මීගමුවේ සිට ලොවම රැවටූ ඔන්ලයින් ජාවාරම – විදේශිකයන්ද ඇතුළුව සැකකරුවන් 33 ක් අත්අඩංගුවට

මීගමුවේ සිට ලොවම රැවටූ ඔන්ලයින් ජාවාරම – විදේශිකයන්ද ඇතුළුව සැකකරුවන් 33 ක් අත්අඩංගුවට


මීගමුවේ සිට ලොවම රැවටූ ඔන්ලයින් ජාවාරම – විදේශිකයන්ද ඇතුළුව සැකකරුවන් 33 ක් අත්අඩංගුවට

(25.06.2024 – 20:01 +0530 – sinhala.adaderana.lk)

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණි.

මෙහිදී විදේශිකයන්ද ඇතුළුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 33 කි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක දෙක (2) දරන මූල්‍ය විමර්ශන අංශයට පසුගිය 13 වනදා කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණි.

එහි දැක්වුණේ නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ‘ලයික් හා කමෙන්ට්’ දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවය.

එලෙස ‘ලයික් සහ කමෙන්ට්’ කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී රුපියල් 750 බැගින් මුදල් ලැබුණු අතර, පසුව වැඩිදුරටත් මුදල් ඉපැයීමට අවශ්‍යනම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයකට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාළ සමූහය මගින් කාන්තාවට දැනුම් දී තිබුණි.

ඒ අනුව මුදල් ආයෝජනය කළද, ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ සමූහයේ ‘ඇඩ්මින්වරයා’ පවසා ඇත්තේ, එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසය.

ඒ අනුව අදාළ කාන්තාව රුපියල් ලක්ෂ 54 ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත යොමුකර තිබුණි.

එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇත.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත, විමර්ශන ආරම්භ කෙරුණි.

මුදල් යොමුකළ බැංකු ගිණුම් දෙකක් (2) පිළිබඳව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් අතර එම ගිණුම් හිමි පිය පුතු දෙදෙනා (2) පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමන්ද අදාළ වංචාවට හසුව ඇති අතර ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙක (2) ආරම්භ කළ බවය.

වැඩිදුර විමර්ශනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබාදී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබූ අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකට ලබාදුන් බවට අනාවරණය කර ගැනුණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් ඊයේ (24) රාත්‍රියේ අදාළ නිවස වටලනු ලැබීය.

එහිදී මෙම ඔන්ලයින් ජාවාරම සිදුකරන කාන්තාවන් දෙදෙනෙකු (2) ද ඇතුළුව පුද්ගලයන් 14 ක් අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් එහි තිබී ජාවාරම සිදුකිරීම සඳහා භාවිත කළ ජංගම දුරකතන 57 ක්, පරිගණක යන්ත්‍ර 13 ක් හා ලැප්ටොප් පරිගණක 3 ක් සොයා ගත්තේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන, ඇල්ජීරියා, නේපාල් හා මැලේසියානු ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2) ද වෙයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විමර්ශන නිලධාරීන් මීගමුව පොරතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවසක් වටලා පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එහි තිබී ද ජංගම දුරකථන 52 ක් හා පරිගණක යන්ත්‍ර 33 ක් සිය භාරයට ගත්තේය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පකිස්තාන, ඉන්දීය, බංගලාදේශ හා ඉන්දුනීසියානුවන්ද වෙයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, විදේශීකයන්ද මෙම ජාවාරම සඳහා හසුකරගත් බවය.

එමෙන්ම මොවුන්ගේ ශාඛා ඩුබායි හා ඇෆ්ගන් රාජ්‍යයන්වලද පිහිටා ඇති බවත් අනාවරණ වී තිබේ.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙම ජාලයට සම්බන්ධ පුද්ගලයන් එක් එක් ශාඛාවන්ට ස්ථානමාරුවීම්ද ලබන අතර මෙය ශ්‍රී ලාංකිකයන් සයිබර් වහලුන් ලෙස යොදාගනිමින් මියන්මාරයේදී සිදුකරන ජාවාරමට සමාන එකක් බවය.

++++++++++

+


උසස් පෙළ සිසුවෙක් නිවසෙදී වෙඩිතබා ගෙන මියයයි

(25.06.2024 – 15:05 +0530 – sinhala.adaderana.lk)

වෙඩිතබා ගෙන සියදිවි නසා ගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ, රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස් ඇති අදාළ සිසුවා කාමරයේ දොර අගුල් දමාගෙන පතොරම් තුවක්කුවකින් මුඛයට වෙඩිතබා ගෙන මියගොස් ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති 18 හැවිරිදි සිසුවෙකි.

ඔහු ගණිත අංශයෙන් මහනුවර ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකි.

ඔහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවය කරන්නෙකි.

එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන වෛද්‍යවරියකි.

පියා සතු මෙම ගිනිඅවිය සඟවා තිබියදී එය සොයා ගෙන ඇති සිසුවා ඉන් මෙම වෙඩිතබා ගැනීම සිදු කරගෙන තිබූ බව පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ මෙම සිසුවා A සාමාර්ථ 8 ක් හා B සාමාර්ථයක් (1) සහිතව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙලෙස මහනුවර ජනප්‍රිය පාසලකට ඇතුළුවී තිබුණි.

නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසෙයි.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබෙන බවද වාර්තා වෙයි.

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)

+


දැයට සරසවියක් වූ ප්‍රේමසිරි (25.06.2024)

+


අධිවේගයේ මහා මුදල් කොල්ලයක් : 22 කගේ වැඩ තහනම්

(25.06.2024 – lankadeepa.lk)

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ‘අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ’ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්.පි.එම්. සූරිය බණ්ඩාර මහතා පැවසීය.

අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂක, අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි.එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදුකර ඇත.

2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවති අවස්ථාවේදී ද විදුලිය විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපාදමා ද ඉතා කූට අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 කු සේවයේ යෙදෙන අතර එයින් 22 කු මෙම වංචාව සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මහා පරිමාණ මුදල් වංචාව එකි කාලය තුල සිට සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත ෴


අසනීප නිවාඩු වාර්තා කරමින් ගුරු – විදුහල්පතිවරුන් හෙට (26) කොළඹට

(25.06.2024 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා හෙට (26) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, රජයේ විධායක නිලධාරීන්ගේ එකමුතුව අසනීප නිවාඩු වාර්තා කරමින් අද (25) දීපව්‍යාප්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඔවුන් අද (25) දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඊයේ (24) පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මෙන්ම හෙට (26) දිනයේදීද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම එකමුතුවේ විධායක කමිටු සාමාජික එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ.

කෙසේ වෙතත් මීට සමගාමීව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය අද (25) ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර දැමුණේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහෙත් විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය ඉංජිනේරු, කෘෂිකර්ම, දේශීය ආදායම් සේවය, ගණකාධිකාරී ඇතුළු සේවා 18 ක සාමාජිකයින් එක්ව සිටියා.

ඒ හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවාවලට අද (25) දිනයේ බාධා එල්ල වීම හේතුවෙන් රාජකාරි ඉටුකරවා ගැනීමට පැමිණි ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර, අද (25) දහවල් විධායක නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ අතර, එහිදී අතිරේක ලේකම්වරියක් සමග ඔවුන්ට සාකච්ඡාවක් ද ලබාදී තිබුණා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට (25) දින 55 ක් ගතවුවද මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (25) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

+

+


නාවික විශිෂ්ටයෙකුට මරු කැඳවූ උතුරු මුහුදේ හමුදා මෙහෙයුම (25.06.2024)

+


රු. ලක්ෂ 500 ක් දීලා MASTANG එකක් ගෙනාවා, රු. ලක්ෂ 800 ක් දීලා ගේහැදුවා, ටියුෂන් වලින් ගොඩ ගිය ගයාන් සහ ඉනෝකා (25.06.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *