e-Passports නිකුත් කිරීම ඇරඹේ

e-Passports නිකුත් කිරීම ඇරඹේ


e-Passports නිකුත් කිරීම ඇරඹේ

(17.07.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජය 2025 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා නව කාර්යක්ෂම සහ ආරක්ෂිත ‘විද්‍යුත් ගමන් බලපත්‍ර’ හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ අයදුම්කරුවන්ගේ පහසුව වැඩි කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

අයදුම්කරුවන් 2024 ජූලි 16 වන දින සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.immigration.gov.lk හි ලියාපදිංචි විය යුතුයි.

මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 2024 ජූලි 18 දක්වා පවතිනු ඇති අතර ඉන් පසුව පවතින ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවද සඳහන්.

නව විද්‍යුත් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ලියාපදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමි වන බවයි සඳහන් වන්නේ.

ප්‍රමුඛතාවය සඳහා අයදුම්කරුගේ නිර්ණායක:

  • වලංගු විදේශ ගමන් බලපත්‍ර හිමියන් ඉදිරි මාස 6 තුළ කල් ඉකුත් වේ.
  • මෑතක සිට විදේශ ගමන් සඳහා තම වත්මන් ගමන් බලපත්‍රය භාවිතා කළ අය.
  • දැනට සිටින විදේශ ගමන් බලපත්‍ර හිමියන්.

අවශ්‍ය ලිපි ලේඛන:

  • වලංගු ජාතික හැඳුනුම්පත (NIC).
  • වලංගු ජංගම දුරකථන අංකය, ලියාපදිංචි කිරීම් දෙකක් දක්වා භාවිතා කළ හැක.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය:

  • ඉහත දක්වා ඇති නිර්ණායක සපුරාලන අයදුම්කරුවන් https://www.immigration.gov.lk වෙත පිවිසිය යුතුය.
  • අනුමත ඡායාරූප මැදිරියකින් ලබාගත් ඡායාරූප රිසිට්පත රැගෙන ඒමද සිදු කළ යුතු වෙනවා.

වැඩිදුර විස්තර සහ යාවත්කාලීන සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.


කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

(17.07.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)

හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරුණා.

2021 වසරේ ජුනි මස 07 වැනිදා ඉදිරිකිරීම් ආරම්භ කල මෙම ගුවන් පාලම දිගින් මිටර 297 කින් සහ මීටර් 9.4 ක පළලින් යුක්තයි.

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ඉඳිකෙරුණා.

ඒ සදහා වැය කර ඇති මුදල් රුපියල් මිලියන 2,648 ක් ෴


මල් කැකුළකට තලපු මිත්තනියන්ට අවසානයේ දී වුණු දේ

(17.07.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු හයක (6) කුඩා දරුවට නිවැසියන් අමානුෂීක ලෙස පහරදීමේ වීඩියෝවක් පිළිබඳව බොහෝ දෙනාගේ කථාබහට ලක්වී තිබෙනවා.

හය හැවිරිදි වියේ පසුවන මෙම දරුවා ඇහැළගස්තැන්න, අරණායක, මාවනැල්ල ප්‍රදේශයේ සිය මව සමග දැනට මිත්තණියන්ගේ නිවසේ සිටින අතර, දරුවාගේ පියා මව සමග ඇති කර ගෙන ඇති ආරවුලක් හේතුවෙන් මවගෙන් වෙන්ව ඇති බවයි අසල්වාසීන් පවසා සිටින්නේ.

පාසල් යන වයසේ වුවද පාසල් නොයවා නිවසේ රඳවාගෙන සිටින මෙම කුඩා දරුවාට මව ඇතුළු වියපත් කාන්තාවන් දෙදෙනෙකු (2) විසින් වරින් වර අමානුෂික ලෙස පහර දෙන බවයි ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ.

මෙම කුඩා දරුවා දිවා-රෑ දෙකේම බරපතල ලෙස පහර කෑමට ලක්වන බවයි අසල්වාසීන් කියා සිටින්නේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට දරුවාගේ මානසිකත්වය මුළුමනින්ම විනාශයට පත්ව ඇති බව කියයි.

ඉකුත් (12) වන දින සවස් කාලයේ දරුවාට සිය මිත්තනියන් අතුළුව මව ද මෙලෙස අමානුෂික ලෙස පහර දෙමින් බිම දිගේ ඇදගෙන යාමත්, පසුව නිවස තුළට රැගෙන යමින් දොරගුළු දමා පහර දෙන ආකාරයත් ඇතුලත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසියට ලද පැමිණිල්ලකට අනුව දරුවාට පහරදුන් බව කියන සැකකාර මිත්තනියන් දෙදෙනා (2) සහ පහර දීමට අනුබල දුන් බව කියන දරුවාගේ මව සහ අසල්වාසී කාන්තාවක අරණායක පොලිසසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට පහර කෑමට ලක්වූ දරුවා සිය පියාගේ භාරයේ රදවා පියා මගින් වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයා වෙත දරුවා ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියමිතව ඇති බවයි පරික්ෂණ පවත්වන අරණායක පොලිසිය සදහන් කරන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවන් පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ දරුවා අධික ලෙස මුරන්ඩු වීම හේතුවෙන් මෙසේ පහර දුන් බවයි.

+++++++++

(17.07.2024 – 20:19 +0530 – sinhala.adaderana.lk)

දරුවන් මෙලෙස කෲරත්වයට පත් නොකර යහමගට ගැනීම සඳහා වැඩිහිටියන්ට වෙනත් විකල්ප ක්‍රම භාවිත කළ නොහැකිද?

ඒ පිළිබඳව පැහැදිලි කළ කොළඹ ප්‍රජා පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා,

“ශාරීරික වධ හිංසා තුළින් දරුවන් යහමගට ගන්න බැහැ. ප්‍රතිපාදන කැපීම දරුවෙකුට දියහැකි හොඳම දඬුවමයි. ප්‍රිය දෙයක් අහිමිවීමෙන් දරුවා ඒ වරද කරන්නේ නැහැ ආපහු. 18 ට අඩු දරුවන්ට ශාරීරිකව, මානසිකව දඬුවම් කළ නොහැකියි. අධිකරණයෙන් වරදකරුවකු වුවහොත් බරපතළ වැඩ සහිතව වසර 10 ක් බන්ධනාගාරගත කළ හැකියි.”

+


පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ‘ලෝක උරුමයක්’ වෙයි

(17.07.2024 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ‘ලෝක උරුමයක්’ ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අද (17) සිදු කෙරුණා.

මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඒ සඳහාවන ලෝක උරුම සහතිකය පිරිනමනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකදීයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඒ සඳහා වන ලෝක උරුම සහතිකය පිරිනැමීම සිදු කෙරුණේ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සහභාගීත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඔඩ්රේ අසුලේ :

“මහා වංශය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අඩංගු පුස්කොළ එකතුවක්. එය මෙතෙක්කල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මම කෘතඥතාව පළකරනවා. යුනෙස්කෝව මගින් ලෝක උරුමයන් ලෙස නම්කළ ස්ථාන 08 ක් ශ්‍රී ලංකාවේ පවතිනවා. පසුගිය වසර 75 ක කාලයේ දී ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් කටයුතු කළා. මානව ශිෂ්ඨාචාරයේ ඓතිහාසික වටිනාකම්වලින් යුත් මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට පසුගිය කාලය තුළ යුනෙස්කෝව විශේෂ පියවර රැසක් ගෙන තිබෙන බව මෙහි සිහිපත් කරන්න කැමතියි. මහාවංශයේ පිටපත් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනීමෙන් පසු ඒ අතරින් සැබෑ ඓතිහාසික ග්‍රන්ථය හඳුනා ගැනීමට සහය වූ සියලු දෙනාට යුනෙස්කෝවේ ගෞරවය පිරිනමනවා.”

මේ අතර ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රේ අසුලේ (Audrey Azoulay) මහත්මිය අද (17) ලෝක උරුමයක් ලෙස සැලකෙන මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වන්දනාමාන කර ගත්තා.

අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරිය ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයද නැරඹීමට එක්වුණා.

+


පොල්තෙල් මාෆියාව රටපුරා

(17.07.2024 – 23:00 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක පිරිසක් පොල්තෙල් තොග සඟවා කෘතිම හිඟයක් මවා පා ඇතැයිද එමගින් අධික ලෙස මිල ඉහළ යවා තිබෙන බවද වාර්තා වනවා.

මේ ආකාරයට කෝටි ගණන් ලාබා ගන්නා මාෆියාවක් නිර්මාණය වී තිබෙන බවයි පැවසෙන්නේ.

පොල්තෙල් ආනයනකරුවන් සහ පිරිපහදු කරන්නන් පිරිසක් එක්වී මෙකී වෙළෙඳ මාෆියාව සිදුකරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් පොල්තෙල් අධික මිලකට අලෙවිකිරීම මත සිය ව්‍යාපාරික කටයුතු අඩාල වී තිබෙන බවයි වෙළෙඳුන් පවසන්නේ.

පිටකොටුව ඇතුලු රටපුරාම ක්‍රියාත්මක මාෆියාව නිසා රටේ දේශීය පොල්තෙල් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා ෴


ඕමාන් නෞකාවේ සිටි 9 දෙනෙකු බේරා ගනී: ලාංකිකයෙකුත් ඒ අතර

(17.07.2024 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ඕමාන මුහුදේදි අනතුරට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු (1) සහ ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය යුධ නෞකාවක් මගින් ඔවුන් මුදාගෙන ඇති බවයි.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු (3) ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සිට ඇති අතර අතුරුදන් අනෙක් කාර්යමණ්ඩල සාමාජිකයින් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

කොමරෝස් දූපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඕමාන මුහුදේදී අනතුරට ලක්ව තිබුණේ පසුගිය 15 වැනිදා පස්වරුවේයි.

‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නම් වූ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් එම නෞකාවේ සිට ඇති අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු (3) ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

සෙසු 13 දෙනා ඉන්දීය ජාතිකයන් ‘ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය’ පවසන්නේ අනතුරෙන් පසු කාර්ය මණ්ඩලයේ සියලුදෙනා අතුරුදන්ව ඇති බවයි.

එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් සහ තොරතුරු ඇතුළත් ලේඛනයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර ඒ අනුව නෞකාවේ කපිතාන් (MASTER)ලෙස සේවය කර ඇත්තේ ශ්‍රී ලාංකික පුද්ගලයෙක්.

ඔහු 65 හැවිරිදි වියෙහි පසුවූ ‘කදිරගාමදාසන් වයිතියකුමාර්’ ලෙස එම ලේඛනයේ දැක්වෙනවා.

අතුරුදන්ව සිටින සෙසු ශ්‍රී ලාංකිකයන් වන්නේ 43 හැවිරිදි ‘කුගනේසන් මහේසදාසන්’ සහ 69 හැවිරිදි ‘දයානිති අප්පසාමි’ යන අයයි.

2007 වසරේ නිපදවා ඇති මෙම ඉන්ධන නෞකාව දිගින් මීටර් 117 ක් වනවා.

ඕමානයේ ඩියුකම් වරායේ සිට යේමනයේ ඒඩන් වරාය බලා මෙම නෞකාව යාත්‍රා කරමින් තිබී ඇති අතර ඕමානයේ රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25 ක් දුරින් වූ මුහුදු කලාපයේදී නෞකාව පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්ව ඇති නෞකා කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව ‘ඕමාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය’ නිවේදනය කරනවා.

මේ අතර අතුරුදන් වූ පිරිස සෙවීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාවද සහය පළකර ඇති අතර ඒ සඳහා ඉන්දීය ගුවන් යානයක් සහ නෞකාවක් ද යවා තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ යාත්‍රාවේ ප්‍රවාහනය කළ තෙල් හෝ තෙල් නිෂ්පාදන මුහුදට කාන්දුවීම පිළිබඳවද මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැති බවයි.

මේ අතර ‘කදිරගාමදාසන් වයිතියකුමාර්’ නමැති නෞකාවේ කපිතාන් ලෙස සේවය කළ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් අද බම්බලපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කළා.

ඔවුන් පවසන්නේ ඔහුගේ ජංගම දුරකතනය අද (17) දිනයේත් සක්‍රීයව පැවති බවයි.

ඥාතීන් ලබා ගත් දුරකතන ඇමතුමට වෙනත් පුද්ගලයෙක් ප්‍රතිචාර දැක්වා ඇති අතර ඔහු විනාඩියක පමණ කාලයක් වෙනත් භාෂාවකින් කතා කළ බව කපිතාන්වරයාගේ දියණිය පවසන්නේ.

+


රජයේ රෝහල් 07 ක CT-ස්කෑන් අක්‍රියයි

(17.07.2024 – 14:42 +0530 – sinhala.adaderana.lk)

රජයේ රෝහල් 7 ක පවිතන ‘සී.ටී. ස්කෑන් යන්ත්‍ර’ මේ වනවිට අඩපණ වී ඇති බව ‘රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය’ පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, එම තත්ත්වය හමුවේ අදාළ රෝහල්වලට පැමිණෙන රෝගීන් මෙන්ම රෝහල් බලධාරීන්ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බවය.

මෙරට රජයේ රෝහල් 44 ක ‘සී.ටී. ස්කෑන් යන්ත්‍ර’ පවතින අතර, ඒ අතරින් 7 ක්ම මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී තිබේ.

රත්නපුර මහ රෝහල, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය, කල්මුනේ මූලික රෝහල, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ කළුතර මහ රෝහල මෙලෙස ‘සි.ටී. ස්කෑන් යන්ත්‍ර’ අඩපණ වූ රෝහල් අතරට අයත්ය.

පිළිකා හඳුනාගැනීම, රුධිරවාහිනී පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම, හදිසි අනතුරකදී හෝ ආඝාත තත්ත්වයකදී මොළයට සිදුව ඇති හානි හඳුනා ගැනීම ඇතුළු රෝගී ප්‍රතිකාර සේවාවන් රැසක් සඳහා ‘සී.ටී. ස්කෑන් යන්ත්‍ර’ ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනේ.

පවතින තත්ත්වය හමුවේ රෝගී ජීවිතද දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති අතර, ‘සී.ටී. ස්කෑන්’ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා රෝගීන් වෙනත් රෝහල්වලට ප්‍රවාහනය කිරීමට වැය වන මුදලද ඉතා විශාලය.

+


ක්‍රිකට් ජොන්ටිට ගහපු, පොලී විකුම්ගේ සහ මානවඩුගේ ගේම (17.07.2024)

++++++++

(18.07.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

2002 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දම්මික නිරෝෂනට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අම්බලන්ගොඩ පොලිසිය අද (18) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දුරකථන දත්ත වාර්තා සහ සී සී ටී වී දර්ශන ඔස්සේද මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

දම්මික නිරෝෂන් ඝාතනය කිරීම සදහා තුන්දෙනෙකු (3) පැමිණි ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එලෙස පැමිණි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *