“ආගමටයි සංස්කෘතියටයි හානිකරන අණ පනත් රජය ක්‍රියාත්මක කරනවා” – විමල් වීරවංශ

“ආගමටයි සංස්කෘතියටයි හානිකරන අණ පනත් රජය ක්‍රියාත්මක කරනවා” – විමල් වීරවංශ


“ආගමටයි සංස්කෘතියටයි හානිකරන අණ පනත් රජය ක්‍රියාත්මක කරනවා” – විමල් වීරවංශ

(16.05.2024 – 21:03 +0530 – hirunews.lk/sinhala)

රජය විවිධ අණ පනත් ක්‍රියාත්මක කරමින් ආගමට සහ සංස්කෘතියට බලපෑම් එල්ලවන අන්දමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ යන මැයෙන් ඔහු රචනා කළ කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ පර්යේෂණාත්මක කෘතිය අද (16) එළි දැක්වුණා.

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳව අධ්‍යනයකින් පසු රචිත මෙම කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට දේශපාලන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා.

+


ග්‍රාම නිලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

(16.05.2024 – 20:05 +0530 – hirunews.lk/sinhala)

සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය ‘වෙසක් සතියෙන්’ අනතුරුව තවදුරටත් දැඩි කිරීමට ‘ග්‍රාම නිලධාරී සංගම්’ තීරණය කර තිබෙනවා.

ඔවුන් පෙරේදා (14) සිට සේවා කටයුතුවලින් ඉවත් වූ අතර අදින් (16) එම වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ‘ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ’ සභාපති නන්දන රණසිංහ කොළඹ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ, සිය ගැටලු සඳහා ආණ්ඩුව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි.

+

මේ අතර ‘සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය’ පළාත් මට්ටමින් සිදුකරන වර්ජනය දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් අද (16) උදෑසන 8 සිට දහවල් 12 දක්වා පැවැත්වුණා. මේ හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත් වුණා.

+

සිය ගැටලු සදහා විසදුම් ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට දින 14 ක් ගතවී ඇතත් මේ දක්වා නිසි විසදුමක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව සරසවි අනධ්‍යන සේවකයින් ප්‍රකාශ කළා.

+

එමෙන්ම, කොළඹ ජාවත්ත පාරේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව බත්තරමුල්ලට ගෙන යාමට විරෝධය පළ කරමින් එහි සේවකයින් අද (16) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් එහිදී කියා සිටියේ දේශපාලඥයන් අත්තනෝමතිකව ආදායම් උපයා ගැනීමේ අරමුණින් මෙම දෙපාර්තමේන්තුව වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

+


“ජනාධිපතිවරණය කල්දාන්න නීතියෙන් ඉඩක් නෑ” – ජී.එල්. පීරිස්

(16.05.2024 – 20:40 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය කල්දැමිම සඳහා වත්මන් ජනාධිපති උත්සහ කළොත් ඊට කිසිදු නීතිමය ඉඩක් නොමැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් ‘මැතිවරණ කොමිසම් සභාව’ට පෙන්වා දී තිබෙනවා.

‘මැතිවරණ කොමිසම් සභාවේ’ නියෝජිතයින් අද (16) පෙරවරුවේ හමුවූ අවස්ථාවේ ඔහු මේ බව පැහැදිලි කර තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ‘මැතිවරණ කොමිසමේ’ සභාපතිවරයා සහ ‘සමගි ජන බලවේගයේ’ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පැවැත්වුණා.

+


දරුවන්ට කෲරත්වය පෑ නරුම පියා

(16.05.2024 – 21:08 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ – මාලිගාතැන්න ප්‍රදේශයේ මව විදෙස්ගත වූ පසුබිමක සෙනෙහස අහිමි දරුවන් තිදෙනෙක් (3) පියාගේ අතිශය කෲරත්වයට පත්වී තිබෙනවා.

වයස අවුරුදු 30 ක තිදරු මවක් මීට මාස කිහිපයකට පෙර විදෙස් රැකියාවක් සඳහා මෙරටින් පිටව ගොස් තිබුණා.

ඉන් අනතුරුව මෙම නිවසේ සිට ඇත්තේ බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු (2), කුඩා දැරියක් (1) හා මෙම වැඩිහිටි පුද්ගලයා පමණයි.

විදෙස් ගතව සිටින දරුවන්ගේ මව සමග පවතින පෞද්ගලික ආරවුල් නිසා ඔහු මෙලෙස හැසිරී එම වීඩියෝ දර්ශන මවට යොමු කරන බවට තොරතුරු වාර්තා වුණා.

ඔහුගේ හැසිරීම්වල ඇති අතිශය අමානුෂික බවට මේ තවත් එක් උදාහරණයක් පමණයි.

කුඩා දරුවන් තිදෙනෙකු (3) මානසික හිංසනයට ලක් කරමින් මව සමග ආරවුල් විසදාගැනීමට උත්සහ කරන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අප වේයන්ගොඩ පොලිසිය දැනුවත් කරනු ලැබුවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් වේයන්ගොඩ – මාලිගාතැන්න ප්‍රදේශයට ගොස් දරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

මෙහිදී දරුවන්ට කෲරත්වයෙන් සැලකු පුද්ගලයා දරුවන් තිදෙනා (3) ද රැගෙන නිවස අතහැර ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා එම දරුවන්ගේ පියා බව අසල්වාසීන් ද තහවුරු කළා.

ඔහු කලක සිට තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෙක් බවත් මීට පෙර ද පොලිස් අත්අඩංගුවට පත් වු අයෙකු බවත් පොලිසිය ප්‍රකාශ කළා.

පලා ගිය සැකකරු හා දරුවන් සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා ෴


වැඩ වැරදුණු රුසියා රැකියා ජාවාරම – තවත් තොරතුරු රැසක් එළියට

(16.05.2024 – 21:25 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුධ පෙරමුණට සම්බන්ධ වී සිටින තවත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් ද අද (16) මාධ්‍ය හමුවේ අනාවරණය කෙරුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ විසින්.

රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති කාන්තාවක් සිය සැමියා ද එරටට ගෙන්වාගෙන ඇති අතර, රුසියානු යුධ පෙරමුණට සම්බන්ධ වූ ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි ඇය පවසන්නේ.

මේ අතර යුධ හමුදාවේ සේවය කළ බව කියන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් රුසියානු හමුදාව හා එක්වූ කුරුණෑගල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) පිළිබඳවද ‘හිරු ප්‍රවෘත්ති’ වෙත වාර්තා වුණා.

රැකියාවක් සඳහා රුසියාවට ගොස් විවිධ පීඩාවලට ලක් වූ කුරුණෑගල කුඹුක්ගැටේ කෝම්බුව පදිංචි ආර්.එම්. එරන්ද චින්තක තිලකරත්න සම්බන්ධයෙන් ඊයේ (15) දින ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ අප තොරතුරු අනාවරණ කළා.

රුසියානු යුද්ධයේදී තුවාල ලබා එරට රෝහලක රෝහල් ගත කර සිටින ඔහුගේ මිතුරෙකු සම්බන්ධයෙන්ද ඔහු කරුණු අනාවරණ කළා.

එමෙන්ම, රුසියාවේ මිනිස් ජාවාරම් සිදුකරන කණ්ඩායම් විසින් එරට ආගමන විගමන අංශවල නීතියෙන් රිංගා යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ආකාරය ඇතුළත් හඬ පටයක් ලැබී තිබෙනවා.

මේ අතර, රුසියා රැකියා ජාවාරම හේතුවෙන් මතුව ඇති තත්ත්වය සොයාබැලීම සඳහා මෙරට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිසක් කඩිනමින් රුසියාවට යවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි සඳහන් වන්නේ.

+


සිහිනයක් ගැන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හෙළි කරයි

(16.05.2024 – 22:11 +0530 – hirunews.lk/sinhala)

සිය අපේක්ෂාව ශ්‍රී ලංකාවට ‘කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක්’ ජයග්‍රහණය කර දීම බව ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ’ නායිකා චමරි අතපත්තු පවසනවා.

ඒ කොළඹදි ඇය වෙනුවෙන් පැවති පිළිගැනීමේ සහඋපහාර පිදීමේ උත්සවයකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වු ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ මේ මොහොතේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගැනීමට චමරි අතපත්තුට ඉඩ ලබා නොදෙන බවයි.

+


අනියම් පෙම් සබඳතාවක් නිසා සිසුවියක පැහැර ගත් සිව්දෙනා (4) රිමාන්ඩ්

(16.05.2024 – 23:00 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටි මහනුවර ප්‍රදේශයේ සිසුවියක් පැහැරගත් පුද්ගලයින් සිව්දෙනා (4) මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඒ ඔවුන් අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු හිටපු හමුදා සෙබළෙකු වන අතර සිසුවිය සමග පැවැති ප්‍රේම සබඳතාව නතර කිරීම හේතුවෙන් ඔහු මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වුණේ.

සිසුවිය පැහැරගෙන තිබුණේ මහනුවර කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේදීයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව නිවස බලා යමින් සිටි සිසුවියක මෙලෙස පැහැරගෙන තිබුණේ හිටපු යුද හමුදා සෙබළෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් (4).

24 හැවිරිදි ප්‍රධාන සැකකරු විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු කලක පටන් අදාළ සිසුවිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.

සිසුවිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇගේ සහෝදරයෙකු හමුදා සේවයේ නියුක්තව සිටින බවත් ඔහු සමඟ අදාළ සැකකරු අවස්ථා ගණනාවකදී සිසුවියගේ නිවසට පැමිණ ඇති බවත් වාර්තා වී තිබෙනවා.

පසුව සැකකරු සිසුවිය රැගෙන ගොස් වෙනත් නිවසක නවත්වා ඇති බවත් පරීක්ෂණ මගින් අනාවරණ වී ඇති අතර, සැකකරු විවාහකයෙකු බව දැන ගැනීමෙන් පසු සිසුවිය යළි පොළොන්නරුවේ නිවස කරා පැමිණ තිබුණා.

තරුණයාගෙන් අඛණ්ඩව සිදුවන බලපෑම් හේතුවෙන් මව්පියන් සිසුවිය මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමට පියවර ගත්තා.

පොලිසිය පැවසුවේ, සැකකරු එම නිවසට ද පැමිණ සිසුවිය රැගෙන ගොස් ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව පවසා ඇය යළිත් මහනුවර කුළුගම්මන නිවසට පැමිණ ඇති බවයි.

විභාගය අවසන් වී ඇය මිතුරන් දෙදෙනෙකු (2) සමඟ කුළුගම්මන නිවසට යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් බලහත්කාරයෙන් සිසුවිය ඊට නංවාගෙන පළා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා.

සිසුවිය පැහැර ගන්නා අවස්ථාවේ ඇය සමග සිටි මිතුරන් දෙදෙනා (2) අදාළ වෑන් රථයේ අංකය සටහන් කරගෙන පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිසිය පැයක පමණ ගාලයක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා.

ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ විභාගය නිමවීමෙන් පසු සිසුවිය තමන් සමඟ නොපැමිණේ යැයි සිතා පැහැර ගැනීම කළ බවයි.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එ‍හිදී නියෝග කෙරුණේ, ඔවුන් මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

සිසුවිය ඇගේ භාරකරුවන්ට භාර දී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *