‘මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ’දී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනාවක්

‘මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ’දී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනාවක්


‘මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ’දී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනාවක්

(26.05.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

‘මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ’ දී දරු ප්‍රසූතියකින් අනතුරුව එම බිළිඳා අතුරුදන්ව ඇති බවට ඥාතීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ප්‍රසූත කළ බිළිඳා මියගිය බවට රෝහල් බලධාරීන් පැවසුවත්, බිළිඳාගේ සිරුර හෝ පෙන්වීමට ඔවුන් කටයුතු නොකළ බවයි.

මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි ‘කාවිද්‍යා මදුෂානි’ පසුගිය 22 වැනිදා ‘මාතර නව දිස්ත්‍රික් මහරෝහල’ට ඇතුළත් වී තිබුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහායි.

වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය රෝහල්ගතව තිබූ අතර ඇයට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.

ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.

එහෙත්, ඥාතීන් චෝදනා කරන්නේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකළ බවයි.

කෙසේ වෙතත්, බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවල එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහන්ව නොතිබූ බවයි.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ රෝහල් බලධාරීන්ගෙන් විමසීමට උත්සහ කළත් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

+++++++++++

+++++++++++

+


අයහපත් කාලගුණය නිසා අද (26) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

(26.05.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පවතින සුළං තත්ත්වය සමඟ අද (26) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා.

ඒ අනුව කොළඹ මලලසේකර මාවත හන්දියේ සිට තුන්මුල්ල හන්දිය, ජේම්ස් පීරිස් මාවත හන්දිය සිට රොටුන්ඩා උද්‍යානය සහ, කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙස වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ ෴


කොළඹ නගර සභා බලප්‍රදේශයේ ගස් කඩා වැටීම් 59 ක්

(26.05.2024 – 14:13 +0530 – hirunews.lk/sinhala)

අධික සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.

පොදු ස්ථාන මාර්ග ආසන්නයේ සහ නිවාස අසළ පිහිටි ගස් මෙලෙස කඩා වැටී ඇති බවයි නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ.

මේ අතර හපුතලේ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද (26) චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

‘රිමාල්’ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් සුළගේ වේගය පැයට කිලෝ මීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

සුළිකුණාටුව අද (26) මධ්‍යම රාත්‍රිය වනවිට උතුරු දෙසට ගමන් කර බංග්ලාදේශය සහ ඊට යාබද බටහිර බෙංගාල වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර හපුතලේ පංකැටිය ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ හමා ගිය තද සුළඟකින් නිවසක් මතට ටර්පන්ටයින් ගසක් හා කොස් ගසක අත්තක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි 65 හැවිරිදි සේවිකාව මියගොස් තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ සිටි 80 හැවිරිදි හිමිකරු සහ 74 හැවිරිදි ඔහුගේ බිරිඳ ද තුවාල ලබා දියතලාව දිසා රෝහලට ඇතුළත් කෙරුණා.

වේයන්ගොඩ යුද හමුදා කඳවුරු භූමියේ තිබූ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් වේයන්ගොඩ සතිපොළට අලාභ හානි සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 2 ක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ අතර වේයන්ගොඩ යුදහමුදා නිලධාරීන් හා පොලිසිය එක්ව කඩා වැටුණු බෝ ගසේ අත්ත කපා ඉවත් කිරීමට පියවර ගත්තා ෴


වෙසක් කලාපයට ගෙන ගිය රැඳවියා පලාගිහින්

(26.05.2024 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ මෙසේ පලා ගොස් ඇත්තේ වැල්ලවාය, නුගේඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි රැදවියකු බවයි.

එම රැදවියා බදුල්ල, ඇඹිලිපිටිය, වැල්ලවාය, සියඹලාණ්ඩුව යන අධිකරණවලින් දඩුවම් ලබා මොනරාගල බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සිරකරු මොනරාගල වැදිකුඹුර වෙසක් කලාපයේ වෙසක් සැරසිලි සහ නිර්මාණ සිදුකිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසන්නේ ෴


කැලණි සහ කළු යන ගංඟාවල දෙපස සිටින ජනතාවට අනතුරු ඇඟවීමක්

(26.05.2024 – 14:55 +0530 – hirunews.lk/sinhala)

කැළණි සහ කලු‍ යන ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් ගඟ දෙපස ජනතාව සහ පහත් බිම්වල වෙසෙන ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව අත්තනගලු‍ ඔයේ ජල මට්ටම ද මේ වන විට ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴


රැකියා සොයන අය මේ ගැන දැනුවත් වෙන්න

(26.05.2024 – 15:03 +0530 – hirunews.lk/sinhala)

රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවරාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

වක්‍ර ආකාරයෙන් රේගුවට බැඳීමට හැකියාවක් නොමැති බවත් පවත්වන ලද විභාවවලින් පමණක් රේගුවට බඳවා ගැනීම් සිදු කරන අතර තවද එවැනි වංචාකාරයින්ට හසු නොවන්නැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය ෴


සිසුවියක් අපයෝජනය කළ ටියුෂන් වල්ගුරා අත්අඩංගුවට

(26.05.2024 – 15:21 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

යාපනයේ මනිපායී ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක වයස අවුරුදු දාසයක (16) සිසුවියක් සමග ලිංගික සබදකම් පවැත්වූ අවුරුදු හතලිස් දෙකක (42) වල්ගුරෙකු මනිපායී පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම උපකාරක පන්තියට ගිය සිසුවියක්, මේ සිද්ධිය, අතවරයට ලක් වූ සිසුවියගේ දෙමව්පියන්ට පැවසීමෙන් පසුව, එම දෙමව්පියන් මනිපායී පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ වල්ගුරා තවත් සිසුවියන් කීප දෙනෙකුම තම ග්‍රහණයට හසු කර ගැනීමට උත්සහ කොට ඇතත් එම සිසුවියන් ඊට අවනත වී නොමැති බවයි.

මේ සිසුවිය රවටා ගත් වල්ගුරා ඇය සමග කාලයක් ලිංගික සබදකම් පවත්වා ඇති අතර සිසුවිය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබාගත් වාර්තාවකින් ඒ බව සනාථ වීමෙන් පසුව වල්ගුරාව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම වල්ගුරා යාපනයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර ඌට නිදහස් අවස්ථාවලදී මනිපායී ප්‍රදේශයේ මෙම උපකාරක පන්තිය පවත්වා ගෙන ගොස් ඇති බවයි.

සිසුවිය සමග ඌ ලිංගිකව හැසිරී ඇත්තේ එම උපකාරක පන්ති ගොඩනැගිල්ලේ තිබූ කාමරයකදී බවද වාර්තා වෙනවා.

මනිපායී පොලිසිය අදාළ වල්ගුරාගෙන් හා උපකාරක පන්තියේ තවත් සිසුවියන් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර සැක කටයුතු වල්ගුරා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴


ඉන්දියාව ඇල්ලූ ශ්‍රි ලාංකික විදෙස් ත්‍රස්තයින් පුනරුත්ථාපන ලැයිස්තුවේ සිටි අය

(26.05.2024 – 16:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඉරිදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු අයි.ඒස්. අන්තවාදී කල්ලි සාමාජික ලාංකික තරුණයන් සිව් (4) දෙනාම පුනරුත්ථාපනය කළ යුතු බවට 2019 වසරේ සිට නම් ගම් සහිත ව හඳුනගෙන තිබූ බව ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ පවසනවා.

‘හිරු රතු මිනිත්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව පාස්කු ප්‍රහාරය සෙවීම පිළිබඳ කොමිෂම් සභා වාර්තා විසින් මෙලස ‘රැඩිකල් වූ අන්තවාදයට නැඹුරු වූ’ තරුණියින් 300 කට අධික පිරිසක් ගැන නම් ගම් වශයෙන් හෙළි කර ඇති අතර ඔවුන් පුනුරුත්ථාපනය කළ යුතු බවට එම වර්තාවෙන් දක්වා ඇති අතර එම තරුණයින් 300 අතර මෙම තරුණයින් සිව් (4) දෙනාද සිටින බවයි.

නමුත් ලංකා ආරක්ෂක අංශ විසින් සොයා බැලීමක් සිදුකර නොමැති බවයි ඔහු පේනවා දෙන්නේ ෴


අම්මාගේ උපන්දිනය සමරන්න ඉටි පන්දමක් ගේන්න ගිය පුතාට අත්වූ ඉරණම

(26.05.2024 – 17:48 +0530 – hirunews.lk/sinhala)

මවගේ උපන් දිනය සමරන්න ඉටි පන්දමක් රැගෙන ඒමට නගරයට ගිය පුතා අබිරහස් ලෙස තුවාල ලැබූ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

‘හබරණ නිවාස විස්ස’ ගම්මානයේ පදිංචිව සිටි ‘සාරංග මධුසාර’ නම් 25 හැවිරිදි තරුණයා මෙසේ බරපතල අනතුරකට ලක්ව මාස තුනකට (3) අධික කාලයක් ගතවී ඇතත් කුමක් සිදුවීද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

‘රැකියා දස ලක්ෂය’ වැඩසටහන යටතේ කම්කරු රැකියාවක් ලද මෙම තරුණයා ‘දුම්රිය දෙපාර්තමේන්තුව’ට අනුයුක්තව කම්කරු සේවා ආරම්භ කොට මාස දෙකක (2) පමණ කෙටි කාලයක් වන බවයි දෙමාපියන් සඳහන් කළේ.

පසුගිය මාර්තු මාසයේ දහතුන් (13) වන දින කේක් ගෙඩියක් ගෙනැවිත් නිවසේ තබා උපන්දිනය සැමරීම සඳහා ඉටි පන්දමක් රැගෙන ඒමට නිවසෙන් ගිය තම පුතාට සිදුවුයේ කුමක්ද යන්න නොදන්නා බවයි මව හා පියා චෝදනා කරන්නේ.

එදින රාත්‍රී එකොළකට (11:00) පමණ පොලිසියෙන් ලැබුණු ඇමතුමකින් මවට සහ පියාට දන්වා ඇත්තේ සිය පුතා බරපතල තුවාල ලබා සිටියදී රියදුරෙකු දැක දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

දඹුල්ල රෝහලට යන විට පුතා සිරුර පුරා තුවාල සහිතව සිටින අයුරු දුටු බවයි සාරංගගේ පියා සඳහන් කළේ.

එදා සිට අද දක්වාම මාතලේ මහනුවර දඹුල්ල ආදී රෝහල්වලින් දරුවාට ප්‍රතිකාර සිදු කර තිබෙනවා.

මේ වනතුරුත් දරුවාට කිසිදු සුවයක් නොමැතිව ඇඳමත වැටී සිටින අතර ආහාර සියල්ලම උදරය සිදුරු කොට බටයකින් දමන බවත් හුස්ම ගැනීම සඳහා උගුර සිදුරු කොට කුඩා බටයක් දමා ඇති බවත් වාර්තා වෙනවා.

තම දරුවාට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් සීගිරිය පොලිසිය සොයාගෙන නොමැති බවයි දෙමාපියන් චෝදනා කරන්නේ ෴

++++++++++

+


ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

(26.05.2024 – 17:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ‘සිහශක්ති සංගීත කණ්ඩායමේ’ නායක ‘ආනන්ද පෙරේරා’ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ඨ සංගීතවේදියෙක්.

ඔහු විශිෂ්ඨයකු වන්නේ මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වාත්, වෙසෙසින් ඇමරිකානු හා අප්‍රිකානු ජනසංගීත විධීන් කෙරෙහිත් ශාස්ත්‍රීයමය අවධානය යොමු කරමින් මනා කොට වූ අභ්‍යාසවෘද්ධ සංගීත විජිතයක සැරිසරන්නකු වූ නිසාය.

1988 වසරේ දී ‘සිහශක්ති සංගීත කණ්ඩායම’ ඔහුගේ එම විජිත දිවිය එකලස් කළ අග්‍රඵලයක් ලෙසද හැඳින්විය හැකි ෴


ව්‍යාපාරිකයෙකුට බොන්න දී රුපියල් ලක්ෂ ගාණක රන් බඩු සමග මුදල් කොල්ලකාලා

(26.05.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයෙකු මත්කර ඔහු සතු ස්වර්ණාභරණ, මුදල් හා ජංගම දුරකතනය ඇතුලු භාණ්ඩ රැසක් සොරාගෙන තිබෙනවා.

ඉඩම් තැරැවුකාර ව්‍යාපාරිකයෙකු වන ඔහු හමුවීමට නිවසට පැමිණි අයෙකු විසින් මේ සොරකම සිදුකළ බවට පැමිණිල්ල ලැබී ඇතැයි බෝගස්වැව පොලිසිය පවසනවා.

ඒ අනූව රු. 200,000 ක් වටිනා රන් අත් පළඳනාවක්, රු. 72,000 ක් වටිනා රන් මුදුවක්, රු. 40,000 ක් වටිනා ජංගම දුරකතනයක් සහ රු. 85,000 කට අධික මුදලක් සහිත බැංකු කාඩ් පතක් සොරාගෙන තිබෙන අතර මුලු වටිනාකම රුපියල් ලක්ෂ හතර (400,000) ඉක්මවන බවයි පොලිසිය සඳහන් කළේ.

වෙසක් දිනට පසුදින (24) මෙය සිදුව තිබෙන බව කියමින් එම ව්‍යාපාරිකයා ඊයේ (25) පොලිසියට පැමිණිලි කොට තිබුණා.

බෝගසවැව, නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී මෙය සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉකුත් 23 වැනිදා වවුනියාව නගරයේ ආපන ශාලාවකින් පැමිණිලිකරු තේ පානය කොට තිබුණා.

එහිදී හදුනා ගත් කෙනකු ඔහුට හිතවත් වී ජංගම දුරකතන අංකය ඉල්ලාගත් බව කියා තිබෙනවා.

පසුදින දුරකතන ඇමතුමක් ලබාදී පැමිණිලිකාර ව්‍යාපාරිකයා හමුවීමට සැකකරු නිවසට පැමිණ ඇති බව පොලිසිය පැවසුවා.

එහිදී සැකකරු රැගෙන ආ මත්පැන් වර්ගයක් සමග බීර වර්ගයක්ද පානය කළ පසු ඔහුට නින්ද ගොස් තිබුණා.

ඒ මොහොතේ මෙම සොරකම සිදුකර තිබෙන බවටයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

පැමිණිලිකරුට මත්වීම සඳහා යම් ද්‍රව්‍යක් ලබාදී තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා වෛද්‍ය පරීකෂාවක් සිදුකර ගැනීමට යොමුකළ බවයි බෝගස්වැව පොලිසිය ‘හිරු නිවුස්’ වෙත පැවසුවේ.

සැකකරු සොයා බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


ළමා අපයෝජන වැඩි වෙලා

(26.05.2024 – 18:49 +0530 – hirunews.lk/sinhala)

අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර, වයඹ, සබරගමු පළාත්වල ළමා අපයෝජන සිද්ධීන් වාර්තා වීම වැඩිවී ඇති බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ පවසනවා.

ළමා අපයෝජන සම්බන්ධයෙන් කායික දඬුවම්, නොසලකාහැරීම්, මානසික හිංසන ආදී සිද්ධීන් බොහොමයක් සිදුවුවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම මන්දගාමී බවත්,

ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥාපනතට අදාළව ළමයින් නොසලකාහැරීම් පිළිබඳව මේ වසරේ ජනවාරි 01 දා සිට අප්‍රේල් 30 දක්වා පැමිණිලි 872 ක් ලැබී තිබෙන බවත්,

එම කාලය තුළම ළමයින් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 632 ක් ලැබී තිබෙන බවත්, ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ පවසනවා.

ළමයින් හා සම්බන්ධ පහරදීම්, ලිංගික අතවරවලට ලක්වීම් ආදී අපරාධ වැරදි සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීම්, අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීම්, අධිකරණයට කරුණු වාර්තා කිරීම් ආදියේ ප්‍රගතිය 95% ක් බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’උදය කුමාර අමරසිංහ සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *