පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක්

පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක්


පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක්

(19.05.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ අත්අඩංගුවේ සිටි තරුණයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ අසාධ්‍ය වී රෝහල්ගත කරන විට මියගොස් තිබෙනවා.

ඥාතීන් චෝදනා කරන්නේ ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ’ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හේතුවෙන් විහඟ ජීවිතක්ෂයට පත්වූ බවටයි.

මිනුවන්ගොඩ, හොරම්පැල්ල, වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි ‘විහඟ’ ඉකුත් අප්‍රේල් 22 වැනිදා පස්වරු 03:30 ට පමණ නිවසින් පිටව තිබුණේ කාර්මික දෝෂයකට ලක්වූ තම යතුරුපැදිය සාදා ගැනීම සඳහා සුපුන් නමැති කාර්මික ශිල්පියෙකු කැටුව පැමිණීම සඳහායි.

නමුත් පසුදින අලුයම වනතෙක්ම ඔහු නැවත නිවස වෙත නොපැමිණි නිසා ඔහුගේ පියා මිනුවන්ගොඩ පොලිසියට පැමිණ තිබුණේ පැමිණිලි කිරීම සඳහායි.

අනතුරුව ඔහු පසුව 23 වැනිදා රාත්‍රියේ ‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, එම අවස්ථාවේ තම පුත්‍රයා කෑගසන හඩ දුරකථනයෙන් ඇසුණු බවත් විහඟගේ පියා පවසනවා.

පසුව විහඟගේ වැඩිමහල් සහෝදරයා නීතීඥවරයෙකු ද සමඟ අප්‍රේල් 24 වැනිදා ‘පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය’ට ගොස් විහඟ එම පොලිස් නිලධාරීන් භාරයේ සිටින බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඉන්පසු අප්‍රේල් 25 වැනිදා ඔවුන් නැවත ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසය’ට පැමිණ තිබුණේ එදින විහඟ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට විමර්ශන නිලධාරියෙකු කළ දැනුම් දීමකට අනුවයි.

තුවාල සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි විහඟ අධිකරණය වෙත රැගෙන යාම සඳහා පියවර ගත්තත් ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

විහඟගේ ඥාතීන් චෝදනා කරන්නේ පෑලියගොඩ අපාරධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හේතුවෙන් විහඟ ජීවිතක්ෂයට පත්වූ බවටයි.

+


ආගමන විගමන පාලක ඩයනා ගමගේට නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රය යළි කැඳවයි

(19.05.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ‘ආගමන විගමන පාලකවරයා’ වෙත භාරදී තිබෙනවා.

මීට දින දෙකකට (2) පෙර ඇය තමන් වෙත එය භාරදුන් බවයි ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ‘ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය’ කියා සිටියේ.

පසුගියදා ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

එමෙන්ම ඇයට විදේශ ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

ශ්‍රී ලාංකීය පුරවැසියෙකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කිරීමත් සමග ඩයනා ගමගේ ට ‘මෙරට විදේශ ගමන් බලපත්‍රයක්’ භාවිතා කළ නොහැකි බැවින් ඇයට නිකුත් කර තිබූ ‘විදේශ ගමන් බලපත්‍රය’ යළි ලබාදෙන ලෙස ලිපියක් යොමුකළ බවයි ‘ආගමන විගමන පාලකවරයා’ කියා සිටියේ.

එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර, හැදුනුම්පත් ඇතුලු ඩයනා ගමගේට නිකුත් කර තිබූ අනෙකුත් පෞද්ගලික ලිපි ලේඛන සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා නීතිපති උපදෙස් ලබාගැනීමටද කටයුතු කළා.

+


සජිත් – අනුර විවාදයට සජබ දින දෙයි

(19.05.2024 – 15:03 +0530 – hirunews.lk/sinhala)

‘සමඟි ජන බලවේගය’ සහා ‘ජාතික ජන බලවේගය’ අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් ‘සමගි ජන බලවේගය’ විසින් ලිපියක් යවා තිබෙනවා.

‘සමඟි ජන බලවේගයේ’ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ දෙපාර්ශවයේ ‘ආර්ථික කමිටු අතර විවාදය’ පළමුවෙන් තැබිය යුතු බවයි.

ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30 සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ‘ජාතික ජන බලවේගය’ට දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුනි මස 03, 04, 05, 06 හෝ 07 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කර ඇත්තේ.

එසේම එම විවාද දිනයන් සම්බන්ධයෙන් ‘ජාතික ජන බලවේගයෙන්’ කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

+


රජය යුතුකම් ඉටු නොකිරීමෙන් රණවිරුවන්ට රුසියානු යුදබිමේ මැරෙන්න සිදුවෙලා – විපක්ෂ නායක

(19.05.2024 – 15:35 +0530 – hirunews.lk/sinhala)

රජය රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකිරීම නිසා රුසියානු යුද පෙරමුණේදී ජීවිතක්ෂයට පත්වීමට සිදුව ඇතැයි විපක්ෂ නායකවරයා පැවසීය.

30 වසරක ත්‍රස්තවාදයේ ජයග්‍රහණයෙන් පසු රණවිරු ප්‍රජාවට නිසි යුතුකම් ඉටු වූයේද කියා නැවත සිතා බැලිය යුතු බවත්, රණවිරුවන් හා එම පවුල් අන්ත අසරණ වී ඇති බැවින් දරාගත නොහැකි ආර්ථික සමාජීය පීඩනයකට ඔවුන් ලක්ව ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (18) ගාල්ල නෙලුව දෙල්ලව මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා කැපකිරීම් කළ රණවිරුවන් ආර්ථික අපහසුතාවලින් පීඩනයට පත්ව ඔවුන් අපේක්ෂා කළ සහන අහිමි වීම නිසා රණවිරුවන් දරිද්‍රතාවේ පතුලටම වැටි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා ඔවුන් වෙනත් ආදායම් මාර්ග සොයා විදේශ ගතව ඇති බවද සමහරු රුසියාවට ගොස් එරට යුද පෙරමුණට යාමට සිදුව තිබෙන බවයි ඔහු පැවසුවේ.

එසේ ගිය අයගෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් ඊට හේතුව රජය රණවිරුවන් වෙනුවෙන් හරිහැටි යුතුකම් ඉටු නොකිරීම යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘සක්වල සුහුරු පන්ති කාමර’ වැඩසටහනේ 192 වැනි අදියරට එක්වෙමින්.

‘සමගි ජන බලවේග රජය’යක් යටතේ රණවිරුවන්ට ලැබිය යුතු සියලු සහන වරප්‍රසාද ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ ෴

+++++++++++

මම තමයි නිශ්චිතවම කමල් ගුණරත්නට කිව්වේ ප්‍රභාකරන් අර කඩොලානේ ඉන්නවා කියලා (19.05.2024)

+


පොලිසියේදී සැකකරුවෙකු කොස්තාපලයෙකුගේ ගෙළ මිරිකයි

(19.05.2024 – 16:26 +0530 – hirunews.lk/sinhala)

පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපලයෙකුගේ ගෙළ මිරිකා සපා කෑම හේතුවෙන් අදාළ කොස්තාපලයා රෝහල් ගත කිරීමේ පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මොණරාගල පොලිසියේ කොස්තාපලයෙක්.

සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මොණරාගල පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු සිරමැදිරියේ රදවා සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යාමේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


පාචන රෝගීන් වැඩියි – දන්සැල් පරිස්සමෙන්

(19.05.2024 – 17:20 +0530 – hirunews.lk/sinhala)

වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවනතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීකෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මේ නිසා ‘වෙසක් බීම දන්සැල්’ පැවැත්වීමේදී ‘පිරිසිදු ජලය’ භාවිතා කරන්නැයි ඔහු ඉල්ලීමක් කළා.

වෙසක් දන්සැල් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පැවසුවා.

වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනූව ‘වෙසක් පෝය දිනට පෙර දින’ දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරන බවයි ඔහු පවසන්නේ.

වෙනත් වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා ෴


කොළඹ වරාය නගරය ආසන්නයේ ගොඩනැගිල්ලක ගින්නක්

(19.05.2024 – 17:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයට යාබද අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවකයින් සිටින කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා ෴

+

+


සජිත්ගෙන් පොරොන්දුවක්

(19.05.2024 – 20:42 +0530 – hirunews.lk/sinhala)

තමා ජනාධිපති ධුරයට පත්වී පළමු පැය 48 තුළ සමස්ත රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ රණවිරු සමුළුව අමතමින්.

සමගි ජන බලවේගයේ 6 වැනි රණවිරු සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මොනරාගලදී අද පස්වරුවේ පැවැත්වුණා.

මෙහිදී සමගි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංසදය පිහිටුවා එම නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද විපක්ෂ නායකවරයා අතින් සිදුකෙරුණා.

++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *