ඩුබායිහි සැඟව සිටින ‘ලොකු පැටී’ගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ඇතුළු 07 ක්

ඩුබායිහි සැඟව සිටින ‘ලොකු පැටී’ගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ඇතුළු 07 ක්


ඩුබායිහි සැඟව සිටින ‘ලොකු පැටී’ගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ඇතුළු 07 ක්

(11.07.2024 – 07:35 +0530 – hirunews.lk/sinhala)

දැනට ප්‍රංශයේ සැඟව සිටින පාතාල නායක ‘කංජිපානි ඉම්රාන්’ සහ ඩුබායිහි සැඟව සිටින ‘ලොකු පැටී’ දෙදෙනාගේ (2) ඝාතන සැලැස්මක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

මේ පිළිබඳව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන්කර සිටියේ.

ලැබී ඇති තොරතුරු අනුව ‘කංජිපානි’ සහ ‘ලොකු පැටී’ මෙරට ප්‍රසිද්ධ ගායකයෙකු සහ රංගනශිල්පියෙකු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පිරිස පාතාල සාමාජිකයින්ගෙන් රු. ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි ලබා නොදුන් බවට පවසමින් මෙම ඝාතන සැලැස්ම සූදානම් කර තිබෙනවා.

මීට පෙර මෙම ගායකයා ඇතුළු පිරිස එම පාතාල සාමාජිකයින් සැඟව සිටින රටට ගොස් උත්සවයකටද සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බැලීමක් කරගෙන යන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴

++++++++++

කංජිපානිව රකින දේශපාලන ලොක්කෝ – නෙත් එෆ්.එම්. බැලුම්ගල – 11.07.2024

+

‘ක්ලබ් වසන්ත’ ගෙන් ඇරඹුණු ‘කංජිපානි’ගේ ගේම් එක – නෙත් එෆ්.එම්. බැලුම්ගල – 11.07.2024

+


‘ක්ලබ් වසන්ත’ට වෙඩි තියන ආකාරය ඇතුළත් සීසීටීවී දර්ශන නිකුත් වෙයි

(11.07.2024 – 15:18 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමකට ගොස් තිබියදී ඝාතනයට ලක් වූ ‘ක්ලබ් වසන්ත’ හෙවත් ‘සුරේන්ද්‍ර වසන්ත’ට වෙඩි වදින ආකාරය ඇතුළත් නවතම සීසීටීවී දර්ශන මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

එම අවස්ථාවේ ‘ක්ලබ් වසන්ත’ ආහාර ගනිමින් සිටින අතර ඔහු අසලටම විත් වෙඩි තබන ආකාරය එම දර්ශනවල ඇතුළත්.

වෙඩි තැබීමට පැමිණෙන පුද්ගලයින් දෙදෙනා (2) ‘ක්ලබ් වසන්තව’ ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කරන අතර එක පෙළට වෙඩි තබන අයුරුද එම දර්ශනවල ඇතුළත් වී තිබෙනවා.

++++++++

විඩියෝවේ වම්පස පහල කෙලවරේ ආහාර ගනිමින් සිටින්නේ ‘ක්ලබ් වසන්ත’

+++++++++

‘ක්ලබ් වසන්ත’ ට වෙඩි තැබූ දෙදෙනා ගැන අලුත් කතාවක්

(11.07.2024 – 21:40 +0530 – sinhala.adaderana.lk)

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ට වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන තවත් CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.

අදාළ ටැටූ මධ්‍යස්ථානය චාරිත්‍රානුකූලව විවෘත කිරීමෙන් පසුව ‘ක්ලබ් වසන්ත’ සිටින්නේ එහි තිබූ සෝපාවෙහි වාඩිවී කිරිබත් අනුභව කරමිනි.

වෙඩික්කරුවන් දෙදෙනා (2) ගිනි අවිද රැගෙන මෝටර් රථයකින් බැස ඉහළ මාලයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය දෙසට දිවඑන්නේ ඒ අතරවාරයේදීය.

ඔවුන් දුටු මධ්‍යස්ථානයේ ඉදිරිපස දරුවකු වඩාගෙන සිටි පුද්ගලයා දොර විවෘතකර යමක් පවසන ආකාරය දර්ශන වල දක්නට ලැබේ.

ඒ මොහොතේම එහි ඇතුළුවන වෙඩික්කරුවන් දෙදෙනා (2) ගෙන් අයෙකු කිසිදු චකිතයකින් තොරව ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරයි.

වෙඩික්කරුගේ ගිනි අවියේ උණ්ඩ ගැබෙහි ඇතිවූ යම් දෝෂයක් හේතුවෙන් ඔහු පසෙකට වන ආකාරය දක්නට ලැබේ.

එහිදී අනෙක් වෙඩික්කරු ඉදිරියට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි.

‘ක්ලබ් වසන්ත’ සිටි ස්ථානයට නුදුරින් වාඩිවී සිටින ඔහුගේ ආරක්ෂකයින් ඇතුළු පිරිසක් වෙඩි ප්‍රහාරවලට බියෙන් මධ්‍යස්ථානයේ මුදල් අයකැමි මේසය යටට පැන සැඟවෙන ආකාරය ද CCTV දර්ශන වල දැකගත හැකිය.

ටැටූ ආයතන හිමිකරුද වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය දැක සැඟවෙන ආකාරය CCTV කැමරාවේ සටහන්ව තිබේ.

පසුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පළායයි.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ ඝාතන සඳහා යොදාගත් T 56 ගිනිඅවි දෙක (2)ට සෙලෝටේප් මගින් ඇලවූ පතුරම් ගැබ් දෙක (2) බැගින් යොදාගෙන තිබූ බවය.

මොවුන් ගිනි අවි රැගෙන දිවගෙන එන ආකාරයත්, වෙඩි තැබීම සිදුකළ ආකාරයත් අනුව දෙදෙනාම (2) මනා පුහුණුවක් ලැබූ වෙඩික්කරුවන් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබේ.

මේ අතර, වෙඩික්කරුවන් ඔවුන් පැමිණි රථයට නැඟ ඇත්තේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක (2) පමණ දුරකින් පිහිටි ඔරුවල ප්‍රදේශයෙන් බව මේ වනවිට අනාවරණ වී තිබේ.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමට මීට පෙරද ‘ලොකු පැටී’ නැමැත්තා ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවය.

මාතර ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ද ඔහුට ඇරියුම් කර ඇතත් එවර ඔහුට ඊට සහභාගීවීමට හැකිවී නැත.

ඒ එම කාලසීමාවේ ‘ක්ලබ් වසන්ත’ සිංගප්පූරුවේ සංචාරයක නිරතවීම හේතුවෙනි ෴


පාතාලය කුපිත වෙන්න ‘ක්ලබ් වසන්ත’ කළ දේ ?

(12.07.2024 – 20:46 +0530 – sinhala.adaderana.lk)

අතුරුගිරියේදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගිය ‘ක්ලබ් වසන්ත’ගේ දේහය මේ වනවිට බොරැල්ලේ මල් ශාලාවක තැන්පත් කර තිබේ.

පොලීසිය පවසන්නේ, දේහය තැන්පත් නොකරන ලෙස ජයරත්න මල්ශාලාවට යළිත් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇති බවය.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ හා තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් 08 වනදා ය.

අනතුරුව ‘ක්ලබ් වසන්ත’ගේ දේහය අවසන් කටයුතු සඳහා අද (12) දිනයේදී ජයරත්න මල්ශාලාවේ තන්පත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග පෙරේදා (10) රාත්‍රියේදී ‘කංජිපානි ඉම්රාන්’ ලෙස පවසමින් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබාදී අදාළ මල්ශාලාවට තර්ජනය කර තිබුණි.

ඒ අනුව බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළ අතර මල්ශාලාව අසල ආරක්ෂාවද තර කෙරුණි.

එවන් පසුබිමක ඊයේ (11) රාත්‍රියේදීත් නාඳුනන පුද්ගලයෙකු විසින් ජයරත්න මල්ශාලාවට දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කර ඇත්තේ, ‘කංජිපානි ඉම්රාන්’ ලබාදුන් දැනුම්දීම පිළිබඳව ‘ක්ලබ් වසන්ත’ගේ පවුලේ උදවියට දැනුම් දුන්නේද යන බව විමසමිනි.

ඒ පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බව පොලීසිය පැවසීය.

එවන් පසුබිමක අද (12) උදෑසන ‘ක්ලබ් වසන්ත’ගේ දේහය ජයරත්න මල්ශාලාවේ තැන්පත් කෙරුණි.

මේ අතර ‘මාකඳුරේ මදූෂ්’ අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන් පළමු පුද්ගලයා ලෙස ‘ක්ලබ් වසන්ත’ව ඝාතනය කළ බවට ‘කංජිපානි ඉම්රාන්’ පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

‘මදූෂ්’ පිළිබඳව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට ‘කංජිපානි ඉම්රාන්’ පවසා ඇති බව පැවසෙයි.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

+


තවත් ෆේස්බුක් ජාවාරමක්

(11.07.2024 – 07:57 +0530 – hirunews.lk/sinhala)

අමතර ආදායමක් ලෙස මුදල් ඉපැයිය හැකි බව පවසමින් මුහුණු පොත හරහා සිදුකරන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ දිනවලදී තොරතුරු වාර්තාවන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – අනුකූලතා (පාරිභෝගික පැමිණිලි, මහජන දැනුවත් කිරීම්) මේනකා පතිරණ පවසනවා.

එමෙන්ම මෙම මුදල් වංචාව නයිජීරියාව වැනි විදෙස් රටවල් ඔස්සේ මෙහෙයවන බවට වාර්තාවී ඇති බවද ඇය සඳහන් කරනවා.

වැඩිදුරටත් අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ, සිය පෞද්ගලික තොරතුරු ලබාදී යම්කිසි මුදලක් යෙදවූ විට එම මුදල දෙගුණයක් වී සිය බැංකු ගිණුම වෙත නැවත ලැබෙන බව ඔවුන් පවසන බවයි.

ඒ අනුව, මුදල් යෙදවූ පළමු අවස්ථාවේ එය දෙගුණයක් (2) බවට පත්වූ බවට දුරකථනය වෙත කෙටි පණිවුඩයක් ලබාදී විස්වාසය තහවුරු කරනා බවද ඇය පවසනවා.

පසුව මෙයට විශාල මුදලක් යොදවන ලෙසත්, එය සිව්ගුණයකින් (4) වැඩීවී නැවත ලැබෙන බවත්, ඔවුන් සඳහන් කර තිබෙනවා.

එලෙස විශාල මුදලක් යෙදවීමෙන් පසු බැංකු ගිණුම වෙත මුදල් බැරවීමක් නොවන බවත්, නැවත එම ආයතනය සමග සම්බන්ධ වීමට නොහැකි බවටත්, තොරතුරු වාර්තා වී ඇතැයි පැවසේ.

එමෙන්ම මෙරට වෙසෙන ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක පසුවන පුද්ගලන් මෙම වංචාවට හසු වී ඇති බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


දුම්රිය වර්ජනය අවසන්

(11.07.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ‘ලේකම්, දුම්රිය ස්ථානාධිපති සංගමය’ පවසනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතාවලට අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (11) මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරියගේ නිල නිවසේදී පැවැත්වුණා ෴


විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවයි

(11.07.2024 – 22:23 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව බවයි සදහන් වන්නේ ෴


සර්වජන සංවාදය ගමට…

(12.07.2024 – 02:11 +0530 – lankacnews.com)

අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවටයි ‘සර්වජන බලය’ විසින් ඉදිරිපත් කරණ බව සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්ම්නපිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටින්නේ අද (11) දින සර්වජන බලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි. නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

සර්වජන බලය මැතිවරණ ප්‍රකාශනය කිහිප ආකාරයකින් සුවිශේෂියි. මුලින්ම අපි ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ. උපාය මාර්ගික වැඩසටහනක්. ඒ කියන්නේ අපි හදන සතුටු දැය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පියවරින් පියවර පැහැදිලි කරන වැඩසටහනක්. ඒ වගේම ඒක සකස් කරන්නේ ජනතා දායකත්වයෙන්. සහෝදර පක්ෂ වල අදහස් අරගෙන අපි පසුගිය ජූලි 07 දා ඒකේ පළමු (1) කෙටුම්පත ප්‍රසිද්ධ කළා. ජූලි 13 මහනුවරින් ආරම්භ වෙලා ජූලි 14 දා සිට ගම් මට්ටමින් රැස්වීම් විශාල ප්‍රමානයක් කිරිමට අපි සැලසුම් කරලා තියෙනවා. එහිදී මේ කෙටුම්පත සර්වජන සංවාදය හරහා ජනතාවගේ අදහස් ලබා ගන්න යොමු කරනවා. අපේ නායකයින් ගමින් ගමට ඇවිත් ජනතාවගේ අදහස් ලබා ගන්නවා.

මේ ජනතා අදහස් ගොනු කරලා අපි මේ වැඩසටහනේ දෙවන කෙටුම්පත නිකුත් කරනවා. ඒක පිළිබඳ විද්වතුන්, වෘත්තීයවේදින්, ව්‍යවසායකයින් සහ වෘත්තිය සමිති සමග සාකච්ඡා කරලා අවසන් වැඩසටහන ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් සකස් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි.

+

හොරුයි සල්ලියි එකට නැති කරන මොකක්ද මේ ඩිජිටල් සල්ලි ? (11.07.2024)

+++++++++

ජවිපෙ ඉතිහාසය කියා දෙන්න රෝහණ සහෝදරයාට සොහොනින් නැගිටින්න වෙයිද? (10.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *