දේශීය පාවහන් කර්මාන්තය යළි බිඳවැටෙමින් තිබේ – පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය

දේශීය පාවහන් කර්මාන්තය යළි බිඳවැටෙමින් තිබේ – පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය


දේශීය පාවහන් කර්මාන්තය යළි බිඳවැටෙමින් තිබේ – පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය

(21.05.2024 – 08:40 +0530 – lankacnews.com)

ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ ද ඊට අදාළ බදු ක්‍රමයේ වරද, නිදහස් වෙළඳ ගිවිසුම්වලින් එල්ල වන බලපෑම් ආදී සියල්ල මගින් යම් වර්ධනයක් අත් කරගෙන තිබූ දේශීය පාවහන් කර්මාන්තය යළි බිඳවැටෙමින් ඇතැයි ‘පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ’ සභාපති බුද්ධික විමලසිරි මහතා පෙන්වා දෙයි.

බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තයේ නියැලී සිටින 15,000 කට අධික ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ පාවහන් නිෂ්පාදකයන් මෙන්ම කර්මාන්තය තුළ ඍජු හා වක්‍ර රැකියාවල නියුතු ලක්ෂ තුනකට (3,00,000) අධික පිරිස ද අපහසුතාවට පත්ව ඇති බව ඒ මහතා සඳහන් කළේය.

අනීතිකව විදේශ රටවල නිෂ්පාදිත පාවහන් මෙරට වෙළඳපොළට පැමිණීම හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන බදු මුදල රුපියල් කෝටි 3500 ක් බවත් එය දෛනිකව රුපියල් කෝටි දහයක් (10) පමණ වන බවත් විමලසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, නිතරම දෛනික රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය පිළිබඳව කතා කරන බවත් රුපියල් කෝටි 625 ක් වන එම මුදල, පාවහන් ඇතුළු බදු මුදල් ගෙවීමකින් තොරව අනීතිකව මෙරට පැමිණෙන භාණ්ඩ නිසි පරිදි රේගු දැලට හසු කරගෙන උපයාගත නොහැක්කේ මන්දැයි, ඒ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

රංජිත් සියඹලාපිටිය ඇමතිවරයාට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් පාඩමක් උගත හැකි බවත් ඔහු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ‘පොලිස් දෙපාර්තමේන්තුව’ සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මැඩලීමට කටයුතු කරන ආකාරයටම රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමුඛ ‘රේගු දෙපාර්තමේන්තුව’ හා එක්ව මෙරට රේගු දැලෙන් රිංගන සියලුම භාණ්ඩ අල්ලා බදු මුදල් අය කිරීමට නොහැකියාවක් තිබිය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම නීත්‍යනුකූලව ආනයනය කෙරෙන පාවහන් සඳහා වන බදු ක්‍රමය නිවැරදි නොවන බවට ද ‘පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ’ සභාපතිවරයා චෝදනා කර සිටි අතර වටිනාකම නොසලකා ඕනෑම පාවහන් යුගලකට අය කරන සමස්ත බදු මුදල රුපියල් 2000 ක් බව අනාවරණය කළේය.

මෙම රුපියල් 2000 ක සමස්ත බදු මුදලට, රුපියල් 700 ක සෙස් බද්දක් සහ රුපියල් 300 ක සාමාන්‍ය බද්දක් (General Duty) ද ඇතුළත් වන බව කී විමලසිරි මහතා, රුපියල් ලක්ෂ ගණනක් වටිනා, ලොව ප්‍රමුඛතම සන්නාමයක පාවහන් යුගලක් පවා රුපියල් 300 ක සාමාන්‍ය බදු මුදල පමණක් ගෙවා මෙරටට ආනයනය කිරීමට හැකිවීමෙන් එම බදු ක්‍රමයේ ඇති වරද අවබෝධ කරගත හැකි බව ද වැඩිදුරටත් කීය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිබඳව දිවා-රාත්‍රී දෙසුම් පවත්වන වත්මන් රජය දැන් පාර කපමින් සිටින්නේ ආනයන කේන්ද්‍රීය ආර්ථිකයකට බව කී ඒ මහතා පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු සහ පෙන්වා දුන් කරුණු කෙරෙහි රජයේ කඩිනම් අවධානයක් යොමු විය යුතු බව අවධාරණය කළේය ෴


‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ප්‍රධානි තම මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?

(21.05.2024 – 06:10 +0530 – lankacnews.com)

මෙරට කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීමට එක්වූ ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ් ට හැකි නම් 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් ප්‍රංශයේදී සමරන ලෙස තමන් අභියෝග කරණ බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

‘පිවිතුරු හෙළ උරුමයේ’ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහදස් දැක්වීය :

‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ප්‍රධානි තමන්ගේ මව්රටේ ත්‍රස්තයින් සැමරුවේ නැත්තේ ඇයි?

ත්‍රස්තවාදින් ලෙස මිය ගිය අයගේත් ඥාතින්ට සහ මිතුරන්ට ඔවුන්ව සිහිපත් කිරීමට ඇති අයිතිය අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. වේලායුදන් මිය ගිය පසු ආගමික කටයුත්තක් සමාජීය කටයුත්තක් කරලා ඔහුගේ නෑදෑයන් හිතමිතුරන් ඔහු සිහිපත් කිරීම කාටවත් වලක්වන්න බෑ. නමුත් අම්මාගේ උකුලේ කිරි බොමින් සිටි දරුවා උදුරා ගෙන ඔළුව චප්ප වන තුරු පොල් ගසේ ගැසූ, ගැබිණි මාතාවන් පණ පිටින් බඩ පලා නූපන් දරුවා එළියට ඇද්ද කුරිරු තිරිසන් ත්‍රස්තවාදින් සැමරීමට මේ ලෝකේ කිසිම තැනක අවසරයක් නොතිබිය යුතුයි කියලයි අප ශිෂ්ඨ මිනිසුන් ලෙස විශ්වාස කරන්නේ.

ඒ තිරිසන් ත්‍රස්තයන් වීරයන්ට ඔසවන, ඒ මග ගමන් කිරීමට තරුණ පරපුර – ළමා පරපුර දිරිමත් කරමින් ත්‍රස්තයන් සැමරීමටයි අපේ විරෝධය තිබෙන්නේ. අධිකරණය විසින් තහනම් කර තිබිය දී ත්‍රස්තවාදි ඉතුරු – බිතුරු විසින් උතුරේ විතරක් නොවේ කොළඹ දීත් කොටි සැමරුම කළා විතරක් නොවේ ඒකට විරුද්ධ වන අයව අත්අඩංගුවට ගන්නත් ආණ්ඩුව කටයුතු කළා. තමන්ගේ නිවට කම බියසුලු කම ආණ්ඩුව මේ හරහා ප්‍රදර්ශණය කලා. කොටි ත්‍රස්තවාදින් රට පුරා සමරන්න දීලා බලාගෙන හිටිය කොන්ද පණ නැති ආණ්ඩුවේ අගමැති ලැජ්ජා නැතිව රෙදි ඇඳගෙන ඇවිත් රණවිරු සමරුවේ ප්‍රධාන අමුත්තා විධියටත් හිටියා. අගමැතිතුමනි, ඔබතුමාගේ නිවට ක්‍රියාකලාපය මිය ගිය ‘බොරළුගොඩ සිංහයා’ටත් ලැජ්ජයි කියලා තමයි අපට කියන්න වෙන්නේ.

‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ප්‍රධාන ලේකම් ඇග්නස් කැලැමාර්ඩ්, වෙල්ලමුල්ලි වයික්කාල්හිදී මැයි 19 දා පැවති කොටි සැමරුමට ඇවිත් ඉන්නවා අපි දැක්කා. විදේශිකයින් ඇවිත්, මේ රට බේරා ගත් රණවිරුවන්ගේ මිනීමරුවන් සමරන විට ආණ්ඩුවේ ලොක්කෝ නිවටව බලා සිටියා. ඇග්නස්ගේත් ඔක්කෝම සෙල්ලම් ලංකාවේ දී විතරයි. ඇග්නස්ට තිබුණානෙ ලංකාවට එන ගමන් ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට ගොඩ බැහැලා 1984 දී ඉන්දියානු හමුදාව අතින් රන් දෙවොලේ දී මිය ගිය සික් ත්‍රස්තවාදින් සමරන්න. නැතිනම් 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ත්‍රස්තයන්ව මුම්බායි හී දී සමරන්න. ඒ වගේම ඇග්නස්ට තිබුණානෙ තමන්ගේ මව්බිම වන ප්‍රංශයේ පැරිස් නුවරට ගිහින් ප්‍රංශ හමුදා අතින් මිය ගිය 2015 පැරිස් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් සමරන්න. ඇග්නස් ලංකාවේ දාන සෙල්ලම් තමන්ගේ මව්රටේ කරන්නේ නැත්තේ ඇයි? ඇග්නස් කුහක දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? ඇග්නස් හොඳටම දන්නවා තමන්ගේ රටේ ත්‍රස්තවාදින් සමරන්න හැදුවොත් ආණ්ඩුව ඉඩ තියන්නෙත් නෑ – ජනතාව ඉඩ දෙන්නෙත් නෑ කියලා.

ඇමෙරිකාවේ 9/11 අල් කයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණු ග්‍රවුන්ඩ් සීරෝ ස්ථානයට පෙනෙන මානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඇමෙරිකානු ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ ජනතාව කුපිත වෙයි කියන බයෙන්. පුලුවන් නම් ආගමික නිදහසේ නාමයෙන් ග්‍රවුන්ඩ් සීරෝවලත් උද්ඝෝෂණයක් පවත්වන්න කියා අපි ඇග්නස්ට අභියෝග කරනවා. එහෙම කරනන් ගියොත් එය ඇගේ අවසන් චාරිකාව බවට පත්වෙනවා. මොකද ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරනන් වෙන්නේ සිරගෙදරක ෴

+

+


රනිල් මහ මැතිවරණය මුලින් නොතියන්න හේතුව මෙන්න (20.05.2024)

+


ඉරාන ජනපති මියගිය බවට තහවුරු වූ මොහොතේ ම ඔහු එවූ තිළිණය ලංකාවට ලැබෙයි

(21.05.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ඉරාන ජනපති ඊබ්‍රයිම් රයිසි මියගිය අනුවේදනීය පුවත වාර්තා වූ මොහොතේම සිදු වූ තවත් අනුවේදනීය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ඉරාන ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට එවා තිබූ ත්‍යාගයක් ඉරාන ජනාධිපතිවරයා මියගිය බවට නිල වශයෙන් නිවේදනය වූ මොහොතේම අමාත්‍යවරයාට ලැබීමේ පුවතයි.

අමාත්‍ය අමරවීර ඉරානයේ රාජතාන්ත්‍රික සංචාරයක නිරත වීමට මින් පෙර නියමිතව තිබුණත් එය අවලංගු කිරීමට කටයුතු යොදා තිබුණා.

උමා ඔය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර කටයුතු කළා.

ඒ අනුව අමාත්‍යවරයාගේ ඉරාන සංචාරය අවලංගු නොකරන ලෙසත් ඉරානයට පැමිණෙන ලෙසත් ඉරාන ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව ඉරානයේ සංචාරයකට එක් වූ අමාත්‍ය අමරවීර එරට විදේශ ඇමති හා කෘෂිකර්ම ඇමති මුණගැසුණද ඉරාන ජනාධිපතිවරයා මුණ ගැසී නොමැති බවයි වාර්තා වෙන්නේ.

අමාත්‍යවරයා යළි මෙරටට පැමිණීමෙන් පසු ආගමික සංකේතයක් සංකේතවත් කරන ත්‍යාගයක් අමාත්‍ය අමරවීරට මෙසේ ලැබී ඇති බවයි ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමක දී අමාත්‍යවරයා සඳහන්කර සිටියේ ෴


සෞඛ්‍ය නිලධාරීන්ගේ බැංකු ගිණුම් ගැන CID විමර්ශන

(21.05.2024 – 09:12 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසකගේ වත්කම් හා බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිතා කරන බැංකු ගිණුම් පිළිබඳව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂවරුන් දක්වාත් ඖෂධවේදීන්ගේත් වත්කම් ඒ අනුව පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්න සහගත බාල ඖෂධ නඩුවේදී අනාවරණය වන තොරතුරු හා සිවිල් සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බලා මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


පොදු සමාවෙන් හමුදාවේ 15,667 ක් නීත්‍යානුකූලව ඉවතට

(21.05.2024 – 10:28 +0530 – hirunews.lk/sinhala)

පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15,667 ක් නීත්‍යානුකූලව ඉවත් කොට තිබෙනවා.

මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි හමුදා සාමාජිකයින් 373 ක් නීත්‍යානුකූලව ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පවසනවා.

එම පොදු සමා කාලය 2023 දෙසැම්බර් 31 හා ඊට පෙර සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් සඳහා ප්‍රකාශයට පත්කොට තිබුණා.

එසේම ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරෂක අමාත්‍යංශය විසින් මෙම පොදු සමා කාලය ලබාදී තිබුණා ෴


අලෙවි කළේ ගවමස් ද? බලු මස්ද? – සනාථ වන තුරු අපනශාලව වසා දමයි

(21.05.2024 – 11:15 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තෙලිප්පලෙයි ආපන ශාලා හිමියෙකු ‘ගවමස්’ වෙනුවට ‘බලුමස්’ අලෙවි කොට අති බවට ඇති වී තිබෙන සැකයක් මත මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා එම ආපන ශාලා හිමිකරුට රුපියල් 65,000 ක දඩයක් නියම කොට තිබෙනවා.

ඊට අමතරව ආපන ශාලාව වසා දමන ලෙස තෙලිප්පලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට 20 දා නියෝග කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

අධිකරණයට ඉදිරිපත් කොට තිබූ මස් සාම්පලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ සම්බන්ධයෙන් වාර්තවක් හැකි ඉක්මනින් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම වාර්තාව ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කරණ බවද දන්වා සිටියා.

යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු රාත්‍රී ආහාරයට ගැනීම පිණිස මෙම ආපන ශාලාවෙන් රුපියල් 500 කට ‘ගවමස්’ පීරිසියක් ලබා ගෙන තිබෙනවා.

ඔහු එම මස් නිවසට රැගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මස් කබලි දෙකක (2) බල්ලෙකුගේ ලෝම වලට සමාන ලෝම පිරුණු මස් කැබලි දෙකක් (2) තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු ආහාර ගැනීම නවතා රාත්‍රියේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සොයා ගොස් ඔහුට මස් සාම්පලය ඉදිරිපත් කොට තිබෙනවා.

එම නිලධාරියා තවත් නිලධාරීන් පිරිසක් සමග අදාල ආපන ශාලාව වෙත ගොස් එය පරීක්ෂා කිරීමේදී එහි අලෙවි කිරීමට තිබූ ‘මස් නරක් වී ඇති බවත්’ මිනිස් ආහාරයට එම මස් නුසුදූසු බවත් පෙනී ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව මස් සාම්පල් අත් අඩංගුවට ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ආපනශාලා හිමියා පසු දින අධිකරණයට ඉදිරිපත් කොට තිබෙනවා.

එම ආපනශාලාවේදී ‘ගවමස්’ වෙනුවට අලෙවි කලේ ‘බලුමස්’ බවට යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් කරණ ලද ප්‍රකාශය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම මස් සාම්පල ‘ගවමස්’ ද එසේත් නොමැති නම් ‘බලුමස්’ ද යන්න නිගමනය කිරීමට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කැදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම වාර්තාව ලැබෙන තුරු ආපනශාලාව වසා දැමීමට නියෝග කොට ඇති මහේස්ත්‍රාත්වරයා එම වාර්තව ලැබීමෙන් පසුව ආපන ශාලා හිමියාට එරෙහිව නඩුවක් පවත්වා ගෙන යාමටද තීන්දු කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහැරේ

(21.05.2024 – 12:06 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළා.

මෙම මෝසම කැදවූ අවස්ථාවේදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ සිය නීතිඥ වරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *