දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට


දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට

(17.05.2024 – 22:45 +0530 – hirunews.lk/sinhala)

‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පෙන්වා දෙන බවට වාර්තා වෙනවා.

හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන 10,000 කින් 6000 ක් අප ජල නළ පද්ධතියට සම්බන්ධකර ගැනීමට නොහැකිවීම හේතුවෙනුයි, රුපියල් බිලියන 22 ක ‘ජයිකා’ ආධාර යටතේ ආරම්භ කළ මෙම මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පිරිපහදු ඒකකය ඇතුළු නළ මාර්ග පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමට හේතුව වී ඇත්තේ.

ඒ බව, ‘කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය’ (WDC) සහ ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ (CES) එක්ව පසුගිය අඟහරුවාදා (14) මහනුවර නගරාශ්‍රිතව සිදුකරන ලද ක්‍ෂේත්‍ර මාධ්‍ය අධ්‍යයනයකදී අනාවරණය කර තිබෙනවා.

අවම වශයෙන් තවත් රුපියල් මිලියන 150ක මුදලක් හෝ මේ සඳහා රජය මගින් ලබාදෙන්නේ නම් දැනට සිදුවන අප ජල හානිය සියයට 50 කින්, එනම් ඝන මීටර 3500කින් අවම කරගත හැකි බවයි නාගරික සනීපාරක්‍ෂක අංශ පවසනවා ෴


ගෝඨාට අධිකරණයෙන් නොතීසි

(17.05.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

2000 වසරේ දෙසැම්බර් 19 වැනි දින යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ අවුරුදු 5 ක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා.

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ’ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේ.

+


ගංවතුර ඇතිවීමේ අවදානමක්

(17.05.2024 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව, කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය (මින් එකක හෝ කිහිපයක) පහත්බිම් ආශ්‍රිතව ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


ඊ-පාස්පෝට් ක්‍රමය ඉදිරියේදී

(17.05.2024 – 21:16 +0530 – hirunews.lk/sinhala)

ඊ-පාස්පෝට් ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළදී මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

කොළඹ පැවති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාතාලය සහ අපරාධ මැඬපැවැත්වීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ගද ගන්නා බවයි.

දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිවිල් සමාජය නියෝජනය කරන පිරිස් ඒකරාශී කරමින් ජනතා නියෝජිත හමුවක් අද (17) පස්වරුවේ කොළඹදී පැවැත්වුණේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්.

ඊට වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන් ඇතුළු වෘත්තිකයින් පිරිසක් එක්ව සිටි අතර ඔවුන්ට සිය ප්‍රදේශවල පවතින ඕනෑම ගැටලුවක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෘජුව දැනුවත් කල හැකි බවද මෙහිදී සඳහන් කෙරුණා.

+


“අතුරුදන් කිරීම් ගැන ප්‍රසිද්ධියේ සමාව ගන්න” මානව හිමකම් කොමිසම ලක් රජයට දන්වයි

(17.05.2024 – 22:05 +0530 – hirunews.lk/sinhala)

අතුරුදහන් කිරීම් පිළිබඳ, දශක ගණනාවක් පුරා රට තුළ සිදුකළ අපරාධවලට රාජ්‍ය ආරක්ෂක අංශ හා අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන, ප්‍රසිද්ධ සමාවක් අයැද සිටින්නැයි, ශ්‍රි ලංකා රජයට ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය’ අද (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.

එසේ අතුරුදන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත්, එම අපරාධවලට වගකිව යුත්තන් සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමටත් ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ සියලු ශ්‍රී ලාංකිකයන් කිසිදා අමතක නොකළ යුතු යැයි මෙම වාර්තාව නැවතත් තහවුරු කරන බවද පවසන ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්’ වොල්කර් ටර්ක් සඳහන් කළේ, “ඔවුන්ගේ ඥාතීන් හිතමිතුරන් බොහෝ කාලයක් බලා සිටින අතර ඔවුන්ට සත්‍යය දැනගැනීමට අයිතියක් ඇති” බවයි.

“බලහත්කාරයෙන් අතුරුදහන් වූ සියලු දෙනා කෙරෙහි යුක්තිය ඉටු කිරීමට ලාංකීය රජය බැඳී සිටියි. මෙම අපරාධ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත්ය. මෙවැනි අපරාධ, බලහත්කාරයෙන් අතුරුදහන් කලවූවන්ගේ ආදරණීයයන් පමණක් නොව සියලු ප්‍රජාවන් සහ මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයම දිගින් දිගටම කම්පනයට ලක් කරනු ඇත.” යැයි වෝලටර් ටර්ක් සඳහන් කර තිබෙනවා.

නොයෙකුත් රජයන් විසින් සිදුකළ බලහත්කාර අතුරුදහන් කිරිම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සම්මත කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාල සහ හානිපූරණය සඳහා වන කාර්‍යාල පිහිටුවීම වැනි විධිමත් පියවර කිහිපයක් ගෙන ඇති නමුත්, තනි පුද්ගල අතුරුදහන් වීම් පුළුල් ලෙස විමර්ශනය කොට විසඳීම කෙරෙහි ගෙන ඇති ප්‍රායෝගික පියවර සීමිත බව මෙම වාර්තාව හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙනවා ෴


ඉන්දියාවේ සාමාන්‍ය ජනයා පවා සිතන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත්විජිතයක් ලෙසයි – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

(18.05.2024 – lankaleader.com)

ඉන්දියාවේ දශරා යනුවෙන් උත්සවයක් ඇති බවත්, එහිදී දවස් 10ක් පමණ රාවණාගේ අනුරුවක් සාදා ශ්ලෝක කියමින් එම අනුරුවට බැණවැදී උත්සවය අවසානයේ දී රාවණාගේ අනුරුවට ගිනිතැබීම හෝ ගංගාවලට දැමීම සිදුකරන බවත්, අපේ රටේ කළුගල් කැබැල්ලක් හෝ එතරම් බැණුම් නොඅසන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසති.

රාම විසින් රාවණාව පරාජය කර ඉන්දියාවට නැවත පැමිණි දිනය ලෙස ඔවුන් සිතන දිනයේ දී ඉන්දියානු රුපියල් මිලියන ගණනක් වියදම්කර ගිණිකෙලි උත්සව පවත්වන බවද, එහිදී ලංකාවට විරුද්ධව ජනමතයක් නිර්මාණය කරන බවද උන්වහන්සේ පවසති.

පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘රාම රාවණා සහ විභිෂණ නූතන කතාව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

ඉන්දියානු සිනමාවේ දී පාකිස්තානය පිළිබඳව වෛරීසහගත මතයක් ගොඩනගන අතරවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියානු සාමාන්‍ය ජනතාව අතර පවතින වෛරී සහගත මනස නඩත්තු කරන්නේ එලෙස බව උන්වහන්සේ පවසති.

ලංකාව ඉන්දියාවේ යටත්විජිතයක් බව සහ බුදුරජානන් වහන්සේ යනු දශ අවතාරවලින් එකක් පමණක් බව ඉන්දියානු සාමාන්‍ය ජනතාවගේ පිළිගැනීම බව උන්වහන්සේ පවසති.

හින්දු ආගම විසින් ඔවුන්ගේ මනසට දමා ඇත්තේ එලෙස බවත්, එම මානසිකත්වයේ නෂ්ඨාවශේෂයන් උතුරු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාව දක්වා මෙන්ම දකුණු ඉන්දියාවේ සිට වවුනියාව දක්වාද ජනතාව තුළ ඇති බවත් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

මෙය ‘දේශපාලන අධිපතිවාදය’ ද, නැතිනම් ‘ස්වෝත්තම අධිපතිවාදී මනස’ ද යන්න වෙනම දේශපාලන විග්‍රයක් කළ යුතුව ඇති බවද උන්වහන්සේ පවසති.

+

ආදරණීය ‘අරගලයද?’ ආදරණීය ‘ඩොලර්ද?’ | ජාතිකවාදී බලවේග නිහඬ කරවමින්, ශ්‍රී ලංකා රාජ්‍ය බිඳවට්ටපු හැටි!

+

ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය වීම අබියස | නූතන විභීෂණගේ මස්කටු වලට වලිගය වනන වාම-ලිබරල්වාදී අවතාර

+


ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපළේදී සේවකයෙක් ගුවන් යානයකින් බිම ඇද වැටෙයි

(18.05.2024 – 11:16 +0530 – hirunews.lk/sinhala)

TransNusa ගුවන් සේවයේ භූමි කාර්ය මණ්ඩල සේවකයෙක් Airbus A320 ගුවන් යානයෙන් බිම ඇද වැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපළේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ගුවන් කාර්ය මණ්ඩල සේවකයින් හා කතා කරමින් දොර දෙසට ගමන් කර තිබෙනවා.

එහිදී පහළ සිටි නිලධාරීන් විසින් ඔහු දොර දෙසට පැමිණෙන අයුරු නොදැක ගුවන් යානයෙහි පඩිපෙළ ඉවත් කර ඇති අතර කාර්ය මණ්ඩලය හා කතා කරමින් පැමිණි භූමි කාර්ය මණ්ඩල සේවකයා පඩිපෙළ ඉවත් කර තිබෙන ආකාරය දැක නොමැතිව බිඳ ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://streamable.com/knew3s


පෙම්වතාව පැහැරගත් පෙම්වතිය හා ඇගේ පියා අත්අඩංගුවට

(18.05.2024 – 08:45 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් පැමිණ පෙරේදා (16) සවස මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අදාළ තරුණයාට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර පොලිසිය විසින් එම තරුණයා පෙම්වතියගේ නිවසේ සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඔහුව පොලිසිය විසින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


කරඳගොල්ල – මලිත්තගොල්ල නායයෑම යළි සක්‍රිය වෙයි

(18.05.2024 – 09:36 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වැසි තත්වයත් සමග බදුල්ල – කරඳගොල්ල – මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයෑම සක්‍රියවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ මේ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 16-5 කණුව ආසන්නයේ ගමන් කිරීමේදී සැළකිලිමත් විය යුතු බවයි.

අදාළ ස්ථානයේ පවතින අනතුරුදායක තත්වය අවම කරගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක්ම මේ වනවිට ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව තද වැසි පවතින අවස්ථාවලදී මාර්ගය වසා දැමීම, සංඥා කණු යොදා රථ වාහන ධාවනයට ඉඩ සැළසීම සහ ඒ ආසන්නයේ විදුලි පහන් සවි කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *