කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක්

කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක්


කැළඹුණු කාලගුණය ගැන ඉදිරි පැය 36 සඳහා විශේෂ දැනුම්දීමක්

(19.05.2024 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) පස්වරු 04:00 ට නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා .

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙරමෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

එසේම අහස වලාකුළින් බරව පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

බස්නාහිර සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර සියයට (100) වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනය සඳහන්.

එමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් තිහක – හතළිහක (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+

පුත්තලම යටවේ

(19.05.2024 – 18:43 +0530 – hirunews.lk/sinhala)

මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19,128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බවට වාර්තා වනවා.

අධික වර්ෂාවත් සමඟ මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල් මෙලෙස පිඩාවට පත්ව තිබෙනවා.

මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගල‍යින් 18497 ක පිරිසක් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.

මහ වැසිත් සමග ගලා ආ ජලය ඇතැම් නිවාවල අඩි දෙකකට (2) ආසන්න තිබු බවත් ආපදා සහන සේවා නිළධාරීන් පැවසුවා ෴

මගුර ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එම නිසා පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ ෴

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා ෴

+

ඉදිරි දිනවල ගංවතුර අවදානමක්

(19.05.2024 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ව‍ර්ෂාව ඉදිරියටත් පැවතුණොත් ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

මේ අතර කඳුකර අතුගංගා සහ දිය ඇලිවල ජල පහර ක්ෂණිකව වැඩිවීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් පසුවන්නැයිද ඔහු ඉල්ලීමක් කරනවා.

වර්ෂාව අධිකව පවතින නාගරික ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවන නිසා රථවාහන පදවන රියදුරන් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ඔහු පවසන්නේ.

පහත් බිමවල පදිංචිකරුවන් හා එවැනි ප්‍රදේශ හරහා ගමන් ගන්නා ජනතාව ප්‍රවේශම් විය යුතු බවද ඔහු පවසනවා.

අත්තනගලු ඔය, කැලණි, කලු, නිල්වලා සහ බෙන්තර ගංගා මෙන්ම මහ ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බවද එස්.පී.සී. සුගීෂ්වර පැවසුවා ෴

+


අධිකරණයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දෝෂාරෝපනයක්

(19.05.2024 – 22:17 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන විමර්ශන පිළිබඳ අධිකරණයට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් නිපුණ ගුණසේන විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය සිදු කළේ කහටගස්දිගිලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කල් ඉකුත් වූ සහල් කිලෝ එක්ලක්ෂ හැත්තෑ පන්දහසකට (1,75,000) අධික ප්‍රමාණයක් පිරිසිදු කර නැවත අසුරා කල් ඉකුත් වීමේ දිනය වංචනික ලෙස වෙනස් කර වෙළඳපොළට මුදා හැරීමේ සිද්ධියට අදාළව නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේ මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ට අධිකරණය මගින් ඇප ලබා දුනහොත් මහජන කැලඹීමක් ඇතිවීමට ඉඩක් තිබේද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ට ඇප නියම කළහොත් කිසිදු මහජන කැළඹීමක් ඇති නොවන බවයි.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගෙන් තවදුරටත් විමසා සිටියේ සැකකරුවන්ට ඇප නියම කළහොත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බාධාවක් එල්ල විය හැකිද යන්නයි.

එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දීම තුළින් විමර්ශනවලට කිසිදු බාධාවක් ඇති නොවන බවයි.

මේ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී සහල් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයක අයිතිකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ වර්තමානයේ අපහට ජීවත් වීමට සිදුව ඇත්තේ බෙහෙත් වෙනුවට වතුර විදින රටක සහ බත් වෙනුවට කුකුළු ආහාර කෑමට ලබාදෙන රටක බවයි.

මෙම කූඨ ජාවාරමේ සැබෑ සැකකරුවන් ලොරි රථවල අයිතිකරුවන් හෝ රියදුරන් නොවන බවත් සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇත්තේ ලෝක ආහාර වැඩසටහනේ ඉහළ බලධාරීන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම ඒ බව තහවුරු කිරීමට අදාල ලේඛන තමා ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.

මේ අතර සහල් තොගය පිරිසුදු කිරීම භාරගත් බව කියන කහටගස්දිගිලය සහල් මෝලේ අයිතිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද අධිකරණයට කරුණු දක්වා සිටියා.

ඔහු කියා සිටියේ සහල් පිරිසිදු කර නැවත ඇසුරුම් කර, කල් ඉකුත් වීමේ දිනය තවත් ඉදිරියට මසක් යොදා වේයන්ගොඩ ආහාර කොමසාරිස් ගබඩාවට භාරදෙන ලෙස දැනුම් දී ඇත්තේ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත ‘අබ්දුල් රහිම් සිද්ධික්’ යන තැනැත්තෙක් බවයි.

කහටගස්දිගිලිය ප්‍රදේශයේදී සහල් මෝලක් වෙත ලොරි රථ 8 කින් ප්‍රවාහනය කරමින් තිබූ කල් ඉකුත් වූ සහල් කිලෝ එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් (1,75,000) පසුගියදා සොයා ගත්තා.

පසුව අනාවරණය වූයේ මෙම සහල් තොගය ලෝක ආහාර වැඩසටහන යටතේ ජනතාවට නොමිලේ ලබා දෙන සහල් තොගයක් බවටයි ෴


ධම්මික පෙරේරාගේ ඇඟේ නැති දේශපාලන ‘මේන් තියරි’ එක

(19.05.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala)

පාලනය කිරීමේ පහසුව සලකා නූගත් ජනතාවක් බිහි වීමට ඉඩ හැරීම දේශපාලන විද්‍යාවේ ප්‍රමුඛ සිද්ධාන්තයක් වුවද එය තමන් අනුගමනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල අද (19) පැවැති වැඩසටහනකදීයී.

‘ඩී.පී. එඩියුකේෂන්’ ආයතනයෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණ භූමියේදී අද (19) පැවැත්වුණේ එහි නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.

+


හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-05-20

+


DP කැම්පස් 136 යි එක කැම්පස් එකක ලමයි 1000 ට වැඩි මේ වගේ දේවල් රජයකට කරන්න බෑ (19.05.2024)

+


මහමැතිවරණයක් අවොත් වෙන්නේ ලොකු අනතුරක් – දිනේශ් ඔයා ‘බොරළුගොඩ සිංහය’ටත් ලැජ්ජාවක් (20.05.2024)

+


සරුවටම කරගෙන ගිය යාලේ තහනම් වගාව

(20.05.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (19) කතරගම පොලිස් වසමේ යාල රක්ෂිතයේ වෙහෙරගල ප්‍රදේශයේ දී වැටලීම් 02 ක් සිදුකර තිබෙනවා.

මෙහිදි නීති විරෝධී ලෙස අක්කර 1.5 ක පමණ භූමි ප්‍රමාණයක කංසා ගස් 143,000 ක් පමණ වගාකර තිබු කංසා හේන් 02 ක් සහ මෙරට නිෂ්පාදිත තුවක්කු 02 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවුණා.

ඒ සමඟ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ගංජා ගස් සියල්ල ගිණිතබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මිද්දෙනිය හා ජූලම්පිටිය යන ප්‍රදේශ වල පදිංචි අය බවටයි වාර්තා වෙන්නේ ෴


රිය අනතුරකින් සිව් (4) හැවිරිදි ළමයෙකු ඇතුළු තුනකට (3) බරපතල තුවාල

(20.05.2024 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, තුනුකායී ප්‍රදේශයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වයස අවුරුදු හතරක (4) ළමයෙකු ඇතුලු තුන් දෙනෙකු බරපතල තුවාල ලබා ඊයේ (19) කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

එහිදී තුනුකායි සිට මල්ලාවි දෙසට ධාවනය වූ යතුරුපැදියක්, මාන්කුලම් දෙස සිට තුනුකායි දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුනුකායි වෙඩික්කලාන් ප්‍රදේශයේ පදිංචි ඩේවිඩ් නිශාන්තන් නමැති 28 හැවිරිදි යතුරුපැදිකරු අසාධ්‍ය තත්ත්වයෙන් මල්ලාවි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කිලිනොච්චිය දිසා රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම අනතුරෙන් යතුරු පැදියට හා මෝටර් රථයට හානි සිදුව ඇති අතර, මෝටර් රථය පැද වූ තැනැත්තාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බව මල්ලාවී පොලීසිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *