නංගිගේ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ඩෙන්මාර්කයට ගිය අක්කා අත්අඩංගුවට

නංගිගේ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ඩෙන්මාර්කයට ගිය අක්කා අත්අඩංගුවට


නංගිගේ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ඩෙන්මාර්කයට ගිය අක්කා අත්අඩංගුවට

(22.05.2024 – 15:56 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේදී තම සහෝදරියගේ විස්තර හා තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ඩෙන්මාර්කය වෙත ගිය කාන්තාවක් ආපසු යාපනයට පැමිණි පසුව යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය වැඩිමල් සොහොයුරිය විදේශ ගත වීමෙන් පසුව ඇයගේ නැගණියටද විදේශ ගතවිමට අවශ්‍යතාවයක් ඇති වී ඇය 2019 වසරේදී ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රයක් යොමු කළ විට ඇගේ නමට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කොට අති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැණුම් දී තිබෙනවා.

පසුව ඇයත් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබූ අතර ඩෙන්මාර්කයේ සිට අදාල කාන්තාව යාපනයට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇයව අත්අඩංගුවට ගනීමට හැකි වී ඇත්තේ ඇය විසින් සිය මවගේ මරණයට සහභාගි වීම සදහා යාපනයට පැමිණ යාපනයේ බැංකුවක අලුතින් බැංකු ගිණුමත් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ඇගේ ජාතික හදුනුම්පත් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත නිකුත් කොට තිබූ නිවේදනයක් හේතුවෙන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴


දෙමස්සිනාලගේ ගැටුමෙන් මස්සිනෙක් මරුට

(22.05.2024 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මොරොන්තුඩුව පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ මස්සිනා අතර ඇති වූ මතභේදයක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ බණ්ඩාරගම, වලගම ප්‍රදේශයේ පදිංචි ලසන්ත පුෂ්ප කුමාර නැමැති 30 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සිය මිතුරන් පිරිසක් සමග යතුරුපැදිවලින් මොරොන්තුඩුව පොල්හේන ප්‍රදේශයේ පදිංචි සිය නැගණියගේ නිවසට ආයුධ සන්නද්ධව ඊයේ (21) රාත්‍රියේ ගොස් තිබෙනවා.

ඒ, නැගණියගේ ස්වාමිපුරුෂයා සමග පැවැති දීර්ඝ කාලීන ආරවුලක් හේතුවෙන්.

එහිදී නිවසේ සිටි නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ පියා මෙම තරුණයාට පහර දී ඇති අතර ඔහු සමග පැමිණි මිතුරන් නැවත බණ්ඩාරගම නගරයට පැමිණ තිබෙනවා.

සිය නැගණියගේ නිවස අසල අතුරු මාර්ගයක තුවාල සහිතව වැටී සිට ඇති තරුණයා පසුව ගෝනදුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිසිය සදහන් කළේ.

මියගිය පුද්ගලයාගේ මස්සිනාද කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී මොරොන්තුඩුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


කොට්ටාව සිද්ධියට මාස 11 කට පසු කොටු වූ දෙදෙනා (2)

(22.05.2024 – 16:40 +0530 – hirunews.lk/sinhala)

මීට මාස 11 කට පෙර කොට්ටාව – හොරණ මාර්ගයේ පෞද්ගලික රසායනාගාරයක් තුලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩ 46 ක් සහ හෙරොයින් ග්‍රෑම් 25 ක් සැකකරුවන් සතුව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් කොට්ටාව සහ සිද්ධමුල්ල ප්‍රදේශවල පදිංචි 22 සහ 26 හැවිරිදි පුද්ගලයින් වන අතර සැකකරුවන් අද (22) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඉන්දියාවේදී ඇල්ලූ ISIS ත්‍රස්තයින් අතර ‘පොට්ට නවුෆර්’ගේ පුත්‍රයත්

(22.05.2024 – 17:06 +0530 – hirunews.lk/sinhala)

‘අයි.එස්.අයි.එස්. සංවිධානය’ සමග සම්බන්ධ බවට සැකපිට ‘ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධි බළකාය’ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිවුදෙනා (4) ඉන්දියාවට යැවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 33 හැවිරිදි මොහොමඩ් නුස්රාත්, 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් සහ 43 හැවිරිදි මොහොමඩ් රෂ්ඩීන් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් මීගමුව, ග්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පොට්ට නවුෆර්’ ගේ පුත්‍රයා ද වන බවට තොරතුරු හෙලිවී තිබෙනවා.

මෙම සැකකරුවන්ගේ ‘අයි.එස්.අයි.එස්.’ සබඳතා හෙළිකර ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර ඇති අතර මෙම සැකකරුවන් හෙළිකරන තොරතුරු මෙරටට ලබාදෙන ලෙස ඉන්දීය ආරක්ෂක අංශ වෙතට ඉල්ලීමක් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

+

+


‘විදුලි සංදේශ පනත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(22.05.2024 – 21:24 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පත’ට එරෙහිව අද (22) ශ්‍රේෂ්ඨාදිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

‘ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය’ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේ එම පනත් කෙටුම්පතේ පවතින ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන ලෙස ඉල්ලමින්.

‘1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත’ සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙම යෝජිත ‘විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතේ’ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන ලෙස ඉල්ලා ‘ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය’ අද (22) ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අටවැනි (8) වගන්තිය තුළින් ‘විදුලි සංදේශ නියාමන කොමිසම’ට ගැටලු නිරාකරණය හා විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් අත්තනෝමතික බලයක් පැවරී තිබෙන බවයි.

එම වගන්තිය හරහා ‘විදුලි සංදේශ නියාමන කොමිසම’ට අත්තනෝමතික ආකාරයෙන් විධාන නිකුත් කිරීමටත් බලය පැවරී තිබෙන බවත් මේ හරහා ‘අධිකරණ ස්වාධීනත්වය’ට ද බලපෑම් සිදුවන බවත් පෙත්සමේ සඳහන්.

ගුවන් විදුලි තරංග නිකුත් කිරීමට අදාළවද කොමිසම වෙත අත්තනෝමතික බලයක් මෙමගින් පවරා දී ඇති අතර ඒ හරහා ගුවන් විදුලි තරංග වෙන්කර බෙදා දීමේදී පාර්ශව කරුවන් විවිධ අක්‍රමිකතාවන්ට මුහුණ දීමට හැකියාවක් තිබෙන බවටද පෙත්සම මගින් අනතුරු අඟවා තිබෙනවා.

යෝජිත ‘විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතේ 11 වැනි වගන්තිය’ යටතේ විවිධ දඩ මුදල් පැනවීමට කොමිසමට බලය පවරා දී ඇති අතර ඒ තුළින් අධිකරණය සතු බලය පැහැර ගැනීමක් සිදුවී ඇති බවද පෙත්සමේ සඳහන්.

පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විකාශන බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ කොන්දේසි හා විධාන පැනවීමේ අත්තනෝමතික බලයක් කොමිසම වෙත පවරාදී ඇති බවයි.

පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය යටතේ කොමිසම විසින් නිකුත් කරන කොන්දේසි හා විධානයන් උල්ලංඝනය කරන අවස්ථාවක දැනට නිකුත් කර තිබෙන විකාශන බලපත්‍ර ආපසු කැඳවීමේ අත්තනෝමතික බලයක් විෂය භාර අමාත්‍යවරයාට සලසා දී ඇති බවත් පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙනවා.

මෙම පනත ක්‍රියාත්මක වුවහොත් විද්‍යුත් විකාශන ක්ෂේත්‍රයේ පවතින ස්වාධීන භාවය සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩකඩ පවතින බවයි පෙත්සම්කාර ‘ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය’ පෙන්වා දෙන්නේ.

මෙම පන්තේ ඇතැම් කරුණු හරහා මෙරට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ මඟින් සහතික කර ඇති ‘මූලික මිනිස් අයිතිවාසිකම්’ උල්ලංගණය කිරීමක් සිදුවන අතර ඒවා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ’ ප්‍රතිපාදනවලට පටහැනි බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කාර ‘විද්‍යුත් විකාශකයින්ගේ සංසදය’ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

+


“කැඩිල කියල මම දන්නව. හදන්න සල්ලි නෑ” – ඇමති බන්දුල ගුණවර්ධන

(22.05.2024 – 21:48 +0530 – hirunews.lk/sinhala)

රටපුරා පාලම් 30 ක් ඉතා අවදානම් තත්ත්වයේ පවතින බව තමා දන්නා බවත්, ඒවා සකස් කිරීමට මුදල් නොමැති නම් තමා කුමක් කරන්නේදැයි ‘ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය’ බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

රටතුල ඉතා අන්තරාදායක තත්වයේ පවතින පාලම් 30 ක් තිබෙන බවත්, කොයි මොහොතක හෝ එම පාලම් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අධිවේගී මාර්ග වලින් වසරකට රුපියල් බිලියන 05 ක ලාභයක් ලැබුවත්, එම මාර්ග වලට ලබාගත් විදේශ ණය ගෙවීමටවත් එම මුදල ප්‍රමාණවත් නොවන බවයි ෴


‘වතු කම්කරු රුපියල් 1700 වැටුප’ ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ

(22.05.2024 – 22:01 +0530 – hirunews.lk/sinhala)

වතුකරයේ කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700 ක් ලෙස නියම කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

‘කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ’ ලේකම් වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය ‘මැයි දිනය’දා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවනු ඇති.

2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ෴

+

2385/14 2024-05-21 අති විශේෂ ගැසට් පත්‍ර :
Ministry of Labour and Foreign Employment – Wages Board for the Tea Growing and Manufacturing Trade. Wages Board for the Rubber Growing and Raw Rubber Manufacturing Trade. (pdf files)
[Sinhala][Tamil][English]


පොලිස් භාරයේදී මියගිය තරුණයා ගැන ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ කළ කතාවට සහෝදරයාගෙන් ප්‍රතිචාරය

(22.05.2024 – 22:58 +0530 – hirunews.lk/sinhala)

‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ භාරයේ සිටියදී මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව එම තරුණයාගේ සහෝදරයා පවසනවා.

අදාළ තරුණයා මියයෑමට හේතුව ඔහුගේ සහෝදරයා විසින් ‘උත්තේජන පානයක්’ ලබාදීමෙන් පසු ඇති වු ආසාත්මිකතාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ (21) සඳහන් කළේ.

මිනුවන්ගොඩ – හොරම්පැල්ල – වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ‘විහඟ ප්‍රමුදිත පතිරණ’ නමැති මෙම තරුණයා ‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ භාරයේ සිටියදි මියගිය පුවත ‘හිරු ප්‍රවෘත්ති’ පසුගිය 19 වැනිදා වාර්තා කළා.

මියගිය විහඟගේ ඥාතීන් පැවසුවේ පසුගිය අප්‍රේල් මස 22 වැනිදා පස්වරුවේ ‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබු බවට අනාවරණ වූ බවයි.

නමුත් ‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ ඔහුව අත්අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කළ ද එම කොට්ඨාසයට ඇමතුමක් ලබාදුන් අවස්ථාවකදි ඔහුට පහරදෙන හඬ ඇසුණු බවත්, ඥාතීන් සඳහන් කළා.

එලෙස ලබාදුන් දුරකථන ඇමතුමක හඬ පටයක් ද ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ භාරයේ පසු වු විහඟ අත්අඩංගුවේ සිට අධිකරණයට රැගෙන යෑමට සූදානම්කර සිටියදි පසුගිය අප්‍රේල් මස 24 වැනිදා මියගොස් තිබුණා.

විහඟගේ ඥාතීන් චෝදනා කළේ ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ විමර්ශන නිලධාරීන්ගේ පහරදීම් හේතුවෙන් විහඟ ජීවිතක්ෂයට පත්වූ බවයි.

මේ සම්බන්ධයෙන් ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ ගෙන් එදින අප විමසීමක් කළත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ ඊයේ (21) සඳහන් කළේ සහෝදරයා විසින් තරුණයාට දුන් පානයක් හේතුවෙන් ආසාත්මිකව ඔහු මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විහඟගේ සහෝදරයා අදහසක් පළ කළා.

මේ අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විහඟගේ සහෝදරයා සහ පියා පොලිස් විශේෂ විමර්ශන එකකයට අද (22) කැඳවා තිබුණා.

පැය කිහිපයක් ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දි තිබු අතර, මරණය සම්බන්ධයෙන් ‘විවෘත තීන්දුවක්’ ලබා දි තිබියදි ‘මරණයට හේතුව ආසාත්මිකතාවක් බව වෛද්‍ය වාර්තාවලින් අනාවරණ වි ඇති’ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ප්‍රකාශ ලබාදුන් බව ඔවුන් සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *