ලේකම්ලා ලෙස කටයුතු කරන තානාපති නිලධාරිනියන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුගේ නියෝග එක විට ක‍්‍රියාත්මක කිරීමට සහ බොහෝ විට නියෝග ලබාදීමටත් පෙර එකඟ වී ඇති මහා සැලසුමට අනුව ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා දක්ෂකම ද එතුමා විසින් පෙන්වමින් ඇත.

එදා රාජසිංහ රජු බි‍්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්වීමේදී රටවැසියාට හඬ නඟා පවසන්නේ, “මට නැති වන්නේ කිරුළ පමණයි – නමුත් තොපිට තොපගේ රට නැති වෙනවා” යනුවෙනි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි වැටහීමක් තිබුණා ද යන්න සැක සහිතය. එසේ වූවා නම් අද මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්, වැඩ බලන ජනාධිපතිවරයා විසින් යටත් විජිත ලේකම්වරුන්ගේ උවමනාවන් ඉටු කිරීම සඳහා ඉදිරිපත් කරන සියලුම යෝජනා සහ අණපනත්වලට අත ඔසවන සිග්නල් කණු බවට පත්විය නොහැක. අඩුම තරමින් ඔවුන්ට දේශපාලන වශයෙන් සහ පුද්ගලිකව වන්දි ගෙවීමට හේතු වූ වත්මන් අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයන්ට, එනම් ලෙඩේ උත්සන්න කළ වෙදුන්ට ලෙඩා බාර දී ඇති බව තේරුම් ගැනීමට හෝ දැන් ඔවුන්ට හැකියාවක් නැත. එසේම ඔවුන් සියලුදෙනාට රාජසිංහ රජුට මෙන්ම තමා වටා සිටි ‘ඩොයිලිලා’ විසින් ඉටු කළ භූමිකාව අවබෝධකර ගැනීමට මේ වන තුරු නොහැකි වී ඇති බවට ද විවාදයක් නැත.

වත්මන් සමාජ – දේශපාලන අර්බුදයට මුල් වූ ආර්ථික අර්බුදයේ නිධන්ගත රෝග ලක්ෂණ ත‍්‍රිත්වය වන රාජ්‍ය ආදායම් අර්බුදය, ණය අර්බුදය හා ගෙවුම් ශේෂ අර්බුදය ඇත්ත වශයෙන්ම ආරම්භ වන්නේ 1977 දී වත්මන් වැඩ බලන ජනාධිපතිතුමා ප‍්‍රබල අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ බව ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. ඉන්පසුව විවිධ ආණ්ඩු යටතේ ක‍්‍රමයෙන් වර්ධනය වූ එම තත්ත්වය උත්සන්න වීම ආරම්භ වන්නේ 2015 – 2019 කාලයේදී ඉතා ඉහළ පොලියට කෙටි කාලීන වාණිජ ණය ඇමරිකන් ඩොලර් බිලියන 12 කට අධික ප‍්‍රමාණයක් ලබා ගැනීම සහ 2017 නව විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය කළු වෙළඳපළ දිරිමත් කිරීම නිසා බව දැන් ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත.

නමුත් වත්මන් වැඩ බලන ජනාධිපතිතුමාට තමා විසින් නිර්මාණය කළ අර්බුදය විසඳීම කෙසේ වෙතත් අඩු තරමින් සමනය කිරීමට දැක්මක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක. මේ වනතුරු ඉහත සඳහන් අර්බුද ත‍්‍රිත්වය සමනය කිරීම සඳහා නිශ්චිත තර්කානුකුල විසඳුම් කිසිවක් ඔහු විසින් රටට ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට එතුමා විසින් තෝරාගෙන ඇති ක‍්‍රමවේදය බව පෙනෙන්නේ ලාභ ලබන උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන පවා විකුණා දැමීම, මහජනයා මත බදු බර පැටවීම සහ තවදුරටත් ණය ගැනීමය. ඒ අතර එතුමා විසින් රැවටිලිකාර බස් දොඩමින් සහ ‘වැල් පාලමෙන්’ එතෙර වන බවට ප‍්‍රතිඥා දෙමින් නැවත ගොඩඒමට නොහැකි මහා අර්බුදයක් දක්වා රට රැගෙන යන බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. එම ක‍්‍රියාවලිය දැනුම්වත්ව සැලසුමකට අනුව සිදුවනවාද, යන බරපතළ සැකයක් මතු කිරීමට සාධාරණ ඉඩක් විවර වී ඇත. ඊට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ ඔහු විසින් ගනු ලැබූ යම් තීන්දුවලින් අර්බුදය විසඳීම වෙනුවට එය තවදුරටත් වර්ධනය වීමය. දේශීය කර්මාන්තකරුවා දිරිමත් කරමින්, ආනයන අධෛර්යවත් කිරීම වෙනුවට ඊට ප‍්‍රතිවිරුද්ධ දේ සිදුකිරීම පුදුමසහගත නොවේද? උදාහරණයක් ලෙස දේශීය නිෂ්පාදනවලට 18% ක වැට් බදු පනවන අතර අත්‍යවශ්‍ය ලේබලය යටතේ ආනයනික ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කිරීම දැක්විය හැක. ණය නොගෙවා සිටීම නිසා ඉතිරි වන ඩොලර් ප‍්‍රමාණයෙන් ඛනිජ තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වී ඇති බැවින් මහජනයා අතර දැන් අර්බුදයට විසඳුම් ලැබෙමින් පවතින බවට ව්‍යාජ සුබවාදී මතයක් නිර්මාණය කිරීමට හැකි වී ඇත.

ඊට අමතරව රට බංකොලොත්භාවයෙන් මුදවා ගත් බවට ‘සුබ ආරංචියක්’ නමින් ව්‍යාජ සුබවාදී මතයක් ගොඩනැගීමට උත්සාහ කිරීම, දැනුම්වත් පිරිස් අතර හාස්‍යජනක ක‍්‍රියාවක් ලෙස පෙනුණ ද බහුතර මහජනයාට ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැත. සමස්ත විදේශ ණය තොගයෙන් 25% ක් පමණ වූ ඩොලර් බිලියන 10 කට ආසන්න ද්වීපාර්ශ්වික ණය ගෙවීම වසර 5 කට කල් දමා ගැනීම මගින් ණය අර්බුදයට විසඳුම් ලැබෙන බව පිළිගත හැකිද? එසේ ණය වාරික ගෙවීම ඊළඟ පාලකයාට භාර දෙන ආකාරයට වසර 5 කට කල් දැමුවද ඊට අදාළ පොලිය ගෙවිය යුතුය. නමුත් වාරික එකතු වන බැවින් ගෙවිය යුතු පොලිය පෙර ගෙවූ ප‍්‍රමාණයට වඩා වැඩි වන බව සරල අංක ගණිතමය තේරුම් ගැනීමකි. ඒ මගින් තවදුරටත් ණය බර වැඩි වන නමුත් එම රටවලින් එම වැඩි වන පොලිය ගෙවීම සඳහා නැවත ණය ලබා ගැනීමට හැකි යැයි ව්‍යාජ ලෙස උදම් ඇනීමට හැකියාව ලැබී ඇත. එහෙත් එවැනි ව්‍යාජ සහන යනු ගෙවීමට නොහැකිව ‘හිර’ වන පුද්ගලයකුට දේශීය බැංකු මගින් ප‍්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් ලබාදෙන ඊනියා සහනයකට සමාන වන බව ණය උගුල්වල සිරවී සිටින ගමේ සුළු ව්‍යාපාරිකයෙකුට වුවද තේරුම් ගත හැකි සාත්‍යයකි. එම තත්වය තුළ මේ වන විට විදේශ ණය සඳහා ගෙවිය යුතු පොලිය පසුගිය වසරට වඩා 14% කින් වැඩි වී ඇත. එම තත්වය අර්බුදය සමනය කිරීමක් ද එසේ නැතහොත් උත්සන්න වීමක් ද යන්න තේරුම් ගැනීමට මහා අංක ගණිතමය දැනුමක් අවශ්‍ය නැති බව ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත.

ඒ සියල්ලටම වඩා ‘වැල් පාලමින් එගොඩ වෙන’ බව පවසමින් එය කඩාගෙන වැටෙන ආකාරයට තවදුරටත් විශාල වශයෙන් දේශීය ණය ලබා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා කිසිදු ප‍්‍රකාශයක් කරන්නේ නැත. එතුමා බලය ලබා ගන්නා අවස්ථාවේදී ඩොලර් බිලියන 83 ක් පමණ වූ සමස්ත ණය තොගය මේ වන විට ඩොලර් බිලියන 100 ක් දක්වා වර්ධනය වී ඇත. ඊට හේතුව ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම සඳහා දේශීය බැංකු මගින් බැඳුම්කර නිකුත් කිරීම හරහා අසීමිතව ණය ලබා ගැනීමය. ඒ අනුව එසේ ලබා ගෙන ඇති නව ණය ප‍්‍රමාණය රුපියල්වලින් ගණනය කළහොත් දළ වශයෙන් රුපියල් බිලියන 5000 ක් ඉක්මවා යයි. ඊට අමතරව දේශීය කර්මාන්තකරුවාට සහ පොදු මහජනයාට වැට් බදු බර පැටවුවද ආදායම් බදු සහ සුරා බදු පැහැර හැරීම මෙන්ම අයුතු ලෙස ආනයනකරුවන්ට බඳු සහන ලබාදීම නිසා රජයට අහිමිව ඇති ආදායම රුපියල් බිලියන 3000 කට ආසන්න වේ. ඊට අමතරව ආණ්ඩුවට හිතවාදී මහා පරිමාණ ව්‍යාපාරිකයින් රාජ්‍ය බැංකුවලට නොගෙවා ඇති ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 650 ඉක්මවා යන බව වාර්තා විය. එහෙත් ඒවා අයකර ගැනීම සඳහා හෝ අර්බුදයේ මූල හේතුවක් වූ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් පෙන්වන්නේ කුමක්ද? ඒ මගින් පැහැදිලි වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට එතුමා බලයට පත්කළ බලවේග විසින් ඉදිරිපත් කරන විසඳුම් හැර වෙනත් විසඳුම් නැත, යන තත්ත්වය පිළිගැනීම සඳහා අර්බුදය සූක්ෂ්ම ලෙස වර්ධනය වීමට ඉඩ හරින බව නොවේද?

ගෞරවනීය මහා නායක හිමිපාණන් වහන්ස,

ඉහත දීර්ඝ විස්තරය මගින් ඔබ වහන්සේලා විඩාවට පත් කිරීමට සිදුවන්නේ රට සැබෑ ලෙසම ගමන් කරමින් තිබෙන භයානක දිශාව පිළිබඳව මහා පින්තූරය පෙන්වාදීම සඳහා බව ගෞරවයෙන් යුතුව සඳහන් කරමි. ඊට අමතරව විශේෂයෙන්ම එම ක‍්‍රියාවලිය සැලසුම්සහගත මෙහෙයුමක් බව පෙන්වාදීම සඳහාය. එම ක‍්‍රියාවලිය මගින් රට අවසානයේ රැගෙන යන තැන අවබෝධ කර ගැනීම සඳහා වැඩ බලන ජනාධිපතිවරයා බලයට පත් කළ බලවේග විසින් ඔහු අතට ලබා දී ඇති න්‍යාය පත‍්‍රවල අවසන් ප‍්‍රතිඵලය විමසා බැලිය යුතුය.

එම න්‍යාය පත‍්‍රවල යම් කොටස්, 2001 සිට වත්මන් වැඩ බලන ජනාධිපතිතුමා අගමැතිවරයා ලෙස ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩසටහන මගින් සහ සටන් විරාම ගිවිසුම මගින් ඉටු කර ගැනීමට උත්සාහ කළ ද එදා පැවති ප‍්‍රබල මහජන විරෝධය නිසා හකුළා ගැනීමට සිදුවූ ඒවාය. කෙසේ වෙතත් ඒ අතරින් යම් ප‍්‍රමාණයක් 2015 – 2019 යහපාලන රජය සමයේදී ඉටු කර ගැනීමට එතුමා සමත් විය. ඒ ආකාරයට එතුමා විසින් සංසාරගත කැමැත්තක් හෝ වගකීමක් ලෙස ඉටු කිරීමට උත්සාහ කරන එම න්‍යාය පත‍්‍ර සැකෙවින් මෙසේ දැක්විය හැක.

1. විකිණීමේ න්‍යාය පත‍්‍රය හෙවත් රාජ්‍යය සතු ආයතන සහ ජාතික සම්පත් විදේශිකයන්ට මිලදී ගත හැකි ආකාරයට පුද්ගලීකරණය කිරීම :
ඒ සඳහා වත්මන් අර්බුදය යොදා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මීට පෙර 16 වතාවක් ඉටුකරගත නොහැකි වූ සියල්ල අවසන් කිරීම සඳහා ආණ්ඩුවේ අත අඹරන බව දැන් පැහැදිලිව දැකගත හැක. ඒ අනුව ටෙලිකොම් ආයතනය සහ ගුවන් තොටුපළවල් ආදී ලාභ ලබන සහ ජාතික ආරක්ෂාවට පවා ප‍්‍රබල බලපෑමක් ඇති කරන උපායමාර්ගික මර්මස්ථාන පමණක් නොව රජයට අයත් ඉඩම් පවා වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත. එම ක‍්‍රියාවලියට තවදුරටත් පහසුකම් සැලසීම සඳහා මේ වන විට රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත යනුවෙන් උපායමාර්ගික වශයෙන් එකට බැඳී ඇති පනත් ත‍්‍රිත්වයක් සම්මත කිරීම මගින් සමස්ත ආර්ථික කළමනාකරණය අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීමට මෙහෙයුමක් දියත් වී ඇත. ඒ මඟින් රාජ්‍ය දේපළ පමණක් නොව පුද්ගලික දේපළ පවා පවරාගෙන විදේශිකයන් සතු කිරීම සඳහා පවා ප‍්‍රතිපාදන සලසා ඇත.

2. බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය :
මේ වන විට වැඩ බලන ජනාධිපතිවරයා පමණක් නොව විපක්ෂ නායකවරයා සහ අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකයා පවා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට බෙදුම්වාදී දේශපාලන පක්ෂවලට පොරොන්දු ලබා දී ඇත. මීට පෙර සිටි ජනාධිපතිවරු 7 දෙනකුට ඒ සඳහා ධෛර්යයක් නොතිබුණේ එය සිදු කළහොත් ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක්’ බිහි වී ජාත්‍යන්තර මැදිහත්වීම මත ‘ඊළම’ දක්වා යන ගමන වැළැක්විය නොහැකි බැවිනි. ඔවුන් එසේ ඔබ වහන්සේලාගේ අනුශාසනා පවා නොසලකා හරිමින් 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ බෙදුම්වාදීන්ගේ ඡන්ද පොදිය ලබා ගැනීමට පමණක් නොව ඉන්දියාව ද සතුටු කිරීම සඳහා බව ඉතා පැහැදිලිය. ඊට හේතුව වහාම පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට ඉන්දියාව විසින් බලපෑම් කිරීමය.

රට බෙදීමේ ක‍්‍රියාවලිය එනම් ‘පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක්’ හරහා ‘ඊළම’ දක්වා ගමන් කරන ක‍්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකට අමතරව ආරක්ෂක හමුදා දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීම ද ප‍්‍රධාන පූර්ව කොන්දේසියක් බව ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. ඒ සඳහා 2015 සිට 2019 දක්වා කාලය තුළ රණවිරුවන් දඩයම් කිරීම සඳහා පනත් 7 ක් සම්මත කර තිබෙන අතර දැන් සත්‍ය සෙවීමේ කොමිසම පනත සම්මත කළහොත් එම පනත් 7 බලාත්මක කිරීමට ද ප‍්‍රතිපාදන සැලසේ. ඊට අමතරව එම කොමිසම මගින් රට තුළ සිටිමින් ජාත්‍යන්තර මැදිහත්වීම් සිදු කිරීමට අවකාශය සැලසේ.

ඒ සියල්ලමටම අමතරව ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම මගින් උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කිරීම සඳහා පිඹුරුපත් සකස් කරන අතර හමුදාව අතහැරයාමේ ප‍්‍රවණතාව ද සිතාමතා වර්ධනය කර බව රහසක් නොවේ. විශේෂයෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිත රණවිරුවන්ට ලැබිය යුතු ප‍්‍රතිලාභ කපා හැරීම මගින් ඔවුන් දුකට පත් කරනු ලබන්නේ සමස්ත හමුදාව දුර්මුඛ කිරීම සඳහා බව ඉතා පැහැදිලිය. ඒ අතර පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීම වැළැක්වීම, පළාත් සභාවලට විශ්වවිද්‍යාල පිහිටුවීමේ බලය ලබාදීම, මහවැලි පනත අහෝසි කිරීම මගින් එම ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට නිදහස් කිරීම, වනජීවී ඉඩම් ඊනියා සංවර්ධන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීම මෙන්ම මධ්‍යම රජයේ ඉඩම් බලතල දුර්වල කිරීම සඳහා ඉඞම් කොමිෂන් පනතක් සම්මත කිරීම ආදී ක‍්‍රියාමාර්ග ද බෙදුම්වාදී මාර්ග සිතියමට අවශ්‍ය ආකාරයට දැන් සිදුවෙමින් ඇත.

3. ඉන්දියානු න්‍යාය පත‍්‍රය :
ඉන්දියානු ව්‍යාප්තවාදී න්‍යාය හෙවත් ‘සාර්දාර් පනික්කාර් න්‍යාය’ හෙවත් ‘මහා භාරත න්‍යාය’ හෙවත් ‘අඛණ්ඩ භාරත් න්‍යාය’ අනුව ශ‍්‍රී ලංකාව, නේපාලය, සිකීමය ආදී අසල්වැසි රටවල් ගිවිසුම් මගින් අර්ධ යටත් විජිත ලෙස ඈදා ගත යුතුය. මේ වන විට ඒ ආකාරයට සිකීමය ඉන්දියාවේ 22 වැනි ප‍්‍රාන්තය ලෙස ඈඳාගෙන ඇති අතර ශ‍්‍රී ලංකාව 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීම ඉන්දියාවේ වැඩපිළිවෙළ බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක. වර්තමාන වැඩ බලන ජනාධිපතිවරයා බලය අත්පත් කර ගැනීමෙන් පසුව 2022 ජුලි මාසයේදී ඉන්දියානු අගමැතිවරයා සමඟ ඇති කරගත් සහ ප‍්‍රකාශයට පත් කළ එකඟතාවට ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 6 ක් සහ සමාජ දේශපාලන උපාංගයක් ද ඇතුළත්වේ. එම උපාංග මෙසේ දැක්විය හැක :
I. මුදල් ඒකකය ඒකාබද්ධ කිරීම (ඒ සඳහා නව මහ බැංකු පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇත)
II. රේගු ඒකාබද්ධකරණය
III. මූල්‍ය සහ බදු පද්ධතිය ඒකාබද්ධකරණය (I සහ II ඒකාබද්ධකරණ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගික ක‍්‍රියාත්මක වන්නේ ‘එට්කා’ ගිවිසුමට සමගාමීව බව ඉතා පැහැදිලිය)
IV. බලශක්ති පද්ධතිය ඒකාබද්ධකරණය (ඒ සඳහා නව විදුලි පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇත.)
V. වරාය සහ ගුවන්තොටුපොළ ඒකාබද්ධකරණය (ඒ සඳහා ත‍්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංකීර්ණය සහ නව ජැටියක් ලබාදීම, කාන්කසන්තුර වරාය සම්පූර්ණයෙන්ම ඉන්දියානු වාණිජ ආධිපත්‍යයට යටත් කිරීම, කොළඹ වරාය බටහිර ජැටිය ලබාදීම සහ නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීමේ සැලසුමක් දියත් කිරීම, ප‍්‍රධාන ගුවන් තොටුපළ 03 ට අදාළව කළමනාකරණය අත්පත් කර ගැනීම ආදී ක‍්‍රියාමාර්ග දැන් සිදුවෙමින් ඇත. එසේම පලාලි සහ මඩකලපුව යන ගුවන් හමුදා පාලනය යටතේ තිබූ ගුවන්තොටුපළවල් සිවිල් පාලනයට පවරා ඉන්දියාවේ මෙහෙයුම් ආධිපත්‍යයට යටත්කර ඇත.)
VI. භූගෝලීය ඒකාබද්ධකරණය (ඒ සඳහා ‘ආදම්ගේ පාලම’ ඉදිකිරීම සඳහා සක්‍යතා අධ්‍යයන දැන් ආරම්භ වී ඇති අතර ත‍්‍රිකුණාමලයේ සිට දුම්රිය මාර්ගය සඳහා සැලසුම් සකස් කර ඇත.)
VII. සංස්කෘතික ඒකාබද්ධකරණය (‘රාමායන මංපෙත’ ලෙස හඳුන්වන එම ක‍්‍රියාවලිය තුළ ශ‍්‍රී ලංකාවේ ස්ථාන 21 ක ‘රාමා කෝවිල්’ ඉදිකෙරෙන අතර ඒවා ආශ‍්‍රිතව කඳවුරු බඳිමින් පුද පූජා පැවැත්වීමට ඉන්දියානුවන් ලක්ෂ ගණනින් පැමිණීම සඳහා ඊනියා සංචාරක ව්‍යාපෘති සකස් කර ඇති අතර ඊට පහසුකම් සැලසීම සඳහා ඉන්දියානුවන්ට ඉන්දියානු සමාගමක් මගින් ශ‍්‍රී ලංකාවේ ගුවන්තොටුපලේදී වීසා ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. එම ක‍්‍රියාවලිය තුළ එට්කා ගිවිසුම අත්සන් කළ පසුව ඉන්දියානුවන්ට සේවා සැපයීම, ආයෝජන සහ රැකියා සඳහා ලක්ෂ ගණනින් ශ‍්‍රී ලංකාවට කඩා වැදීමේ හැකියාව ලැබේ. ඒ අනුව ආර්ථික අර්බුදය තුළ වැසී යාමට ඉඩ සලසා ඇති පුද්ගලික ව්‍යාපාරික ආයතන සහ විකිණීමට නියමිත රාජ්‍ය දේපළ සහ ඉඩම් අත්පත්කර ගැනීමට ඉන්දියානුවන්ට විශේෂ ඉඩක් විවර වනු ඇත. මේ වන විට සම්මත කිරීමට නියමිත ආර්ථික පරිවර්තන පනත මගින් එසේ පැමිණෙන ඉන්දියානු සමාගම්වලට ශ‍්‍රී ලාංකික සමාගමකට සමාන ආකාරයට සැලකීම, ඕනෑම ක්ෂේත‍්‍රයක ආයෝජනය කිරීම සහ පුද්ගලික හෝ රාජ්‍ය ඕනෑම දේපළක් පවරාදීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත. ඒ සමස්ත ක‍්‍රියාවලිය අවසන් වන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ ආධිපත්‍යයට ගොදුරුවීමෙන් බව ඉතා පැහැදිලිය.)

4. ඇමරිකානු න්‍යාය පත‍්‍රය :
ශ‍්‍රී ලංකාව කේන්ද්‍ර කරගත් ඉන්දු – පැසිෆික් සාගර කලාපයේ බලය පැතිරවීම සඳහා මේ වන විට QUAD හෙවත් ‘ආසියාවේ නේටෝව’ ලෙස හැඳින්වෙන ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් 4 කින් සමන්විත යුද සන්ධානයක් පිහිටුවා ඇත. ඊට අමතරව කලාපයේ ඒකාබද්ධ යුදමය ක‍්‍රියාකාරකම් සඳහා ඉන්දියාව සහ ඇමරිකාව අතර ප‍්‍රධාන ආරක්ෂක ගිවිසුම් තුනක් (3) අත්සන් කර ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත කලාපයේ ඇමෙරිකානු මැදිහත්වීම ඉන්දියාවේ ආශිර්වාදය ඇතිව සිදුවන බව ඉතා පැහැදිලිය.

මේ වන විට ශ‍්‍රී ලංකාව ඇමරිකාව සමඟ ACSA නමින් ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඒ මගින් ඇමරිකානු හමුදාවල සැපයුම් සහ සේවා සඳහා ශ‍්‍රී ලංකාව යොදා ගැනීමට හැකිවන පරිදි බැඳීමක් ඇතිවේ. මහා සංඝරත්නයේ විරෝධය නිසා MCC ගිවිසුම අත්සන් කිරීමට නොහැකි වුවත් ඒ මගින් අපේක්ෂා කළ පරිදි ඇමෙරිකා හමුදාවට අවශ්‍ය සැපයුම් නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජන කලාප බිහි කිරීම සහ ඉඩම් අත්පත්කර ගැනීමට අදාළව ඉඩම් වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා පරිපාලන ක‍්‍රියාමාර්ග ගනිමින් ඇත.

ඊට අමතරව මූලික ගිවිසුමක් ලෙස අත්සන් කර ඇති SOFA නම් වූ ගිවිසුමට අදාළව ‘ඇමුණුම බී’ නමින් ඉදිරිපත් කර ඇති කොන්දේසි 15 ට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ වුවහොත් සමස්ත ශ‍්‍රී ලංකාවේ භූමිය ඇමරිකානු හමුදාවට කඳවුරු බැඳිය හැකි දූපතක් හෙවත් ඉඩම් කැබැල්ලක් බවට පත්වේ. එම කොන්දේසි අනුව ඇමරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට සහ හමුදාවලට සේවා සපයන සමාගම්වල නිලධාරීන්ට පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම තොටුපලකින් ශ‍්‍රී ලංකාවට ඇතුළු විය හැක. ඔවුන්ට නිල ඇඳුම් සහිතව හෝ සිවිල් ඇඳුමින් රට තුළට ඇතුළු විය හැකි අතර ආයුධ සන්නද්ධව හෝ එසේ නොමැතිව රට තුළ සංචාරය කළ හැක. එසේම ඔවුන්ගේ ගමන්මලු හෝ වාහන පරීක්ෂා කළ නොහැකි අතර යම් වරදකට හසුවුවහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම් දිය යුතුය. එම නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක කඳවුරු බැඳීමේ අවසරය ද ලැබේ. නමුත් ලෝකයේ රටවල් 80 ක පිහිටුවා ඇති 750 කට අධික ඇමෙරිකානු කඳවුරු ස්ථාපිත කර ඇත්තේ නිශ්චිත සලකුණු කළ භූමි ප‍්‍රදේශවල පමණි. ඒ සියල්ලටම අමතරව ශ‍්‍රී ලංකාවේ ඔත්තු සේවා සහ ආගමන විගමන තොරතුරු පද්ධතිවලට ඇතුළුවීමට ඇමෙරිකානු හමුදාවට සහ අදාළ සමාගම්වලට අවසර ලැබෙන අතර ශ‍්‍රී ලංකාවේ මුහුදු කලාපය ආශ‍්‍රිත ආවේෂණ ක‍්‍රියාවලිය ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදු කිරීම සඳහා දැනටමත් ගිවිසුමක් අත්සන් කර ඇත.

5. සමාජය බිඳවැට්ටවීමේ න්‍යාය පත‍්‍රය :
සමාජය බිඳවැට්ටවීම මගින් රාජ්‍යය අත්පත් කර ගැනීමේ න්‍යාය අනුව මූලික වශයෙන් සුළුතරයකගේ උවමනාවන් පෙන්වමින් බහුතරයකගේ සංස්කෘතික මූලයන්ට සහ බැඳීම්වලට ප‍්‍රහාර එල්ල කිරීම සිදු වේ. ඒ අනුව සමාජය මතවාදීව බිඳවැට්ටවීම සඳහා මහා වංශය සහ ත‍්‍රිපිටකයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බුදුන් වහන්සේ ශ‍්‍රී ලංකාවේ ඉපදුනු බවට ව්‍යාජ මතයක් ගොඩනැගීම සහ ඒ මත ගැටුම් ඇති කිරීම සඳහා විදේශීය මැදිහත්වීම් සහිතව ක‍්‍රියාන්විතයක් දියත් වී ඇත. එම ක‍්‍රියාවලියේ දිගුවක් ලෙස සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම සඳහා අපචාර ප‍්‍රචලිත කිරීම, විශේෂයෙන්ම සමලිංගිකත්වය සහ ලිංගිකත්වය වෙනස් කිරීම මෙන්ම ගණිකා වෘත්තිය සහ කංසා ප‍්‍රචලිත කිරීම සඳහා ආයුර්වේද පනත ඇතුළුව පනත් 6 ක් ඉදිරිපත් කර ඇත. ඊට සමගාමීව සමාජ සංස්ථා බිඳවැට්ටවීම සඳහා විශේෂයෙන්ම භික්ෂු සමාජය, පවුල සහ අධ්‍යාපන පද්ධතිය බිඳවැට්ටවීම සඳහා බහුවිද ක‍්‍රියාන්විතයක් දියත් වී ඇති බව පැහැදිලිව දැක ගත හැක. ඊට අමතරව පුද්ගලයා බිඳවැට්ටවීම සඳහා සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ප‍්‍රචලිත කිරීම සඳහා සැලසුම්සහගත ක‍්‍රියාවලියක් දියත් වන බව පැහැදිලිව පෙනේ.

අවසානයේදී සමාජයට ආදරය කරන පුද්ගලයෙකු වෙනුවට ඊට වෛර කරන පුද්ගලයෙකු නිර්මාණය කෙරේ. රට පිළිබඳව නිශේධනාත්මක පින්තූරයක් නිර්මාණය කරමින්, රට වෙනුවෙන් වගකීම් ඉටු කළ හැකි තරුණ පිරිස් රට අතහැර යෑම සඳහා පෙළඹවීම ද එම ක‍්‍රියාවලියේම දිගුවකි. දීර්ඝකාලීනව, අනාගත පරපුර අප රටේ සභ්‍යත්වයෙන් ගලවා ඉවත් කළ ජීව විද්‍යාත්මක ඒකක බවට පත් කිරීම මගින් සමස්ත සමාජය කනපිට පෙරළීම මෙම සමස්ත ක‍්‍රියාවලියේ අරමුණ බව ඉතා පැහැදිලිය. ඒ සඳහා යොදාගන්නා යම් උපාංග අද දවසේදී සමාජයේ අතිබහුතරයකට හඳුනාගත නොහැක. ඒ සඳහා වන හොඳම උදාහරණයක් වන්නේ ‘පළමු ශ්‍රේණියේ සිට අධ්‍යාපෙන මාධ්‍යය ලෙස ඉංග‍්‍රීසි භාෂාව හඳුන්වාදීම’ සඳහා වන ඉල්ලුමයි.

ගෞරවනීය මහා නායක හිමිපාණන් වහන්ස,

මෙම පංචවිද න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ වී ඇති බව ඔබ වහන්සේලා පිළිගන්නවා ඇත. වර්තමාන වැඩ බලන ජනාධිපතිවරයා ජනාධිපතිවරණය කල් දමා ගැනීමට සමත් වුව ද, ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ ද වසරක කාලයක් තුළ ඒ සියල්ල අවසන් කිරීමේ හැකියාව ඇත. ඉහත සඳහන් කළ ආකාරයට එම න්‍යාය පත‍්‍රවල යම් අංග එතුමා විසින් 2001 දී ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩසටහන යටතේ සහ ‘සටන් විරාම ගිවිසුම’ යටතේ ආරම්භ කළ ඒවා බැවින් එම න්‍යාය පත‍්‍ර සමග එතුමාට ප‍්‍රබල බැඳීමක් තිබෙන බව පැහැදිලි කරුණකි.

එම සමස්ත ක‍්‍රියාවලිය අවසානයේදී ඉහත සඳහන් කළ ආකාරයට 29 වැනි ප‍්‍රාන්තයෙන් 30 වැනි ප‍්‍රාන්තය බෙදා වෙන් කළ විට නිර්මාණය වන ‘ඊළාම් රාජ්‍යය’, ‘ආසියාවේ නේටෝව’ විසින් ‘ආසියාවේ ඊශ‍්‍රායලය’ බවට පත් කරන බව අපගේ දේශපාලන තේරුම් ගැනීම බව සඳහන් කළ යුතුමය. ඒ අනුව මැද පෙරදිග ඊශ‍්‍රායලය ත‍්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස එම කලාපයේ යොදා ගන්නා ආකාරයටම ‘ආසියාවේ ඊශ‍්‍රාලය’ ඉන්දු පැසිෆික් කලාපයේ කූඨ යුද මෙහෙයුම් සඳහා යොදාගන්නා බවට කිසිදු සැකයක් නැත.

මේ වන විට ඇමරිකානු බලය සහිත ‘ඒකධ‍්‍රැවීය ලෝකය’ රුසියානු සහ චීන මැදිහත්වීම තුළ ‘බහුධ‍්‍රැවීය ලෝකයක්’ බවට පරිවර්තනය වීමේ ක‍්‍රියාවලිය තුළ ඇමරිකාවට සහ ඉන්දියාවට ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත කලාපයේ බලය තහවුරු කර ගැනීමේ ක‍්‍රියාවලිය ඉක්මන් කිරීමට අවශ්‍ය වී ඇති බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ. ඊට සමගාමීව බෙදී වෙන් වන ශ‍්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනතාව ජීවත් වන භූමි ප‍්‍රදේශය ‘ආසියාවේ ගාසා තීරය’ බවට පත් වන බව ඉතා පැහැදිලිය. ඒ අනුව එම කුඩා භූමි ප‍්‍රදේශයේ ගැටුම්වලට මැදිවන ජනතාවට තම සභ්‍යත්වය පමණක් නොව ජීවිත ආරක්ෂා කර ගැනීම ද බලවත් අභියෝගයක් වනු ඇත.

මේ වන විට ආරම්භ වී ඇති ක‍්‍රියාවලිය අවසන් කිරීමට පෙර නැවැත්වීමට ජාතිය අසමත් වුවහොත් විශේෂයෙන්ම අතීතයේදී එවැනි අභියෝගවලදී මහා සංඝරත්නය විසින් ඉටුකළ ඓතිහාසික භූමිකාව ප‍්‍රතිනිර්මාණය කිරීමට අසමත් වුවහොත් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන බව සහ ඒ සමගම ථේරවාදී සම්බුද්ධ ශාසනය ද අවසන් වීමට විශාල ඉඩක් තිබෙන බව බලවත් සංවේගයෙන් යුතුව සඳහන් කරමි.

වර්තමාන පාලකයන් විසින් සිදු කරන මෙම මහා පාවාදීම රාජ්‍යයට ද්‍රෝහී වීමේ වරද යටතට ගැනුණ ද එම පාවාදීමෙන් පසුව ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට රටක් ඉතිරි නොවනු ඇත. එම නිසා අපගේ මාතෘභූමිය මුහුණ දෙමින් සිටින ඉතිහාසයේ ඉතාමත් දුෂ්කර මෙන්ම ඛේදනීය තත්ත්වයෙන් ජාතිය බේරා ගැනීම සඳහා පාලකයින්ට මෙන්ම මහජනතාවට ද මඟ පෙන්වීම සඳහා ඔබ වහන්සේලා විසින් දැඩි අවවාද සහ අනුශාසනා ලබාදෙනු ඇතැයි ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි.

මේ වගට,
ගෞරව පූර්වකව,
විමල් වීරවංශ
පාර්ලිමේන්තු මන්ත්‍රී
2024.07.30

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Frogs like Weerawansa writing reams of history is nothing but his trying to save his packet of rice at this time when there is election coming up. He does nothing but deceiving the public. If this Deshapaaluwa has been and is genuine, he has had multitude of opportunities to preserve the sovereignty of Sri Lanka by not siding with all sorts of rogue political party leaders, at the right time. But he did not care, he sided with those traitors for personal gain. To which side did he vote when the present fake prez was illegally put into this position, and where was he when passa rajas were robbing the country. He was in collusion with them, that was where he was. So I say to Weerawansa again, stop conning people. You are the sort of person that if the fake prez offer you a ministerial post, you would not hesitate to jump over the fence.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *