ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු, රියැදුරු අසුන මත මියයයි

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු, රියැදුරු අසුන මත මියයයි


ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු, රියැදුරු අසුන මත මියයයි

(16.05.2024 – 10:57 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත් විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ලිදුල පොලිසිය පවසනවා.

මෙසේ ධාවනය වෙමින් තිබු බස් රථය තුලදිම ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නැමති (39) හැවිරිදි අයෙකි.

නුවරඑලිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ ධාවනය වු බස් රථය හදිසියේ කාර්මික දෝෂයකට ලක්විම නිසා එම බස් රථයේ ගමන් ගත් මගින්ව වෙනත් බස් රථයකට මාරු කර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර එක්ව බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යලිත් බස් රථය නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේදියි.

බස් රථය අනතුරට පත්විමත් සමග බස් රථයේ කොන්දොස්තර රියදුරුට කතා කර ඇති බවත්, එහිදි රියදුරු, රියදුරු අසුන මත වැතිරි සිටි නිසා කොන්දොස්තරවරයා විසින් ඒ පිළිබඳව ලිදුල පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු පොලිසිය විසින් රියදුරු අසුනෙන් රියදුරු ඉවත් කර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් භාරදෙන අවස්තාවේදි රියදුරු මියගොස් ඇති බව ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇති බව සඳහන්.

බස් රථය අනතුරට පත් වු ස්ථානය අධික බැවුමක් සහිත ස්ථානයක් බවද පොලිසිය පවසනවා.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර පමණක් ගමන් කර ඇති බවත්, පසුව ලිදුල පොලිසියේ නිලධාරින් එක්ව රියදුරු අසුනේ මියගොස් සිටි බස් රථයේ රියදුරාගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දි සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

අනතුරෙන් බස් රථයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මරණය සහ අනතුර සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.


දකුණේ අද (16) පැය 4 ක සෞඛ්‍ය වර්ජනයක්

(16.05.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala)

‘සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය’ පළාත් මට්ටමින් සිදුකරන වර්ජනය අද (16) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ‘ඩැට් දීමනාව’ට සමාන දීමනාවක් ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් මෙම වර්ජනයට එක්වනවා.

සිය වර්ජනය සම්බන්ධයෙන් ‘සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ’ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැහැදිලි කිරීමක් කළා.

මේ අතර සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් පෙරේදා (14) ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අදත් (16) ක්‍රියාත්මකයි.

එමෙන්ම වැටුප් ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ නිරත වනවා ෴


යාපනයෙන් හමු වූ මත්ද්‍රව්‍ය ‘අයිස්’ දැයි හොයන්න කොළඹින් විශේෂඥයෙක්

(16.05.2024 – 12:13 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ නිවසකින් හමු වූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ට සමාන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට එළඹීම සඳහා කොළඹින් රසායන විශේෂඥයෙකු යාපනයට කැදවීමට ආරක්ෂක අංශ තීරණය කොට තිබෙනවා.

‘යුක්තිය මෙහෙයුමේ’ නිරත පොලිස් කණ්ඩායමක් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළා.

එහිදී නිවසක පවත්වාගෙන ගිය කුඩා රසායනාගාරයක් හමු වී තිබූ අතර, එහි ‘අයිස් මත්ද්‍රව්‍ය’ කෘත්‍රිමව නිෂ්පාදනය කොට ඇති බවට සාධක තිබුණා.

එම ‘රසායන ද්‍රව්‍ය විශේෂය’ සැකකරු විසින් ‘අයිස්’ ලෙස හදුන්වා අලෙවි කරන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.

මෙම රසායනාගාරය පවත්වාගෙන ගිය මහ මොළකරු හා බිරිද පලා ගොස් තිබුණා.

නමුත් සේවකයින් දෙදෙනෙකු (2) සමග රසායනාගාර උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

පෞද්ගලික රෝහලක හෙදියක් වශයෙන් සේවය කරන බිරිඳ ‘අයිස් මත්ද්‍රව්‍ය’ සැකසීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය ස්වාමියාට සපයා දෙන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.

‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කළ ප්‍රධාන සැකකරු යාපනයේ ක්‍රියාත්මක වූ ‘ආවා කල්ලියේ’ සාමාජිකයකු බව වාර්තා වුණා.

පලා ගිය ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට ‘ඉනුවිල් පොලීසිය’ විමර්ශන සිදුකරනවා ෴


“පාස්කු වින්දිතයන්ගේ වන්දිය මෛත්‍රී ගෙව්වේ කොහොමද ?” – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(16.05.2024 – 12:34 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ‘අල්ලස් කොමිසම’ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන ‘මොන්ටේගු සරච්චන්ද්‍ර’ ‘අල්ලස් කොමිසම’ට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවට කතා බහක් පවතින බවයි ඔහු පේනවා දෙන්නේ.

එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

සම්පූර්ණන ලිපිය පහතින් :


‘අධි රුධිර පීඩනය’ ගැන භයානක අනාවරණයක්

(16.05.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)

‘ලෝක අධි රුධිර පීඩන දිනය’ හෙටට (17) යෙදී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ‘අධි රුධිර පීඩනය’ රෝගී තත්ත්වයේ ඉහළ යාමක් වාර්තා වන බවයි.

අධි රුධිර පීඩනය නමැති රෝගී තත්ත්වය නිහඬ මාරයෙකු ලෙසින් හඳුන්වන අතර එහි විශේෂත්වය වන්නේ ප්‍රධාන රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී පුද්ගල ශරීරයෙන් හඳුනාගත නොහැකිවීමයි.

රෝග ලක්ෂණ මතුවන අවස්ථාව වනවිට රෝගය පාලනය කළ නොහැකි මට්ටමට උග්‍ර වී ඇති බවත් හෘදය, මොළය සහ අක්ෂිවලට බරපතළ ලෙස හානි වී අවසන් බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

හිසරදය, කැරකැවිල්ල, ඇස් පෙනීම බොඳවීම, පපුවේ මහන්සිය, නාසයෙන් ලේ ගැලීම අධි රුධිර පීඩනයේ ප්‍රධාන රෝග ලක්ෂණයි.

අධික ලුණු භාවිතය මෙම රෝගයට ප්‍රධාන හේතු කාරකය ලෙස මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයෙකුට නිර්දේශ කර ඇත්තේ, ලුණු ග්‍රෑම් 5 ක ප්‍රමාණයක් වුවත්, මෙම ප්‍රමාණය ඉක්මවා ග්‍රෑම් 14.2 ක් පමණ මෙරට පුද්ගලයෙකු භාවිතයට ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළා ෴


ලංකාවට ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයෙක් පත්කරයි

(16.05.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්.ඒ. චූලානන්ද පත්කර තිබෙනවා.

මෙරට පරිපාලන සේවා විශේෂ ශ්‍රේණියේ කීර්තිමත් නිලධාරියෙකු වූ ඔහු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නව තනතුරට පත්කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ අංක 2382/32 දරන ගැසට්පත්‍රවල රෙගුලාසි මත මෙම පත්කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකොට තිබුණා.

ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක තීරණයකින් අගතියට පත්වන අය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම එම තනතුරේ රාජකාරිය වන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා ෴


සා.පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උසස් පෙළ ජුනි 04 වැනිදා ඇරඹේ

(16.05.2024 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඊට අදාල චක්‍ර ලේඛය මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර මෙම චක්‍රලේඛය මේ වන විටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම පාසල් සිසුන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ ෴


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් මැද

(16.05.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස සාමාන්‍ය පෙළ 2023 (2024) පැවති විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මැද වනවිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවති ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්ම, මෙම මාසය තුළ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවසන් අදියරේ සිටන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

(16.05.2024 – 16:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේදීයී.

එහිදී එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට අමාත්‍යවරයා විසඳුම් ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා.

එමෙන්ම මෙම (2024) වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලිමක් කර ඇති බවද සඳහන්.

මෙම වසරේ දී රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබා දුන් බැවින් නැවත වැටුප් වැඩිවීමක් සිදු කළ නොහැකි බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ නැවතත් වැටුප් වැඩිවීමක් සිදු වුවහොත් සමස්ත රාජ්‍ය සේවයම පමණක් නොව රටේ ආර්ථිකය ද නැවතත් කඩා වැටෙන අතර තෝරාගත් පිරිසකට පමණක් වැටුප් වැඩිවීමක් ලබා දීම සිදු කළ නොහැකි බවයි ෴


පුතුගේ විභාගය නිමාවන තෙක් මවගේ වියෝව සඟවා සිටි පියෙකුගේ අනුවේදනීය කතාව

(16.05.2024 – 18:00 +0530 – hirunews.lk/sinhala)

පුතුගේ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වන තුරු මවගේ වියෝව සඟවා සිටි පියෙක් පිළිබඳව අනුවේදනීය පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පසුගිය 12 වැනිදා නිවසේ සාමාජිකයන් සමඟ මෙම මව දිවා ආහාරයෙන් අනතුරුව අතුරුපස සඳහා අයිස්ක්‍රීම් ආහාරයට ගනිමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ එක්වරම ඇති වූ කැස්සක් හේතුවෙන් මෙම මව සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

එහි දී ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය ජීවිතක්ෂයට පත්වන විට ඇගේ පුතුට සාමාන්‍ය පෙළ විභා­ගය නිම වීමට තිබුණේ දින 4 ක් පමණයි.

මවගේ වියෝව පුතුට දරාගත නොහැකිව ඔහුගේ කඩඉම් විභාගය අසාර්ථක කර ගනීවි යන බිය නිසාම මේ ශෝක ජනක පුවත පුතුට වසන් කිරීමට පියා ඇතුළු ඥාතීන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පුතුගේ විභාගය ඊයේ (15) දිනයෙන් නිමාවට පත් වූ අතර එතෙක් රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තබා තිබූ දේහය අද (16) ගාල්ලේ පිහිටි ඇගේ නිවෙ­සට ගෙන ඒමට නිය­මි­ත බවයි වාර්තා වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *