භාවනායෝගී හිමිවරුන්ගේ දැහැන බිඳින, සුවිසල් බුදු පිළිමයත් ඉරිතලා ගිය, කොඩිගල කන්දේ මහා ඛේදවාචකය

භාවනායෝගී හිමිවරුන්ගේ දැහැන බිඳින, සුවිසල් බුදු පිළිමයත් ඉරිතලා ගිය, කොඩිගල කන්දේ මහා ඛේදවාචකය


භාවනායෝගී හිමිවරුන්ගේ දැහැන බිඳින, සුවිසල් බුදු පිළිමයත් ඉරිතලා ගිය, කොඩිගල කන්දේ මහා ඛේදවාචකය

(27.06.2024 – 22:52 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් සිදුකරගෙන යන ගල් කොරියක් හේතුවෙන් මොරන්තුඩුව ප්‍රදේශයේ ඉපැරණි ආරණ්‍ය සේනාසනයක් දැඩි බලපැමට ලක්ව තිබෙනවා.

‘භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය’ මගින් අදාළ ගල් කොරිය සඳහා ලබා දී තිබු කැණීම් බලපත්‍රවල කල් ඉකුත් වී ඇති පසුබිමකයි මෙම නීති විරෝධී කටයුත්ත සිදු කෙරෙන්නේ.

අද (27) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ‘කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනයේ’ සුන්දර පරිසරය වනසන ඛේදවාචකය පිළිබඳවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කළුතර දෙසට ගමන් ගන්නා විට ඈතින් දිස්වන මේ මනරම් දැවැන්ත හිටි පිළිමය බොහෝ දෙනාට සුපුරුදු දසුනක්.

ඒ මොරන්තුඩුව – පරගස්තොට – කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති සුවිසල් හිටි පිළිමයයි.

කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනයේ වන ගත කලාපය තුළද මෙලෙස තැන තැන කුටි ඉදිකර ඇත්තේ භාවනායෝගීව ස්වාමීන්වහන්සේලාට නවාතැන් ගැනීමේ පහසුව සඳහායි.

කෙසේ වෙතත් භාවනානුයෝගීව වැඩ විසීම කෙසේ වෙතත් මේ වනවිට මෙහි පරිසරය සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවීමට හෝ නුසුදුසු තත්ත්වයට පත්ව ඇත්තේ අවාසනාවන්ත ලෙසයි.

ඊට හේතුවී ඇත්තේ ආරණ්‍ය සේනාසනය ආසන්නයේම පවත්වාගෙන යන ‘ගල්කොරියක්’.

බිම් මට්ටමේ සිට අඩි 30 ක් පමණ උසින් පැවති මෙම දැවැන්ත ගල් තලාව මේ වනවිට මුළුමනින්ම කඩා අවසන්.

ඉන් ද නොනැවතුනු ගල් කොරි හිමිකරුවන් මේ වනවිට කටයුතු කරන්නේ කොඩිගල කන්ද පුජා භූමියේ ස්ථාපිත චෛත්‍යය ආසන්නයේම බෝර දැමීමටයි.

ඒ අනුව ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළිවුයේ මේ වනවිටත් මෙම ගල්කොරිය පවත්වාගෙන යන්නේ නීති විරෝධීව බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් අවසරය මේ වනවිට කල් ඉකුත්වී ඇති පසුබිමක එය ද නොතකමින් ගල්කොරියේ හිමිකරුවන් ඉවක් බවක් නොමැතිව ගල් බෝර පුපුරවා හරින්නේ කොඩිගහ කන්ද පුජා භූමියේ චෛත්‍ය ඇතුළු විහාරාංගවලට දැඩි බලපෑම් එල්ල වන පරිදියි.

මෙම විනාශය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය පසෙක මනරම්ව දිස්වන මෙම දැවැන්ත හිටි පිළිමයට දබලපෑම් එල්ල වී තිබෙනවා.

කොඩිගල කන්ද පුජා භූමියට එල්ල වන දැඩි තර්ජනය මෙම අනාවරණයෙන් පසුව හෝ තේරුම් ගැනීමට බලධාරීන් සමත් වේද?

ගල් කොරිවලට ලබා දෙන අවසරය කල් ඉකුත් වීම ගැන නිසි පරිදි පසු විපරම් නොකරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පුටු රත්කරන බලධාරීන් මේ පිලිබඳව ගන්නා ඉදිරි පියවර කුමක්ද?

ඒ සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ හරහා රට දැනුවත් කිරීමටත් අප සුදානම්.

+


ඇප් එකකින් සමරිසි පුද්ගලයින් පාළු නිවසකට ගෙන්වා සිදුකළ අපරාධයක් හෙළිවෙයි

(27.06.2024 – 22:05 +0530 – hirunews.lk/sinhala)

සමරිසි පුද්ගලයින්ට තවත් එවැනිම පුද්ගලයින් හඳුන්වාදෙන බව පවසා, පාළු නිවෙසකට ගෙන්වා පහර දී, නිරුවත් කර එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් කප්පම් ගත් පුද්ගලයින් තිදෙනෙකු (3) මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන පොලිසිය ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන් කලක පටන් සංවිධානාත්මකව මෙලෙස කප්පම් ගැනීමේ ජාවාරමේ නිරතව ඇති බවයි.

සමරිසි පුද්ගලයින්ට තවත් එවැනිම පුද්ගලයින් හඳුන්වාදෙන බවට පවසා කලක පටන් කෙරෙන මෙම ජාවාරමේ ආසන්නතම ගොදුර බවට පත්වූයේ, නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරමින් සිටි බණ්ඩාරවෙල පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

සමරිසි පුද්ගලයින් සම්බන්ධ කරන ජංගම දුරකථන යෙදවුමකට සම්බන්ධ වීමෙන් පසු පිටකෝට්ටේ, බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසකට පැමිණෙන්නැයි මෙම පුද්ගලයාට තවත් අයෙකු පවසා තිබෙනවා.

එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා නිරුවත් කර, තිදෙනෙකු (3) ගෙන් යුත් කණ්ඩායමක් පහර දී ඇති අතර, ඒ සියල්ල ජංගම දුරකථනයකින් වීඩියෝ කර ඇති මෙම ජාවාරම්කරුවන් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

අන්තර්ජාලයට මුදා නොහැරීමට නම්, රුපියල් ලක්ෂයක (100,000) කප්පම් මුදලක් අදාළ පුද්ගලයාගෙන් මෙම ජාවාරම්කරුවන් ඉල්ලා තිබෙනවා.

කෙසේ හෝ එම ස්ථානයෙන් ඉවතට පැමිණි මෙම පුද්ගලයා ඒ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව, පොලිසිය මෙම පුද්ගලයා හරහා ජාවාරම්කරුවන්ට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, මුදල් ලබා ගැනීම සඳහා පිටකෝට්ටේ මංසන්ධියට පැමිණෙන ලෙසයි.

සැකකරුවන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඒ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් මෙම ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ ජංගම දුරකථන භාරයට ගෙන පරීක්ෂා කළ පොලිසිය ඒවායෙහි තිබී, ඔවුන් කප්පම් ගත් පුද්ගලයින් 06 දෙනෙකුගේ දර්ශන සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පියාට අයත් මෙම දෙමහල් නිවසේදී මෙම ජාවාරම කර ඇති අතර, සැකකරුවන් සතුව තිබී ‘හෙරොයින් හා අයිස්’ මත්ද්‍රව්‍යය ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා ෴


සාමාන්‍ය පෙළ දෙවනවර (2) ඇගයීම් කටයුතු හෙට (28) සිට

(27.06.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක ගුරු විදුහල්පති වර්ජනය හේතුවෙන් අදත් (27) පාසැල් රැසක ඉගැන්වීම් කටයුතුවලට බාධා එල්ල වුණා.

ඒ සාමාන්‍ය පරිදි පාසැල් පැවැත්වෙන බවට අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනයක් ද නිකුත් කර තිබූ පසුබිමකයි.

ඊයේ (26) පැවැති ගුරු උද්ඝෝෂණය අතරතුර එල්ල වු කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් අදත් (27) එම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ගුරු සංගම් තීරණය කළේ.

එම අවස්ථාවේදී ගුරුවරුන් තුන්දෙනෙකු (3) තුවාල ලබා රෝහල්ගත කළ අතර එක් (1) ගුරුවරයෙකුගේ ඇසකට බරපතළ හානි සිදු ව ඇති බවටයි වාර්තා වන්නේ. ගුරු විදුහල්පති විරෝධතාවයට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට සංදේශයක් ද භාර දුන්නා.

අදත් (27) ඇතැම් පාසල්වලට පැමිණි සිසු දරුවන් යළිත් සිය නිවෙස් බලා පිටව ගොස් තිබූ අතර පාසල්වල අනධ්‍යන සේවකයින් පමණක් පාසල් වෙත වාර්තාකර තිබූ බවයි ‘හිරු වාර්තාකරුවන්’ කියා සිටියේ.

ඇතැම් පාසල් ගුරුවරුන් තැපැල් කාර්යාල වෙත පැමිණ අද (27) දිනයේදි අසනීප නිවාඩු වාර්තා කරන බවට විදුලි පණිවුඩ යොමු කිරීමටත් පියවර ගත්තා.

මේ අතර, ගුරු විදුහල්පති වර්ජනයට එරෙහිව හෙම්මාතගම නගරයේ පිහිටි පාසලක විද්‍යාලය පිවිසුමේ කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රියේ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ බවයි ‘හිරු වාර්තාකරු’ සදහන් කළේ.

එමෙන්ම ගුරු විදුහල්පතිවරුන්ට පහර දීම දැඩි ලෙස හෙලා දකින බව විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. වැටුප් විෂමතා ගැටලුවට එරෙහිව විරෝධතා දැක්වීමට ගුරුවරුන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රජය පිළිගත යුතු බවද එහි සදහන්.

කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ දෙවනවර (2) ඇගයීම් කටයුතු හෙට (28) සිට ආරම්භ කිරීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් ‘ග්‍රාමනිළධාරී වෘත්තිය සමිති සන්ධානය’ ද අද (27) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් සේවා කටයුතුවලට බාධා එල්ල වුණා ෴


‘හර්ස්’ එකේ එලොව යැවූ මල්ශාලා හිමිකරුගේ ඝාතකයා අත්අඩංගුවට

(27.06.2024 – 18:49 +0530 – hirunews.lk/sinhala)

අවමංගල රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ මල් ශාලා හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නීතීඥයකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසුව සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි අම්බලන්ගොඩ පොලිසිය පවසන්නේ.

මෙම පුදගලයා අද(27) පොලිසියට බාර වූ අතර සැකකරු මරණකරුගේ මල් ශාලාවේ සේවය කළ සේවකයකු බව පොලිසිය පවසනවා.

ඔහු වතුගෙදර ආදාදොළ පදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙක්.

‘සැකකාර සේවකයාගේ බිරිඳ සමග මල් ශාලා හිමිකරු පවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවය’ මේ ඝාතනයේ හේතුව බවට අනාවරණයවූ බවත් පොලීසිය පවසනවා.

මළ සිරුරක් රැගෙන ඒමට් ‘හර්ස්’ එක ගෙන එන ලෙස ජුනි මස 25 වැනිදා රෑ මල්ශාලා හිමිකරුට සැකකරු දුරකතන ඇමතුමක්දී තිබෙනවා.

එසේ වතුගෙදර, ආදාදොළ, ආවාසවත්ත ප්‍රදේශයට ඔහු ගෙන්වා ගත් සැකකාර සේවකයා මල් ශාලා හිමිකරුගේ හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙන බවයි පාපොච්ඡාරණය කොට ඇත්තේ.

මෙසේ ඝාතනය කොට තිබුණේ තෙල් වත්ත, මළවැන්න දකුණ, පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බවද පොලීසිය පැවසුවා.

සැකකරු හෙට (28) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඉන්දියානුවන් 60 ක් හසුවූ සිද්ධිය ගැන තවත් තොරතුරු

(27.06.2024 – 21:24 +0530 – sinhala.adaderana.lk)

මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය.

මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින් ඔන්ලයින් හරහා මුල්‍ය ජාවාරමක් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ඊට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස අද (27) පස්වරුවේ තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබීය.

එහිදී ඉන්දීය ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ලැප්ටොප් 9 ක් හා ජංගම දුරකතන 59 ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

අනතුරුව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර තවත් ඉන්දීය ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී ජාවාරම් සඳහා යොදාගත් පරිගණක 40 ක් සහා ජංගම දුරකථන 38 ක්ද සොයාගෙන ඇත.

අදාළ නිවස රුපියල් ලක්ෂ 2 ක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම මාදිවෙල ප්‍රදේශයේ නිවසක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ජාලයට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයන් 13 ක් දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ලැප්ටොප් පරිගණක 8 ක් හා ජංගම දුරකථන 38 ක් සමගිනි.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මෙම පිරිස ඉන්දියාවේ තහනම් කරන ලද ‘සූදු අන්තර්ජාල පිටුවක්’ මෙරට තුළ සිට ක්‍රියාත්මක කර ඇති බවය.

ඊට විවිධ ඔට්ටුකරුවන් විසින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු අල්ලන බව අනාවරණ වී ඇති අතර, අද (27) දිනයේදී පැවැත්වීමට නියමිත ‘ඉන්දියා එංගලන්ත ක්‍රිකට් තරගය’ට ද විශාල පිරිසක් ඔට්ටු අල්ලා ඇති බවට විමර්ශන නිලධාරීන් පවසයි.

+


ඇහැළියගොඩ නායයෑමකින් නිවාස 08 ක් යටවෙයි

(27.06.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ඇහැළියගොඩ – ගැටහැත්ත, උඩුවක ප්‍රදේශයේදී අද (27) දහවල් නායයෑමකින් නිවාස 08 ක් සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා.

‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ සදහන් කළේ, ඊයේ (26) සිට ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි.

අදාල නායයෑම සිදු වන අවස්ථාවේ නිවෙස් කිහිපයක පුද්ගලයින් සිට ඇති අතර ඔවුන් එහිදී ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබුණා.

අදාළ ප්‍රදේශයේ නායයෑම් සිදුවිය හැකි බවට මීට පෙර නිවෙස්හිමියන් දැනුවත් කර තිබූ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ෴

+++++++++

+


ඇමති පවිත්‍රාගේ ගැසට්ටුවකට අතුරු තහනම් නියෝගයක්

(27.06.2024 – 13:02 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

පරිසර සංවිධාන කිහිපයක් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් ෴


ග්‍රාම නිලධාරීන්ගේ වැඩ වැරුම දින 4 ක්

(27.06.2024 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ගැටලු කිහිපයක් මුල් කරගෙන අද (27) සිට (30) දක්වා දින 04 ක් සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බව ‘ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා.

වසර 61 ක් වන ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයේ මෙසේ සියලුම රාජකාරිවලින් ඉවත්වන පළමු අවස්ථාව මෙය එම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

ඒ අනූව 30 වැනිදා සවස රැස්වන වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම සන්ධානයේ සමකැඳවුම්කරු අයි.ජී. නෙත්තිකුමාර පවසනවා.

මීට පෙර එම වෘත්තීය සමිති සන්ධානය පවසා තිබුණේ දින දෙකක් (2) සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

ග්‍රාම නිලධාරී දීමනා ගැටලු විසඳීම, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ඉදිරිපත් යෝජනාවලට අනුව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම, නිලධාරීන්ගේ තනි කැමැත්තට සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථාව ඉවත් කිරීම යන ඉල්ලීම් ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවයි එම ‘වෘත්තීය සමිති සන්ධානය’ පවසන්නේ ෴


නිවැසියන්ට දස වධ දී නිවස කොල්ලකෑ කල්ලිය

(27.06.2024 – 18:44 +0530 – sinhala.adaderana.lk)

ඇහැළියගොඩ නැදුරන, ඇරෑපොල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරුන් පිරිසක් එම නිවසේ පදිංචිව සිටි වැඩිහිටි යුවළකට තියුණු ආයුධවලින් පහරදී අතපය ගැටගසා එම නිවස කොල්ලකා තිබේ.

එහිදී 76 හැවිරිදි කාන්තාව මියගොස් ඇති අතර එම කාන්තාවගේ 76 හැවිරිදි ස්වාමි පුරුෂයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

පොලීසිය පැවසුවේ පෙරේදා (25) රාත්‍රී 11 ත් ඊයේ (26) සවස 04:30 ත් අතර කාලයේ දී මෙම කොල්ලය සිදුකර ඇති බවයි.

මෙම යුවළගේ වැඩිමහල් දියණිය විවාහ වී කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අනෙක් පිරිමි දරුවන් දෙදෙනා (2) විවාහ වී අමෙරිකාවේ පදිංචිව සිටින බව වාර්තා වේ.

පුතුන් දෙදෙනා (2) දෛනිකව දුරකථන ඇමතුම් ලබාදි මව්පියන්ගේ සුවදුක් විමසන අතර ඊයේ (26) සවස ද දෙමාපියන්ට ඇමතුමක් ලබා දී ඇත.

සිය ඇමතුම් සඳහා දෙමාපියන් ප්‍රතිචාර නොදැක් වූ බැවින් ඔවුන් ඥාතියෙකු ඇමතුමක් දී පවසා ඇත්තේ සිය දෙමාපියන් සුවෙන් සිටින්නේ ද බලා පවසන ලෙසටය.

ඒ අනුව එම පුද්ගලයා මෙම යුවළ පදිංචිව සිටි නිවස‌ට ගොස් පරික්ෂා කිරීමේ දී නිවසේ ජනේලයක් විවෘත කර ඇති බවට දැකිමෙන් පසු නිවසියන්ට කතාකර ඇත.

නමුත් ඔවුන්ගෙන් පිළිතුරක් නොමැති බැවින් අසල්වැසියන්ට ද ඒ බව පවසා නිවස පරික්ෂා කර තිබේ.

එහිදී කැපුම් තුවාල සහිතව අතපය ගැටගසා නාන කාමරය අසල පියා වැටී සිට ඇති අතර මව ඇඳක් අසල වැටි සිටින බව දැක තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය දැනුම්වත් කර ඇති අතර පසුව නැවත පරික්ෂා කිරීමේ දී පියා මියගොස් නොමැති බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුව ඇහැළියගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

ඇහැළියගොඩ පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි ෴


27.06.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *