මීලඟ මැතිවරණය ගැන ඩිලාන් පෙරේරා හෙළිකළ රහස

මීලඟ මැතිවරණය ගැන ඩිලාන් පෙරේරා හෙළිකළ රහස


මීලඟ මැතිවරණය ගැන ඩිලාන් පෙරේරා හෙළිකළ රහස

(17.05.2024 – 14:51 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේදී අනිවාර්‍යයෙන්ම පවත්වන්නේ මහමැතිවරණයක් බවට තමාට විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

එය සියයට සියයක් ස්ථීර බවත් ඒ පිළිබඳ මේවනවිටත් තීරණයක් ගෙන අවසන් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, මේවනවිට රනිල් වික්‍රමසිංහ ජනතාවගේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු කරවා ඇති බවත් නමුත් පවත්වන්නේ මහ මැතිවරණයක් බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

+


ලොව විශාලතම තොරණ පානදුරෙන්

(17.05.2024 – 14:41 +0530 – hirunews.lk/sinhala)

සම්මා සම්බුදු රජාණන්ගේ අසිරිමත් තෙමඟුල සිහිකෙරෙන වෙසක් උත්සවයට තවත් ඇත්තේ දින 6 ක් පමණයි.

වෙසක් පොහෝ දිනයේ සිට ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කෙරෙන ලොව විශාලතම තොරණ මෙවර ඉදිකෙරෙන්නේ පානදුර පුරවරයේ යි.

සම්බුදු තෙමඟුල සිහි කරමින් සිදුකෙරෙන වෙසක් තොරණ, වෙසක් කූඩු ඇතුළු විවිධ ආමිස පූජාවන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

වාර්ෂිකව ඉදිකෙරෙන පානදුර තොරණ්රාජයා ද එම ප්‍රදේශය ආශ්‍රිතබෞද්ධ සැදැහැවතුන් අතර අවධානය දිනාගන්නා නිර්මානයක්.

මෙවරද එම තොරණේ ඉදිකිරීම් මේ වනවිට ලහි ලහියේ සිදුකරමින් පවති යි.

‘නන්දිවාණිජ කතා වස්තුව’ පිළිබිඹු කෙරෙන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා පනහකට (50) ආසන්න පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිනවා.

තොරණ්රාජයා වර්ණවත් කිරීමට යොදාගන්නා විදුලි බුබුළු සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසකට (1,10,000) අධිකයි.

ලොව උසම වෙසක් තොරණ ලෙස වාර්තාවක් තැබීමේ අරමුණින් ඉදිකෙරෙන උසින් අඩි 82 ක් වන මෙම තොරණේ පළල අඩි 86 ක්.

තොරණ නිර්මාණය සඳහා පුවක් ගස් 400 ක් යොදාගෙන ඇති අතර එලෙස පුවක් ගස් යොදා ගනිමින් ඉදි කෙරෙන එකම තොරණද මෙය බවයි සැළකෙන්නේ.

පසුගිය වසරේද ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු විශාලතම තොරණ වූයේ පානදුර තොරණයි.

එහි ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස නිර්මාණ කටයුතු මෙහෙයවන්නේ ‘වර්ණගේ සසිත චතුරංග’ යි.

ඇක්‍රලික් තීන්ත යොදා ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මෙම තොරණේ තවත් විශේෂත්වයක්.

පානදුර මහා තොරණ්රාජයා එළැඹෙන වෙසක් පුන් පොහෝ දින සිට මැයි 30 දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මේ අතර, ප්ලාස්ටික් ආශ්‍රිතව නිර්මාණය කරන වෙසක් සැරසිලි සහ උත්සව අවස්ථාවන් සඳහා යොදා ගන්නා ප්ලාස්ටික්, ඉටිකොළ යොදා නිෂ්පාදනය කරන සැරසිලිවර්ග තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

+


රණවිරු දින සැමරුම් වෙනුවෙන් මාර්ග කිහිපයක් වසා දැමේ

(17.05.2024 – 15:16 +0530 – hirunews.lk/sinhala)

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන 19 වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

එදින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඒ හේතුවෙන් 19 වනදා සවස 03:00 සිට පොල්දූව මංසන්ධිය සහ කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල් වීමේ මං තීරුව සහ පිටවීමේ මං තීරුව වසා දැමෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.


‘සයිටම්’ අරගල කාලේ අධිකරණ නියෝග කඩකළ වෛද්‍යවරු තිදෙනෙකුට (3) අවවාද

(17.05.2024 – 15:16 +0530 – hirunews.lk/sinhala)

‘සයිටම් විශ්වවිද්‍යාලය’ අහෝසි කරන ලෙස සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට අදාළව පැවැති නඩුවත් විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී වරද පිළිගත් වෛද්‍යවරුන් තිදෙනෙකු (3) අවවාද කර මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (17) පියවර ගෙන තිබෙනවා.

ඔවුන් මෙම නඩුවෙන් නිදහස් කරන්න යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

තරුණ වෛද්‍යවරුන් වීම සහ වරද පිළිගැනීම සලකා නඩුවෙන් නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබෙනවා.

මෙලෙස නිදහස් කෙරූනේ අංගොඩ මානසික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරියක් සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් (2).

මේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් කිහිපදෙනෙකුට වරෙන්තු නිකුත් වූ අතර, ඔවුන් ‘මෝෂන්’ ගොනු කරමින් වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

ඇප මත මුදා හැර ඇති සැකකරුවන් වන ‘අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ’ හිටපු කැඳවුම්කරු ලහිරු චින්තක වීරසේකර , ‘භික්ෂු බල මණ්ඩලයේ’ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද ඇතුළු සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා ෴


ව්‍යාජ වෛද්‍යවරු පිළිබඳ දැනුම් දෙන්න ක්ෂණික දුරකතන අංකයක්

(17.05.2024 – 15:23 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ විසින් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සඳහන් කළේ 1907 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුවත් කළ හැකි බවයි.

මේ වන විටත් නීති විරෝධී වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ෴


රුපියල් කෝටි 10 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගබඩාවක තිබී හසුවෙයි

(17.05.2024 – 15:50 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටක සිට නීති විරෝධීව මෙරටට ගෙන ආ ‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් වී තිබෙනවා.

ඒ අද (17) පස්වරුවේ සීදූව ප්‍රදේශයේ ගබඩාවක තිබියදීයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ‘කුරියර් සේවාවක්’ මගින් දිවයිනට එවා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

++++++++++

+


ජුනි 04 පාසල් පටන් ගන්න නව චක්‍ර ලේඛයක්

(17.05.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව අංපො.ස. උසස් පෙළ පන්ති ආරම්භය දක්වා මාස කිහිපයක කාල සීමාවක් පැවතීම මත සිසු සිසුවියන් හා පාසල අතර සබඳතාවයට සෘණාත්මක බලපෑමක් ඇති වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

එමෙන්ම මේ හරහා සිසු සිසුවියන්ට අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය නියමිත කාලයට පෙර අවසන් කිරීමට ද හැකියාවක් නොලැබී යාම ගැටලුවක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

එය නියමු වැඩසටහනක් ලෙස මෙම 2024 වර්ෂයේ දී ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන සියලු ම පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති 2024.06.04 වන දින ආරම්භ කිරීමට නියමිතයි.

ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා.


මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ

(17.05.2024 – 16:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය විනාශ කරන අධිබලැති උඳුන ස්ථාපිත කර ඇත්තේ, ‘පුත්තලම ලැක්ටෝස් වත්ත’ ඉඩමේ පර්චස් 20 ක භූමියකයි.

මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලියන 6.34 ක මුදලක් ශ්‍රී ලංකා පොලිසියෙන් වැය කර ඇති අතර, එම භූමිය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉදි වූ මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා වැය වී ඇති සම්පූර්ණ වියදම රුපියල් මිලියන 11 කට අධික බව පොලිස් මූලස්ථාන නිවේදනයේ සඳහන්.

ඒ අනුව හෙට (18) දින ‘හෙරොයින්’ කිලෝ 279 යි ග්‍රෑම් 591 ක් සහ ‘මෙතැම්පිටමින්’ හෙවත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 45 යි ග්‍රෑම් 654 ක ප්‍රමාණයක් විනාශ කිරීමට නියමිත අතර සෙල්සියස් අංශක 800 – 1200 දක්වා උෂ්ණත්වයකින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පැය 8 ක කාලයක් ගතවෙනවා.

පැයක (1) කාලයක් මෙම උඳුන ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රෑම් 15 ක් සහ ඩීසල් ලීටර් 4 ක් වැය කෙරෙනවා ෴

18-05-2024

+


දරුවන් පස්දෙනාම (5) රටගිය දුකට පියා ලිඳට පනී

(17.05.2024 – 17:27 +0530 – hirunews.lk/sinhala)

තමන් තනි කොට සිය දරුවන් පස් දෙනාම (5) විදේශ ගත වීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි යාපනයේ එලුකෝවිල් ප්‍රදේශයේ වයස අවුරුදු 76 ක පුද්ගලයෙකු සිය ගෙවත්තේ පිහිටි ළිදට පැන ඊයේ (16) සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අයියාතුරෙයි ත්‍යාගරාජා නැමති මෙම පුද්ගලයාගේ බිරිඳ මීට වසර 08 කට පමණ ඉහතදී මියයාම නිසා ඔහු එක් එක් දරුවා ළඟ ජීවත්වී ඇති අතර, පසුව දරුවන් පස් දෙනාම (5) වරින් වර විදේශ ගත වීම නිසා ඔහු සිට ඇත්තේ දැඩි කම්පනයකින්.

සිය නිවසේ තනිවම ජීවත්ව සිටියදී තමාගේ තනිකම හා පාළුව ගැන සහ තමාට සැලකීමට කිසිවෙකු නොමැති බව අවස්ථා කීපයකදීම අසල්වාසීන් සමග ඔහු ප්‍රකාශ කර ඇති බව අසල්වාසීන් පවසනවා.

සිද්ධිය වූ දිනයේදී ළිඳ දෙසින් විශාල ශබ්දයක් ඇසී අවට පිරිස් ඒ ගැන විපරම් කොට බැලීමේදී වයෝවෘද්ධ පුද්ගලයා ලිද තුළ සිටීනු දැක ඇති අතර වහාම ඔහුව ළිදෙන් ගොඩ ගෙන යාපනය ශීක්ෂණ රෝහල වෙත ගෙනගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙන්නේ ෴


තවත් ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්

(17.05.2024 – 20:10 +0530 – hirunews.lk/sinhala)

තත්ත්වෙන් බාල ඖෂධ මිලදී ගැනීම නිසා මෙරටට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 2500 කට ආසන්න බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් ඒකකය සහ ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව නවතම විශේෂ විගණන වාර්තාව පසුගියදා නිකුත් වූ අතර එම විගණන වාර්තාවට අනුවයි මේ බව අනාවරණ වී ඇත්තේ.

මේ අනුව අදාළ විගණන වාර්තාව කෙරෙහි පුළුල් අධ්‍යයනයක් කොට ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කටයුතු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සදහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *