යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි

යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි


යකැදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය වෙයි

(18.05.2024 – 19:39 +0530 – sinhala.adaderana.lk)

යකැදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය වී තිබේ.

ඒ අදාළ යකැදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බව වාර්තා වෙයි.

චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවකි.

පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර තම පවුලට හිස එසවිය නොහැකි වන තරමටම කිසිවකු සිය පවුලට හූනියමක් සිදුකර ඇතැයි යන විශ්වාසයේ එල්බ තිබුණි.

ඇය පසුගිය කාලය පුරාම කිරිඇල්ල ප්‍රදේශයේ යකැදුරෙකු හමුවට ගියේ එකී හූනියම ඉවත් කර ආරක්ෂාවක් කර ගැනීම සඳහාය.

රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය එම හූනියමක් ඉවත් කරගැනීමට උත්සාහ කළ අතර, යකැදුරා විසින් ඇයට රන් සුරයක් ද පළඳවා තිබුණි.

මේ අතර එම කාන්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා උදෑසන නිවසෙන් පිටව ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ඇගේ පුතා විසින් ඇහැලියගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ තම මව අතුරුදන් වී ඇති බවට සඳහන් කරමිනි.

ඒ අනුව විමර්ශන ඇරැඹූ ඇහැළියගොඩ පොලීසිය චන්ද්‍රිකාගේ ජංගම දුරකථන අංකය ඔස්සේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන තිබුණි.

පොලීසියට එහිදී සුවිශේෂි දුරකථන අංකයක් නිරීක්ෂණය වූ අතර, අප්‍රේල් 24 වනදා උදෑසන ඇයගේ දුරකථනයට අදාළ අංකයෙන් ඇමතුම් ගණනාවක් ලැබී තිබුණි.

එමෙන්ම ඇය ද එම අංකයට ඇමතුම් ලබාගෙන තිබූ බවට පොලීසියට නිරීක්ෂණය වී ඇත.

එම දුරකථන අංකයේ හිමිකරු කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව සොයාගත් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ, එම පුද්ගලයා රන් සුරයක් රන් භාණ්ඩ මිලදීගන්නා ස්ථානයකට විකුණා ඇති බවය.

පොලීසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ සුරය අතුරුදන් කාන්තාවගේ බවය.

ඔහු අදාළ කාන්තාව කිරිඇල්ලට ගෙන්වාගෙන ඝාතනය කළ බවත් තමා යකැදුරාගේ ගෝලයකු බවත් ඔහු පාපෝච්චාරණය කර තිබේ.

සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ, හූනියම ඉවත් කර ගැනීමට කාන්තාවට දැමූ සුරයෙන් පළක් නොවූ බවට අවස්ථා කිහිපයකදී අදාළ යකැදුරාට දුරකථනය මගින් කතා කර බැණ වැදී ඇති බවය.

ඒ අනුව සැකකරු අදාළ කාන්තාවට පවසා ඇත්තේ “ගුරුන්නාන්සේ කොඩිවිනය ශක්තිමත් කරලා ආපහු සුරයක් හදලා දෙන්නම් කිව්වා… කිරිඇල්ලට එන්න” ලෙසය.

පසුව එම කාන්තාව අප්‍රේල් 24 වනදා උදෑසනම ඇහැලියගොඩ සිට කිරිඇල්ලට පැමිණ ඇති අතර යකැදුරා එහිදී සිය ගෝලයාට පවසා ඇත්තේ, “මේ ගෑනිගෙන් හරි කරදරයක් තියෙන්නේ, මොනව හරි කරපං” යනුවෙනි.

ඒ අනුව, අදාළ පුද්ගලයා විසින් කෙටි මාර්ගයක් ඇති බව කාන්තාවට පවසා කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගෙල සිරකර ඇය ඝාතනය කළ පසු ඔහු ඇය පැළැඳ සිටි රන් සුරය ද රැගෙන, මළසිරුර කැලයේම අතු ගොඩක් යට සඟවා පළාගොස් තිබේ.

පසුව පොලීසිය පසුගියදා අදාළ ස්ථානයේ තිබී මළසිරුර සොයාගත් අතර ඒ වන විටත් මළසිරුර දැඩි ලෙස විනාශ වී තිබුණේ සතුන් හානි කිරීම හේතුවෙනි.

ඇයගේ පුත්‍රයා විසින් මළසිරුර හඳුනාගැනීම ද මෙහිදී සිදුකෙරුණු අතර අනතුරුව පොලීසිය විසින් අදාළ යකැදුරාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

+


බාල ඖෂධ බවට හෙළිවෙන විටත් ඖෂධවලින් 98% ක්ම දරුවන් ඇතුළු රෝගීන්ට දීලා

(18.05.2024 – 22:31 +0530 – hirunews.lk/sinhala)

හෘද, අක්මා, වකුගඩු හා අධි රුධිර පීඩනය වැනි රෝගවලට භාවිත කරන ඖෂධයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 98 ක්ම ළමා රෝහල් ඇතුළු රජයේ රෝහල්වල රෝගීන්ට ලබා දී ඇති බව විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම රෝගීන් දෙදෙනෙකු (2) මියයෑම හේතුවෙන් එක්තරා නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන අවස්ථාව වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 50 ක් රෝගීන්ට ලබාදී තිබූ බව ද අදාළ වාර්තාවේ සඳහන්.

2022 – 2023 වසරවල රටේ ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් පසුගියදා විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූවා.

මෙම විගණන වාර්තාව පිටු 850 කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් පද්ධතියක් සම්බන්ධව විගණකාධිපතිවරයෙක් නිකුත් කළ විශාලතම විගණන වාර්තාව මෙය බවයි වාර්තා වන්නේ.

පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය 2020 වසරේදී ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ ආනයනය කරන ලද හෘද, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරනු ලබන ‘ෆියුරොසිමයිඩ්’ (Furosemide) සිරප් බෝතල් 6,000 ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් සියයට 98 ක ප්‍රමාණයක් ‘රිජ්වේ ආර්යා ළමා රෝහල’ ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කර ඇති බව මෙම විගණන වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

එසේම නිර්වින්දනය සඳහා භාවිත කරන ‘බියුපිවැකෙන්’ (Bupivacaine) ඖෂධයේ එන්නත් 68,750 ක තොගයක් රුපියල් මිලියන 40 කට අධික මුදලක් වැය කර හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන තිබූ අතර එම ඖෂධය භාවිතයෙන් පසු ‘පේරාදෙණිය ශික්ෂණ රෝහලේ’දී කාන්තාවන් දෙදෙනෙකු (2) මියගොස් තිබුණා.

ඒ අනුව එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ කෙරුණද ඒ වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 50 ක්ම රෝගීන් වෙත නිකුත් කර තිබූ බව විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මෙම ඖෂධය රෝහල් වෙත නිකුත් කිරීමට පෙර ‘ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය’ මගින් ඖෂධවල තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබූ බව නිරීක්ෂණය වූ බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම විගණන වාර්තාවේ දත්ත පදනම් කරගනිමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පැමිණිල්ලක් ගොනු කළා ෴


සාමනේර හිමිනමක් කාමරයට දමාගෙන හොදටම ගුටි ඇන පන්සලට ගෙනත් දමයි..

(18.05.2024 – 17:30 +0530 – lankacnews.com)

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක 16 හැවිරිදි සාමනේර හිමිනමක් නිවසකට රැගෙන ගොස් කිසියම් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී නැවත විහාරස්ථානයට ගෙනැවිත් දමා ගොස් සිටියදී හමු වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ සාමනේර හිමිනම ප්‍රතිකාර සදහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පහර කෑමට ලක් වූ සාමනේර හිමිනම වැඩ වාසය කළ විහාරස්ථානයේ පිළිම කිහිපයක් අස්ථාන ගත වීමක් සම්බන්ධයෙන් මෙලෙස පහර දී ඇතැයි සාමනේර හිමිනම හංවැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.

පිළිම අස්ථාන ගත වීම පිළිබදව එම විහාරස්ථානයේම වැඩ සිටින හිමිනමකගේ අනුදැනුම මත පිරිසක් විසින් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා යැයි කියමින් තමාව නිවසකට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් බව ද අදාළ පැමිණිල්ලෙහි සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව හංවැල්ල පොලිසිය පවසයි.

+++++++++

+


ඩයනා රටේ රැදී සිටින්නේ නීති විරෝධීව | ආරක්ෂා කරන්නේ රනිල් | වහාම අත් අඩංගුවට ගත යුතුයි CID එක නිදිද? (18.05.2024)

+


රුසියානු මිනිස් ජාවාරම ගැන පැමිණිලි 400 පනී

(19.05.2024 – 07:54 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ප්‍රවෘත්ති’ මගින් පළමුවරට අනාවරණ කළ රුසියානු යුද්ධයේ කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකිකයන් යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ වෙත පැමිණිලි 411 ක් වාර්තා වී තිබෙනවා.

දුරකථන ඇමතුම් හරහා මෙම පැමිණිලි වාර්තා වී ඇත්තේ, එම අමාත්‍යාංශය මගින් පසුගියදා ස්ථාපිත කළ විශේෂ ඒකකය වෙතයි.

මෙම වංචාවට ගොදුරු වූ පුද්ගලයන් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු දන්නේ නම් තවදුරටත් 011 244 1146 දුරකථන අංකය හරහා ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ට තොරතුරු ලබා දිය හැකියි.

මෙරට සේවයේ නියුතුව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම කිසිදු යුද පුහුණුවක් නොලද පුරවැසියන් පවා රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියානු හමුදාවට බඳවාගෙන ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

මෙවැනි පසුබිමක සිය මිතුරෙකු හරහා රුසියානු හමුදාවේ සේවය සඳහා පසුගිය අප්‍රේල් 03 වැනිදා මෙරටින් පිටව ගිය වැලිගම – දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි ‘චන්දන බණ්ඩාර’ නම් 46 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා පුහුණු නිලධාරියෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලබා දින ගණනාවක් එරට රැඳී සිටීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා දිවයිනට පැමිණියා.

මේ අතර රුසියානු හමුදාවේ සේවයට බඳවාගත් කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා නිලධාරීයෙකුගේ ඥාතීන් පිරිසක් ‘විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය’ තාරක බාලසූරිය හමුවුණා ෴


අඹ ගස මුදුනේදී සිහි මූර්ජා වූ තරුණයෙකු ගසෙන් වැටී මියයයි

(19.05.2024 – 08:40 +0530 – hirunews.lk/sinhala)

යාපනය උඩුවිල් ප්‍රදේශයේ තරුණයෙකු අඹ කැඩීමට ගසකට නැගීමෙන් පසුව ඔහු ගස මුදුනේදී සිහි මූර්ජා වී බිමට ඇද වැටීමෙන් ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ ආලඩිඋඩු මානිප්පායී ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සසිකුමාර් රොබින්සන් නමැති තරුණයෙකි.

ඔහු අඹ ගසට නැග ස්වල්ප වේලාවකදී තමන්ට ක්ලාන්ත ගතියක් දැනෙන බව අඹ ගස යට සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් තරුණයාව ගසෙන් බිමට ගැනීමට සූදානම් වනවාත් සමගම ඔහු අඹ ගසෙන් බිමට ඇද වැටී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහලට ඇතුළත් කොට ඇතත් එම තරුණයා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බවයි.

මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වනවා ෴


‘සුරක්ෂා’ සිසු රක්ෂණ වැඩසටහන යළි ආරම්භ කෙරේ

(19.05.2024 – 09:43 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ‘සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන’ යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජූනි මස 01 වන සතියේ සිට දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණ වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා ෴


ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට

(19.05.2024 – 10:37 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද, කොට්ටුන්න පන්සල අසලදී ඊයේ (18) දින ‘විශේෂ කාර්ය බලකාය’ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ගෝනහේන විශේෂ කාර්ය බලකාය කඳවුරේ’ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 120 ක් ද, ජංගම දුරකථනයක් ද, අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක අයෙක් වන අතර, සැකකරු සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *