සංවිධානාත්මක අපරාධකරු ‘දිනේෂ් වසන්ත’ගේ කල්ලියේ තුනක් (3) කොටුවෙයි

සංවිධානාත්මක අපරාධකරු ‘දිනේෂ් වසන්ත’ගේ කල්ලියේ තුනක් (3) කොටුවෙයි


සංවිධානාත්මක අපරාධකරු ‘දිනේෂ් වසන්ත’ගේ කල්ලියේ තුනක් (3) කොටුවෙයි

(21.05.2024 – 12:41 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දිනේෂ් වසන්ත’ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වයස අවුරුදු 17 ක සහ අවුරුදු 26 ක තරුණියන් දෙදෙනෙකු (2) සමග තවත් පුද්ගලයෙකු (1) ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග ‘පොලිස් විශේෂ කාර්ය බලකාය’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘යුක්තිය මෙහෙයුම’ට අදාලව ‘විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ’ නිලධාරීන් ගම්පහ බටපොත ප්‍රදේශයේදී වැටලීම සිදු කළා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධනගේ අධීක්ෂණයෙන් හා විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම සිදුකළා.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කදමුල්ල ආරචිචිගේ දිනේෂ් වසන්ත’ සමග සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු (1) ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තාරාදියක් හා යතුරු පැදියක් සමග මාදෙල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

බටපොත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන තරුණියක් (1) ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 560 ක් සමග හා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 කාන්තාවක් (1) ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 03, මිලි ග්‍රෑම් 270 ක්, සහ රුපියල් 5,200 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් යැයි කියන සැකකරුවන් 4 දෙනාගේ විමර්ශන අරඹයි

(21.05.2024 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී ඊයේ (20) අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් යැයි කියන සැකකරුවන් 4 දෙනා හඳුනාගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ISIS ත්‍රස්ත සංවිධානය’ සමග සබඳතා පැවැත්වූ පුද්ගල‍යින් සැක කරමින් බවයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ISIS සංවිධානයට සම්බන්ධ ලාංකිකයින් සිව්දෙනා (4) එරට තුළ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානමින් සිට ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම ලාංකිකයින් සිව්දෙනා (4) සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන්ගේ මෙරට පදිංචි ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු (2) කොළඹ පදිංචිකරුවන් බවයි.

‘ISIS සංවිධානය’ට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු (4) ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවේ ‘ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය’ විසින්.

ඒ, ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශවලට ලද තොරතුරුවලට අනුවයි.

27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 33 හැවිරිදි මොහොමඩ් නුස්රාත්, 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් සහ 43 හැවිරිදි මොහොමඩ් රෂ්ඩීන් යන සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්.

ඔවුන් අහ්මාදාබද් වෙත පැමිණ තිබුණේ චෙන්නායි සිට වූ අතර ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට පැමිණි මගීන්ගේ නම් ලැයිස්තු පරික්ෂා කරමින් ඔවුන් හඳුනාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණා.

එමෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයන් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා රජයෙන් ද සහාය හිමි වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානියා පවසා තිබෙනවා.

දැනට අනාවරණ වී ඇත්තේ මොවුන් සිව්දෙනා (4) ‘පාකිස්ථානයේ අබු’ නමින් හැඳින්වෙන අයෙකු සමග සමාජ ජාල ඔස්සේ සමීප සබඳතා පවත්වා ඇති බවටයි.

ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ‘අබු’ විසින් ඔවුන්ව දිරිමත් කර තිබූ අතර ඒ අනුව ඔවුන් ‘මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට’ ද එකඟ වී තිබෙනවා.

‘අබු’ විසින් ඔවුන්ට මූලිකව ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 4 ක් ලබා දී තිබූ බවයි ගුජරාට් පොලිස් ප්‍රධානියා පවසා ඇත්තේ.

ඔවුන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී ගිනි අවි කිහිපයක ඡායාරූප සහ අහ්මදාබාද් නගරයට ආසන්න නනාචිලෝඩා නම් ප්‍රදේශය පිළිබඳ දත්ත සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයේ කළ පරික්ෂාවේදී ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබූ ඡායාරූපවල දැක්වුණු ආකාරයේම පාකිස්ථානයේ නිෂ්පාදිත ගිනි අවි තුනක් (3) සහ ජීවඋණ්ඩ 20 ක් සොයාගැනීමට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය සමත්වුණා.

ඔවුන්ට එම ආයුධ ලැබීමට සලස්වා ඇත්තේ ‘පාකිස්ථානයේ අබු’ නමැත්තා විසින්මයි.

ඔවුන් ISIS නායකයින් සමග තොරතුරු හුවමාරු කරගෙන ඇත්තේ තුන්වන (3) පාර්ශ්වයකට තොරතුරු ලබාගත නොහැකි ‘ප්‍රෝටෝන් නමැති ඊමේල් සේවාව’ හරහායි.

මොවුන් යුදෙව් ජාතිකයින්ට, ක්‍රිස්තියානි ජාතිකයින්ට, භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින්ට සහ තවත් හින්දු මතධාරී සංවිධානයකට “පාඩමක් ඉගැන්විය යුතුය” යන මතයේ දැඩිව සිටි බව ද අනාවරණ වී තිබෙනවා.

‘ISIS සංවිධානය’ට හා එහි හිටපු ප්‍රධානී ‘අබු බකර් බග්ඩාඩි’ගේ ඉගැන්වීම්වලට ඔවුන් දැඩි ලෙස ඇබ්බැහි වී සිටි බව ද ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය හඳුනාගෙන තිබුණා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවුණේ ඉකුත් මැයි 12 වනදා අහ්මදාබාද් ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ඊමේල් මගින් අනතුරු ඇඟවීමක් ලැබී තිබූ පසුබිමකයි.

මෙම ලාංකිකයින් සිව්දෙනා (4) සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ පැවසුවේ ඔවුන්ගේ මෙරට පදිංචි ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු (2) කොළඹ පදිංචිකරුවන් බවයි.

+++++++++

+


ජීවිත හතක් (07) අකාලයේ මිය යති

(21.05.2024 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) මනුෂ්‍ය ඝාතන 02 ක් සහ රිය අනතුරු වලින් මරණ 05 ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

කළුතර, කළමුල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමකින් සහ ඇල්ල, නෙදර්විල් ප්‍රදේශයේ පහරදීමකින් මෙම ඝාතන සිදුව තිබෙනවා.

කටාන ඇඹිලිපිටිය, තෙලිප්පලේ, කුලියාපිටිය සහ පුදුකුඩි ඉරුප්පු යන ප්‍රදේශ වල මාරක රිය අනතුරු 05 කින් පස්දෙනෙක් (05) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය නිවේදනයේ සඳහන් ෴


කෝවිලට ගිය ට්‍රැක්ටරය පෙරළී සිසුවෙක් (1) මරුට තවත් පහකට (5) තුවාල

(21.05.2024 – 12:34 +0530 – hirunews.lk/sinhala)

ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් අවුරුදු 16 ක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනකු (5) බරපතල තුවාල ලබා තිබෙනවා.

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බවයි පුදුකුඩියිරිප්පු පොලිසිය පැවසුවේ.

වේගයෙන් ආ ට්‍රැක්ටරය වංගුවක් ගනීමට උත්සාහ කිරීමේදී පෙරැලි ඇති බවයි වාර්තා වන්නේ.

වට්ටප්පලේ කන්නකි අම්මාන් කෝවිලේ උත්සවයකට ට්‍රැක්ටරයකින් යමින් සිටි‍යදී මෙම අනතුර සිදුව තිබුණා.

කිලිනොච්චි ධර්මපුරම් පදිංචි තරුණයින් පිරිසක් අනතුරට පත්ව තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴


ඖෂධ 50 ක් සඳහා උපරිම සිල්ලර මිල ගනන්

(21.05.2024 – 13:19 +0530 – hirunews.lk/sinhala)

තවත් ඖෂධ 50 ක් සඳහා උපරිම සිල්ලර මිල ගනන් ලබන සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ සභාපති පවසනවා ෴


වැන්දඹු කාන්තාවන් නැවත විවාහ වීමේදී සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීමට යෝජනා

(21.05.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50% ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහා ද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

මෙය යෝජනා වී ඇත්තේ ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, ‘සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය’ (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් (3) හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමේ දී.

රාජ්‍ය නිලධාරීන්ගේ සිට බිම් මට්ටමේ සංවිධාන දක්වා සමාජයේ පුළුල් පරාසයක පිරිසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ සංවිධානවල සාමාජිකයන් ඇතුළු පිරිසගේ අදහස් ලබා ගැනීම සිදු කෙරිණා.

සංහිඳියා ක්‍රියාවලියේදී දේශීය ඉදිරි දර්ශනවල වැදගත්කම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන ලේකම් සී.පී. රාජකරුණා සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙහිදී කරුණු අවධාරණය කෙරුණා.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් සභාවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් මෙහිදී ඒකාබද්ධ පළාත් උපාය මාර්ගවල අවශ්‍යතාව අවධාරණය කරමින් පිරිස වෙත ඒ පිළිබඳ අවබෝධයක් ලබා දී තිබෙනවා.

හිටපු හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ප්‍රජා පාර්ශ්වකරුවන් විසින් සමාජ දුක්ගැනවිලි විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන බිම් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

මීට අමතරව, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීමෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල විවිධ ගැටළු විසඳීම සඳහා වන අවශ්‍යතාව ද අවධාරණය කෙරිණා ෴


අද (21) සෞඛ්‍ය වර්ජනය බස්නාහිර පළාතේ

(21.05.2024 – 15:35 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ‘ඩැට් දීමනාව’ ඉල්ලා වෘත්තිය සමිති 72 ක් පළාත් කේන්ද්‍ර කරගනිමින් දියත් කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුණා.

පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් වර්ජනයට එක්ව සිටිනවා.

වර්ජනය හේතුවෙන් රෝහල් රැසක රෝගීන් පීඩාවට පත්වූ අතර, ඇතැම් රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව සිදු වුණා ෴


මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකී

(21.05.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය’ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය එළි දැක්වීම අද (21) සිදු කෙරුණා.

ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්.

එහි දී අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා :

“මූල්‍ය සාක්ෂරතාව මගින් මූල්‍ය ආයතන අප විසින් නියාමනය වීම වෙනුවට එම ආයතනවලින් අවශ්‍ය සේවා විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂමව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට ප්‍රවේශය සැලසෙනවා. මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට තමන්ව මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මූල්‍ය සේවාවලට ප්‍රවේශය සැලසීම තුළින් ජනතාවට අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමටත්, ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශයටත්, ඔවුන්ගේ මූල්‍ය කටයුතු යහපත්ව කළමනාකරණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇති. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට මග පෙන්වනවා විතරක් නෙමෙයි, එමගින් අපේ සහෝදර ශ්‍රී ලාංකිකයින්ට යහපත් සහ මූල්‍ය වශයෙන් ශක්තිමත් අනාගතයකට මග පෙන්වනවා. මූල්‍ය සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ රජය සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට සූදානම් බව මම අවධාරණය කරන්න කැමතියි.”

+


සේවයට වාර්තා නොකළ බන්ධනාගාර සේවකයින්ට විනයානුකූල පියවර

(21.05.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රාජකාරි සඳහා ඊයේ (20) සහ අද (21) දෙදින (2) වාර්තා නොකළ සියලු සේවකයන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙසත් ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (22) නියෝග කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අධිකරණ නියෝග ප්‍රකාරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයා හමු වූ අවස්ථාවේදී.

අධිකරණ නියෝග ප්‍රකාරව, සේවයට වාර්තා නොකළ සේවකයන්ගේ සවිස්තරාත්මක වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයාට භාර දී ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙම කරුණු දැක්වීම සිදුකර ඇත්තේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී ය.

+


පොලිස්පති මහජන දිනය කල්දමයි

(21.05.2024 – 15:53 +0530 – hirunews.lk/sinhala)

මේ සතියට නියමිතව තිබූ ‘පොලිස්පති මහජන දිනය’ (24) වැනිදා නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

වෙසක් පෝයට පසු දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනූව (31) සිකුරාදා සිට පොලිස්පති මහජන දිනය නියමිත පරිදි පවත්වන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ ෴


බස් රථයක් පෙරළීමෙන් හයදෙනෙකු (6) රෝහලේ

(21.05.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කිලිනෝච්චිය පුනරීන් පාලම ආසන්නයේදී බස් රථයක් පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් හයදෙනෙකු (6) බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

මුලතිව් කෝවිලක පැවති වාර්ෂික දේව මෙහෙයක් වෙනුවෙන් යාපනයේ සිට පෞද්ගලික බස් රථයකින් පැමිණ දේව මෙහෙය අවසන් වීමෙන් පසු නැවත යාපනය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථය අධික වේගයෙන් ගමන් කිරීමෙන් රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි පොලිසිය සැක කරන්නේ ෴


අන්තර්ජාලයේ දැන්වීම් දමා රුපියල් කෝටි ගණන් වංචා කිරීම – කඩවත සූරියගම ‘මසාජ් තෙරපිණිය’ අත්අඩංගුවට

(22.05.2024 – dinamina.lk)

අන්තර්ජාලය ඔස්සේ පළ කරනු ලබන දැන්වීම් මඟින් දිවයින පුරා විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් ‘සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම’ සඳහා මුදල් ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක් වංචා කර පොලිසිය සහ අධිකරණය මඟ හරිමින් සිටි කාන්තාවක් ජා–ඇළ පිහිටි සම්බාහන ආයතනයක තෙරපිණියක නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවාය.

නුගේගොඩ අධිකරණයේ පමණක් ඇයට එරෙහිව විවෘත වරෙන්තු 29 ක් සහ දින වරෙන්තු 30 ක් ඇති බව පොලිසිය කියයි.

‘සෝයා මීට් තෙරපිණිය’

මෙම සැකකාරිය කඩවත, සූරියගම ප්‍රදේශයේ පදිංචි 41 වියේ පසුවන්නියකි. නාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවෙසක රැඳී සිටිමින් අන්තර්ජාලයේ පළ කරනු ලබන දැන්වීම් මඟින් ‘සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා මුදල් ලබාදීමට හැකි බවත් එයින් විශාල ආදායමක් ඇසුරුම් කිරීමේ රැකියාවේ යෙදෙන අයට ලබා ගැනීමට හැකි බවත් ඇය පවසා ඇති බව පොලිසිය කියයි. එම දැන්වීමට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් විමසීම් කරන විට ඒ අයව ඇය නාවල ප්‍රදේශයට කැඳවා ‘මුදල් තැන්පත් මත සෝයා මීට් වර්ග ඇසුරුම් කිරීම සඳහා ලබාදී ඇති බව’ පොලිසිය සඳහන් කළේය. එම සෝයා මීට් වර්ග ඇසුරුම් කර නැවත රැගෙනවිත් ලබාදීමෙන් පසු, ‘ඊට අදාළ ඇසුරුම් කිරීම සඳහා ගෙවනු ලබන මුදල ද තැන්පත් වශයෙන් රඳවාගෙන ඇති බවත්’ පැකට් කර රැගෙනවිත් භාර දුන් ‘සෝයා මීට් පැකට්වල ඇසුරුම් නැවත ඉවත් කර’ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට සෝයා මීට් ලබාදී ඇති බවත් පොලිසිය කියයි. රැකියාවේ යෙදෙන අයට ‘ගෙවීමට ඇති මුදල් බැංකු ගිණුම් ඔස්සේ ලබාදෙන බව පවසා ගෙවිය යුතු මුදල් ඇසුරුම්කරුවන්ට නොගෙවා’ වංචාසහගත අයුරින් කට්ටි පනිමින් ඇය මෙම වංචාව කර තිබේ. (ඇසුරුම්කරුවන් ‘සෝයා මීට් තෙරපිණිය’ට ලබාදෙන තැන්පත් මුදල් වංචාකිරීම)

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස් ජයමහ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී හේවගේ, මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර යන මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් අංක 01 භාර උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (68011) විජේරත්න, පොලිස් කොස්තාපල් (94555) කුමාර, (96824) හර්ෂ, (93302) දයාරත්න, කාන්තාව පොලිස් කොස්තාපල් (11379) අයේෂා යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *