භූමිකම්පාවෙන් පසුව මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් (2) දිස් වෙයි

භූමිකම්පාවෙන් පසුව මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් (2) දිස් වෙයි


භූමිකම්පාවෙන් පසුව මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් (2) දිස් වෙයි

(20.06.2024 – 09:56 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව ඇතුලු ප්‍රදේශ කීපයකට ඊයේ (19) හදිසි භූමි කම්පා තත්ත්වයක් ඇතිවිමත් සමගම එදින සිට මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් (2) දක්නට ලැබෙන බව මුලතිව් ධීවරයෝ පවසති.

නිල් පැහැයෙන් යුත් මෙම අද්භූත වස්තු දෙක (2) ඉහල අහසේ සෙමින් සෙමින් පාවෙමින් තිබෙන බවත් භූමිකම්පා තත්ත්වයෙන් පසුව ඒවා දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.

අහසේ සෙමින් පාවෙන එම වස්තු දෙක (2) නිල් පැහැයෙන් ඉතා දීප්තිමත්ව දැක ගත හැකි අතර ගොඩ බිම් ප්‍රදේශය්ට වඩා මුහුදේදී එම අද්භූත වස්තු දෙක (2) ඉතා හොදින් දක්නට ලැබෙන බවත් එම වස්තූන් සියැසින් දුටු මුලතිව් ධීවරයෝ පවසති.

සුනාමී ව්‍යවසනයට දින පහකට (5) පමණ ඉහතදීත් මෙවැනිම වස්තු කීපයක් අහසේ පාවෙමින් තිබූ බවත් සුනාමියෙන් පසුව ඒවා අතුරුදහන් වූ බවත් කියන මුලතිව් ධිවරයෝ මේ අද්භූත වස්තු දෙක (2) සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවයි ප්‍රකාශ කරන්නේ.

ධීවරයින්ගේ මේ ප්‍රකාශයෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල ඒකකය වෙතද එම තොරතුර ලැබී ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කොළඹට විස්තර ඉදිරිපත් කොට ඇති බවයි යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරයෙකු පවසා සිටින්නේ.

+++++++++

+


ජීවිතය පරදුවට තබා අනතුරක් වැළැක්වූ අභීත තරුණයා

(20.06.2024 – 10:14 +0530 – sinhala.adaderana.lk)

සියඹලාණ්ඩුව නගරයේ දී ලොරි රථයක රියදුරා විසින් එම ලොරි රථයේ අත් තිරිංග (හෑන්ඩ් බ්‍රේක්) ක්‍රියාත්මක නොකර ලොරි රථයෙන් බැස ගොස් ඇත.

රියදුරු බැස ගොස් සුළු මොහොතකින් එම ලොරි රථය මාර්ගයේ ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ දී සියඹලාණ්ඩුව නගරයේ කාර්ය බහුල අවස්ථාවක් ද විය.

රියදුරු නොමැතිව ධාවනය වන එම ලොරි රථය දුටු අසල වෙළෙඳසැළක සිටි තරුණයෙක් වහාම ක්‍රියාත්මක වී දිවගොස් ධාවනය වන ලොරි රථයට ඇතුළු වි ලොරි රථය නවතා ගැනීමට කටයුතු කර ඇත.

එම නිසා සිදු වන්නට ගිය විශාල අනතුර වැළකී ඇති අතර මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබිණි.

+


පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

(20.06.2024 – 07:25 +0530 – sinhala.adaderana.lk)

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද (20) සිට ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේය.

අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේය.

මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ අතර වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ අනුරාධපුර නගරය අපවිත්‍ර නොකර වන්දනාමාන කටයුතු සිදුකරගන්නා ලෙසය.

මේ අතර පොසොන් පොහොයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන ‘හොල්මන් මන්දිර’ වැනි දෑ තහනම් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරෝතු වන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අදාළ වැඩසටහන් මඟින් පොසොන් පොහොයේ මූලික අරමුණට හානි සිදුවන බවය.

එවැනි බෞද්ධාගමට පටහැනි වැඩසටහන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව අද (20) දිනයේ නීති උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය ෴


රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

(19.06.2024 – 22:05 +0530 – sinhala.adaderana.lk)

වසර 15 කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් ‘පිරිපුන් දේශයක්’ සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය.

ඒ කොළඹ පැවති උත්සවයකදීය.

එය නම් කර තිබුණේ ‘ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025’ නමිනි.

මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්විය.

මෙහිදී අදහස් දැක්වූ ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ,

“රටේ ඇති විය හැකි අනාගතය පිළිබඳව ‘මව්බිම ජනතා පක්ෂය’ට මනා දැනුමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඇවිත් කිව්වේ ලංකාවේ දේශපාලනයේ ආඛ්‍යානය වෙනස්විය යුතු බව. අනෙක් කරුණ තමයි… දියුණු වෙන රාජ්‍යයන් දියුණු වෙන්නේ සංකල්ප මත.”

+


+


පාකිස්තානයේ ලැප්ටොප් පරිගණකයක් පිපිරී දරුවන් දෙදෙනෙකු (2) මරුට නව දෙනෙකුට (9) තුවාල

(20.06.2024 – 16:16 +0530 – sinhala.adaderana.lk)

නිවසක් තුළ ලැප්ටොප් පරිගණකයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් දරුවන් දෙදෙනෙකු (2) මියයෑමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා විය.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ වයස අවුරුදු 03 ත් 09 ත් අතර ළමුන් 05 දෙනෙකු ඇතුළු තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු රෝහලගත කර තිබූ බවය.

අනතුරින් 06 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගිය බව රෝහල තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලැප්ටොප් සහ ජංගම දුරකථනවල ඇති දෝෂ සහිත බැටරි අධික ලෙස රත්වී ගිනි ගැනීමකට ලක්විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී ඒවා පිපිරී යාහැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි ෴


වැලිමඩත් කුකුල් චමින්ද කෙනෙක් : රට ඉන්න අම්මට වීඩියෝ කරලා යවලා

(20.06.2024 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම ගම්පහවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරක (4) පෙර පාසල් දරුවෙකුට තම පියා විසින් කෲරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් අද (20) සවස 05:50 ට පමණ වයස අවුරුදු විසි හයක (26) පුද්ගලයෙකු, ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයාගේ විවාහක බිරිඳ මීට මසකට (1) පෙර විදේශගතව ඇති අතර මෙලෙස පහර දෙන දර්ශන වීඩියෝ කර ඇයට යවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන හෙට (21) දින වැලීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අප වාර්තාකරු සඳහන් කළේ පහර කෑමට ලක් වූ දරුවාද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුව වැලිමඩ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි ෴


‘හිරු සී.අයි.ඒ.’ : රට ගිය අයට යුරෝපා සිහින පෙන්වන ජාවාරමක්

(20.06.2024 – 22:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාව රැවටීමට ලක් කරන විදෙස් රැකියා ජාවාරම් මෙතෙක් ක්‍රියාත්මක වූයේ මෙරට තුළ සිටයි.

නමුත් මැදපෙරදිග රටවල රැකියාවල නියුතුව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් මුදල් වංචාකරන මහා පරිමාන ජාවාරමක් ඩුබායි රාජ්‍යයේ සිට ක්‍රියාත්මක කරන බවට ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය හරහා ද ප්‍රචාර ගෙන යමින් සිදු කරන එම ජාවාරම පිළිබඳවයි අද (20) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට බොහෝ දෙනෙක් විදෙස් රැකියා සඳහා පිටත්ව යන් අතර ඒ අතතුරින් විශාල පිරිසක් මැද පෙරදිග රටවල ගෘහ සේවය වැනි රැකියාවල නිරත වෙනවා.

එලෙස ඔවුන් දහ දුක්විඳින්නේ ජීවිතය ගැට ගසා ගැනීමට වෙත් කිසිදු විකල්පයක් නොමැති වාතාවරණයකයි.

එවන් පිරිස් ඉලක්ක කර ගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට ‘ටික්ටොක්’ හරහා මෙම වීඩියෝ පට මුදාහැර තිබුණේ යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබාදිය හැකි බව පවසමින්.

මෙම මහා පරිමාණ වංචාවේ තොරතුරු මෙලෙස රට හමුවේ අනාවරණය කරමින් අප විදෙස් රටවල සේවය කරන මෙරට ජනතාවට රතු එළි දල්වන්නේ මෙවැනි වංචාවලට හසු වී ඔබ දුක් විඳ හරිහම්බ කරගත් වටිනා මුදල් නිකරුණේ අහිමි කර නොගන්නා ලෙසයි.

+


බැංකු 8 ගිණුම්වලින් කෝටි ගණන් ගනුදෙනු : පියුමි හංසමාලිගේ රූපලාවණ්‍යය සමාගම ගැන විමර්ශන අරඹයි

(21.06.2024 – dinamina.lk)

නිරූපණ ශිල්පිනී ‘පියුමි හංසමාලි’ නමැත්තිය රුපියල් කෝටි ගණනින් වත්කම් මිල දී ගැනීමේදී ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇගේ රූපලාවණ්‍ය නිෂ්පාදනායතනය වන ‘ලොලියා ස්කින් කෙයා පෞද්ගලික සමාගම’ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයේදී ‘ලොලියා ස්කින් කෙයා පෞද්ගලික සමාගම’ (LOLLIA SKIN CARE (Pvt) Ltd) නම් රූපලාවණ්‍ය නිෂ්පාදනායතනය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාල‍යේ අංක ‘පී.වී. 00256805’ යටතේ ලියාපදිංචි කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපාර ආයතනය මඟින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාරය මඟින් විදේශ ආනයන සහ අපනයන සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරනු ලබන බව ද එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

නිරූපණ ශිල්පිනී ‘පියුමි හංසමාලි’ යන අයගේ සහ ඇයට හිමි මෙම ආයතනය නමින් ඇති බැංකු 08 ක ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වී ඇති බවට ද සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇතැයි සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

රුපියල් ලක්ෂ 780 කට ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ ජීප් රථයක් මිල දී ගැනීම, රුපියල් මිලියන 148 කට කොළඹ 07 ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවෙසක් මිල දී ගැනීම සහ සැක සහිත ගනුදෙනු සහිත බැංකු ගිණුම් 20 ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී ‘පියුමි හංසමාලි’ යන අය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන ‘බී වාර්තාවක්’ ‘සංවිධානාත්මක අපරාධ මඟින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය’ අධිකරණයට ඉදිරිපත් කළේ පෙරේදා (19) දිනයේදීය. ඒ අනුව, මෙම තැනැත්තිය හා ඇගේ සමීපතමයන් මෙරට පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය’ මඟින් වාර්තා ලබාගෙන ඇගේ සහ ඇගේ සමීපතමයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයන්ට අදාළව ගිණුම් 20 ක් සම්බන්ධයෙන් බැංකු වාර්තා කැඳවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි ෴

++++++++++

පියුමිගේ ‘ලොලියා’ ගැන විශේෂ විමර්ශනයක්

(21.06.2024 – sinhala.asianmirror.lk)

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී ‘පියුමි හංසමාලි’ගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

පියුමි හංසමාලිගේ ‘LOLLIA Skin Care (Pvt) Ltd’ ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයන හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් එලෙස විමර්ශන කරන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ.

‘පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස්’ යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළ නවීන පන්නයේ මෝටර් රථ, අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන හෙයින් ඇය නීති විරෝධී ක්‍රියාවන් සිදුකර මෙම මුදල් උපයා ගත්තේද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති ‘සංජය මහවත්ත’ කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

මුහුණ ඇතුළු සම සුදු කරන ආලේපන අලෙවි කරන ව්‍යාපාරයක් වන ‘පියුමි හංසමාලි’ගේ ‘ලොලියා’ ආයතනය සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ටාර් කාර්යාලය මගින් එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධීන් පිළිබඳව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කළා ෴

++++++++++

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *