ජවිප – ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත් ප්‍රේමදාසට සහය දෙමින් ‘සජබ’යට

ජවිප – ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත් ප්‍රේමදාසට සහය දෙමින් ‘සජබ’යට


ජවිප – ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත් ප්‍රේමදාසට සහය දෙමින් ‘සජබ’යට

(25.05.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

‘සමගි ජන බලවේගය’ විසින් ක්‍රියාත්මක ‘ජන පවුර’ වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ සහ ‘ජනතා විමුක්ති පෙරමුණේ’ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගය හා එක්වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත්, ‘සමගි ජන බලවේගය’ සමග එකතු වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින්.

1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ ඔහු, 1994 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

එමෙන්ම 2001 වසරේ දී ආහාර වෙළෙඳ කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමත්‍යවරයකු ලෙස කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු තිලක් මහලේකම්ගේ ද ‘සමගි ජන බලවේගය’ හා එක්වූ අතර, ඔහු 1993 උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්ව වසර 7 ක් මින්නේරිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.

තවද ‘ජනතා විමුක්ති පෙරමුණේ’ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයකුව සිටි එච්. සමන්ත බණ්ඩාරද විපක්ෂ නායකවරයාට සහය පළ කරමින් ‘සමගි ජන බලවේගය’ සමග එක්වුණා.

+


‘පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ’ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක්

(25.05.2024 – 14:54 +0530 – hirunews.lk/sinhala)

‘2019 පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ’ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් බව ‘ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය’ ආචාර්ය පුන්සර අමරසිංහ පවසනවා.

‘හිරු’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ‘ඉන්දීය බුද්ධි අංශ’ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා (4) ‘පුනරුත්ථාපනය කළ යුතු අන්තවාදි තරුණයින්’ බවට 2019 ‘පාස්කු විමර්ශන කොමිසම් වාර්තාවෙන්’ නම්කර සිටි අය බවයි.

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු (4) ඉන්දියාවේ අහ්බාද් ගුවන්තොටුපළේදී පසුගිය 20 වැනිදා ‘ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය’ විසින් අත්අඩංගුවට ගත්තා.

එලෙස අත්අඩංගුවට පත්වු සිව්දෙනා (4) අතර, නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුත්‍රයෙකුද වන මොහොමඩ් නෆ්රාන් නවුෆර් නමැත්තාද වන අතර, ISIS සංවිධානය සමඟ එක්වෙමින් ඔවුන් ඉන්දියාවේදි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් විසින් ‘අයි.පි.එල්. අවසන් තරඟ’ ඉලක්ක කර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරත ජනතා පක්ෂයේ’ ප්‍රබල සාමාජිකයින් සිව්දෙනෙකු (4) ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීමට සැලසුම්කර තිබු බවට වාර්තා වූ බවයි.

+

+


රුපියල් කෝටි 13.5 කට මැණික් ගල් 14 ක් විකුණන්න ගිය හයක් (6) අත්අඩංගුවට

(25.05.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

මැණික් ගල් 14 ක් රුපියල් කෝටි 13.5 කට අළෙවි කිරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) මොවුන් අත්අඩංගුවට ගත් බවයි පවසන්නේ.

සැකකරුවන් පිරිස ගාල්ල, හිනිදුම හා කොළඹ පදිචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සැකකරුවන් අතර අඹුසැමි යුවළක්ද සිටි බවත්, ඔවුන් මැණික් ගල් රැගෙන මහනුවරට පැමිණ ඇත්තේ යතුරු පැදි වලින් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ඒ නිසා මෙම මැණිගල් ව්‍යාජ ඒවා බවට පොලීසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා ‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය’ වෙත යොමු කර තිබෙනවා.

මැණික් ගල් පරීක්ෂා කිරීමට යොදා ගන්නා විදුලි පන්දමක් සැකකරුවන් සතුව තිබී පොලීසිය සොයාගෙන තිබුණා.

මැණික් ගල් දෙකක් (2) සඳහා ‘මැණික් හා ස්වරණාභරණ අධිකාරිය’ මගින් නිකුත් කළ සහතිකයක් සැකකරුවන් සතුව තිබී සොයා ගෙන ඇති අතර එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට සැක කරනවා.

එම වාර්තා ‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය’ වෙත යොමුකර තිබෙන බවයි පොලිසිය පැවසුවේ ෴


දිස්ත්‍රික්ක 07 කට යළිත් නායයෑමේ අනතුරු ඇඟවීම්

(25.05.2024 – 17:34 +0530 – hirunews.lk/sinhala)

නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 07 ක් සදහා හෙට (26) පස්වරු 04 දක්වා, ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ,කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වෙතයි එම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, අදාළ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ දැනුම් දෙනවා ෴


ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවියක් ඇළ ඉවුරකින් මතුවෙයි

(25.05.2024 – 17:36 +0530 – hirunews.lk/sinhala)

මතුගම, මැණික්ගොඩ ප්‍රදේශයේ ඇළ ඉවුරක වළදමා තිබියදී ‘ස්වයංක්‍රීය ගිනිඅවියක්’ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ, එම ගිනිඅවිය 2020 වසරේ ඝාතනයට ලක්වූ පාතාල සාමාජිකයකුට අයත් එකක් බවට තහවුරු කරගෙන ඇති බවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ, මිලිමීටර් 8 ස්වයංක්‍රීය ගිනිඅවියක් වන අතර එම ගිනිඅවියට යොදන මැගසීනයක් ද එහි තිබී හමුවී තිබෙනවා ෴


දේශපාලනඥයින් හතළිහකට (40) අල්ලස් පරීක්ෂණ

(25.05.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala)

‘අල්ලස් දූෂණ හා අයථා වත්කම් ඉපයීම්’ සම්බන්ධයෙන් විවිධ මට්ටමේ දේශපාලනඥයන් හතළිහකගේ (40) පමණ විමර්ශන අරඹා තිබෙන බව ‘අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ පවසනවා.

මේ අතර ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම රජයේ තනතුරු දැරූ සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහි විවිධ දූෂණ චෝදනා යටතේ නඩු පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ නිසා ඉල්ලා අස්කර ගත් නඩු නැවත පැවරීමට කඩිනමින් පියවර ගන්නා බවයි ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන්’ වාර්තා වන්නේ.

ඉහත දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසක් ‘ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන්’ බවයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසන්නේ.

සියලු විමර්ශන සක්‍රියව සිදුකිරීම සඳහා නව වැඩපිළිවෙලක් අරඹා තිබෙන බව එම කොමිෂන් සභාව පවසනවා ෴


කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් හදිසියේ වසා දැමේ

(25.05.2024 – 18:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අද (25) රාත්‍රියේ වසා දැමීමට තීරණය කළ බව පොලිසිය පවසනවා.

ඒ කොළඹට පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව, බේබෲක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වා, බෞද්ධාලෝක මාවත, ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වටරවුමේ සිට රොටුන්ඩා වටරවුම දක්වා යන මාර්ග වසා දැමෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම, කොළඹ විජේරාම මාවත සහ ක්‍රේම්බ්‍රිජ් පෙදෙසේ ගස් කඩා වැටීම නිසා රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කේම්බ්‍රිජ් පෙදෙසේ මාර්ගය අවහිර වීම නිසා කොළඹට ඇතුලුවන වාහනවලට මල්පාර ඔස්සේ ගමන් කල හැකි බවයි ෴


තැන තැන සැරිසරන හොර නෝට්ටු

(25.05.2024 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු 2023 වසරේ ව්‍යාජ මුදල් නෝට්ටු 1,769 ක් සොයාගත් බව ‘ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් ප්‍රකාශනයේ’ සඳහන් වෙනවා.

රටේ සංසරණයවන මුදල් නෝට්ටු දස ලක්ෂයක් (10,00,000) අතරින් නෝට්ටු 1.4 ක් හොර නෝට්ටු බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර, ලෝකයේ රටවල්වල සංසරණයවන මුදල් නෝට්ටු දස ලක්ෂයක් අතරින් හොරනෝට්ටු 15 ක් ඇතුලත්වන බවයි වාර්තා වන්නේ ෴


අබිරහසක් ඉතිරි කරමින් කුඹුරකින් මතු වූ තරුණ සිරුරු

(25.05.2024 – 19:37 +0530 – hirunews.lk/sinhala)

සැකකටයුතු ‍ලෙස මියගිය තරුණයින් දෙදෙනෙකුගේ (2) දේහයන් අද (25) දොම්පේ, මල්වාන, මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී හමුවී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 සහ 18 වයස්වල තරුණයින් දෙදෙනෙකු (2) බවත්, ඔවුන් මෙම ප්‍රදේශයේ නිවෙසක නේවාසිකව සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කුලී වැඩ කරමින් අය බවත් පොලිසිය සඳහන් කළා.

කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් ඊයේ (24) රාත්‍රියේ අධික වර්ෂාව පැවති අවස්ථාවේදී නිවෙසින් පිටව ගොස් ඇති අතර, නිවෙසට යලි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සෝදිසියකදී ඔවුන්ගේ සිරුරු එම ප්‍රදේශයේ කුඹුරක ඇති වතුර වළක තිබී හමුවී තිබෙනවා.

‘හිරු ප්‍රවෘත්ති’ අප කළ විමසීමකදී දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ දියේ ගිලීමෙන් මෙම මරණයන් සිදු වූ බවට සැක කරන බවත්, එක් අයෙකු එම දිය වළට වැටීමෙන් අනතුරුව ඔහු බේරා ගැනීමට අනෙක් පුද්ගලයා දියට බැස ඇති බවට සැකකරන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් තහවුරු වී නොමැති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඔහු සඳහන් කළා ෴


කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ගින්නක් – රෝගීන් එළියට ගෙනඑනු ලැබූ අයුරු (25.05.2024)

+


රේගුවේ, වරායේ කෝටි ගානක ජාවාරම්.හොරබඩු ඩීල් ගහන හඬ පට මෙන්න (19.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *