අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්


අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

(19.05.2024 – 09:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ‍රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන ප්‍රදේශ සඳහාත්,

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්,

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, ⁠මතුගම, වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාත්,

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපලාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය යන ප්‍රදේශ සඳහාත්,

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, ⁠දෙහිඹ්විට,⁠ බුලත්කොහුපිටිය, ⁠ගලිගමුව, ⁠වරකාපොල, ⁠කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත්,

රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠බලංගොඩ, ⁠රත්නපුර, ⁠ඉඹුල්පේ, ⁠කලවාන, ⁠කිරිඇල්ල, ⁠කුරුවිට, ඇහැළියගොඩ, ⁠අයගම, ⁠ඇලපාත යන ප්‍රදේශ සඳහාත් නායයෑමේ පුර්‍ර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ ෴

+

දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

(19.05.2024 – 10:41 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනගලු ඔය පරිහරණය කිරීමේදී ජනතාව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවටයි.

එමෙන්ම මහවැලි, කළු, ගිං, මාදුරු ඔයේ ජල මට්ටම්ද මේ වනවිට ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර රාජාංගණය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක (2) බැගින් තවදුරටත් විවෘත කර තිබෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අදත් (19) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක් තද සුළං ඇති විය හැකි බවයි වාර්තා වන්නේ ෴

+

ගත වූ පැය 24 වැඩිම වර්ෂාපතනය කැලණි ගං මිටියාවතට

(19.05.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ගංගා ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශය පවසනවා.

ඒ අනුව එම වර්ෂාපතනය සමග කැලණි ගඟේ ජල මට්ට්ම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ‘ග්ලෙන්කෝස්’ හි පිහිටුවා ඇති ජල මාපාංකය අනුව එම ප්‍රදේශයට අද (19) උදෑසන 08:30 වන විට මිලිමීටර් 91.1 ක වර්ෂාපතනය ලැබී තිබුණා.

මේ අතර කැලණි ගඟ ආශ්‍රිතව ‘හංවැල්ලේ’ පිහිටුවා ඇති ජල මාපාංකය අනුව, වර්ෂාපතනය මිලිමීටර් 77.1 ක් ලෙස වාර්තා වී තිබූ අතර ‘හොලොම්බුවේ’ පිහිටුවා ඇති මාපාංකයේ වර්ෂාපතනය සටහන්ව තිබුණේ මිලිමීටර් 58.7 ක් ලෙසයි.

තව ද අධික වර්ෂාපතනය හේතුවෙන් ‘කළු ගඟ ආශ්‍රිතව පිහිටුවා ඇති ජල මාපාංකයක’ ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය සටහන්ව තිබුණේ මිලිමීටර් 51.4 ක් ලෙසින්.

එසේ ම කළු ගඟ ආශ්‍රිතව පිහිටුවා ඇති ‘කලවැල්ලාව මිල්ලකන්ද මාපාංකයෙහි’ වර්ෂාපතනය සටහන් වූයේ, මිලිමීටර් 45.9 ක් ලෙසින් බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර ගිං ගඟ ආශ්‍රිතව ‘බද්දෙගම’ පිහිටුවා ඇති ජල මාපාංකයේ වර්ෂාපතනය සටහන්ව තිබුණේ, මිලි මීටර් 63.6 ක් ලෙසින් වන අතර ‘තවලම’ පිහිටුවා ඇති මාපාංකයේ එය සටහන්ව තිබුණේ මිලිමීටර් 21.1 ක් ලෙසින් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ.

තව ද මාදුරු ඔය ආශ්‍රිතව ‘පදියතලාවේ’ ඉදි කර ඇති මාපාංකයේ වර්ෂාපතනය මිලි මීටර් 61.3 ක් ලෙස සටහන්ව තිබෙනවා.

එසේ ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ, මහවැලි ගඟ ආශ්‍රිතව ‘වේරගංතොට’ පිහිටුවා ඇති මාපාංකයේ වර්ෂාපතනය මිලි මීටර් 55.7 ක් පෙන්නුම් කර ඇති බවයි.

මේ අතර මා ඔයේ, ‘යකාවැව’ පිහිටුවා ඇති මාපාංකයේ වර්ෂාපතනය මිලි මීටර් 54 ක අගයක් වාර්තා වී ඇති අතර මහ ඔයේ ‘බඩල්ගම’ පිහිටුවා ඇති මාපාංකයේ වර්ෂා පතනය වාර්තා වී තිබුණේ මිලිමීටර් 47.9 ක් ලෙසයි.

තව ද ගත වූ පැය 24 තුළ වාර්තා වූ වර්ෂාපතනය හේතුවෙන් ‘අත්තනගලු ඔය ආශ්‍රිතව පිහිටුවා ඇති මාපාංකයේ’ වර්ෂාපතනය මිලිමීටර් 43.7 ක් වාර්තා වී ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අත්තනගලු ඔයේ ජල මට්ටමට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි ෴

+

මුහුදු යන ධීවරයින්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්

(19.05.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයක කුඩා ධීවර යාත්‍රා අද (19) දහවල් 12 සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු නොයන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, මන්නාරම දිස්ත්‍රික්කයද ඇතුළුව මන්නාරම සිට පුත්තලම, හලාවත මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න වරායන් සහ තොටුපළවල් වෙතින් ක්‍රියාත්මක සියලුම වෙරළාසන්නයේ ක්‍රියාත්මක ධීවර යාත්‍රා, ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ ෴

+

බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ෴


මීරිගම එකම පවුලේ තුන්දෙනෙකු (3) ඝාතනය කෙරේ

(19.05.2024 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – මාලදෙණිය – සිතලවලාන ප්‍රදේශයේදී එකම පවුලේ තුන්දෙනෙකු (3) ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

අද (19) අලුයම මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවන පියා, 79 හැවිරිදි මව සහ ඔවුන්ගේ 42 හැවිරිදි පුත්‍රයායි.

සැකකරු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඝාතනයට ලක්වූවන්ගේ ඥාතියෙකු බව සඳහන්.

නාල්ල පොලිසියේ ජංගම සේවයේ නිරත නිලධාරීන් පිරිසක් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනය සිදුකර පළායමින් සිටින අවස්ථාවේදියි.

එහිදී ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් (2,50,000) , රත්‍රං මාලයක් (1) සොයාගෙන තිබුණා. 42 හැවිරිදි වියේ පසුවන සැකකරු හලාවත – බංගදෙනියේ පදිංචිකරුවෙක් බව සඳහන් ෴

මාලදෙණියේ ත්‍රිත්ව (3) ඝාතකයාව පොලීසියට කොටු වූ හැටි

(19.05.2024 – 12:17 +0530 – sinhala.adaderana.lk)

මීරිගම, කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ අද (19) අලුයම පුද්ගලයින් තිදෙනෙකුව (3) ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 78 ක පිරිමි පුද්ගලයෙක්, වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ ‘විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු’ වූ 42 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයා ය.

ඝාතන සම්බන්ධයෙන් සැකපිට මියගිය තිදෙනාගේ (3) ඥාති පුද්ගලයෙක් නාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද (19) අලුයම් කාලයේ මීරිගම, කිතලවලාව ප්‍රදේශයේ විමර්ශන රාජකාරියක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට එහි මාර්ගයක පාපැදියක් තල්ලු කරමින් යන පුද්ගලයෙකු නිරීක්ෂණය වී තිබුණි.

වයස් අවුරුදු 40 ක පමණ වන අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පොලිසිය ඔහුව පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු සන්තකයේ තිබී මුදල්, රන් භාණ්ඩ මෙන්ම වයස අවුරුදු 78 ක පිරිමි පුද්ගලයෙකුට අයත් ජාතික හැඳුනුම්පතක්ද සොයා ගෙන තිබේ.

වෙනත් අයෙකුගේ හැඳුනුම්පතක් ඔහු සන්තකයේ තිබීම සම්බන්ධයෙන් සැකපළ වීම හේතුවෙන් පොලිස් නිලධාරින් හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය සොයා එහි යෑමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණි.

නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මළසිරුරු 3 ක් හමුවී තිබේ.

ඒ වයස අවුරුදු 78 ක පිරිමි පුද්ගලයෙක්, වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ වයස අවුරුදු 42 ක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වූ අදාළ නිවසේ පදිංචිව සිටි පිරිසගේ මෘතදේහ බවට හඳුනාගැනුණි.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබී හමුවූ ජාතික හැඳුනුම්පත නිවස හිමි 78 හැවිරිදි පුද්ගලයාට අයත් බවටද පොලිසිය තහවුරු කරගත්තේය.

ඒ අනුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අදාළ නිවැසියන්ගේ සමීප ඥාතියෙක් වූ ඔහු විසින් මෙම ඝාතන ත්‍රිත්වය (3) සිදුකර ඇති බවය.

මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් තමන් ‘සිය පුංචි අම්මා, බාප්පා සහ ඔවුන්ගේ පුත්‍රයා ගෙල සිරකර මරාදැමූ බව’ ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නාල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය ෴

++++++++++

+


කාන්තාවක් නිදි යහනේදීම මියයයි

(19.05.2024 – 11:24 +0530 – hirunews.lk/sinhala)

ස්වාමියා හා දියණිය විදේශ ගත වී සිටින යාපනයේ තාවඩි ප්‍රදේශයේ කාන්තාවක් නිදි යහනේදීම මියගොස් සිටියදී ඇගේ මළ සිරුර යාපනය පොලිසිය විසින් ඊයේ (18) සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ තාවඩි දකුණ, කාලි කෝවිල් පාරේ පදිංචි 31 හැවිරිදි එක් දරු මවක්.

අප වාර්තාකරු පැවසුවේ ඇගේ සැමියා හා දියණිය ප්‍රංශයේ පදිංචිව සිටින අතර ඇය පමණක් යාපනයේ සිය නිවසේ ජීවත් වී වන බවයි.

සිද්ධිය වූ දිනයේදී ඇය රාත්‍රී ආහාරය ගෙන නින්දට ගොස් ඇතත් පසු දින ඇය අවදි වී නොමැති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිගමනය කිරීමට නොහැකි වූ නිසා මියගිය කාන්තාවගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් කිහිපයක් අධිකරණ නියෝග මත කොළඹ රජයේ වෛද්‍ය කාර්යංශය වෙත යවා තිබෙනවා.

මියගිය කාන්තාවගේ මළ සිරුර අවසන් කටයුතු සදහා ඥාතීන්ට බාර දී ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් (Elon Musk) අතර හමුවක්

(19.05.2024 – facebook.com/PresidentsMediaSriLanka)

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ‘Starlink’ සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර අද (19) හමුවක් සිදු වූ අතර එහිදී ගෝලීය ‘Starlink’ ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ.


ඉරාන තානාපතිට පහරදීමක්

(19.05.2024 – lankadeepa.lk)

ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පලායාමට උත්සාහ දරන මෝටර් රථයේ බොනොට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරුට දැනුම් දී ඇත.

එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා මීටර් 15 ක්දි පමණ ඉදිරියට රිය ධාවනය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි. වයස අවුරුදු තිස්තුනක (33) පුද්ගලයෙකි ෴

මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී ඊයේ (18) මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව සිද්ධියට අදාළව පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (19) කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කුරුඳු වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ෴


සම්මා දිට්ඨි | 2024-05-18 | Rupavahini

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *