සම්බුදු තෙමඟු‍ල සැමරීමට රටම සූදානම්

සම්බුදු තෙමඟු‍ල සැමරීමට රටම සූදානම්


සම්බුදු තෙමඟු‍ල සැමරීමට රටම සූදානම්

(22.05.2024 – 17:11 +0530 – hirunews.lk/sinhala)

මෙවරත් වෙසක් උත්සවය හරසරින් සැමරීමට ජනතාව සුදානමින් පසුවන්නේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන් දෙමින්.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් සහ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කියා සිටියේ වෙසක් සැමරුම් විනෝදාස්වාදය උදෙසා නොව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සිදු කරන ලෙසයි.

වෙසක් උත්සවය නිමිති කරගනිමින් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ප්‍රකාශ කළා.

වෙසක් පොහොය නිමිත්තෙන් සියලු‍ සුරාසැල් හෙට (23) සහ අනිද්දා (24) වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර වෙසක් පොහොය නිමිති කරගනිමින් ත්‍රිරෝද රථවල බෞද්ධ කොඩි සවි කිරීම කොළඹ බෞද්ධාලෝක මාවතේදී අද සිදු කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

+


කොළඹ තොරණ 11 ක් ප්‍රදර්ශනයට

(22.05.2024 – 12:29 +0530 – hirunews.lk/sinhala)

මෙවර වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ නගරයේ වෙසක් තොරණ 11 ක් ප්‍රදර්ශනය කරනවා.

මේ අතර වෙසක් කලාප 4 ක් කොළඹ නගරය තුළ පැවැත්වෙනවා.

මීට අමතරව කොළඹට තදාසන්න නගරවල හා පිට පළත්වල තොරණ හා වෙසක් කලාප මෙන්ම දන්සැල් ‍රැසක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ ෴


වෙසක් පොහොය නිමිත්තෙන් ‘නෙළුම් කුළුණ’ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරයි

(22.05.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහොය නිමිත්තෙන් ‘නෙළුම් කුළුණ’ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව ‘සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගම’ පවසනවා.

ඒ අනුව හෙට (23) සහ (24) ‘නෙළුම් කුළුණ’ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරනු ඇත.

කොළඹ ‘නෙළුම් කුළුණේ’ විශ්මය ජනක දසුන් සමඟින් මෙවර වෙසක් උත්සවය අමතක නොවන අත්දැකීමක් බවට පත්කර ගන්නා ලෙස කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ‘නෙළුම් කුළුණේ’ කළමනාකාරිත්වය, වෙසක් සමයේ ඔවුන්ගේ නවතම ‘පික්සල් බ්ලූම්’ මෙහෙයුම් වේලාවන් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴


‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ මාතලේ අලු‍විහාර පුදබිමට

(22.05.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)

තිලෝගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල වෙනුවෙන් ‘හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය’ සංවිධාන කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ මෙවර පැවැත්වෙන්නේ, ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිම කේන්ද්‍ර කරගනිමින්.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ‘හිරු උත්තම ධාතු වන්දනාව’ ද ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී පැවැත්වෙන්නේ ඊට සමගාමීවයි.

මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඩ කළ ත්‍රිපිටකය තවත් චිරාත් කාලයක් සංරක්ෂණය කරනු වස් රුපියල් කෝටි 4 කට අධික පිරිවැයකින් ‘ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරයක්’ ඉදිකිරීමද මෙවර ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ’දී ආරම්භ කෙරෙනවා.

ඓතිහාසික මාතලේ අලුවිහාර පුණ්‍ය භූමියේදී දාන, ශීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන්ම උත්තම මුණිරදුන් පුදන ‘හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යය’ හෙට (23) අරුණලු නැගෙන පැයේ සිට ආරම්භ වනවා.

මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

ඒ අනුව, කාව්‍යමය ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු දෙලොවටම වැඩ සලසන පුණ්‍ය ක්‍රියා රැසක් හෙට (23) දවස පුරා ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිමේදී පැවැත්වීමට නියමිතයි.

මෙලොව බුදුදහමේ චිරස්තිථිය උදෙසා වලගම්බා රජු සමයේ මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඩ කළ ත්‍රිපිටකය තවත් චිරාත් කාලයක් සංරක්ෂණය කරනු වස් ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත රුපියල් කෝටි 4 කට අධික පිරිවැයකින් යුතුව ඉදිකෙරෙන ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය සඳහා මුල්ගල් තැබීම මෙම සියලු පුණ්‍යකර්මයන්ට සමගාමීව සිදු වන තවත් මාහැඟි කටයුත්තක්.

එමෙන්ම ඓතිහාසික මාතලේ අලුවිහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා නෙළුම් මල් දහස් ගණනින් පූජා කිරීමත්, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අධිෂ්ඨාන පූජා පැවැත්වීමත් හෙට (23) සිදු කෙරෙනවා.

ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ඓතිහාසික ‘මාතලේ අලුවිහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ’ වෙත ආලෝක පූජා පැවැත්වීම හෙට (23) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

හෙට (23) උදෑසන 05:30 සිට මේ සියලු පිංකම් දවස පුරා සිදු කෙරෙන්නේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ භාරකර අතිපූජ්‍ය අලුවිහාරයේ සරණංකර නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මතයි.

‘හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යය’ට සමගාමීව පැවැත්වෙන ‘හිරු උත්තම ධාතු වන්දනා – කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව’ ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී අනිද්දා, එනම් 24 වැනිදා ආරම්භ වනවා.

‘හිරු උත්තම ධාතු වන්දනාව’ වෙනුවෙන් ‘කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ’ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මාතලේ අලුවිහාර පුදබිමට වැඩමකෙරෙනු ඇති.

දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සලසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ලබන 26 වැනිදා උදෑසන දක්වා මාතලේ අලුවිහාර පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.

ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිම වෙසක් සිරියෙන් අසිරි ගන්වමින් ඒකාලෝක කෙරෙන ‘හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යයේ’ සජීවී රූපාවලිය ‘හිරු ටී.වී.’ ඔස්සේ හෙට (23) අලුයම සිට සජීවීව දැකබලා ගැනීමට සැදැහැවත් ඔබටත් අවස්ථාව හිමිවනවා.

+

+


දළදා මාලිගාවේ වෙසක් දන්සැලක්

(22.05.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala)

වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව විශේෂ දන්සැලක් සංවිධානය කොට තිබෙනවා.

ඒ අනූව හෙට (23) සහ (24) දෙදින ‘මහනුවර ශ්‍රී දළදා මාලිගාව’ට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් 300,000 ක් වෙනුවෙන් දන්සැල පවත්වනවා.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ උපදෙස් මත ‘ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය’යි මෙම දන්සැල් කලාපය පවත්වන්නේ ෴


දන්සල් 3,000 කින් රටේම බඩගිනි නිවන හෙට (23) වෙසක් සැමරුම්

(22.05.2024 – 20:21 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමඟු‍ල ශ්‍රද්ධාවෙන් සැමරෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් දිවයින පුරා වෙසක් තොරණ , දන්සැල් ඇතුළු ආමිස පූජාවන් රැසක් හෙට (23) සංවිධාන කර තිබෙනවා.

මේ අතර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.

දිවයින පුරා වෙසක් කලාප 419 ක් පමණ ක්‍රියාත්මක අතර තොරණ 321 ක් මෙවර ප්‍රදර්ශනයට කෙරෙනවා. දන්සල් 3000 කට අධික සංඛ්‍යාවක්ද සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙසක් උත්සවය වෙනුවෙන් හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින පුරා දන්සල් 3000 කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා ෴


‘අරගලයේ’ නඩු භාණ්ඩ වෙන්දේසියට අවසර

(22.05.2024 – 23:28 +0530 – hirunews.lk/sinhala)

‘ගාලුමුවදොර අරගල භූමියේ’ දී 2022 වසරේ මැයි 09 වැනිදා සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් (2) ඇතුළත වෙන්දේසි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ නඩුව අද (22) කැඳවූ අවස්ථාවේදීයි.

2022 වසරේ අප්‍රේල් 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි අරගලයෙන් මාසයකට (1) පසු එනම් එම වසරේ මැයි 09 වැනිදා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කළ පිරිසක් හා ගාලුමුවදොර අරගලකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.

වාහන ගිනි තැබීම්, දේපළ හානි මෙන්ම දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඉන් පසුව ​සිදුවූ අතර එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ රැසක් අධිකරණයේ තැන්පත් කර තිබුණා.

එම නඩු භාණ්ඩවලට අදාළ නඩුව අද (22) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඉදිරියේ කැඳවනු ලැබුවා එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එලෙස අධිකරණයේ පවතින අරගල භූමියේ තිබූ දේපළ මාස දෙකක් (2) තුළ වෙන්දේසි කර එහි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසයි.

විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදුන්නේ පැදුරු, කොට්ට, ජෙනරේටර් ඇතුළු එම භාණ්ඩවලට අයිතිවාසිකම් කීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන්.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නඩුවේ විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා එම ගොනුව යොමු කර ඇති බවයි.

මෙම සිද්ධියේදී සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බව එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අනෙක් සැකකරුවන් 36 දෙනාගෙන් 30 දෙනෙකු අද (22) විවෘත අධිකරණයේ පෙනී සිට තිබුණා.

මෙම සිද්ධියට අදාළ නඩුව නැවත නොවැම්බර් මස 06 වෙනිදා කැඳවීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *