දිවයින පුරා වෙසක් කලාප 420 ක්

දිවයින පුරා වෙසක් කලාප 420 ක්


දිවයින පුරා වෙසක් කලාප 420 ක්

(23.05.2024 – 07:56 +0530 – sinhala.adaderana.lk)

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා තොරණ 321 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරුවන් සඳහන් කළේය.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ අතර ‘දෙරණ මාධ්‍ය ජාලය’ සංවිධානය කරනු ලබන ‘මහා බත් දන්සැල’ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද (23) රාත්‍රී 08:00 ට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.

අදට (23) යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු මෙහිදි නිදහස් කිරීමට නියමිතය.

නිදහස ලබන සිරකරුවන් අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

මේ අතර අද (23) සහ හෙට (24) දිනයන්හි බන්ධනාගාර ගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ෴

සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය අදට (23) යෙදී තිබේ.

ඒ, නිමිති කරගනිමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අද (23) දිනයේ මහ වැසි නොතකා වෙහෙර විහාරස්ථානවලට රැස්වී ආගමික වතාවත්වල නිරත වුණි.

මෙවරත් දෙරණාභිවන්දනා ශ්‍රී කල්‍යාණි සදහම් වෙසක් කලාපය පැවැත්වෙන්නේ සම්බුදු පහස ලද කැලණි පුදබිමේ දීය.

මේ අතර වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් දිවයින පුරා වෙසක් කලාප 419 ක්, තොරණ 321 ක් සංවිධාන කර තිබේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටළඟ, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවරත් විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණි.

එමෙන්ම කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන වෙසක් කලාප ගණන 5 කි.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල නවීන තාක්ෂණය ඔස්සේ සිදුහත් උපත ප්‍රදර්ශනය කිරීමත් විශේෂත්වයකි.

මීට අමතරව දිවයින පුරා දර්ශනීය පහන් කූඩු රාශියක්ද නිර්මාණය කර තිබේ.

වෙසක් උත්සවයට සමගාමීව මේ වනවිට දිවයින පුරා දන්සල් 3260 ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේය ෴

++++++++++

කෑම ටිකක් කාලා යන්න ඔබත් එන්න ශ්‍රී ලංකාවේ ලොකුම දන්සලට

(23.05.2024 – 10:19 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල ටීවී දෙරණ සංවිධායකත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී මේ වනවිට පැවැත්වෙයි.

24 පැය පුරා පැවැත්වෙන දෙරණ දන්සල ට පැමිණෙන ඔබට ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවෙයි.

+


ගාලු පාර කළුතර පාලම අසලින් අවහිර වෙයි

(23.05.2024 – 10:35 +0530 – sinhala.adaderana.lk)

කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබේ.

ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

ගස කඩා වැටීමත් සමග මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර, මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

+


අමනාපවී ගෙදරින් පළාගිය දරුවා මහණ කර සිටියදී හමුවෙයි

(23.05.2024 – 15:10 +0530 – sinhala.adaderana.lk)

මිත්තණිය සමග අමනාව වී නිවසින් ගොස් අතුරුදන් වූ දරුවා මහණ කර සිටියදී හමුවී තිබේ.

මදුරන්කුලිය පොලීසිය සඳහන් කළේ හිමිනමක් විසින් දරුවාව රැගෙන ගොස් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී මහණ කර සිටියදී සොයාගත් බවය.

මෙලෙස මහණ කර ඇත්තේ මදුරන්කුලිය නගරයට ආසන්නයේ නිවසක පදිංචිව සිටි මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි ‘ගගන නෙතුසර ප්‍රියනන්දන’ නමැති දරුවෙකි.

ඔහු සහෝදර සහෝදරියන් තිදෙනෙකු (3) ගෙන් සමන්විත පවුලක වැඩිමල් දරුවා වන බවද පොලීසිය කියයි.

මෙම දරුවා පසුගිය 18 වනදා දින මදුරන්කුලිය සිය මිත්තණියගේ නිවසේ සිටියදී රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිට ඇති අතර එහිදී මිත්තණිය ප්‍රිය කරන වැඩසටහනක් නොදැමීම නිසා මිත්තණිය විසින් දරුවාට බැණවැදී තිබේ.

ඉන් සිත්තැවුලට පත් දරුවා නිවසින් පිටව ගොස් තිබුණි.

නිවසින් ගිය දරුවා පිළිබඳව මදුරන්කුලිය පොලීසිය විසින් කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පුලිච්චාකුලම දක්වා ගමන් කරන දර්ශන මාර්ගය දෙපස CCTV කැමරා පද්ධතිවල සටහන්ව තිබූ බවය.

නමුත් ඉන් ඉදිරියට දරුවා ගමන් කරනු ලබන CCTV දර්ශන හමුවී නොමැත.

නිවසින් අතුරුදන් වූ දරුවා පිළිබඳව මාධ්‍ය මගින් දිගින් දිගටම හෙළි කිරීමත් සමග මෙම දරුවා කතරගම විහාරස්ථානයක මහණ කර සිටින බවට කතරගම පොලීසියට ඊයේ (22) උදෑසන තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය දරුවාව පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම දරුවාව පුත්තලම පාලවිය විහාරස්ථානයක වාසය කරනු ලබන භික්ෂුවක් විසින් මහණ කිරීමට මෙම විහාරස්ථානයට භාරදී ඇති බවය.

එසේ භාරදීමේ දී ‘දරුවාගේ මව බව පවසමින් කාන්තාවක් ඉදිරිපත් කර ඇති බව’ ද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඒ අනුව කතරගම පොලීසිය ලබාදුන් තොරතුරු මත මදුරන්කුලිය පොලීසිය විසින් මෙම දරුවා මහණ කිරීමට භාර දුන් බව කියන භික්ෂුව අත්අඩංගුවවට ගැනීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

+


තුවක්කු ආඥා පනත සංශෝධනය කිරීමට අනුමැතිය

(23.05.2024 – 18:31 +0530 – sinhala.adaderana.lk)

ගිනිඅවි බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කිරීමේ අරමුණින් තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බව සඳහන් ය.

1916 අංක 33 දරන තුවක්කු ආශා පනත හා 1996 අංක 22 දරන තුවක්කු සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනිඅවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කිරීම සිදු වෙයි.

මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ගිනිඅවි ප්‍රමාණය 34,318 ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 45 ක් පමණ මුදලක් මහා භාණ්ඩාගාරය වෙත බැර කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අදාළ පනත් සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින නමුත් එම සංශෝධන සිදුකරන තෙක් අදාළ බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත ෴


සහන පොලී යටතේ ණය දීමේ වැඩසටහනක් රජයෙන්

(24.05.2024 – 07:26 +0530 – sinhala.adaderana.lk)

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, කර්මාන්තකරුවන් වෙනුවෙනි.

මේ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බවද වාර්තා විය ෴


මෝටර් රථයක් පෙරළී 6 හැවිරිදි දරුවෙක් මරුට

(24.05.2024 – 07:38 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

මෙම අනතුර ඊයේ (23) අලුයම ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය වීමේදී සිදුවී තිබුණි.

වැඩි විස්තර පහතින් :


ගසක අත්තක් කඩා වැටී තවත් මරණයක්

(24.05.2024 – 08:53 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගසක අත්තක් කඩාවැටී එයට යටවීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ (23) රාගල මහකුඩුගල රක්ෂිත ප්‍රදේශයකදී ය.

මියගොස් ඇති පුද්ගලයා 38 හැවිරිදි හයිෆොරස්ට් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලයින් 05 දෙනෙකු දර එකතු කිරීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය ෴


වෙඩිතැබීමකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

(24.05.2024 – 09:02 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 08 වනදා අහුංගල්ලේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ අතර ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) දින ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 28 වන වියේ පසුවන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු විසින් වෙඩිතැබීම සඳහා ඔත්තු බලා ඇතැයි පොලීසිය සැකකරයි ෴


අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි

(24.05.2024 – 10:14 +0530 – sinhala.adaderana.lk)

රාගම නාරංගොඩපාළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අනියම් සබඳතාවක් හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔවුන් දෙදෙනා (2) රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *