හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16 ක් තහනම්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16 ක් තහනම්


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර ගිණුම් 16 ක් තහනම්

(04.07.2024 – 16:38 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ ‘ස්ථාවර තැන්පතු’ සහ ‘ජීවිත රක්ෂිත ඔප්පු’ සම්බන්ධයෙන් පැනවූ තහනම දීර්ඝ කර ඉදිරි විමර්ශන සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ කළා.

ඒ සදහා ඉදිරියේදී කොළඹ මහාධිකරණයට කරුණු දැක්වීමට නියමිත බවයි එම කොමිසන් සභාව කියා සිටියේ.

පසුගිය මස 27 වනදා හිටපු අමාත්‍යවරයාගේ බිරිද, දියණියන් තිදෙනා (3) සහ එක් (1) දියණියකගේ ස්වාමීපුරුෂයාට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු තුනක් (3) දින 07 ක් සදහා තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පියවර ගත්තා.

එම ගිණුම්වල වටිනාකම රුපියල් මිලියන 93.12 ක්වන බවයි අල්ලස් කොමිසම නිවේදනය කළේ.

අදාල මුදල් සැකකටයුතු ගනුදෙනුවලින් උපයාගෙන ඇති බවට සැක කරනවා.

+


වතු කම්කරු වැටුප් වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක්

(04.07.2024 – 16:32 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ ඊට අදාල පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (04) කැඳවු අවස්ථාවේදීයි.

අදාල වැටුප් වැඩි කිරීමට එරෙහිව ‘ආගරපතන වැවිලි සමාගම’ ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා ඉහළ නංවමින් පසුගිය අප්‍රේල් මස 30 වැනිදා සිට බලාත්මක වන පරිදි අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

+


විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථ රියැදුරෙකු සමත් වෙයි

(04.07.2024 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රාවනා ඇල්ල ආසන්නයේ අද (04) සුඛෝපභෝගී බස් රථයක සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එහි රියැදුරු සමත් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ බස් රථ රියැදුරු රෝහල් ගත කර ඇති බවයි.

මෙම අනතුර වළක්වා ගැනීම සඳහා අසල තිබු කන්දක ගැටීමට කටයුතු කර තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය විසින් සිදුකරන බවයි ෴

+++++++++

+


ගුරුවරියට මිරිස්කුඩු ගසා මාලය කඩාගෙන

(04.07.2024 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරියකගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙළබැදි මාලයක් කොල්ලකා පලාගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්සර නගරයේ පාසලක සේවය කරන ගුරුවරිය පාසල නිමවීමෙන් පසුව, පස්සර වැල්ලවාය බස්‍ රථයකින් හිගුරුකඩුව, කොටමුදුනට පැමිණ අතුරු මාර්ගයක් ඔස්සේ පාගමනින් ගොස් තිබුණා.

එම බස් රථයේම පැමිණි තරුණයෙක් ගුරුවරිය පසුකර ඉදිරියට ගොස්, මුවආවරණයක් පැළඳ, ගුරුවරිය ඉදිරියට යළි පැමිණ තිබෙනවා.

එසේ පාලු ස්ථානයකදී එක්වරම ගුරුවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කොල්ලකා දිවගොස් තිබුණා.

මෙහිදී ගුරුවරිය කෑගසන විට අසල්වාසීන් පැමිණ පලාගිය සැකකරු ලඳු කැළෑවක සැඟවී සිටියදී අල්ලාගෙන තිබෙනවා.

එහිදී ගුරුවරියට අයත් මාලය සොයාගෙන තිබූ අතර එය රුපියල් 500 ක ‘ඉමිටේෂන් මාලයක්’ බවයි වාර්තා වුණේ.

පසුව ‘ඉමිටේෂන් මාලය’ සමඟ සැකකරු ගම්වාසීන් විසින් පොලිසියට බාර දුන් බවයි පැවසෙන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌවපැල්වත්ත 6 කනුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයකු බවයි හිගුරුකඩුව පොලිසිය පැවසුවේ ෴


ආවේ ‘එස්.අයි.’ මරන්න; මැරුවේ ‘පී.එච්.අයි.’

(05.07.2024 – lankadeepa.lk)

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන එම්.එම්. වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් (10) ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

පොලිස් නිලධාරියකු වෙනුවට වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු ඔහු ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින විස්සක (20) කාලයක් තිස්සේ නවාතැන් පහසුකම් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පාතාල වෙඩික්කරුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් ද පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත සොයාගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවැසීය.

මොහුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් මෙම පාතාල වෙඩික්කරු 51 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයාට ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ‘සමන් කොල්ලා’ නමැත්තකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවෙස පිහිටි ප්‍රදේශයේ පදිංචිව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමට සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ අටක (8) මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි දැන ගැනීමට ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින ‘සමන් කොල්ලා’ නමැති පාතාල නායකයා එම පාතාල වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයා ‘විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු’ යැයි කියා බව පැවසේ.

ඔහු ‘විශ්‍රාම ගිය පොලිස් පරීක්ෂකවරයකු’ නොව ‘දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු’ බව පොලිසිය සඳහන් කරයි.

ඩුබායි රටේ සැඟව සිටින ‘සමන් කොල්ලා’ නැමැත්තාට අයත් බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පාතාලයා එම පොලිස් නිලධාරියා සමග වෛරයකින් පසු වීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

එම ඡායාරූපය අනුව පාතාල වෙඩික්කරු ඇල්පිටිය නගර ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිය දරු දෙදෙනා පාසල් රැගෙන යාමට සූදානම් වී සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය පාසල් ගුරුවරියකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මෙම ඝාතනය රටේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.

මෙම ඝාතනය වෙනුවෙන් ඩුබායි රටේ සිටින එම පාතාල කල්ලි නායකයා රුපියල් ලක්ෂ අටක (8) මුදලක් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර කල් ඇතිව ලබා දී ඇති අතර එම මුදල පාතාල වෙඩික්කරුගේ බිරිඳ ගේ නමින් ඇති ගිණුමක තැන්පත්කර ඇති බවටද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ සහ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ, පොලිස් කොස්තාපල් චතුරංග, පොලිස් කොස්තාපල් පියසිරි, පොලිස් කොස්තාපල් වීරසේකර සහ රංග යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති ෴

++++++++++

+


ජනාධිපතිවරණය කල් දමන හැටි ගම්මන්පිල කියා දෙයි…

(05.07.2024 – 06:12 +0530 – lankacnews.com)

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නඩුව වැරදියි. ජනමත විමසුමකින් තොරව ජනපතිවරණය කල් දාන්න බෑ

ජනපතිවරණය පැවැත්විය යුතු දිනය පිළිබඳ ව්‍යවස්ථාවේ ව්‍යාකූලත්වයක් තිබෙන නිසා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු ජනපතිවරණය පැවැත්වීම වලක්වන්න කියලා ව්‍යාපාරිකයෙක් උසාවි ගිහින්. මේ නඩුවට කිසිම නීතිමය පදනමක් නැති නිසා බොහෝ දෙනෙක් මේක නොසලකා හරීවි. නමුත් අතීත අත්දැකීමක් නිසා අපි නම් මේකට දැඩි අවධානයක් යොමු කරනවා. 2023 පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කරපු වෙලාවේ එජාපයට සම්බන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා කිව්වා, ආර්ථික අර්බූදය නිසා ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා ඡන්දය පවත්වන්න එපා කියලා. හැමෝම ඒ නඩුවට හිනා වුණා. නමුත් අන්තිමේ දී ආණ්ඩුවත් උසාවියට ඇවිත් ඉදිරිපත් කලේ ඒ තර්කයමයි. කොහොම හරි දී පුංචි ඡන්දය අතුරුදහන් වුණා. අදටත් සොයා ගන්න නෑ.

මේ නඩුවේ පදනම වෙලා තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධූර කාලය වසර හයේ (6) සිට වසර පහ (5) දක්වා අඩු කලත් ඒ අනුව 83(ආ) වගන්තියේ තිබෙන සය අවුරුදු කියන වචනය පස් අවුරුදු කියා සංශෝධනය කරන්න අසමත් වීමෙන් ව්‍යාකූලත්වය ඇති වෙලා කියන එකයි. ජනාධිපති ධූර කාලය පිළිබඳ කියන්නේ 30(2) වගන්තියේ. එතැන ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් (5) කියලා සංශෝධනය කරලා තිබෙනවා. 83(ආ) වගන්තියේ විධිවිධාන තිබෙන්නේ ජනාධිපති ධූර කාලය දිගු කරනවා නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන.

අපි දැන් 83(ආ) වගන්තියේ කියන්නේ මොකද්ද කියලා බලමු. ඒකෙන් කියන්නේ 30(2) වගන්තිය සංශෝධනය කරන්න හෝ ඊට පටහැනි විධිවිධාන අඩංගු කරලා හෝ ජනාධිපති ධූර කාලය වසර හය (6) ඉක්මවීමට හෝ ගෙනෙන පනතක් පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකේ බහුතරයෙන් සම්මත කරනවාට අමතරව ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ගන්න ඕනෑ බවයි. වසර හයක් (6) ඉක්මවා ජනාධිපතිගේ ධූර කාලය දිගු කරන්නයි ජනතා අනුමැතිය ඕනේ. නමුත් රනිල් ජනාධිපතිගේ ධූර කාලය වසර පහේ (5) සිට හය (6) දක්වා දිගු කිරීමට ජනතා අනුමැතියක් ඕනෑ නෑ කියන එක තමයි නඩුවේ තර්කය.

නමුත් ඒක වැරදි තර්කයක්. මේ වගන්තියේ කරුණු තුනක් (3) ජනමත විචාරණයකට යටත් කරලා තිබෙනවා. ඒ අතරේ ජනාධිපතිගේ ධූර කාලය වසර පහකි (5) කියා සඳහන් 30(2) වගන්තිය සංශෝධනය කිරීමත් තිබෙනවා. ජනාධිපතිගේ ධූර කාලය වසර පහේ (5) සිට හය (6) දක්වා දිගු කිරීමට නම් 30(2) වගන්තිය සංශෝධනය කරන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන්-දෙකක බහුතරයට අමතරව ජනමත විමසුමක දී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවත් මේ වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඉදිරියේ දී මේ නඩුවට මැදිහත් වෙලා නඩුව පරාජය කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *