ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැර ගත් හිරුණිකා චෝදනා 18 කට වරදකරු වෙයි : බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක්

ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැර ගත් හිරුණිකා චෝදනා 18 කට වරදකරු වෙයි : බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක්


ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැර ගත් හිරුණිකා චෝදනා 18 කට වරදකරු වෙයි : බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක්

(28.06.2024 – 10:06 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයකු, කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසා සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට බරපතල වැඩ සහිත වසර තුනක (3) සිර දඬුවම් නියම කෙරුණා.

ඒ අනුව චෝදනා 18 කට ඇය වැරදිකරු බවයි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා කියා සිටියේ.

අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු රැකවලුන් යොදවා පැහැරගෙන ගොස් තිබූ අතර ඊට අනුබලදීමේ චෝදනාව යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා ගෙනුකර තිබුණා.

හිරුණිකාගේ රැකවලුන් ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම නිසා වසර 12 ක අත්හිටවූ සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැහැරගැනීමට ලක්වූ තරුණයාට රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක (2,85,000) වන්දියක් ගෙවීමටයි නියෝග කළේ.

+

බරපතළ වැඩ සහිත වසර 03 කට සිරදඬුවම් ලැබූ හිරුණිකා බන්ධනාගාරයට රැගෙන යයි

(28.06.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන ගියා.

සිර දඬුවම් නියම කිරීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් හිරුණිකාව කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

මෙම දඬුවමට එරෙහිව ලබන සඳුදා (01) අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරුන් සඳහන් කළා.

++++++++++

+

+


සංජය මහවත්ත අත්අඩංගුවට ගනී

(28.06.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති ‘සංජය මහවත්ත’ ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ‘මගෙන් රටට’ ව්‍යාපාරයේ සභාපති ‘සංජය මහවත්ත’ ජුලි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴

+++++++++++

පියුමි හංසමාලි ගැන හෙළිදරව් කරපු සංජය මහවත්ත දවස් හතකට රිමාන්ඩ් වෙනත් කරුණකට (28.06.2024)

++++++++++

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති ‘සංජය මහවත්ත’ බන්ධනාගාරයට

(28.06.2024 – 14:49 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ‘මගෙන් රටට’ නමැති සංවිධානයේ සභාපති ‘සංජය මහවත්ත’ මහතාව ජුලි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පිළිබඳව හා උසස් පොලිස් නිලධාරීන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනාවකට ඔහු අත්අඩංගුවට පත් විය.

සභාපති සංජය මහවත්ත මහතාව ඊයේ (27) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසට කැඳවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධකරුවන් සමග සිදුකළ බව කියන සංවාදයක හඬපටයක් පිළිබඳව විමර්ශන අවසන් කර තිබියදීත් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ යූටියුබ් නාලිකාවලට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව කැඳවා තිබුණි.

ඊට අදාළ පොලිස් නිලධාරියාගේ කඩහඬ පරීක්ෂාවක් රජයේ රස පරීක්ෂකවරයා සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ, අදාළ හඬපට එම නිලධාරියාගේ නොවන බවය.

ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව කිසි දිනෙක දැක නොමැති බවය.

එමෙන්ම කිසිදු අවස්ථාවක ඔහු සමඟ කිසිදු ආකාරයකින් සංවාදයක යෙදී හෝ අදාළ නිලධාරියාගේ සංවාදයකට හෝ ඇහුම්කන් දී නොමැති බවත් ඔහු පවසා තිබේ.

විදේශගතව සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක ප්‍රචාරය වූ වීඩියෝවක් පදනම් කරගනිමින් තමන් එම ප්‍රකාශය කළ බවත් ඔහු පවසා තිබුණි.

ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කෙරෙහි වෛරයක් හා අගෞරවයක් සිදුවන අයුරින් ක්‍රියාකර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එම දෙපාර්තමෙන්තුව, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය යනුවෙන් අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොට්ඨාස රැසක් පවතියි.

එවන් පසුබිමක අදාළ නිලධාරියා පිළිබඳව අසත්‍ය බව දැන දැනම දිගින් දිගටම සංජය මහවත්ත චෝදනා කිරීමෙන් අදාළ විමර්ශන කොට්ඨාස කෙරෙහි ජනතාව තුළ වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවමින් නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන කෙරෙහි පවතින විශ්වාසය බිඳ දමන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

+


හැමෝම එක්ක බැංකු සේවකයෝත් සටනට | පඩි වැඩි නොකරනවට එරෙහිව බැංකු සේවකයෝ අද (28) කළු වෙයි (28.06.2024)

+


හෙට (29) පැය 15 ක ජල කප්පාදුවක්

(28.06.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටු වීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව හෙට (29) පෙරවරු 09:00 සිට මධ්‍යම රාත්‍රි 12:00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා ෴


දුරකථන රැහැන් කපා අලෙවි කරමින් සිටි හතරක් (4) අත්අඩංගුවට

(28.06.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය, නල්ලතන්නිය, සහ සාමිමලේ යන ප්‍රදේශවල එලා තිබූ දුරකථන සමාගමකට අයත්, දුරකථන රැහැන් කපා එහි ඇති තඹ කම්බි ඉතා රහසිගත ලෙස අලෙවි කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙක් (4) මස්කෙළිය පොලිසිය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් 04 දෙනාම මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචිකරුවන්.

2023 වසරේ සිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රදේශයේ දුරකථන රැහැන් රාත්‍රී කාලයේ කපා එහි අඩංගු තඹ කම්බි විශාල මුදලකට අලෙවි කර ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මෙලෙස දුරකථන කම්බි කැපීම හේතුවෙන් ප්‍රදේශය දුරකථන සම්බන්ධතා නිරන්තර ක්‍රියා විරහිත වන බව ප්‍රදේශයේ පාරිභෝගිකයෝ පවසන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සැකකරුවන් විසින් කපා තිබූ තඹ කම්බි කිලෝ 7.5 ක්, ඇලුමිනියම් තහඩු කිලෝ 5 ක් සහ දුරකථන රැහැන් කිලෝ 27 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මස්කෙළිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴


2025 සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

(28.06.2024 – 08:32 +0530 – hirunews.lk/sinhala)

2025 වසර සඳහා රජයේ පාසල්වල පළමු (1) ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයට අනුව අයදුම්පත සම්පූර්ණ කර අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළවන පාසල්වල ප්‍රධානීන් වෙත ලබන මස 31 වන දිනට ප්‍රථමයෙන් ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අදාළ සියලු සුදුසුකම් ලබන මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතුවනවා.


ඔන්ලයින් වංචාවට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් ගනන 115 දක්වා ඉහළට

(28.06.2024 – 08:26 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ මෙරට තුළ මූල්‍ය වංචා සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතිකයින් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ, තලංගම, පෝරුතොට සහ මාදිවෙල යන ප්‍රදේශවලදි යි.

මෙරට රැඳී සිටින ඉන්දීය ජාතිකයින් පිරිසක් නීතිවිරෝධී අයුරින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මූල්‍ය ජාවාරමක් සිදු කරන බවට අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව පළමුව තලංගම – හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සිටි ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු, ලැප්ටොප් පරිගණක 09 ක් සහ ජංගම දුරකථන 59 ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ ලැගුම්හලක් වැටලූ අවස්ථාවේ තවත් ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ද අත්අඩංගුවට ගත්තේ ජාවාරම සදහා යොදා ගත් පරිගණක 40 ක් හා ජංගම දුරකථන 38 ක් ද සමගින්.

අදාළ ලැගුම්හල රුපියල් ලක්ෂ 02 බැගින් වූ මාසික කුලී පදනම මත ලබාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මාදිවෙල ප්‍රදේශයේ නිවසක් සහ කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලූ අවස්ථාවේ මෙම ජාවාරමට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයින් 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ජාවාරම මෙරටදී ක්‍රියාත්මක කර ඇති බවයි.

ඊට විවිධ පුද්ගලයින්, විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු ඇල්ලීම් සිදු කර ඇති අතර ඊයේ (27) පැවැති ඉන්දීය – එංගලන්ත ක්‍රිකට් තරගය සඳහා ද විශාල පිරිසක් ඔට්ටු අල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ ෴


රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 25,000 ක විශේෂ දීමනාවක්

(28.06.2024 – 07:58 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය සේවා කාලය නොසලකා රු 25,000/- ක විශේෂ මාසික දීමනාවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධරයන්ට ද හිමි වන බවයි සඳහන් වන්නේ.

මෙයට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විධිවිධාන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ ෴


කුරියර් සේවාවක් හරහා ප්‍රවාහනය කළ රුපියල් මිලියන 185 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

(28.06.2024 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ප්‍රදේශයේ කුරියර් සේවාවකින් ‘කොකේන්’ කිලෝග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් සහ ‘කුෂ්’ කිලෝග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් අඩංගු පාර්සල් හයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙසේ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 185 ක් පමණ වන බවයි මත්ද්‍රව්‍ය පාලන ඒකකය සඳහන් කළේ ෴


කිලෝ එකක් රු.කෝටි 3 යි – කුරුණෑගලින් සොයාගත් පාවෙන ‘කළු කුඩු’ වර්ගය – රාගෙදර මිනිරන් පතල (28.06.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *