එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට

එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට


එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට

(23.05.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

30 හැවිරිදි, කලුතර ප්‍රදේශයේ පදිංචි, පිළිස්සුම් තුවාල ලැබූ මෙම පුද්ගලයා දින කිහිපයක සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගියදා මෙම රෝගියාට තුවාල ආසාදනය වීම වළැක්වීම සඳහා ‘චෙෆියුරොක්සින්’ නැමති ප්‍රතිජීවක ඖෂධයේ පළමු (1) මාත්‍රාව ලබා දී තිබුණා.

ඉන් අනතුරුවයි ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මීට පෙරද ප්‍රතිජීවක එන්නත් ලබා දීමේදී ඇති වූ ආසාත්මිකතා මත පුද්ගලයින් මිය යෑමේ සිද්ධීන් වාර්තා වී තිබුණා.

එවන් පසුබිමකයි ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු 8 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින්නේ.

‘චෙෆියුරොක්සින්’ නැමති මෙම ප්‍රතිජීවක ඖෂධය ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන සමයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වූ ඖෂධයක් බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ ෴


අතරමග නැවතුණු තරු හෝටලයේ ඉදිකිරීම් රජයෙන්

(23.05.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

‘කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය’ ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත්, රජය ඊට මැදිහත්ව ඉදිකිරීම් සිදුකරන බව ‘නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු’ පවසනවා.

ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60 ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා.

කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා.

ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි.”


‘ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල’, ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

(23.05.2024 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි (3) ජාතික රෝහල බවට පත්වනු ඇති ෴


විදෙස් නඩු තීන්දු මෙරටදී පිළිගන්න නව නීතියක්

(23.05.2024 – 11:54 +0530 – hirunews.lk/sinhala)

විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්‍රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබනවා.

එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇති බවද රජය පවසනවා.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ‘අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා’ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴


‘දඹුල්ල තන්ඩර්ස්’ හිමිකාරීත්වයේ වෙනසක්

(23.05.2024 – 12:16 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව LPL සංවිධායකයින් නිවේදනය කරනවා.

‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ඊයේ (22) කටයුතු කළා.

ඒ අනුව එහි හිමිකාරීත්වයේ වෙනසක් සමඟ මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ ෴


වළ දැමූ උණ්ඩ තොගයක් හමුවෙයි

(23.05.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වළ දමා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ ඇතුලු තවත් උණ්ඩ තොගයක් හමුවී තිබෙනවා.

පලාලි පන්නාලෙයි ප්‍රදේශයේ ඉඩමක තිබියදී මෙසේ ජීව උණ්ඩ පෙට්ටි 50 ක් සොයගෙන ඇති බවයි පලාලි පොලිසිය පැවසුවේ.

උණ්ඩ තොගය අතර මිලි මීටර් 7.62 සහ 12.07 වර්ගයේ පතුරම් රැසක් හමුවී තිබුණා.

හුණුගල් වැඩපොලක සිදුකළ කැණීමකදී මෙම උණ්ඩ හමුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ ෴


මාස කිහිපයකින් මත්ද්‍රව්‍ය රටින් තුරන් කරනවා

(23.05.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ ‘සුවසාර කැදැල්ල’ ප්‍රජාපාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩසටහනේ පළමු (1) අදියර නිමාවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එම උත්සවය බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදි පැවැත්වුණා.

එහිදි පුනරුත්ථාපනය ලැබු පන්සියයකට (500) ආසන්න පිරිසක් යළි සමාජගත කෙරුණා ෴


ජෙනරේටරයක් පිය පුතු දෙදෙනා බිලිගනී

(23.05.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද (23) අලුයම ජිවිතක්ෂයට පත් වි ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියෙකු සහ 17 හැවිරිදි ඔහුගේ පුත්‍රයායි.

වෙසක් දිනය නිමිත්තෙන් පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්විම සදහා සුදානම් වෙමින් සිටියදී ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිටිම නිසා ‘කාමරයක් තුල විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගොස් ඇති’ අතර, අලුයම දෙදෙනා (2) අවදි නොවු නිසා ඒ පිලිබදව දන්සැල සංවිධානය කිරිමට පැමිණ අනෙක් අය විසින් පුපුරැස්ස පොලිසිය දැනුම් දී තිබෙනවා.

පුපුරැස්ස පොලිසියේ නිලධාරින් ඒ පිලිබදව සොයා බැලිමේදි පුතා සහ පියා ජිවිතක්ෂයට පත් වි ඇති බවට තහවුරු වු නිසා සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමෙන් පසු ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් කාන්ති ප්‍රනාන්දු විසින් සිදුකළ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගම්පොළ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට පුපුරැස්ස පොලිසියට නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වු ‘කාබන්මොනොක්සයිඩ් වායුව’ අග්‍රාහණය විමෙන් දෙදෙනා (2) ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴


ශ්‍රීලන්කන් මිලදී ගන්න ප්‍රමුඛතම සමාගම් තුනක් (3) එක්වෙයි ?

(23.05.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

‘ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හේලීස් සහ එයිට්කන් ස්පෙන්ස්’ යන ප්‍රමුඛතම සමාගම් වලින් සමන්විත එකමුතුවක් ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රීලන්කන් ගුවන් සේවයේ’ කොටස් බහුතරය ලබාදී ඔවුන්ට එය කළමනාකරණය කිරීමට ලබාදීම සම්බන්ධව සළකා බැලීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇත්තේ ජාතික ගුවන් සේවයේ රාජ්‍ය හිමිකාරිත්වය සැලසුම්සහගතව ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ බෙදා හැරීමේ විෂය පථය පුළුල් කිරීමේ තීරණයෙන් පසුවයි.

දේශීය එකමුතුව පිළිබඳ යෝජනාව පැමිණෙන්නේ ජාතික ගුවන් සේවයේ සම්පූර්ණ රාජ්‍ය හිමිකම විකිණීම සඳහා සුදුසුකම් සඳහා වූ මුල් ඉල්ලීමට ගෝලීය වශයෙන් ඇති ප්‍රතිචාර දැක්වීම දුර්වලවීමෙන් පසුවයි.

වාර්තා වන පරිදි කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීමේදී මුල් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියෙන් පාර්ශ්ව තුනක් (3) කෙටි ලැයිස්තුගත කිරීම අනුමත කර තිබෙනවා.

ඒවා නම් MMAG Aviation Consortium Sdn Bhd (MAC) සමඟ ගිවිසුමක් ඇති කර ගත් මැලේසියාවේ Air Asia උපදේශන සමාගම, Hayleys PLC සහ Supreme Global Holdings / Sherisha Technologies Ltd. යන පාර්ශ්ව වේ.

අභිලාෂ කැඳවීම් සඳහා ප්‍රතිචාර දැක්වූ සහ කෙටි ලැයිස්තුගත කළ අනෙක් අය වූයේ FitsAir, Dharshaan Elite Investment Holding Ltd. සහ Treasure Republic Guardians Ltd ය ෴


නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

(23.05.2024 – 16:42 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාගය සඳහා අයදුම්කරුවන් 3580 ක් ඉදිරිපත් වී සිටි අතර ඉන් අයදුම්කරුවන් 3422 ක් සමත් වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

ඒ අනුව, විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මේ මස 28 වනදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන ජුනි මස 06, 07 සහ 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන සහ පුහුණු මධ්‍යස්ථාන තුළ පැවැත්වෙනවා ෴


පාන් ගෙඩියක තිබි ‘වීදුරු කටු’ හමුවෙයි

(23.05.2024 – 17:21 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ මරුදනාර්මඩ් ප්‍රදේශයේ වෙළඳසැලකින් මිල දී ගත් පාන් ගෙඩියක තිබි ‘විදුරු කටු කැබලි’ හමු වී තිබෙනවා.

මෙම ‘වීදුරු කැබලි’ හමු වී ඇත්තේ පුද්ගලයෙකු පාන් ගෙඩියක් ආහාරයට ගැනීමට යාමේදී.

මේ පිළිබඳව එම ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු මේ පිළිබඳව විමර්ශන සිදුකරන ඇති බවයි සඳහන් වන්නේ ෴


යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු (3) දුම්රියක ගැටී ජීවිතක්ෂයට

(23.05.2024 – 19:17 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු (3) දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ, ගාල්ල, බූස්ස, පින්තාලිය හන්දියේ ආරක්ෂක හරස් මාර්ගයේදී බවයි සඳහන් වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමට අයත් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 18, 19, 19 හැවිරිදි තරුණයින් තිදෙනෙක් (3).

ඔවුන් අද (23) සවස යතුරුපැදියේ ටයරයක් මාරු කරගෙන දන්සල්වලට යාම සඳහා පැමිණෙමින් සිටිය දී දුම්රියේ හැපි ඇති අතර, තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා (2) කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසනවා ෴


සජබෙන් රාජතාන්ත්‍රික මෙහෙයුමක්

(23.05.2024 – 20:28 +0530 – hirunews.lk/sinhala)

‘මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ’ සහ ‘රුසියානු යුද්ධය’ට එක්ව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම සඳහා ‘සමගි ජන බලවේගයෙන්’ රාජතාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව, ‘සමගි ජන බලවේගයේ’ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මග පෙන්වීම මත මන්ත්‍රීවරු කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට පිටත්කර හැරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මෙලෙස මියන්මාරයට සහ රුසියාවට යන කණ්ඩායමට ඇතුළත්.

මෙරට ත්‍රෛනිකායක මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතු සංදේශයක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංදේශයක් එම මන්ත්‍රීවරු මෙම රටවල් වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

මෙම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී ඊයේ (22) විපක්ෂ නායකවරයා සමග සාකච්ඡාවකටද එක් වූ අතර එම අවස්ථාවට මියන්මාරයේ රඳවාගෙන සිටින තරුණ තරුණියන්ගේ දෙමාපියන් කිහිපදෙනෙකුද එක්ව සිටියා.

මියන්මාරයේ ත්‍රස්ත කදවුරුවල මෙරට තරුණ තරුණියන් රඳවා ගෙන සිටින බවට සහ රුසියානු – යුක්‍රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සෙබලු‍න් එක්ව සිටින බවට ‘හිරු ප්‍රවෘත්ති’ මගින් පළමුවරට අනාවරණය කළා.

+


ජනපති ධූර කාලයේ දිගුවක් නැහැ

(23.05.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අද (23) කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත් සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයක් ද ගෙන නොමැති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *