‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි

‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි


‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි

(24.05.2024 – 14:32 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමඟුල වෙනුවෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ සැදැහැ සිතින් සංවිධාන කරන ‘හිරු උත්තම ධාතු වන්දනා’ වැඩසටහන අද (24) පෙරවරුවේ ඓතිහාසික ‘මාතලේ අලු‍විහාර පුදබිමේදී’ ආරම්භ වුණා.

‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ට සමගාමීව පැවැත්වෙන මෙම සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව සඳහා මේ වනවිටත් දිවයිනේ සතර දෙසින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා.

‘කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන්වහන්සේ’ මෙන්ම, ‘සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ’ සියැසින් දැක – වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව ‘හිරු උත්තම ධාතු වන්දනා’ වැඩසටහනින් උදාකර දී තිබෙනවා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ඊයේ (23) රාත්‍රීයේ සිටම සැදැහැවත් ජනතාව කිලෝමීටර් ගණන් දිගු පෝලිම් වල රැඳී සිටියා.

ඒ අනුව අද (24) අලු‍යම ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා අතින් ධාතූන් වහන්සේ ඓතිහාසික මාතලේ අලු‍විහාර පුද බිමට වැඩම කෙරුණේ, හේවිසි හඩ සහ මල් වරුසා මධ්‍යයේයි.

සැදැහැවතුන්ගේ සාධු නාද මැද ඓතිහාසික මාතලේ අලු‍විහාර පුදබිමේ ඉදිකර තිබූ විශේෂ ධාතු මන්දිරයේ, ධාතූන් වහන්සේ තැන්පත් කෙරුණා.

අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨපරිෂ්කාරයෙන් යුතු උදෑසන බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව පවත්වන ආකාරයෙන්මයි.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඓතිහාසික මාතලේ අලු‍විහාර පුද බිමට වැඩම කරවීමේ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් වැඩමකර සිටි සඟරුවන අනතුරුව පිරිත් සජ්ජායනය කළා.

ඉන් අනතුරුව අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක, වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නා හිමියන් ප්‍රධාන අනුශාසනාව සිදුකළා.

ඉන් අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව සුවහසක් සැදැහැවතුන්ට උදා වුණේ මල් වරුසා මැදයි.

ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම වෙනුවෙන් ඓතිහාසික මාතලේ අලු‍විහාර පුද බිමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් ‘හිරු මාධ්‍යජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා මෙවරත් උදෑසන ආහාරය සහ දහම් පඩුරක් ලබා දුන්නා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් දහවල් සම්බුද්ධ පූජාව ද සිදු කෙරුණේ, ජීවමාන බුදුන් වහන්සේට බුද්ධ පූජාව පවත්වනවා හා සමානවයි.

+


හොර අරක්කු එක්ක ඇමති ආරක්ෂකයෙක් කොටුවෙයි

(24.05.2024 – 15:14 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී මත්පැන් සමග ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වෙසක් පෝයට නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 1000 ක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත් බවයි මැල්සිරිපුර පොලිසිය පවසන්නේ.

සැකකාර පොලිස් නිලධාරියා මැල්සිරිපුර දිග්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙම කොස්තාපල්වරයා නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මැල්සිරිපූර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා ෴


පොදු සමාවෙන් නාවික හමුදාවේ 1,289 ක් ඉවතට

(24.05.2024 – 16:59 +0530 – hirunews.lk/sinhala)

පොදු සමා කාලය තුළදී නාවික හමුදා සාමාජිකයින් 1,289 ක් බාරවී තිබෙනවා.

මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි නාවික හමුදා සාමාජිකයින් 35 ක් මාර්ගගත ක්‍රමයට බාර වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

මොවුන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම පොදු සමා කාලය 2024 අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 දක්වා ප්‍රකාශයට පත්කොට තිබුණා.

මේ අයුරින් ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසිනුයි මෙම පොදු සමා කාලය ලබාදී තිබුණේ ෴


සිරිපා මළුවෙන් පැල්මඩුල්ලට වැඩම කරවන සමන් දේව ප්‍රතිමාව

(24.05.2024 – 17:44 +0530 – hirunews.lk/sinhala)

2023-2024 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය (23) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරිම (24) දින සිදු කෙරුණා.

ඉන් එක් පෙරහැක් ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේත් වැඩම කල අතර, තවත් පෙරහැරක් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවේ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට කරඩුන් වහන්සේ නමක් රැගත් තවත් පෙරහැරක් බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරුණා.

මාර්ග හතරක් (4) ඔස්සේ වැඩම කරනු ලැබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද (24) රාත්‍රියේ සිට හෙට (25) දහවල්වන තෙක් පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර විශේෂ දේව පුජාවන් ගණනාවක් පවත්වා හෙට (25) පස්වරුවේ රිය පෙරහැරකින් එසේ වැඩම කල සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කරන තබන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.


විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400 ක්

(24.05.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින හතර (4) තුළ (මැයි 21-24) පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

එමෙන්ම 16,000 කට අධික බිඳවැටීම් ඉවත් කර ඇති අතර පස්වරු 03 වන විට පාරිභෝගිකයින් 330,000 කට පමණ විදුලි සැපයුම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විපතට පත් සියලුම පාරිභෝගිකයන් වෙත විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය විසිහතර (24) පුරා තම සේවය ලබා දෙන බවයි විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සහ සේවා කාර්ය මණ්ඩලය සඳහන් කළේ ෴

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ‘ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය’ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල ට්‍රාන්ස්ෆෝමර මතට ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බාධා එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් සිය ‘සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය’ උපරිමයෙන් කැප වී විදුලි බිද වැටීම් ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ෴


HIV වෛරසය අඩපණ කළ හැකි එන්නතක් සොයා ගනී

(24.05.2024 – 18:09 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට සමත් වී තිබෙනවා.

එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම එන්නත හරහා සිරුරට ඇතුළු වී ඇති HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි.

මෙම එන්නත හරහා සිරුර තුළ නව ප්‍රතිදේහ නිපදවන අතර අලුතින් නිපදවන එම ප්‍රතිදේහවලින් HIV වෛරසය අඩපණ කරන බවයි වාර්තා වන්නේ.

ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් යොදා ගනිමින් මේ වන විට මෙම නව එන්නත සායනික ලෙස අත්හදා බලා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන්නේ මෙම අත්හදා බැලීම් ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වූ බවයි ෴


ලංකාවේ සිව්වන (4) ජාතික රෝහල යාපනයට

(24.05.2024 – 18:36 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා ‘යාපනය රෝහල’ නුදුරේදීම ‘ජාතික රෝහලක්’ බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය’ විවෘත කිරීමේ අවස්ථාවට අද (24) එක්වෙමින්.

මේ අනුව මෙම රෝහල, ලංකාවේ සිව්වන (4) ජාතික රෝහල බවට පත්වනවා.

+


කොළඹ බදුල්ල පාර යථා තත්ත්වයට

(24.05.2024 – 19:24 +0530 – hirunews.lk/sinhala)

අවහිර වී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට පත් කොට තිබෙනවා.

වැටී තිබූ ගස් කපා ඉවත් කර අද (24) සවස මාර්ගය යළි විවෘත කළ බවයි දියතලාව පොලීසිය පැවසුවේ.

ස්ථාන හතරකට (4) ගස් කඩා වැටීම නිසා කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව – හපුතලේ අතර කොටස අද (24) අලුයම සිට අවහිර වී තිබුණා.

අද (24) අලුයම සුළං සමග පැවති වර්ෂාව හේතුවෙන් මාර්ගය දෙපස ඉවුරු කඩා වැටී අඩි සියයකට (100) වඩා උස ටර්පන්ටයින් ගස් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී තිබුණු බවයි පොලිසිය පැවසුවේ.

දියතලාව පොලිසිය, යුද හමුදාව, හපුතලේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හපුතලේ විශේෂ කාර්ය බළකාය , දැව සංස්ථාව සමග ප්‍රදේශවාසීහු මේ සඳහා දායක වුණා ෴


මන්ත්‍රී හේෂාගෙන් ක්‍රිකට් ලොක්කන්ට චෝදනා පත්‍රයක්

(24.05.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala)

එල්.පී.එල්. මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මුල සිටම දැන සිටි බවට ‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ චෝදනා කරනවා.

රත්නපුරේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ‘දඹුල්ල කණ්ඩායමේ’ හිමිකාරිත්වය දරණ බංග්ලාදේශ ව්‍යාපාරිකයා මුදලට තරග පාවාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම මගින් ඒ බව යළිත් පැහැදිලි වන බවයි.

+


රජයෙන් වැඩිකළ වැටුප් නොගෙවන සමාගම්වලට රතු එළියක්

(24.05.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala)

ඉහළ දැමූ වතු සේවක වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කර වෙනත් සමාගම්වලට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවත්, ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

අවිස්සාවේල්ල, දංගම්පල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා ෴


අභාවප්‍රාප්ත ඉරාන ජනපති සිහිපත් කරමින් දන්සැලක්

(24.05.2024 – 21:19 +0530 – hirunews.lk/sinhala)

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ‘ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි’ සිහිපත් කරමින් වැල්ලවාය පහේ කණුව ප්‍රදේශයේ ජනතාව නූඩ්ල්ස් දන්සැලක් සංවිධානය කර තිබුණා.

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේ දිවයිනට පැමිණි අවස්ථාවේ වැල්ලවායේ ප්‍රදේශයේ ජනතාව මුණගැසීමට ද පැමිණ සිටියා.

+


බෙග් මාස්ටර්ට කලිසමේ බෙල්ට් එක වෙනුවට ලණුවක් දා ගෙන සින්දු කියන්න වුණේ ඇයි ? Moina Begum | MAHARU TV (24.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *