මහනුවර කැලඹූ බෝම්බ බිය – සැකකරුවෙක් අත්අඩංගුවට

මහනුවර කැලඹූ බෝම්බ බිය – සැකකරුවෙක් අත්අඩංගුවට


මහනුවර කැලඹූ බෝම්බ බිය – සැකකරුවෙක් අත්අඩංගුවට

(02.07.2024 – 15:40 +0530 – sinhala.adaderana.lk)

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ දුරකථනය ඔහු සන්තකයේ නොතිබුණු බවත් එම දුරකථනය ඊයේ (01) දහවල් අස්ථානගත වූ බවත් සැකකරු පොලීසියට පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද අදාළ පණිවුඩය හේතුවෙන් එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණි.

එමෙන්ම එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගැණුනි.

බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එක්ව අදාළ සෝදිසි මෙහෙයුම සිදුකළේය.

මේ හේතුවෙන් මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල්දමා තිබේ.

+


හොර වැඩක් කරලා රටින් පනින්න හැදූ විදෙස් ජාතිකයා

(02.07.2024 – 15:38 +0530 – sinhala.adaderana.lk)

මූල්‍ය වංචාවකට සම්බන්ධ විදෙස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 63,818,452 ක මුදලක් ලබාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදුනොකර මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බෙල්ජියම් ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ජම්පටා වීදියේ හදිසි මෙහෙයුමක්

(02.07.2024 – 12:44 +0530 – sinhala.adaderana.lk)

වෙරළබඩ පොලිස් වසමට අයත් ජම්පටා වීදිය ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ ක්ෂණික විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 34 ක් ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලීසිය කියයි.

හෙරොයින්, අයිස් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 ක් මෙන්ම වරෙන්තුකරුවන් දෙදෙනෙකු (2) ද ඒ අතර වන බව පොලීසිය කීය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව අපරාධ වැළැක්වීමේ විශේෂ රාජකාරී යටතේ කොච්චිකඩේ පල්ලිය අසලින් සහ ජම්පටා විදිය බෝධිය අසලින් මාර්ගය වසා පැය 2 කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අට දෙනෙකු (8) සහ පොලිස් නිලධාරීන් තිස් දෙනෙකු (30) මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පොලිස් නිල සුනඛයන් ද සහභාගී කර ගැනිණි .

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරේ

(02.07.2024 – 10:28 +0530 – sinhala.adaderana.lk)

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ.

ඒ අනුව කිලෝ 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩුකර ඇත.

එහි නව මිල රුපියල් 3,690 කි.

කිලෝ 5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482 කි.

කිලෝ 2.3 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694 ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18 කින් අඩුකර ඇත.

මෙම මිල අඩුකිරීම අද (02) මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක බව එම සමාගම පැවසීය ෴


සාකච්ඡා සාර්ථකයි – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි

(02.07.2024 – 09:13 +0530 – sinhala.adaderana.lk)

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය.

“අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග අවසන් කිරීමට නම් අපගේ 2017 අනුමත මාසික හිලව් දීමනාව අපිට ඒ ආකාරයෙන් ලබාදිය යුතු බව ඒ අනුව ඔවුන් එකඟතාවයට එළඹුණා අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදෙන බවට. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ (02) අපට ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා. අද හෝ හෙට කියලා එතුමා කිව්වේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩවර්ජනයට සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. යම් විදිහකින් පාලන අධිකාරිය මේ සඳහා සාධනීය විසඳුමක් දීමට අපොහොත් වුණොත් අනිවාර්යෙන්ම වෘත්තීය ක්‍රියාමර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.”

මේ අතර සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ඉදිරිපිට අද (02) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වන බව ගුරු වෘත්තීය සමිති පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවය ෴


පියුමි හංසමාලිට නැවත එන්න වෙයි

(01.07.2024 – 21:39 +0530 – sinhala.adaderana.lk)

අද (01) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නොමැත.

ඒ අනුව එම කොට්ඨාසය ඇයට දැනුම්දී ඇත්තේ ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන බවය.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුවය.

ඊට අදාළව ජුනි 18 වනදා කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් කියා සිටියේ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 780 ක් වැය කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථය මිලදී ගෙන ඇති අතර තවත් රුපියල් මිලියන 148 ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව පියුමි හංසමාලි මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 ක පවත්වාගෙන යන ගිණුම් 19 ක වාර්තා කැඳවීමට කොළඹ අංක 04 මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදුනි.

මෙවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම කොට්ඨාසය පියුමි හංසමාලිට දැනුම් දී තිබු අතර ප්‍රකාශය ලබාදීම සඳහා අද (01) පෙරවරුවේ ඇය එහි පැමිණ තිබුණි.

ඒ අනුව අද (01) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ආපසු පිටවයෑමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඉඟි කර සිටියේ තම ව්‍යාපාරය වන රූපලාවණ්‍ය ආලේපන අලෙවියෙන් රුපියල් කෝටි 87 කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවය ෴


ඉන්දියානුවන් 12 ක් මහනුවරිනුත් අල්ලයි

(02.07.2024 – lankadeepa.lk)

මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් 12 දෙනකු සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ තුනකට (300,000) ආසන්න මාසික කුලී මුදලක් ගෙවා වයස අවුරුදු 30 ට අඩු ඉන්දියානු තරුණයන් දොළොස් දෙනෙකු (12) විසින් එම නිවස කුලියට ගෙන කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට ආරක්ෂක ගේට්ටු යොදා ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .

මෙම ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට හෝ වෙනත් පරිගණක අපරාධ මෙම ස්ථානයේදී සිදුකොට ඇතිද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඔවුන්ගේ ආහාර පිස ගැනීම සඳහා ඉන්දියාවෙන් කෝකියන් දෙදෙනෙකු (2) ද ගෙනැවිත් තිබූ බව පවසන පොලිසිය ඔවුන් කිසිවෙකුටත් දහවල් කාලයේ එම නිවසෙන් පිටවීම තහනම් කොට තිබී ඇති බවද කියයි .


ඇප ලබා සිටියදී පළාගිය ‘කංජිපානි ඉම්රාන්’ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ

(02.07.2024 – gossiplankanews.com)

පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බවට සැලකෙන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාට ප්‍රංශ රටේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවට එරටින් ලැඛෙන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. පාතාල නායකයකුට විදේශයකදී දේශපාලන රැකවරණය ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේ ‘කන්ජිපානි’ නැමැත්තා ද සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි. පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම් ‘කන්ජිපානි’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු ඩුබායි රටට පලා ගොස් එරට සිට සිය ගෝල බාලයන් මෙහෙයවමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවූවකු යැයි පොලිසිය සඳහන් කරයි.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ‘මාකඳුරේ මධුෂ්’ නමැත්තා ඩුබාහි තරු හයේ හෝටලයක ඔහු ගේ දරුවකු වෙනුවෙන් පවත්වන ලද උපන්දින සාදය එරට පොලිසිය විසින් 2019 වසරේ පෙබරවාරි මාසයේ වැටලනු ලැබූ අවස්ථාවේ ‘මදුෂ්’ නැමැත්තා සමග ශ්‍රී ලාංකිකයෝ තිස් එක් දෙනෙක් (31) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් තිස් එක් දෙනා (31) අතර ‘කංජිපානි’ ද සිටි අතර කලක ඔවුන් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ පිටුවහල් කරන ලද අය අතර ජනප්‍රිය ගායකයෙක් සහ එම ගායකයාගේ ගායකයකු වන පුතෙක් ද සිටියහ.

මෙම ගායක පිය පුතුන් දෙදෙනා (2) ඩුබායිවලට ගොස් තිබුණේ ‘මාකඳුරේ මදුෂ්’ නැමැත්තාගේ පුතා වෙනුවෙන් පැවැති උපන්දින සාදයට ගී ගැයීමට යැයි කියති.

අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් පසු ‘කංජිපානි’ නැමැත්තා වෙස් වලාගෙන මන්නාරමට ගොස් එහි සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් පසුව ප්‍රංශයට සංක්‍රමණය වී සිටියේයැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

‘කංජිපානි’ නැමැත්තාට අධිකරණය මගින් ඇප ලබා දී තිබුණේ 2022 වසරේදීය. ප්‍රංශයට පැනගත් පසු මොහු එරටේ බලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබිණි යැයි එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ. ‘කනිජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ බිරිඳ තවමත් ඩුබායි රටේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව මෙරට පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මොහු ගේ මුදල් පරිපාලනය කිරිම සඳහා ඩුබායි රටේ සිටින ‘ඉම්තියාස්’ නමැත්තකු පත්කර සිටින බවට ද තොරතුරු ලැබී තිබෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි ෴


අනුරගේ අතේ බැන්ද පිරිත් නූල එවෙලේම ගලවා විසි කරලා…

(02.07.2024 – 22:02 +0530 – lankacnews.com)

තමන් වහන්සේ විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ අතේ බඳින ලද පිරිත් නූල ආවාසයෙන් එළියට බහින විටම ගලවා විසි කළ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම වූ බවද උන්වහන්සේ පැවසූහ.

ආවාසයෙන් එළියට බහින ගමන්ම පිරිත් නූල ගලවා විසි කරනු එහි සිටි සෙසු භික්‍ෂුන් වහන්සේලා දැක තමන් වහන්සේට දැනුම් දුන් බවද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ හිරු නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

(බුද්ධිමත් බෞද්ධයන්ගේ ඡන්දය අනුර කුමාරයාට හෝ මාලිමාවට ලැබෙන්නේ නැත !)


දැරියන් දෙදෙනෙකු (2) අපයෝජනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(02.07.2024 – 21:04 +0530 – hirunews.lk/sinhala)

අවස්ථා දෙකකදී (2) බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු (2) අපයෝජනය කළ සැකකරුවෙකු නෝර්ටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, 29 හැවිරිදි අදාළ සැකකරු බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටි පුද්ගලයෙකු බවයි.

තම සහෝදරයා තමන්ගේ බාල වයස්කාර දියණිය අපයෝජනය කර පළා ගොස් ඇති බවට නෝර්ටන්බ්‍රිජ්හි පදිංචි මවක පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඒ අනුව, විමර්ශන ආරම්භ කළ පොලිසිය, ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත්තේ හැටන් නගරයේ මාර්ග බාධක යොදා කළ සෝදිසි මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී ඔහු මීට පෙර ද මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බව හෙළිවුණා.

සැකකරු මීට ඉහතදී 09 හැවිරිදි පාසැල් සිසුවියක අපයෝජනය කර වසර 10 ක් තිස්සේ මාවනැල්ල ප්‍රදේශයට පළාගොස් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වළාගෙන සැඟව සිට තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මාස 5 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුට ඇප හිමිව තිබුණා.

ඇප කොන්දේසි අනුව සැකකරු නෝර්ටන්බ්‍රිජ් පොලිසියට පැමිණ ඇප අත්සන් කර, ඔහුගේ සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේදී ඇගේ 13 හැවිදිරි දියණිය අපයෝජනය කර තිබෙනවා.

සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප හිමි වූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඇප අත්සන් කර තිබුණේ ද මෙම සහෝදරිය වීම විශේෂත්වයක්.

සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා ෴


ගොඩබිමට ගෙන එන ධීවර සිරුරු

(02.07.2024 – 21:46 +0530 – hirunews.lk/sinhala)

‘ඩෙවෝන් 05’ ධීවර යාත්‍රාවේ තිබෙන ධිවයින්ගේ සිරුරු මේවන විට දිවයිනට රැගෙන එමේ කටයුතු සිදුවනවා.

මේ අතර ඊයේ (01) දින දිවයිනට රැගෙන ආ මියගිය ධීවරයාගේ ශරීර කොටස් මෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන ධීවරයාගේ මුත්‍රා සහ රුධිර සාම්පලද රජයේ රසපරීක්ෂකයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හම්බන්තොට වරාය පොලිසියට නියම කළා.

‘ඩෙවෝන් 05’ බහුදින ධීවර යාත්‍රාවේ සිටියදී, ධීවරයින් 6 දෙනෙකු මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියරයක් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් ධීවරයින් 5 දෙනෙකු මියගිය අතර, ජීවිත තර්ජනයකට මුහුණ දී සිටි අවසන් ධීවරයා ජීවිත අවදානමෙන් මුදාගෙන දිවයිනට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (01) සමත් වුණා.

මිය ගිය ධිවරයින් 5 දෙනාගෙන් සිව් දෙනෙකු ‘ඩෙවෝන් 05’ ධීවර යාත්‍රාවේදීම මියගිය අතර අනෙක් ධීවරයා මිය ගියේ උපකාර කිරීමට පැමිණි සිංගපූරුවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ ප්‍රතිකාර ලබන අතරතුරයි.

ඔහුගේ සිරුරද නාවික හමුදාව මැදිහත් වී දිවයිනට රැගෙන ආ අතර මේ වන විට එම ධීවරයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ තැම්පත් කර තිබෙනවා.

මේ අතර, එම ධීවරයාගේ සිරුරු කොටස්, ආමාශයේ ඇති දියර, රුධිරය රජයේ රස පරීක්ෂකයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හම්බන්තොට වරාය පොලිසියට නියෝග කර තිබෙනවා.

එතෙක් සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී සිරුර ඥාතීන්ට ලබා දීමටද කටයුතු කර තිබෙනවා.

මේ අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ජීවතුන් අතර සිටින ධීවරයාගේ මුත්‍රා සාම්පල් සහ රුධිර සාම්පල් ලබා ගෙන එවාද වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසට හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නියෝග කර තිබෙනවා.

‘ඩෙවෝන් 05’ බහුදින ධීවර යාත්‍රාවේදීම මියගිය අයගේ සිරුරු එම යාත්‍රාවෙන්ම මේ වන විට දිවයිනට රැගෙන ඒමේ කටයුතු සිදුවන අතර එම යාත්‍රාව සිරුරු රැගෙන එන අතරතුර කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දැඩි අසීරුතාවකට මුහුණ දුන්නා.

ඒ අනුව, ‘ඩෙවෝන් 05’ යාත්‍රාවේ හිමිකරුට අයත් ‘ඩෙවෝන් පුතා 01’ යාත්‍රාව මගින් කාර්මික දෝශයකට ලක්වූ ‘ඩෙවෝන් 05’ ධීවර යාත්‍රාව ඇදගෙන ඒමේ කටයුතු සිදු වනවා.

මේ වනවිට එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 90 ක් පමණ දුරකට ළඟා වී ඇති බවයි මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඒ අනුව, එම ය්‍රාත්‍රාවේ සහයට ඊයේ (01) පස්වරුවේ ‘ඩෙවෝන් පුතා 03’ යාත්‍රාවද අදාළ යාත්‍රා ඇති ප්‍රදේශයට ගමන් කළ අතර එම යාත්‍රාවද මේ වන විට ‘ඩෙවෝන් 05’ ධීවර යාත්‍රාව ආසන්නයට ළඟා වී තිබෙනවා.

“සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි”
(මදයට හා ප්‍ර‍මාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *