රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් කිලෝ 05 කට ආසන්න ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් කිලෝ 05 කට ආසන්න ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට


රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් කිලෝ 05 කට ආසන්න ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(24.06.2024 – 17:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවෙන් අද (24) සොයා ගැනුණා.

ඒ, පාකිස්ථානයේ සිට මෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලිපිනයකට එවන ලද පාර්සලයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරික්ෂා කළ අවස්ථාවේයි.

රේගුව සඳහන් කළේ මෙය මධ්‍ය තැපැල් හුවමාරුවෙන් මේ දක්වා හමු වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ කළ පරික්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත් වුණා.

මෙට්ටයකට සමාන පාර්සලයක සඟවා මත්ද්‍රව්‍ය තොගය මධ්‍ය තැපැල් හුවමාරුවට එවා තිබූ අතර එහි තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට මෙරටට එවා ඇති බවයි රේගුව පැවසුවේ.

කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට අදාළ පාර්සලය එවා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවද රේගුව ප්‍රකාශ කළා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 200 කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.

+


මාස හතරකදී (4) රුපියල් කෝටි 30 ක් හුවමාරු වෙලා | ගිණුම්වල රුපියල් කෝටි 400 ක් සංසරණය වෙලා | පියුමි හංසමාලිගේ ගනුදෙනු මෙන්න (24.06.2024)

++++++++++

පියුමි එක්ක ඩීල් දාපු ප්‍රභූ බිරින්දෑවරු මෙන්න | 2024-06-24 | Neth Fm Balumgala

+


2024 ජූනි 24 වන දින පැවැති ‘පිවිතුරු හෙළ උරුමය’ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

(24.06.2024 – facebook.com/UdayaGammanpilaFanPage)

ද්විපාර්ශවිය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කිරීම පදනම් කර ගෙන රට බංකොලොත් බවින් මිදුනා යැයි පවසමින් සැණකෙලි පවත්වන්න ආණ්ඩුව සූදානම් වුවද සැබැවින්ම රට බංකොලොත් භාවයෙන් මිදී නොමැති බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024 ජූනි 24) ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

බංකොලොත් බවින් මිදීම ආණ්ඩුවේ බොරුවක්

ජූනි 27 දිනට ද්විපාර්ශවිය ණය ප්‍රතිව්‍යුහකරණයට ගිවිසුමක් අත්සන් කිරීම පදනම් කරගෙන රට බංකොලොත් බවින් මිදුනා කියලා රබන් ගහලා රතිඤ්ඤා පත්තු කරලා සැණකෙලි පවත්වන්න ආණ්ඩුව කටයුතු සංවිධානය කරනවා කියලා අපට ආරංචියි. නමුත් ද්විපාර්ශවික ණය කියන්නේ අපේ විදේශ ණය වලින් පොඩි කොටසක් විතරයි. ඒක ආපසු ගෙවන ක්‍රමවේදයක් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගත්තා කියලා අපි බංකොලොත් බවින් මිදෙන්නේ නෑ.

‘අයිඑම්එෆ්’ ගිවිසුමට අනුව 2022 අවසන් වන විට ආණ්ඩුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42 ක්. මේවා ගෙවා ගන්න බැරි වීමෙන් තමයි අපි බංකොලොත් වුණේ. මේ ණය ප්‍රධාන කොටස් තුනකට (3) බෙදෙනවා. පළමු කොටස බහුපාර්ශවීය ණය. ඒ කියන්නේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර ආයතන වලින් ලබා ගත් ණය. එතැන ඩොලර් බිලියන 11.5 ක්. මේවා අපි පැහැර හරින්නේ නැතිව දිගටම ගෙවා ගෙන ආවා. එතකොට ගෙවීම පැහැර හැරියේ ද්විපාර්ශවීය ණය සහ පෞද්ගලික ණය. ද්විපාර්ශවීය ණය ඩොලර් බිලියන 11.5 ක් ගෙවන්න තිබෙනවා. ඕක තමයි දැන් ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ එකඟතාවයකට ඇවිත් සමරන්න හදන්නේ.

පෞද්ගලික ණය කියන්නේ බැඳුම්කර නිකුතුවෙන් ජනතාවගෙන් හරි, විදේශ විනිමය විධියට බැංකු වලින් හරි ලබා ගත් ණය. ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 17.6 යි. එහෙම නම් අපේ ණය වලින් ලොකුම කුට්ටිය තිබෙන්නේ පෞද්ගලික ණය. ඒවා ප්‍රතිව්‍යුහකරණය කරන්නේ කොහොමද කියලා තවම ණයහිමියන් සමග එකඟතාවයකට එන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහකරණය කරන තුරු අපට බංකොලොත් බවින් මිදෙන්න බෑ. ඇත්තෙන්ම ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟතාවය ඇති වුණේ මීට මාස තුනකට (3) විතර කලින්. නමුත් ගිවිසුම් අත්සන් නොකලේ පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහකරණය නොකර බංකොලොත් බවින් මිදෙන්න බැරි නිසා. පෞද්ගලික ණය හිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ආණ්ඩුව අසමත් වුණත් ලෝකයේ කිසිම රටක් අවුරුදු දෙකහාමාරක් (2½) ණය ප්‍රතිව්‍යහුකරණය ඇදලා නැති නිසාත් ඡන්දය ලඟ එන නිසාත් ද්විපාර්ශවික ණය ඩොලර් බිලියන 11.5 ක් ප්‍රතිව්‍යුහකරණය බංකොලොත් බවින් මිදීම කියලා බොරුවක් කියන්න ආණ්ඩුව තීරණය කරලා. ඒ නිසා පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහකරණය කරලා මේ රට බංකොලොත් බවින් මිදෙන ඇත්ත දිනය රටට කියන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

ලංකාව බංකොලොත් වුණා ද නැද්ද? ආණ්ඩුව එක බොරුවක් කියන්න !

මුදල් නෝට්ටුවල පළමු (1) අත්සන්කරු වන මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලංකාව 27 දා බංකොලොත් බවින් මිදෙන බව ඊයේ (23) ප්‍රකාශ කළා. ඒත් දෙවන (2) අත්සන්කරු වන මහ බැංකු අධිපතිතුමා 2023 දෙසැම්බර් මාසයේ දී කිව්වේ ලංකාව බංකොලොත් වුණේ නෑ කියලා. මුදල් ඇමති කියන්නේ ඇත්ත නම් මහ බැංකු අධිපති කියන්නේ බොරු; මහ බැංකු අධිපති කියන්නේ ඇත්ත නම් මුදල් ඇමති කියන්නේ බොරු. ආණ්ඩුවේ නායකයින් ආර්ථිකය ගැන කියන බොරු අහලා ජනතාව ඒකට දැන් හුරුයි. ඒත් මෙහෙම පරස්පර බොරු කිව්වාම ජනතාව ව්‍යාකූල වෙනවා. ඒ නිසා දෙන්න කතා වෙලා ‘එක බොරුවක්’ කියන්න කියලා මම යෝජනා කරනවා.

ප්‍රශ්නය :
මන්ත්‍රීතුමා දේශපාලන පිල් මාරුවක් සමග කැබිනට් සංශෝධනයකුත් අත ළඟ එනවා කියලා කියනවා. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ?

පිළිතුර :
වරප්‍රසාද තකා සමහරුන් ආණ්ඩුවට පැන්නට ජනතාව නම් මේ ආණ්ඩුව පැත්තට පනියි කියලා හිතන්න බැහැ.

ප්‍රශ්නය :
ෆොන්සේකා මහත්තයා සහ රාජිත මහත්තයා ආණ්ඩුවට යයි වගේ නේද?

පිළිතුර :
ඒකනං හැබැයි අහන්න ඕනේ ඒ දෙන්නගෙන්ම තමයි. හැබැයි ඔය දෙන්නම පහුගිය කාලේ විපක්ෂයේ ඉඳගෙන කතා කළේ ආණ්ඩුව වෙනුවෙන්. ඉතින් වඩා සදාචාරාත්මකයි ආණ්ඩුව පැත්තේ වාඩිවෙලාම ආණ්ඩුව ගැන කතා කරන එක.

ප්‍රශ්නය :
රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙනුත් අපේක්ෂකයෙක් එනවා වගේ පේනවා නේද?

පිළිතුර :
රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන් එන කාටවත් ජනතාව ඡන්දය දෙන්නේ නැහැ.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ කුරුණෑගල දිසා සංවිධායිකා ඉන්දු ගමගේ මහත්මිය සහ දඹදෙණිය ආසන සංවිධායක නලීන් සම්පත් යන මහත්වරුන් ද සහභාගී විය.

++++++++++

+


හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ සිද්ධියේ 08 දෙනා රිමාන්ඩ්

(24.06.2024 – 15:29 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් 08 දෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (24) හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කර තිබුණි.

හංවැල්ල පොලීසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

+++++++++

23.06.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *