හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු

(22.05.2026 – 12:30 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක නියෝග කර තිබේ.

මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක (1½) ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඔහු අද (22) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇත.

මෙහිදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද (22) දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක බැසිල් රාජපක්ෂට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය ෴


ශාක නිරෝධායන නිලධාරිනියක් සමාගමකට ‘යටින්’ උදව් කරලා හසුවෙයි

(21.05.2026 – gossiplankanews.com)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශාක නිරෝධායන ඒකකයට අනුයුක්තව සේවය කරන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවක විසින් සිය හිතවතෙකුට අයත් සමාගමකට නීති විරෝධී අන්දමින් සහාය පළ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වෙත විශේෂ පැමිණිල්ලක් ලැබී තිබේ. මෙරට ජෛව ආරක්ෂණ නීති සහ ශාක නිරෝධායන ක්‍රියාපටිපාටි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික මෙන්ම පාරිසරික සුරක්ෂිතතාවයද දැඩි අවදානමකට ලක්ව ඇති බව අදාළ පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අදාළ නිලධාරිනිය විසින් සිය හිතවත් සමාගම ආනයනය කරන ලද මල් වර්ග සහ ආහාර ද්‍රව්‍ය රසායනාගාර පරීක්ෂණවලින් සමත් වීමට ප්‍රථමයෙන් අර්ධ වශයෙන් නිදහස් කිරීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ. ඊට අමතරව පරීක්ෂණ සඳහා ලබාගත් සාම්පල විනාශ වූ බවට අසත්‍ය වාර්තා සැපයීම, මුල් ලේඛන වෙනුවට ඡායා පිටපත් භාවිත කරමින් භාණ්ඩ නිෂ්කාශනය කිරීම සහ කෘමීන් හෝ රෝග සහිත බැවින් විනාශ කළ යුතු යැයි නිර්දේශිත භාණ්ඩ තොග විශාල වශයෙන් මුදාහැරීම යනාදී බරපතළ චෝදනා රැසක් ඇයට එරෙහිව රේගු සමාජ ආරක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති තොරතුරුවල සඳහන් වේ. ඇතැම් අවස්ථාවලදී ඇය සිය නිවසේ සිට ලිපි සකස් කරමින් නිරෝධායන අනුමැතිය අවශ්‍ය භාණ්ඩ නිදහස් කරන ලෙස රේගුවට දන්වා යවා ඇති බවද රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අනාවරණය කර ඇත.

මෙම තත්ත්වය හමුවේ අදාළ නිලධාරිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඇයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගනිමින් මෙරට ජෛව ආරක්ෂණ නීති නිසි පරිදි බලාත්මක කරන ලෙසත් පැමිණිල්ල ඉදිරිපත් කළ ආනයනකරු රේගු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. මීට පෙර පසුගිය ජනවාරි මාසයේදීද කෘෂිකර්ම උපදේශකවරුන්, පර්යේෂණ සහ තාක්ෂණික සහායකවරුන් මෙන්ම කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුවක් විසින් අත්සන් තිස්පහකින් යුත් ලිපියක් මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතද මෙම නිලධාරිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ නිලධාරිනියගෙන් සිදුකළ විමසීමකදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එරෙහිව රේගු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් පිළිබඳව මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවයි ෴


කෑගල්ල පම්බේගමට මි.මී. 336 ක දැවැන්ත වර්ෂාපතනයක්

(22.05.2026 – hirunews.lk)

අද (22) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල පම්බේගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ මිලිමීටර් 336.5 ක වර්ෂාපතනයක්.

මීට අමතරව ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වුණේ මිලිමීටර් 332 ක වර්ෂාපතනයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ෴

+++

රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

(22.05.2026 – 11:09 +0530 – sinhala.adaderana.lk)

දෙල්ගොඩ උඩුපිල මාර්ගය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇනහිට තිබේ.

+ ——————

වේයන්ගොඩ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් යටවි තිබේ. පවතින කාලගුණික තත්ත්වය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතුද සම්පූර්ණයෙන් නැවති ඇත.

+ ——————

හංවැල්ල – නිට්ටඹුව මාර්ගය ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

+ ——————

හලාවත නාත්තන්ඩිය, හැමිල්ටන් ඇළ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. මේ අතර හලාවත ප්‍රදේශයේ ස්ථාන රැසක්ද ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයිද වාර්තා වේ.

+ ——————

රත්නපුර අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. රත්නපුර බෝධිරාජ මාවත, බටුගෙදර, ඇලපාත, අංගම්මන, තිරවානා කැටය, මුද්දූව, මුවගම ආදී ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. එමෙන්ම රත්නපුර සිවලි ක්‍රීඩාංගනයද සුළු වශයෙන් ජලයෙන්ට යටවි ඇත.

+ ——————

පන්නල – කුළියාපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. එම මාර්ගයේ පිහිටි ශ්‍රී චන්ද්‍ර බිම්බාරාමයේ ‍රන්වැඩ ඇතුළු ඉදිකර ඇති කොටස් කිහිපයක්ම පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානි සිදුව තිබේ.

+ ——————

වැල්ලම්පිටිය කැලණි ගඟ ආසන්නයේ පහත්බිම් රැසක් වැසි ජලයෙන් යටවී තිබේ. මේ අතර කොහිලවත්ත ප්‍රදේශයේ කැලනි ගඟේ ජල මට්ටම් ඉහළ යාමක්ද පෙන්නුම් කර ඇත ෴


ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

(22.05.2026 – 11:24 +0530 – sinhala.adaderana.lk)

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, එම ගුවන් යානා කිහිපයක මෙම පිරිස රැගෙන ආ බව වාර්තා වේ.

මෙම පාතාල සාමාජිකයින් අතර ‘මහවත්තේ චාමර’ සහ ‘කුඩු දුමින්ද’ ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

‘මහවත්තේ චාමර’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි ෴


පල්ලේගම හේමරතනට උසාවියෙන් ඇප ලැබෙයි – මෙන්න උසාවිය ළඟ දැන් ලැබුණු දර්ශන (22.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *