අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12 ක් වරායෙන් නිදහස් කරයි
(22.05.2026 – lankacnews.com)
ශ්‍රී ලංකාවේ වගාවන් විනාශ කළ හැකි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12 ක්, අදාළ පර්යේෂණ වාර්තා නිකුත් වීමටත් පෙර බලධාරීන්ගේ වාචික නියෝග මත නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී (21) බරපතළ හෙළිදරව්වක් කළේය.
මන්ත්‍රීවරයා සඳහන් කළේ 2026 ජනවාරි මස 12 වන දින එක්තරා සමාගමක් විසින් මෙරටට ආනයනය කරන ලද Chrysanthemum වර්ගයේ මල් සහිත කන්ටේනර් පරීක්ෂා කිරීමේදී, ඒවායේ කෘමීන් සහ පුස් වැනි මලකඩ ස්වභාවයක් ඇති බවට නිරෝධායන නිලධාරීන් විසින් සටහන් යොදා තිබූ බවයි. කෙසේ වෙතත්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරියගේ වාචික උපදෙස් මත ඉන් කන්ටේනර් 12 ක් වහාම නිදහස් කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
පසුව ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදු කළ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ එම මල් සාම්පලවල ‘සුදු මැස්සා’ සහ අතිශය විනාශකාරී දිලීර විශේෂයක් පවතින බවයි. එම රෝගකාරක ඉතා ඉක්මනින් වගාවන් කරා ව්‍යාප්ත විය හැකි බැවින්, අදාළ කොටස් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විනාශ කරන ලෙස නිර්දේශ කර තිබුණද, ඒ වන විටත් කන්ටේනර් 12 ක් රට තුළට මුදා හැර අවසන් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
1999 අංක 35 දරන රෙගුලාසිවල 96 වන වගන්තියට අනුව, මෙරටට ආනයනය කරන කන්ටේනර්වල කිසියම් හෝ ජීවී කෘමියෙකු සිටියහොත් එය වහාම විනාශ කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදන පවතී.
එසේ තිබියදීත් මෙම දූෂිත කන්ටේනර් නිදහස් කිරීමට එරෙහිව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 36 දෙනෙකු අත්සන් කර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා හෙළි කළේය.
විශේෂයෙන්ම මෙම ‘සුදු මැස්සා’ වැනි කෘමීන් නිසා ශ්‍රී ලංකාවේ අඹ සහ කරවිල වැනි එළවළු හා පළතුරු යුරෝපීය වෙළඳපොළට යැවීමට නොහැකි වී ඇති බවත්, මෙවැනි නව කෘමීන් හා රෝගකාරක ඇතුළුවීම දේශීය කෘෂිකර්මාන්තයට මාරාන්තික පහරක් වන බවත් ඩී.වී. චානක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සමාගම විසින්ම මීට පෙර අවස්ථා අටකදී (8) මෙවැනි කන්ටේනර් 100 කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවටද ඔහු චෝදනා කළේය.
+++
වගාවට හානි කරන සුදු මැස්සා කන්ටේනර් පුරවලා මෙරටට ගෙන්නලා | චානක ඇස් උඩයන හෙළිදරව්වක් කරයි (21.05.2026)
+
Live | Rathu Ira l D. V. Chanaka l 21rd MAY 2026 | Swarnavahini
+
Hiru TV Balaya Live | Episode 643 | 2026-05-21
+
කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්
(22.05.2026 – 07:37 +0530 – sinhala.adaderana.lk)
කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300 කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඒ අනුව එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ දෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදි ඉදිරි පැය 24 තුළ මෙම සුළු ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ ෴
• කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, රන්වල – පහන ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම හේතුවෙන් ෴
• කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන යානා කිහිපයක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා ෴
• පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 3 කට අදියර එක සහ දෙක යටතේ ඉදිරි පැය 24 සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළා.
ඒ අනුව, ගම්පහ – අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර – කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් දෙවන (2) මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණා.
• එසේම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර – ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පළමු (1) මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා ෴
• අද (22) අළුයම 04:00 ට අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 244 ක් ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයට ලැබී තිබෙනවා.
මීට අමතරව, වේයන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර 238 ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර 230 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා ෴
• කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් ඇතිව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල යන ප්‍රා.ලේ. කොට්ඨාශවල පහත්බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන්නැයි එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා ෴
+++
• Realtime Water Level in Major Rivers
Hydrology and Disaster Management Division, Irrigation Department, Sri Lanka
+++
අයහපත් කාළගුණය පිළිබඳ නවතම දැනුම්වත් කිරීම (22.05.2026 – 09:00 +0530)
+++
අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3 ක් ජලයෙන් යටවෙයි
(22.05.2026 – 09:31 +0530 – sinhala.adaderana.lk)
පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3 ක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේය.
එමෙන්ම ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයයෙන් යටවී ඇතැයිද ඇතැම් මාර්ග සඳහා ගස් කඩා වැටීම්ද සිදුව ඇතැයිද වාර්තා වේ.
පුත්තලම මාදම්පේ – ගලහිටියාව මාර්ග හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද මාදම්පේ පොලීසිය දැනුම්දීමක්ද සිදුකර ඇත ෴
+++
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි
(22.05.2026 – 09:57 +0530 – sinhala.adaderana.lk)
ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි ලැබී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මෙම අගයන් වාර්තා වී ඇති බවය.
එමෙන්ම මෙම වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බවත් පැවසූ ඒ මහතා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) දවස පුරා වැසි අපේක්ෂා කළ හැකි බවද සඳහන් කළේය.
එම වැසි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100-150 ඉක්මවිය හැකි බවත් සඳහන් කළ ඒ මහතා මේ හේතුවෙන් ගංගා නිම්න ආශ්‍රිතව, පහත්බිම් ආශ්‍රිත ජනතාව සහ නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති ස්ථාන ආශ්‍රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද දැනුම් දී සිටියේය.
තවද මෝසම් තත්ත්වය විටින් විට සක්‍රීය වීමේ හැකියාව පවතින බැවින් ඉදිරියේදීද තද වැසි අපේක්ෂා කළ හැකි බවද වැඩිදුරටත් අදහස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය ෴
+++
කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක්
(22.05.2026 – 10:09 +0530 – sinhala.adaderana.lk)
කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ කැලණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 300 කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය.
ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම්දී තිබේ.
ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴
+++
වැස්ස නිසා දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06 ක් වැසේ
(22.05.2026 – 10:41 +0530 – sinhala.adaderana.lk)
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06 ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03 ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03 ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය.
පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල් වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්. හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
අධික වර්ෂාපතනය හේතුවෙන් කෑගල්ල අවිස්සාවෙල්ල මාර්ගය දෙහිඕවිට ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු සදහන් කළේය ෴
+++
කැළණි ගඟේ වතුරත් එන්න එන්නම වැඩිවෙයි – වැල්ලම්පිටිය ටික ටික දැන් යටවෙන්න පටන් අරං (22.05.2026)
+++
රත්නපුරත් එක පාරම ජලයෙන් යටවෙයි – මිනිස්සු බඩු උස්සන් එහේ මෙහේ දුවයි (22.05.2026)
+++
කොළඹ රත්නපුර ප්‍රධාන පාර ජලයෙන් යටවෙයි (22.05.2026)
+++
දිවුලපිටිය – මීරිගම – අත්තනගල්ල – මහර – ගම්පහ නගර එන්න එන්නම ජලයෙන් යට වෙයි (22.05.2026)
+++
ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ යෑමේ අවදානමක්! පහත් බිම් ක්ෂණිකව යට වෙන්න පුළුවන් (22.05.2026 -11:30)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴
/