රුපියල් මිලියන 200 කට ආසන්න කොකේන් තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් මිලියන 200 කට ආසන්න කොකේන් තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට


රුපියල් මිලියන 200 කට ආසන්න කොකේන් තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(22.05.2024 – 06:26 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 200 කට ආසන්න ‘කොකේන්’ තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ (21) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගත්තේ, ‘ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ’ දීයි.

පිලිපීන කාන්තාවක වන ඇය, වෘත්තියෙන් සහකාර ගණකාධිකාරීවරියක්.

+


සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් මසට

(22.05.2024 – 06:51 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවීන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් ‘සරම්ප රෝගය’ පැතිර යාම හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් පවසනවා.

දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතින් 33% ක පමණ දියර කිරි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බවත්, ඉන් 12% ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත්, පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් සතුන් මියයාම නිසා සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් ගොවීන් විසින් ගවමස් අලෙවිසල්වලට අලෙවි කරන බවත්, එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දෛනික කිරි නිෂ්පාදනය පහළ බැස ඇති බවත් පශු වෛද්‍යවරයා කියා සිටියේය.

තවද එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලබා දිය යුතුව ඇතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශ සංචිතය තුළ නොමැති නිසා පැතිර යන රෝගය පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් පශු වෛද්‍ය සුරේෂ් කුමාර් පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රිෂියන්, ජර්සි, ප්‍රිෂියන් ජර්සි දෙමුහුම් එළදෙනුන් ගොවීන් බහුල වශයෙන් ඇති කරනු ලබයි ෴


දුම්රියක් පීලි පනී

(22.05.2024 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථානයන් අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

එම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ ෴


ආයෝජන මණ්ඩලය අහෝසි කරන කෙටුම්පත අද (22) මැතිසබයට

(22.05.2024 – 08:34 +0530 – hirunews.lk/sinhala)

‘ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත’ මෙන්ම ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත’ අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට ගැසට් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පත මගින් ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය’ අහෝසි කර ‘ආර්ථික කොමිෂන් සභාවක්’ ඇතුලු ආයතන 5 ක් පිහිටුවීමට යෝජිතයි.

කෙසේ වෙතත් මෙම කෙටුම්පතට එරෙහිව ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ’ වෘත්තීය සමිති ඊයේ (21) එහි ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ – කොටුව ‘ලෝක වෙළද මධ්‍යස්ථානය’ ඉදිරිපිට මෙන්ම කටුනායක, කොග්ගල, බියගම ඇතුළු ‘නිදහස් වෙළෙඳ කළාප’වල විරෝධතා පැවැත්වුණා.

නිවේදනයක් නිකුත් කරමින් ‘ආයෝජන මණ්ඩලයීය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය’ කියා සිටියේ, ආයෝජන ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන්ගෙන් හෝ ආයෝජකයන්ගෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව ඉතා සුලු‍ පිරිසකගේ අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම උදෙසා මෙම පනත් කෙටුම්පත සකසා ඇති බවයි.

මෙම පනත ක්‍රියාත්මක වූවහොත් ආර්ථික අර්බුදය හමුවේ පවා මෙරට හැර නොගිය ආයෝජිකයන් රට හැර යෑමේ භයානක තත්වයක් උද්ගතවනු ඇති බවයි. මෙම පනත් කෙටුම්පත මගින් ‘ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව’, ‘ශ්‍රී ලංකා ආයෝජන කලාප’, ‘ජාත්‍යාන්තර වෙළදාම සදහා වූ කාර්යාලය’, ‘ජාතික ඵලදායිතා කොමිෂන් සභාව’ සහ ‘ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යාන්තර වෙළද ආයතනය’ යන ආයතන 05 ක් බිහි වනවා.

එයින් ආයෝජනයට සම්බන්ධ ආයතන දෙක (2) වන ‘ආර්ථික කොමිෂන් සභාව’ හා ‘ශ්‍රී ලංකා ආයෝජන කලාප’ යන ආයතන දෙකෙහිත් (2), ‘ආර්ථික කොමිෂම’ යටතේ පිහිටුවන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ යන පුද්ගලික ආයතනයේත්, වෙන වෙනම අධ්‍යක්ෂ මණ්ඩල 03 ක් පත් වන අතර ඉහළ තනතුරු 25 ක් බිහි වනු ඇති.

ඒ අනුව, මෙම පනත හරහා රටට ආයෝජන ගලායාම කෙසේ වෙතත්, තම හිතවතුන්ට, ඉහළ තනතුරු ප්‍රදානය කිරීමට අවශ්‍ය පසුබිමක් සකස් කරගෙන ඇති බව ඉතා පැහැදිලි බවයි ‘ආයෝජන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය’ සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එහිදී ආයෝජන මණ්ඩලය දෙකඩ වන බවද ඔවුන් ප්‍රකාශ කළා.

ඒ තුළින් රට තුළට ආයෝජන ගලා ඒමට සුදුසු පරිසරයක් කිසිසේත් නිර්මාණය කළ නොහැකි බවයි ‘ආයෝජන මණ්ඩලයේ වෘත්තිය සමිති’වල අදහස වී ඇත්තේ. ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දියුණු කිරීමට වෙනුවෙන් අව්‍යාජව සිදු කරන ඕනෑම ප්‍රතිසංස්කරණයකට සහය ලබා දෙන අතර, කිහිපදෙනෙකුගේ පුද්ගලික උවමනා මත සිදු කරන මෙවන් ක්‍රියාමාර්ග තරයේම හෙලා දකින බවයි ‘ශ්‍රී ලංකා ආයෝජන මණ්ලයීය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය’ නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ‘ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත’ මේ මොහොතේ ගෙන ආ යුතු එකක් බවයි ෴

‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත්’ අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.

+

+


‘අස්වැසුම’ දීර්ඝ කරයි

(22.05.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ’ ගෙවීමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

‘අස්වැසුම’ හිමි ඇතැම් අයට එම සහනාධාරය 2026 ජූනි 30 දක්වා ලබා දෙන බවයි සඳහන් වන්නේ.

මින් පෙර ප්‍රකාශ කළ ආකාරයට ‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමියන්ට එම ප්‍රතිලාභ ලබා දෙන කාලය ලබන ජූනි 30 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබුණා.

තවත් පිරිසකට එම ප්‍රතිලාභ 2025 ජූනි 30 දක්වා ලබා දෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර අවදානමට ලක්වූ පවුලකට මාසයකට රු 5,000 ක් දුප්පත් පවුලකට රු 8,500 ක් සහ අන්ත දිලිඳු පවුලකට රු15,000 ක් වශ‍යෙන් ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබා දෙනවා ෴


මියගිය පුද්ගලයාගේ දේහය භාර ගන්න බිරියන් 4 ක්

(22.05.2024 – 11:17 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට බිරියන් 4 දෙනකු ඉදිරිපත් වී තිබෙනවා.

කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරුපැදි දෙකක් (2) එකිනෙක ගැටී සිදුව තිබූ අනතුරකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ‘ප්‍රේමරත්න අධිකාරි’ නමැති 59 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බවටයි වාර්තා වන්නේ.

ඔහු කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති අතර, අදාළ මෘතදේහය මේ වන විට බිරියන් 4 ක් ඉල්ලීම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහෙත් පොලිසිය පැවසුවේ අදාළ දේහය ඔහුගේ නීත්‍යනුකූල විවාහක බිරියට භාර දීමට පියවර ගන්නා බවයි ෴


බස්රථයකට යටවීමෙන් දස (10) හැවිරිදි පාසල් සිසුවියක් මියයයි

(22.05.2024 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ – නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් දස (10) හැවිරිදි පාසල් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මල්ගොල්ල – පටිතලාව ප්‍රදේශයේ පදිංචි එම පාසල් සිසුවිය අද (22) උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්තැන්න ප්‍රදේශයේදී බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී එම බස් රථයටම යටවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරුව බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවිය නව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන් ෴


ඉරාන තානාපතිට පහරදුන් සැකකරුට ඇප

(22.05.2024 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කරනු ලැබුවා.

ඒ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මතයි ෴


අත්අඩංගුවට ගත් LPL කණ්ඩායම් හිමිකරු රිමාන්ඩ්

(22.05.2024 – 17:22 +0530 – hirunews.lk/sinhala)

තරග පාවාදීම් සඳහා යෝජනා කිරීමට ඊයේ (21) පැවැති ‘ඒල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය’ට පැමිණි කණ්ඩායමක හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ’දී ‘අපරාධ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ විසින්.

තරඟ පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් LPL හි කණ්ඩායම් හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති බංග්ලාදේශ ජාතිකයා මැයි 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

+

+++++++

‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ අයිතිය අහෝසි කරයි

(22.05.2024 – 19:36 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි LPL විසින් ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ අයිතීන් අහෝසි කරන බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර තරඟ පාවාදීමේ චෝදනා මත ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායම් හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංග්ලාදේශ ජාතික පුද්ගලයෙක් අද (22) අත්අඩංගුවට ගත් අතර ඔහු මැයි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

+


ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ‘ඔන්ලයින් ක්‍රමය’ට

(22.05.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් 15 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි 27 සිට ජුනි 14 මධ්‍යම රාත්‍රිය දක්වා ‘ඔන්ලයින් ක්‍රමය’ට සිදු කරන බව ‘විභාග කොමසාරිස් ජනරාල්’ පවසනවා ෴


‘අවුරා ලංකා’ සභාපති ‘විරංජිත් තාඹුගල’ රිමාන්ඩ්

(22.05.2024 – 15:58 +0530 – hirunews.lk/sinhala)

‘අවුරා ලංකා’ සභාපති ‘විරංජිත් තාඹුගල’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්‍ය චෝදනා යටතේ මෙසේ ඔහුව අද (22) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව අද (22) දිනයේ අධිකරණය වෙත ඉරිපත් කිරීමට නියමිතයි.

මුල්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ‘විරංජිත් තාඹුගල’ව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *