ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්

ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්


ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්

(24.05.2024 – 21:40 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණයත් සමග ඇතිවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේය.

“ගස් කඩා වැටීම නිසා සිදුවු මරණ සංඛ්‍යාව 6 යි. තුවාල ලැබු සංඛ්‍යාව 11 යි. අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩා වැටීම්වල වැඩිවීමක්. දැනට අපේ රටේ ගස් සිටුවීම ගැන කිසිදු ප්‍රතිපත්තියක් නෑ. ඒ ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යෝග්‍යයයි කියලා අපට අවබෝධ වෙලා තියෙනවා. සිංගප්පූරු මෝඩලය අපි අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේ දී මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් ගැන ජනතාව දැනුවත් කර ප්‍රතිපත්තියක් සැකසීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට භාරදීලා තියෙනවා. අපි විශේෂ කමිටුවක් ජාතික ප්‍රතිප්තිය සැකසීමට බලාරොත්තු වෙනවා.

අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩාගෙන වැටීම්වල වර්ධනයක්. පෙරේදා දිනයේ පාසලක ගසක් කඩා වැටීම නිසා දරුවන් 4 දෙනෙක් සුළු තුවාල ලැබුවා. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ අවධානය ප්‍රමුඛව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාර්ග දෙපස ගස් කඩා වැටීම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරිය ඒ වගේම පළාත් පාලන ආයතනවල සහාය අපි මේ වෙලාවේ බලාරොත්තු වෙනවා මේ තත්ත්වය පාලනයට හා අවම කිරීම සඳහා.”

එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා :

“කෙටි කාලීන හා දීර්ඝ කාලින සැලසුමක් සකස් කරලා තියෙනවා. මේ තාක්කල් මේ තත්ත්වය ගැන අවධානය යොමු වුණ බවක් අපිට පේන්නේ නෑ. ගස් සම්බන්ධයෙන් අවධානමක් නිකුත් කරන්න අපේ රටේ ආයතනයක් ක්‍රියාවලිය තුළ නෑ. අපි දැන් ඒ වගකීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් ඉන්නේ…”


අවදානම් ගස් ගැන හොයන රුපියල් ලක්ෂ ගණනක යන්ත්‍රයට වෙච්ච දෙයක්

(24.05.2024 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

ගස් කඩා වැටීම් හේතුවෙන් මේ වනවිටත් ජීවිත හයක් (6) අහිමි වී අවසන්.

කෙසේ නමුත් කොළඹ නගරයේ අනාරක්ෂිත මට්ටමේ පවතින ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 70 ක් වියදම් කර යන්ත්‍රයක් මිලදී ගෙන ඇති අතර, එය මේ වන තෙක් භාවිතයට නොගෙන අතහැර දමා ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ නගරය තුළ විශාල ගස් ලක්ෂයක් (100,000) පමණ තිබෙන අතර, එහි ඉතා පැරණි ගස් රැසක්ද පවතිනවා.

මෙම ගස් බොහෝමයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින අතර පසුගිය ඔක්තෝම්බර් මස 06 වැනිදා කොල්ලු‍පිටිය ප්‍රදේශයේදී බසයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයින් 05 දෙනෙකු මිය යාමත් සමග මෙම අනාරක්ෂිත ගස ඉවත් කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා.

කෙසේ නමුත් 2017 වර්ෂයේදී රුපියල් ලක්ෂ 70 ක් වැයකර කොළඹ මහනගර සභාවට ගස් පරීක්ෂා කරනු ලබන යන්ත්‍රයක් මිලදී ගෙන ඇතත් යන්ත්‍රය 2017 වසරේ සිට මේ දක්වා කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කාමරයක් තුළ එම යන්ත්‍රය තබා තිබෙනවා.

අධික පිරිවැයක් දරා මෙම යන්ත්‍රය මිලදී ගැණුනද මෙලෙස භාවිතයට නොගෙන අතහැර දැමීමට සිදුව ඇත්තේ සුදුසු තාක්ෂණ නිලධාරීයෙකු නොමැති වීම හේතුවෙන්.

+


ඩයනා පදින v8 එක සංචාරක අමාත්‍යාංශයේ – ලේකම් දන්නෙත් නැතිලු – ලේකම් ඩයනගෙ ගංජා ගහලා ද? හඬ පට සහිතයි (24.05.2024)

+


දිවි නසා ගත් තරුණියක් මරණින් මතු ඉපදුනු ස්ථානය දිවැසින් දුටු විස්තරය | Rajagiriye Ariyagnana Thero (16.11.2020)

+


දූෂණ වංචා හොයන නියෝග වතුරේ – රජයේ විගණකාධිපති

(24.05.2024 – lankadeepa.lk)

‘රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව’ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට (100,000) ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි ‘රජයේ විගණකාධිපති’ ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසීය

‘විගණකාධිපති දෙපාර්තමේන්තුව’ ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවක් බවත් දෙපාර්තමේන්තුව දෙන නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමඅනිවාර්ය කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

විගණන විමර්ශන පැවැත්වීම සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල කෝටි ගණනකැයි පැවසේ.

‘විගණකාධිපති දෙපාර්තමේන්තුව’ ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

කළමනාකරණය වෙනුවෙන් ගන්නා ලද තීන්දු තීරණ හෝ ‘විගණකාධිපති දෙපාර්තමේන්තුව’ ලබා දෙන නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක කරන්නේ නැහැ. එබැවින් ‘විගණකාධිපති දෙපාර්තමේන්තුව’ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දෙන නිර්දේශ ක්‍රියාත්මක කරවීම ‘රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ’ හා ‘මුදල් පිළිබඳ කාරක සභාවේ’ද වගකීමක්” යැයි රජයේ විගණකාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර විගණකාධිපතිවරයාගේ නිර්දේශ සමහර ආයතන ප්‍රධානීන් හෑල්ලුවට ලක් කරන ආකාරයක්ද දක්නට ලැබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති ෴


අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිහින් විදුලි සැර වැදී මරුට

(24.05.2024 – lankadeepa.lk)

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) සවස මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හිනිදුම කුඹුරේගොඩ හබරකඩ තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ නිවසේ විදුලිය විසන්ධිවිම නිසා එම නිවසට යාබදව පිහිටි නිවසින් වයරක් ඇද විදුලිය ලබා ගැනිමට වයරය සවි කිරිමේදි විදුලි සැර වැදි මියගොස් ඇත.

පළමුව ඔහු නෙළුව මැදගම රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවය.

පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර හෙට කරාපිටිය රෝහල වෙත ගෙන ඒමට නියමිතය. හිනිදුම පොලිසිය විසින් සිද්ධිය සම්න්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ ෴


ස්වර්ණාභරණ ආයතන 13 ක් හොර පාරෙන් රත්රන් ගෙනත්

(24.05.2024 – lankadeepa.lk)

මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13 ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ‘ශ්‍රී ලංකා රේගුව’ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එම නීති විරෝධී රත්රන් තොගය සඳහා රුපියල් කෝටි 4400 ක පමණ දඩ මුදලක් අය කිරීමට නියමිතව ඇති අතර ඇතැම් පිරිසක් හොර පාරෙන් එම රන් තොගය නිදහස් කිරීමේ සූදානමක් පවතින බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයට ගෙවිය යුතු බදු නොගෙවා නීති විරෝධී අයුරින් එලෙස රත්රන් ලබාගෙන තිබූ බව කියන එම ආයතන අතර මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ ආයතන කීපයක්ම තිබෙන බව ද වාර්තාවේ.

මෙරට ප්‍රධාන ස්වර්ණාභරණ ආයතන කාලයක් තිස්සේ නීත්‍යනුකූල නොවන මාර්ග වලින් ඉන්දියාවෙන් රන් තොග ලබා ගන්නා අතර එම නිසා රජයට වසරකට රුපියල් කෝටි 30000 ක පමණ බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ ෴


ඔන්ලයින් ක්‍රමයට සල්ලි ඇද්ද ට්‍රෑෆික් රාලහාමි අත්අඩංගුවේ

(24.05.2024 – lankadeepa.lk)

වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින් රුපියල් 134,000 ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ‘නාගරික රථවාහන කොට්ඨාශයයේ’ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉලූක්මෝදර ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි අයකු තම බැංකු ගිණුමෙන්ඔන් ලයින් ක්‍රමය ඔස්සේරුපියල් 584,555 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇති බවට පසුගිය (2023) වසරේ ඔක්තෝම්බර් මාසයේ තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

ලැබුණු මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර කොස්තාපල්වරයාට අයත් ගිණුමට එම මුදලින් කොටසක් වූ රුපියල් 134,000 මුදලක් බැරවී ඇති බවට හෙළිවීමෙන් පසු එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද තලාතුඔය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇතැයි දැනගැනීමට ඇත ෴


විදුහල්පති කෑම ටෙන්ඩරයක් දෙන්න රුපියල් 30,000 ක අල්ලසක් අරගෙන

(24.05.2024 – lankadeepa.lk)

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාව ගෙන් රුපියල් 30,000/-ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල පාසලක විදුහල්පතිවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති කාමරයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පැවසීය.

පාසැල් දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ දමිල පාසලක ඉගෙනුම ලබන දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීම සඳහා කාන්තාවකට ටෙන්ඩරය ලබාදී ඇති බවත් ඒ අනුව ඇය මාර්තු සහ අප්‍රේල් මාස සඳහා සැපයු ආහාර වේල් වලට ගෙවිය යුතු මුදල් ලබාදීමට නිර්දේශ කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා කාන්තාවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

සැකකාර විදුහල්පතිවරයා මුලින් රුපියල් 20,000/-ක මුදලක් ලබාගෙන ඇති බවත් ඉතිරි රුපියල් 30,000/-ක මුදල ඉල්ලු අවස්ථාවේදී ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී විදුහල්පති නිල කාමරය තුළදී රුපියල් 30,000/-ක අල්ලස් ගන්නා විට සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය ෴


මෝටර් රථයක් මතට ගසක් කඩා වැටී එකම පවුලේ 3ක් රෝහලේ

(24.05.2024 – lankadeepa.lk)

මහවැව කොස්වාඩිය ප්‍රදේශයෙ නවතා තිබු මෝටර් රථයක් මතට අද (24) දහවල් ගසක් කඩා වැටිමේන් වාහනයේ සිටි සිව් (4) දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය හා අපදා සහන නිළධාරීන් පවසයි.

හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වාඩිය ප්‍රදේශයෙ දී නවතා තිබියදී නොසිතු ලෙස එම ස්ථානයෙ තිබු දැවැන්ත ගසක් එකවර මෝටර් රථය මතට කඩා වැඩි මෝටර් රථයට දරුණු හානි සිදුව ඇති බව කියයි.

ගස මෝටර් රථය මතට කඩා වැටිමේන් එහි සිරවි සිටි සැමියා, බිරිද හා හත් (7) හැවිරිදි දියණිය මෙලෙස මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.

ගස කඩා වැටෙන අවස්ථාවෙදී මෝටර් රථයෙ සිටි තිදෙනා (3) එම ස්ථානයේ සිටි ජනතාව මහත් පරිශ්‍රමයක් දරා එළියට ගැනිම කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් නොවි යාන්තමින් බේරා ගැනිමට හැකිවු බවත් මෙම හත් (7) හැවිරිදි දියණිය හා මෙම යුවල දැඩි කම්පනයට පත්ව ඇති බව ඔවුන් බේරා ගැනිමට ඉදිරිපත්වු පිරිස් පැවසිය.


පස්සෙන් පන්නද්දී අලියාට වෙඩි තබා මරලා

(24.05.2024 – lankadeepa.lk)

හිදෝගම පොලිස් වසමේ, හල්මිල්ල කුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ඊයේ (23) වෙඩි තබා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය වනජීවී කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අංක 538, පලයාකුලම, හල්මිල්ලකුලම, තුරුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වන අලි රංචුවක් සැකකරුගේ බෝග වගාවන් ඊයේ (23) අලුයම 01:30 ට පමණ පැමිණි විනාශ කරමින් සිටියදී එම වන අලි රංචුව පලවා හැරීමට උත්සාහ කිරීමේදී එක් (1) වන අලියකු සැකකරු පසුපස ලුහුබැඳ පැමිණ ඇති බව වන ජීවී අංශය පවසයි.

මෙම අවස්ථාවේදී සැකකරු තම අත තිබූ බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියෙන් වෙඩි තබා එම වන අලියා ඝාතනය කර ඇති බව වන ජීවී අංශ සදහන් කලේය.

වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 පමණ වන උස අඩි 7 යි අඟල් 3 ක පමණ පිරිමි සතෙකි.

තිරප්පනය වනජීවී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම කාර්යාලයේ අඩවි සහකාර එච්.එන්.බී.ඊ. හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එහි පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඩබ්ලිව්.එල්.යූ. මදුවන්ති මහත්මිය විසින් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.

එම වෛද්‍ය වාර්තාවට අනුව වන අලියා මිය යෑමට හේතුව, ‘වෙඩි වැදීමකින් මොළයට සිදුවූ බරපතල හානි’ බවට වෛද්‍ය වාර්තා ලබා දී තිබේ.

පසුව සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කල බවද පොලිසිය සදහන් කලේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *