CIDය ඩයනාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි

CIDය ඩයනාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි


CIDය ඩයනාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි

(17.05.2024 – 06:46 +0530 – hirunews.lk/sinhala)

හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඩයනා ගමගේ විසින් පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති බවද සඳහන් ෴


පල්ලෙබැද්ද මාර්ගයේ දී යතුරුපැදියක් බස් රථයක ගැටි අනතුරකට ලක්වෙයි

(17.05.2024 – 07:02 +0530 – hirunews.lk/sinhala)

සූරියකන්ද බුලුතොට හරහා පල්ලෙබැද්ද මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදී යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

යතුරුපැදියේ පසුපසින් පැමිණි පුද්ගලයා විසින් කුඩයක් ඉහලාගෙන පැමිණෙමින් තිබියදී කුඩය පහත්වීමත් සමග පැදිකරුට මාර්ගය දර්ශනය නොවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා ෴


වීසා අවුලට මම එයාර්පෝට් එකේ කෑගහපු එක වැරදි නම් ඇමති ඇතුලේ යකා නටපු එක හරිද (16.05.2024)

+


ලංකා යටත් විජිතයට එන ඇමරිකානු නව ආණ්ඩුකාරවරිය කවුද? (16.05.2024)

+

+


චීන ජාතිකයෙකු බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක යෙදී මාස හයකදී (6) රුපියල් මිලියන 365 ක් හොයලා – දඩ සහ අත්හිටවූ සිර දඬුවම්

(17.05.2024 – 07:34 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක යෙදී මාස හයකදී (6) රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට (36,50,00,000) අධික මුදලක් උපයා ගත් චීන ජාතිකයකුට ඔහු සතු එම මුදල රජසන්තක කර තිබෙනවා.

තවද, කොළඹ මහාධිකරණ විනිසුරු විසින් ඔහුට රුපියල් කෝටි තුන හමාරක (3,50,00,000) දඩයක් ද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

විත්තිකරුට වසර දෙකක (2) බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 15 ක කාලයකට අත්හිටුවීමට විනිසුරුවරයා තීරණය කර තිබෙනවා.

‘නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව’ පෙන්වා දෙමින් මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ චීන භාෂා පරිවර්තකයෙකුටයි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට නියම කරමින් විනිසුරුවරයා මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ ෴


ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රිය ධාවනයේදී සුපරික්ෂාකාරී වන්නැයි ඉල්ලීමක්

(17.05.2024 – 09:15 +0530 – hirunews.lk/sinhala)

විවෘත කෙරුණු ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නායයෑම සක්‍රියවී ඇති කරඳගොල්ල ප්‍රදේශයේදී රිය ධාවනය සුපරික්ෂාකාරීව සිදුකරන ලෙස ‘ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’ ඉල්ලා සිටිනවා.

අධික වර්ෂාවත් සමග ඊයේ (16) පස්වරුවේ මෙම මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර, අද (17) පෙරවරු හයට (06:00) එය යළි විවෘත කෙරුණා.

නායයෑම් සක්‍රිය වූ කරඳගොල්ල ස්ථානයේ පොලිස් මාර්ග බාධකයක්ද යොදා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර සඳහන් කළේ ෴

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (17) රාත්‍රී 08:00 සිට හෙට (18) පෙරවරු 06:00 දක්වා වාහන ගමනාගමනය සඳහා වසාතැබෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. ඒ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ෴


මත්කුඩු ජාවාරමට ඇල්ලූ පාකිස්ථාන ජාතිකයින් 9 දෙනෙකුට වසර 10 බැගින් සිර දඬුවම්

(17.05.2024 – 09:52 +0530 – hirunews.lk/sinhala)

2020 වසරේ නාවික හමුදාව සිදුකළ වැටලීමකදී ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 491 ක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 431 ක් සමග අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයින් 9 දෙනෙකුට වසර 10 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් මෙලෙස දඬුවම් නියම කෙරුණේ ඔවුන් වරද පිළිගැනීම හේතුවෙන්.

මෙම සැකකරුවන් අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්ථානය වෙත පිටුවහල් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය’ සඳහන් කළා ෴


පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටෙයි

(17.05.2024 – 10:32 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල පොලිසියට අනුයුක්ත සේවය කරන මාතලේ කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ගමන් ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා (2) බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් හය දෙනෙකු (6) යතුරුපැදි තුනකින් (3) රාජකාරී කටයුත්තක් සඳහා අද (17) උදෑසන මාතලේ සිට අනුරාධපුර බලා එමින් සිටියදී අනුරාධපුර කවරක්කුලම ප්‍රදේශයේදී මාර්ගයෙහි අසල තිබූ විශාල ගසක් එක් (1) යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

සිද්ධිය පිළිබඳව කවරක්කුලම පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+++++++++

+


රුසියානු රැකියා ජාවාරමේ දඹගල්ලේ සැකකරු අධිකරණයට

(17.05.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

රුසියානු රැකියා ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොණරාගල – දඹගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා සෙබලා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රැකියා ලබා දෙන බව පවසා රුසියාවට ඇතුලු වීමට නොහැකිව යළි මෙරටට පැමිණි විශ්‍රාමික හමුදා සෙබලුන් පිරිසක් ඔවුන් විදේශ ගත කරන බව පවසා මුදල් ලබා ගත් අදාළ විශ්‍රාමික හමුදා සෙබලාගේ නිවසට ඊයේ (16) ගොස් තිබුණා.

ඒ ඔහු නිවසේ රැඳී සිටින බවට ලද තොරතුරු අනුවයි.

අනතුරුව දඹගල්ල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිසියට භාර දී තිබුණා.

මේ අතර, රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ නුගේගොඩ ස්ටෑන්ලි තිලකරත්න මාවතේ පිහිටා ඇති විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමණාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16) ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

අදාළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද තාවකාලිකව අත්හිටු වීමට පියවර ගෙන තිබෙනවා. සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා යොමු කරන බව පවසමින් මෙම ආයතනය එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති අතර පසුව ඔවුන් රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යොමු කර ඇති බව සඳහන්.

මේ අතර, මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලු සැකකරුවන් 5 දෙනාද ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළා.

එම සැකකරුවන් ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ රුසියාවට ගිය විශ්‍රාමික රණවිරුන්ගේ ඥාතීන් පිරිසක් අධිකරණ සංකීරණය අසළ නිහඩ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, රුසියාවේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායමක් විසින් එරට ආගමන විගමන අංශවල නීති උල්ලංඝණය කරමින් එම රටට ඇතුලු වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා ෴


යාපනයේ කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරලා

(17.05.2024 – 11:10 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ මරදන්කේණී තාලෙයිඅඩි ප්‍රදේශයේදී කාන්තාවක් දූෂණය කොට ගෙළ සිරකොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා මරදන්කේණී පොලිසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ සැමියා ධීවරයෙකු වන අතර ඔහු පොලිසියට පවසා තිබුණේ රාත්‍රියේ තමන් මුහුදු ගොස් අලුයම ආපසු නිවසට පැමිණෙන විට ඔහුගේ බිරිද වැසිකිලිය අසල වැටී සිටි බවයි.

පසුව ඇයව පේදුරුතුඩුව රෝහලට රැගෙන ගිය බවද ඔහු පවසා තිබෙනවා.

උඩුතුරෙයි උතුර තලෙයිඅඩි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ජෙයසීලන් සංගීතා නැමති මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පේදුරුතුඩුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ දැඩි ලෙස සීරීම් තුවාල තිබූ බවත් ඇගේ මරණයට හේතුව රෙදි කැබැල්ලක් වැනි යමකින් ඇගේ ගෙළ සිරකොට තිබීම බවත් හෙළි වී ඇති බවද සඳහන්.

මේ පිළිබදව මරදන්කේණී පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ දිනයේදී මියගිය කාන්තාවගේ සැමියා මුහුදු ගොස් නොමැති බවයි.

මේ නිවසේ කාන්තාව හා ස්වාමි පුරුෂයා අතර නිතරම ගැටුම් ඇති වන බවයි අසල්වාසීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත්තේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මරදන්කේණි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *