පොලිස්පතිගේ සිද්ධියෙන් පසු ජනපතිට ලැබුණු උපදෙස්

පොලිස්පතිගේ සිද්ධියෙන් පසු ජනපතිට ලැබුණු උපදෙස්


පොලිස්පතිගේ සිද්ධියෙන් පසු ජනපතිට ලැබුණු උපදෙස්

(25.07.2024 – 21:31 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මේ වනවිට පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බව ජනාධිපතිවරයාට සම්බන්ධ රජයේ ආරංචි මාර්ග පවසයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති අතර එබැවින් අදාළ නීති ගැටලුව විසඳා ගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තැබෙනු ඇති බව රජයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ, ඔහු පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට තීන්දු කරමිනි.

එසේම පෙත්සම් විභාගය නිමවන තෙක් පොලිස්පති ධුරය සඳහා නීත්‍යනුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළේය.

++++++++++

පොලිස්පති ගැන රජයේ ස්ථාවරය හෙට පාර්ලිමේන්තුවේදී කියයි

(25.07.2024 – 21:04 +0530 – sinhala.adaderana.lk)

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව වාර්තා වෙයි.

ඒ අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය තුළිනි ෴


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට

(26.07.2024 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – වදුල්ලවත්ත – පුරදොර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කාන්තාවද මියගොස් තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඇය, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ 56 හැවිරිදි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සිද්ධියෙන් 31 හැවිරිදි ඇගේ ඥාති පුත්‍රයෙකුද ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු මාතර – කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හෙළිවී තිබෙනවා.

මොවුන් ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා පලාගොස් තිබුණා.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර පසුගිය විසිඑක්වනදා (21) මිද්දෙණිය – ගල්පොත්තයාය – ජූලම්පිටිය මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු, අම්බලන්තොට ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, පසුව අනාවරණ වුණේ තුවාල ලැබූ පුද්ගලයා පළාත්පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා භාරදී තිබූ අපේක්ෂකයෙකු බවයි.

වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳද තුවාල ලැබූ අතර, ඒ සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියද පොලිසිය සොයාගෙන තිබෙනවා ෴


සිංහබාහු චිත්‍රපටය හොර පාරෙන් ලෝකෙටම යවලා

(25.07.2024 – lankadeepa.lk)

සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ,’සිංහබාහු’ සිනමා පටය මහනුවර කටුගස්තොට සිනමා ශාලාවකදී වංචනිකව වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහල බව කියන සැකකරු ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.

නීතී විරෝධිව සහ අනවසරයෙන් වීඩීයෝ කර අන්තර්ජාලයට මුදා හැර බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් කළ බවට පරිගණක අපරාධ ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ ‘ඉසුරුෂාන් බාලසූරිය’ යන අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර පරිගණක ඒකකයට ලද පැමිණිල්ලක් මත එම ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය ෴


26-07-2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *