දිස්ත්‍රික්ක රැසකට අදත් (20) තද වැසි – ජල ගැලීම් – තද සුළං

දිස්ත්‍රික්ක රැසකට අදත් (20) තද වැසි – ජල ගැලීම් – තද සුළං


දිස්ත්‍රික්ක රැසකට අදත් (20) තද වැසි – ජල ගැලීම් – තද සුළං

(20.05.2024 – 11:45 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේ කාළගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් ෴

සබරගමුව පළාතටත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන් ෴

++++++++++

පහත්බිම්වල අවට ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(20.05.2024 – 09:43 +0530 – hirunews.lk/sinhala)

අධික වැසි සමග කැළණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ‘වාරිමාර්ග දෙපාර්තමේන්තුව’ පවසනවා.

ඉදිරි කාලසීමාව තුළදී සැළකිය යුතු වර්ෂාවක් ලැබුනොත් ජල ගැලීම් තත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ හේතුවෙන්, පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ ෴

++++++++++

තද සුළඟකින් යාපනයට හානි

(20.05.2024 – 10:40 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාව සමග හමාගිය තද සුළඟකින් ‘යාපනය වේලනෙයි ශ්‍රී අම්මාන් කෝවිල’ ඇතුලු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.

එම සිදුවීම ඊයේ (19) සවස සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම කෝවිලේ වහලය පැත්තක් සුළඟට ගසාගෙන ගොස් ඇති අතර වහලයේ තිබූ උලු සියල්ලක්ම බිම වැටී විනාශ වී තිබෙනවා.

‘යාපනය ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය’ ප්‍රකාශ කළේ කෝවිල අවට තවත් නිවාස කිහිපයකටද සුළඟ නිසා හානි සිදුව ඇති බවයි ෴

++++++++++++

ජලාශවල වාන් දොරටු ඉදිරියේදී විවෘත කෙරෙනවා

(20.05.2024 – 12:47 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාව හමුවේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි ‘වාරිමාර්ග අධ්‍යක්ෂ’ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

අනුරාධපුර රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කොට තිබෙන බැවින් තත්ත්පරයට ඝණ අඩි 1400 බැගින් ජලය පිටවන බව ඔහු පවසනවා.

අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කිරීම නිසා තත්ත්පරයට ඝණ අඩි 1600 බැගින් ජලය පිටවන බව ඔහු පවසනවා.

පවතින වර්ෂාව සමග ගංවතුර ගැන අවධානයෙන් පසුවන්නැයි ‘වාරිමාර්ග දෙපාර්තමේන්තුව’ ජනතාවට දැනුම් දෙනවා ෴

+++++++++++

අත්තනගලු ඔය කුඩා ගඟ සහ මඟුරු ගඟ අවට අවධානම්

(20.05.2024 – 14:03 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාව හමුවේ අත්තනගලු ඔය අත්තනගල්ල ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළගාවී තිබෙන බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

මේ අතර කලු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ බුලත්සිංහල ප්‍රදේශයෙන් සහ මඟුරු ගඟ පිළිබඳව පාලින්දනුවර ප්‍රදේශයේදී අවධානයෙන් පසුවිය යුතු බව පෙන්වා දෙන්වා.

අද (20) සහ හෙට (21) දිනයේ වර්ෂාව සමග ගංවතුර අවධානමක් පවතින බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එස්.පී.සී. සුගීෂ්වර පවසන්නේ ෴

+++++++++++

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) වසා දැමේ

(20.05.2024 – 16:55 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේත් වසා තැබෙන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසනවා ෴

++++++++++++

ඇල්ල-වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

(20.05.2024 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල-වැල්ලවාය මාර්ගය අද (20) රාත්‍රී 8 සිට හෙට (21) පෙරවරු 6 දක්වා වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන්කර සිටිනවා ෴


රුසියාවේ මිනිස් ජාවාරමට පුද්ගලයින් යවපු සැකකරුවෙකු දෙහිවල දී අත්අඩංගුවට

(20.05.2024 – 14:40 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ මිනිස් ජාවාරමට සංචාරක වීසා මත පුද්ගලයින් 120 කට වැඩි පිරිසක් යැවීමට සහය දුන් සැකකරුවෙකු අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල ප්‍රදේශයේදී බවයි සඳහන් වන්නේ ෴


තොරණ සිතුවම් කලාව රකින පාරම්පරික සිත්තරුන්

(20.05.2024 – 15:04 +0530 – hirunews.lk/sinhala)

සාමූහික කලා නිර්මාණයක් ලෙස සියලු දෙනාගේ සිත්ගත් වෙසක් තොරණේ ජීවය රැඳී පවතින්නේ එහි සිතුවම මතයි.

සියතින්ම ජාතක කථාව සිත්තම් කළ සිත්තරුන්ගේ පරම්පරාවේ අවසන් පුරුක් මේ වනවිට අභියෝග රැසකට මුහුණ පා සිටිනවා.

නව පරපුර සියතින් චිත්‍ර නිර්මාණයට දක්වන අල්ප කැමැත්ත හමුවේ පාරම්පරික තොරණ සිතුවම් කලාවේ අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවයක්.

උතුම් වූ සම්බුදු තෙමගුල සැදැහැ සිතින් සමරන වෙසක් මංගල්‍යයේ අනිවාර්ය අංගයක් වන්නේ වෙසක් තොරණයි.

නගරබදව සෑම වසරකම පාහේ නම් දැරූ තොරණ් ඉදිවන්නේ එහි සිතුවම් නිර්මාණකරුටත් වඩාත් ගෞරවයක් හිමිකර දෙමින්.

1955 තරම් ඈතට දිවයන මෙරට වෙසක් තොරණ කලාවට පාරම්පරික සිත්තරුන්ගෙන් ලැබෙන්නේ අප්‍රමාණ දායකත්වයක්.

මෙරට ඉතිහාසයේ තොරණ 250 කට ආසන්න සංඛ්‍යාවක සිත්තම් කටයුතු කළ මෙරට දැනට සිටින පැරණිම තොරණ චිත්‍ර ශිල්පියා වන්නේ රාජ්‍ය කලා භූෂණ සම්මානලාභී සැලසුම් නිර්මාණ හා චිත්‍ර ශිල්පී ‘පුෂ්පානන්ද දෙනිපිටිය’යි.

තොරණක සිතුවම් නිර්මාණය ඉතා භාරදූර හා සියුම් කටයුත්තක් වන අතර සිත්තරාගේ අත්ගුණය ද ඊට බෙහෙවින් බලපානවා.

තොරණ සිතුවම් නිර්මාණයට අද වනවිට නවීන තාක්ෂණය භාවිත වන පසුබිමක සියතින්ම සිතුවම්කරණයේ නිරත වන පාරම්පරික සිත්තරුන් අභියෝග රැසකට මුහුණ පා සිටිනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවයි ‘පුෂ්පානන්ද දෙනිපිටිය’ සඳහන් කළේ.

නව පරපුර සියතින් චිත්‍ර නිර්මාණයට දක්වන අල්ප කැමැත්ත හමුවේ මෙම කලාවේ අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවයක්.

+


බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000 ක දීමනාවක්

(20.05.2024 – 15:49 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට අද (20) දිනම අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශයේ අද (20) පැවති සාකඡාවකදී අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා පිළිබඳව සමාලෝචනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩි කිරීමට එකඟතාවය පළ කළ අතර එතෙක් රුපියල් 15,000 දීමනාව ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව ඉදිරි සතියේදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

බන්ධනාගාර නිලධාරීන් අද (20) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන්නේ රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ෴


විජයදාසට හා කීර්තිට එරෙහිව වාරණ නියෝගයක්

(20.05.2024 – 15:51 +0530 – hirunews.lk/sinhala)

නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ වැඩබලන මහ ලේකම් කීර්ති උඩවත්තට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සදුන් විතාන අද (20) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවයි.


ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කරමින් CIDයෙන් අධිකරණයට වාර්තාවක්

(20.05.2024 – 16:02 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත භාරදී තිබෙනවා.

මීට දින තුනකට (3) පෙර ඇය තමන් වෙත එය භාරදුන් බවයි ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කියා සිටියේ.

පසුගියදා ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එමෙන්ම ඇයට විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා ෴


උපන්දිනදාම හමුදා වාහනයක ගැටී තරුණ කතක් මරුට

(20.05.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala)

පාපැදියක ගමන් කළ කාන්තාවක් යුද හමුදා වාහනයක ගැටීමෙන් අද (20) පෙරවරුවේ මියගොස් තිබෙනවා.

අදට (20) යෙදුණු ඇගේ 23 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටියදී අය මෙසේ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

යාපනය අච්චුවේලී, පුතූර්, කනම්බුලියාඩි හන්දියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් තුවාල ලැබූ ඇය රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කළේ.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අච්චුවේලී රෝහලේ තබා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා වාහනයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි අච්චුවේලි පොලීසිය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *