කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට

කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට


කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට

(22.05.2024 – 06:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින දෙක (2) තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී ඇති බවට වාර්තා වනවා.

පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන බවට හඳුනාගත් ගස්ද තිබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඉන් ගස් 100 ක් පමණ මේ වනවිට ඉවත්කර ඇති බවත් පැවසේ.

මේ දිනවල පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස ගස් කඩා වැටීම ඉහළ ගොස් තිබෙනවා.

+


අද (22) තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

(22.05.2024 – 09:25 +0530 – hirunews.lk/sinhala)

අයපහපත් කාලගුණ තත්ත්වයට හේතුවෙන් පවුල් 17,078 කට අයත් පුද්ගලයින් 67,591 පීඩාවට පක්ව ඇති බව ‘ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ’ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 114 කට බලපෑම් එල්ල වී ඇති බවයි. නිවාස 502 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (22) දිනයේ මිලිමීටර 150 ක පමණ තද වැසි ඇති විය හැකි බව ‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව’ ප්‍රකාශ කළා.

එමෙන්ම වයඹ පළාතේත්, මන්නාරම, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව’ ප්‍රකාශ කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ පැයට කිලෝමිටර 50 දක්වා තද සුළං ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමිටර 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකියි.

එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එහි යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

මේ අතර ‘වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ’ ජල විද්‍යා හා ආපදා කලමණකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර කියා සිටියේ කැලණි, කලු, ගං, නිලවලා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.

අත්තනගලු ඔය සහ කලු ගගේ අතු ගංගාවක් වන කුඩා ගඟ සුලු ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුරය, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර දිවයිනේ සියලුම පාසල්වලට අද (22) දිනයේ නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නිවේදනය අසත්‍යය බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අද (22) දින සියලුම පාසල් පැවැත්වෙන බවයි. එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ද අද (22) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා ෴


මුහුදු නොයන ලෙස ධීවර ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

(22.05.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බව ‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව’ ප්‍රකාශ කළා.

තද වැසි තද සුළං පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි ෴


වැස්සෙන් 29,228 ක් පීඩාවට පත්වෙලා

(22.05.2024 – 11:45 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් වූ ආපදා තත්ත්වය දිස්ත්‍රික් 09 කට බලපා තිබෙනවා.

මෙහිදී පවුල් 7,323 කට අයත් 29,228 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර වැඩිම ආපදාවකට ලක්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයයි.

එහිදී පවුල් 6,261 ක 25,678 දෙනකු පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ ෴


තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

(22.05.2024 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකි බව ‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව’ ප්‍රකාශ කළා.

තද වැසි තද සුළං පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.

එසේම නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමිටර 50-60 දක්වා ඉහළ යා හැකි බව ‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව’ සඳහන් කළා.

පවතින තත්ත්වය සලකා ඉදිරි පැය 48 තුළ මන්නාරම, පුත්තලම, මීගමුව, කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක ආසන්න මුහුදු ප්‍රදේශවල කුඩා ධීවර යාත්‍රාවලට ඉතා අවධානම් බවයි ‘ධීවර දෙපාර්තමේන්තුව’ දැනුම් දෙන්නේ.

එමෙන්ම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලද යාත්‍රා කිරීම අවදානම් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත කියා සිටියා.

මේ අතර ගංගා හා ජලාශවල ජල මට්ටම පසුගිය පැය 24 තුළ අඩු වීමක් වාර්තා වුවද වැසි තත්ත්වය වැඩි වීමත් සමග යළි අවාධනමක් ඇති විය හැකි බවයි ‘වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කලමණකරණ අංශයේ’ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර කියා සිටියා.

අද (22) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 155.2 රත්නපුර – කෑරගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

++++

අයහපත් කාලගුණය නිසා දෙදෙනෙක් (2) මරුට

(22.05.2024 – 15:27 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – හැරමිටිගල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ – හැරමිටිගල – රාස්සගල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු ඊයේ (21) සිය නිවස ආසන්නයේ ඇති තවත් නිවසකට අතු කඩා වැටීම පිළිබද සොයාබැලීමට යමින් සිටියදී මාර්ගයේ තිබූ ගසක් මෙලෙස කඩා වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන් පුද්ගල මරණයක් වාර්තා වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි ගාල්ල ඉමදූව පිටුවලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ‘ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයේ’ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් කියා සිටියේ ‘කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ’ වාර්තාවන්ට අනුව තවදුරටත් දැඩි අවධානයෙන් ජනතාව කටයුතු කළ යුතු බවයි.

+


මොටර් රථයක් ලිස්සා ගොස් බිහිසුණු අනතුරක්

(22.05.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් මොටර් රථයේ ගමන් ගත් කුඩා ළමයෙක් ඇතුළු දෙදෙනෙකුට (2) තුවාල සිදුව තිබෙනවා.

තලවකැලේ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් කුඩා ළමයෙක් ඇතුළු දෙදෙනෙකු (2) තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (22) පස්වරු 4 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදීයි.

ධාවනය වෙමින් තිබු මොටර් රථය පවතින අධික වර්ෂාවත් සමග ලිස්සාගොස් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන බවයි නොර්වුඩ් පොලිසිය පවසා සිටියේ.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

පවතින වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හමුවේ වාහන ධාවනය කිරිමේදි ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් සහ මාර්ගයට ගස් කඩා වැටිමේ අවධානමක් පවතින වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටෙයි

(22.05.2024 – 18:24 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම කදුකරය හරහා හමා ගිය දැඩි සුලඟකට හසුවූ ෆයිනස් ගසක් ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට කඩා වැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ, අද (22) පස්වරු 04:20 ට පමණ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයේදී.

හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් මතටයි මෙසේ ගස කඩා වැටී තිබෙන්නේ.

ගස කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැයක පමණ කාලයක් ඇණහිට තිබුණා.

මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්යට පත් කල අතර, පවතින දැඩි සුළං තත්ත්වයත් සමග රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා ෴


කැළඹුණු කාළගුණයෙන් කොළඹටත් දැඩි දැඩි පීඩා

(22.05.2024 – 18:54 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙනවා.

මේ හේතුවෙන්, සේවා නිම වී නිවෙස් බලා යමින් සිටින ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

දැඩි වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් ද කොළඹ සහ ඒ අවට පවතිනවා.

මේ අතර, වෙසක් නිවාඩුව හෙට (23) සිට ආරම්භ වීම හේතුවෙන් බොහෝ පිරිසක් කොළඹින් පිටත්ව ගම්බිම් බලා යාමට අද (22) පස්වරුවේ කටයුතු කිරීම හේතුවෙන් කොළඹ නගරය තුළ මහා මාර්ග වල දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබෙනු දක්නට ලැබෙනවා ෴


මුහුද ගොඩට එයි – විපතට පත් වූවන් වහාම ආරක්ෂිත ස්ථානවලට

(22.05.2024 – 20:40 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ මුහුදු ජලය ගොඩට ඒම නිසා නිවාස 23 ක් තුළට මුහුදු ජලය ගලා ඒමෙන් එම නිවාසවල ජීවත් වූ පුද්ගලයින් 126 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට තිබෙනවා.

ධීවරයින් මුහුදු ජලය ගොඩට ඒමත් සමඟම ඔවුන්ට අයත් වෙරලේ නවතා තිබූ බෝට්ටු 150 ක් පමණ මුහුදු වෙරලෙන් ඉවත් කොට නානාට්ටන් ප්‍රදේශයේ පිට්ටනියක් වෙත රැගෙන ගොස් ඇති බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ.

නානාට්ටන් ප්‍රදේශයේ ධීවරයින් විසින් කකුලුවන් හා ඉස්සන් ඇල්ලීමට මුහුදේ දමා තිබූ දැල් විශාල ප්‍රමාණයක් මුහුදට ගසා ගෙන ගොස් ඇති බවද සඳහන්.

සිද්ධිය සැලවූ වහාම ‘දෙමළ ජාතික සන්ධානයේ’ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්
එම ස්ථානයට ගොස් ධීවරයින් හා නිලධාරීන් හමු වී විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සලසා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබෙනවා.

මේ අතර නාන්නාට්ටන් ප්‍රදේශයේ මුහුද ආසන්නයේ ජීවත් වන සෙසු පවුල් වලටද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ඇති අතර ධීවරයින්ට මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසටද උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *