නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් (1) මරුට; දෙදෙනෙක් (2) රෝහලේ

නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් (1) මරුට; දෙදෙනෙක් (2) රෝහලේ


නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් (1) මරුට; දෙදෙනෙක් (2) රෝහලේ

(25.05.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

නිවසකට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

අද (25) පස්වරුවේ හපුතලේ, පංකැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයට ටර්පන්ටයින් ගසක් කඩා වැටී ඇති අතර තුවාල ලැබූ දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා පංකැටිය රෝහලට ඇතුලත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


බිස්කට් ගන්න කඩේට ගිය අත්තම්මා මරු කටට යැවූ පාලම

(25.05.2024 – 20:47 +0530 – hirunews.lk/sinhala)

පුපුරැස්ස, ලෙව්ලන්ඩ් වතුයායේ පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් එම ප්‍රදේශයේ පිහිටි පාලමකින් ඇදවැටී අද (25) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තනිව ජීවත්ව ඇති 78 හැවිරිදි මෙම කාන්තාව අධික වර්ෂාව පැවති අවස්ථාවේදී අසල පිහිටි ලැයිමක තිබූ කඩයකට ගොස් බිස්කට් පැකට්ටුවක් රැගෙන නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීත් පුද්ගලයින් රැසක් මෙම පාලමෙන් වැටී ඇති අතර දැව කඳන් මත ඉදිකර ඇති මෙම පාලම තරමක් අබලන් තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ.

ඇළට වැටී සිටි මෙම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගන්නා විටත් මියගොස් සිටි බවයි පුපුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ෴


මරු කැඳවූ චාරිකාව

(25.05.2024 – 21:28 +0530 – hirunews.lk/sinhala)

වන්දනා චාරිකාවක පැමිණ දිය නෑමට ගිය පුද්ගලයෙක් අද (25) පස්වරුවේ වලවේ ගඟේ ගිලී මියගොස් තිබෙනවා.

ඔහු මෙසේ මියගොස් ඇත්තේ, බලන්ගොඩ, කල්තොට ප්‍රදේශයේදී.

මියගිය පුද්ගලයා කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි අයකු බවටයි වාර්තා වෙන්නේ.

මොහු තවත් පිරිසක් සමඟ වන්දනා චාරිකාවේ පැමිණ දිය නෑමට ගොස් ඇති අතර වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ කල්තොට පොලිසියෙන් ෴


මාවනැල්ලේදී ඇතෙක් කුලප්පු වෙයි

(25.05.2024 – 23:06 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල නගරයේ අද (25) රාත්‍රියේ පැවති වෙසක් පෙරහරක් අවසන් වීමෙන් අනතුරුව එහි ගමන්ගත් ඇතෙකු කුලප්පු වී තිබෙනවා.

එම ඇතා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඇතෙකු වන අතර, ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

කුලප්පු වූ ඇතා මාවනැල්ල නගරය දෙසට පැමිණ ඇති අතර, දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම ඇතා විශේෂ ආරක්ෂාවක් යටතේ මාවනැල්ල පොළ භූමියේ මේ වනවිටත් රඳවා තිබෙනවා.

+


හෙටින් (26) අවසන් වන හිරු උත්තම ධාතු වන්දනාවේ සර්වඥ ධාතූන් කුලියාපිටියේදී අනිද්දා (27) තෙක් වන්දනාවට අවස්ථාව

(25.05.2024 – 23:36 +0530 – hirunews.lk/sinhala)

මාතලේ අලුවිහාර පින්බිමේදී පැවැත්වෙන ‘හිරු උත්තම ධාතු වන්දනා’ වැඩසටහන හෙට (26) උදෑසන 06:30 ට සමාප්ත කරමින් සර්වඥ ධාතූන් වහන්සේ ‘වස්කඩුව ශ්‍රී සුභූති විහාරය’ වෙත යළි වැඩම කරවීමට නියමිතයි.

එම ගමන් මගේ ස්ථාන කිහිපයකදීත් සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

‘කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ’ මෙන්ම ‘සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ’ වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදුන් ‘හිරු උත්තම ධාතු වන්දනාව’ හෙට (26) උදෑසන 06:30 ට මාතලේ අලුවිහාර පුදබිමේදී අවසන් කෙරෙනවා.

හෙට (26) උදෑසන බුද්ධ පූජාව ඇතුළු වතාවත්වලින් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ ‘වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය’ වෙත වැඩම කරවීම ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව උදෑසන 07:00 ට පමණ මාතලේ අලුවිහාර පුදබිමේ සිට සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහර පෙරවරු 10:30 පමණ වන විට ‘දඹුල්ල රන්දෙණිය රජමහා විහාරස්ථානය’ට වැඩම කරවීමට නියමිත අතර එහිදී දහවල් බුද්ධ පූජාව පැවැත්වෙනු ඇති.

එහිදී සැදැහැවතුන්ට ‘හිරු උත්තම ධාතු වන්දනාව’ සමග එක්වීමට යළි අවස්ථාව හිමිවනවා.

අනතුරුව පස්වරු 03:00 පමණ වන විට ‘කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වාඥ ධාතූන් වහන්සේ’ වෙත ගිලන්පස පූජාව පිළිගැන්වීම සිදුකෙරෙන්නේ ‘මැල්සිරිපුර ධම්මරතන පිරිවෙන් විහාර’ පරිශ්‍රයේදී.

සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම් මැද ගමන් අරඹන ධාතූන් වහන්සේ රැගත් පෙරහැර පස්වරු 06:00 පමණ වන විට ‘කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරය’ වෙත වැඩම කරවීමට නියමිතයි.

එම විහාරස්ථානයේදී ‘කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ’ සහ ‘සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ’ පසුදා පහන් වනතුරු වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.

+


ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කටයුතුවලට

(26.05.2024 – 07:48 +0530 – hirunews.lk/sinhala)

වගා කිරීමට සුදුසු මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කටයුතු සඳහා යොදාගත හැකි පරිදි නව නීති සම්පාදනය කරන බව ‘සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය’ පවසනවා.

එම ඉඩම් ජනතාවට ලබාදීම තුළින් ඔවුන්ගේ ආර්ථික තත්වය වැඩිදියුණු කළ හැකි බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙවැනි ඉඩම් පවතින බවට හඳුනාගෙන තිබෙනවා ෴


වැස්ස වසී – ඩෙංගු නඟී – මරණ 9 ක් – අධි අවදානම් කලාප 8 ක් – අද (26) සිට ඩෙංගු මර්දන සතියක්

(21.05.2024 – dinamina.lk)(26.05.2024 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාව නිසා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවත වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 23,931 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත මරණ 9ක් වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි. මැයි මාසයේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 1658 ක් වාර්තා වී ඇති අතර පසුගිය කාලයේදී ආසාදිතයන්ගේ වාර්තා වීම අවම වී තිබූ බව ද එම ඒකකය ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 35.9 ක් බවට සඳහන්ය. දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගෙන් 5114 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 2232 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 1253 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ. ඩෙංගු අධි අවදානම් කලාප 8 ක් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික බලප්‍රදේශය, රත්මලාන, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නාගරික කලාපය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත යනාදිය අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු බව වෛද්‍යවරු ජනතාවට දැනුම් දෙති.

පවතින අවදානම හේතුවෙන් අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි.


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි

(26.05.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – ගනේවත්ත සිට පානදුර බලා ධාවනය වූ දුම්රිය, වලකුඹුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව දුම්රිය හතරක් (4) පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴


පෙම් සබඳතාවක් නිසා ඇති වූ ගැටුම වෙසක් බැලීමට ගිය තරුණයාට දිවිය අහිමි කරයි

(26.05.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාරේ බණ්ඩාරනායක වටරවුම ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22 ක පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මෙම තරුණයා මියගොස් ඇත්තේ.

ඔහු වෙසක් සිරි නැරඹීම සඳහා තම හිතවතුන් කිහිපදෙනෙකු සමග ඔරුගොඩවත්ත දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ ආරවුලක් මත පිරිසක් විසින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 සහ 18 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


උතුරු මාර්ගයේ දුම්රියක ගැටී අලි මරණ දෙකක් (2)

(26.05.2024 – 10:33 +0530 – hirunews.lk/sinhala)

අලි මවක සහ පැටවකු දුම්රියේ ගැටීමෙන් මියගොස් තිබෙනවා.

කන්කසන්තුරේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට මාන්කුලම හා පුලියන්කුලම අතර ප්‍රදේශයේදී වන අලි මවක් හා පැටවෙකු ගැටීමෙන් ඔවුන් දෙදෙනාම (2) ඊයේ (25) මියගොස් තිබුණා.

අනතුරෙන් මාස හතරක් (4) පමණ වයස අලි පැටවා දුම්රියත් මාර්ගයත් අතර සිරවී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වන අලි මවගේ සිරුරට ද දුම්රියේ ගැටීම නිසා බරපතළ ලෙස හානි සිදුව තිබුණා.

අලි පැටවා සහ මව දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට දුම්රිය නිලධාරීන්ට, මගීන්ට හා ප්‍රදේශවාසීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

කලාපය බාර වනජීවී කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කළ අතර, එම නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම දුම්රිය මාර්ගයේ දුම්රියවල ගැටීමෙන් වන අලි විශාල සංඛ්‍යාවක් වසරකදී මියයන බවයි.

මේ අනතුර නිසා එම දුම්රිය පැය දෙකක් (2) පමණ ප්‍රමාද වී ධාවනය කර තිබුණා ෴


වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එක් (1) අයෙකු මියගොස් 13 කට තුවාල

(26.05.2024 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව – මීඔය ප්‍රදේශය ආසන්නයේදී පාදෙණියේ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එක් (1) පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

වන්දනා ගමනක් යමින් සිටියදී රියදුරුට නින්ද යාමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ 69 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+


මහනුවර – කොළඹ මාර්ගය කඩුගන්නාව පහළ ප්‍රදේශයෙන් අනිද්දා (28) දිනයේ තාවකාලිකව වැසේ

(26.05.2024 – 10:47 +0530 – hirunews.lk/sinhala)

අවදානම් සහිත ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අනිද්දා (28) පැය දෙකක (2) පමණ කාලයක් වසා තැබීමට නියමිත බව ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කරන නායයෑම් නිවේදන සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයේ අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස සඳහන් කළේ.

මේ අතර ඊයේ (25) පස්වරුවේ පන්විල – නෙල්ලිමලේ ප්‍රදේශය හරහා හමා ගිය තද සුළං තත්වයක් හේතුවෙන් වතු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් පවුල් 38 කට අයත් පුද්ගලයින් 128 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴


මංගල උත්සවයක ගැටුමකින් තිදෙනකු (3) රෝහලට

(26.05.2024 – 12:25 +0530 – hirunews.lk/sinhala)

මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනකු (3) බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (26) පෙරවරුවේ හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු (3) මේ සිදුවීමෙන් බරපතල තුවාල ලබා තිබුණා.

තුවාලකරුවන් හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇති බවයි හල්දුම්මුල්ල පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.

සැකකරුවන් අද (26) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කරන අතර, වැඩිදුර පරීක්ෂණ හල්දුම්මුල්ල පොලීසිය විසින් සිදුකරනවා ෴


සිත් සුවය 21- සුව හාස්කම් – BMICH – 2024-05-26
දීගොඩ කුමාර මහතා ශ්‍රව්‍යාබාධිත රෝගීන්ට සම්පූර්ණ සුවය ලබාදුන් අයුරු

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *